කට වහන ඔන් ලයින් පනත සම්මත කරද්දී කතානායක සහ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් රටේ උත්තරීතර නීතියටත් පයින් ගහලා..! මැතිසබේ රැව්දේ..!
-චන්ද්‍රප්‍රදීප් ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.08, ප.ව.11.30) ජනතාවගේ කට වහන ඔන් ලයින් පනත සම්මත කර ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා බවත් සම්මත කර ගත් පනතේ අඩුපාඩු රාශියක් ඇති බවත් අද(08) පාර්ලිමේන්තුවේ දී සඳහන් විණ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාක්කි සහිතව කරුණු ගෙන හැර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග වගන්ති ගණනාවක් ඉටු කර නැතැයි පැවසීය. ඒ අතර වගන්ති 24, 27, 11(ඈ), 13, 16, 19, 20 තිබේ.
මහේස්ත්‍රාත් නියෝගයක් අවශ්‍යයි කීවත් එය සලකා නෑ
සජිත් ප්‍රේමදාස කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග වලට අනුකූල නොවන ආකාරයට වගන්ති ගණනාවක් පණතට ඇතුලත් කර තියෙනවා. සම්මත කර ගත් පනතේ 24 වගන්තිය 27 වගන්තිය 11 (ඈ) වගන්තිය සමග කියවන විට පැහැදිලිවම කියනවා, 'අන්තර් ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට මාර්ගගත ස්ථානයක් වෙත ඇතුළු වීම අහිමි කිරීම සඳහා කරුණු විභාග කිරීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙකු විසින් ලබා දෙනු ලබන නියෝගයක් අවශ්‍ය බව' අධිකරණය කියා තිබෙනවා. නමුත් වත්මන් පනතේ මහේස්ත්‍රාත්වරයෙකුගේ විභාගයකින් තොරව අන්තර් ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට එරෙහිව කොන්දේසි සහිත නියෝග නිකුත් කිරීමේ බලය ලබා දී තිබෙනවා."
13 වැනි වගන්තිය
මේ වගේ අවස්ථා ගණනාවක දී මේ පනත් කෙටුම්පත සම්මත වී තිබෙන්නේ අධිකරණය ලබා දුන් නියෝග නොතකා. මං තව එකක් කියන්නම්, 13 වැනි වගන්තිය, 'නීතිපතිවරයාගේ සංශෝධනයට අමතරව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් 13 වන වගන්තියට තව දුරටත් සංශෝධන ගෙන ආ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පිටු අංක 46 සහ 47 මගින් යෝජනා කරලා තිබෙනවා. නමුත් ඒ අතිරේක සංශෝධන හඳුන්වා දී නෑ. "
16 වැනි වගන්තිය ඉවත් කරන්නැයි කීවත් ඉවත් කරලා නෑ..
"තව තුන් වැනි එකත් කියන්නම්. 16 වැනි වගන්තිය තුල ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ නාමයෙන් අන්තර් ජාල පරිශීලකයන්ට බියෙන් තොරව අන්තර් ජාලයේ සැරිසැරීම සහ අන්තර් ක්‍රියා සිදුකිරීම සඳහා ආරක්ෂක පරිසරය බිඳ හෙළනු ලබන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය කරන තීරණය සමග නිසිපරිදි අනුගත වීමට නම් 16 වැනි වගන්තිය ඉවත් කරන්න ඕනෑ. එහෙම ඉවත් කිරීමක් සිදුවෙලා නෑ. "
ඉවත් කරන්නැයි කී 19 වැනි වගන්තියත් ඉවත් කරලා නෑ..
"එතකොට මේ පනතේ 19 වැනි වගන්තිය, උක්ත 16 වැනි වගන්තියේ මෙන්ම මෙහිදී ද කැරැල්ලක් හෝ රජයට විරුද්ධ වරදක් සිදුකිරීමේ චෝදනාව මත අන්තර්ජාල පරිශීලකයන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවට ඔවුන් වෙත අනවශ්‍ය සීමා පැනවීමක් සිදු වන බැවින් මෙම 19 වැනි වගන්තියත් ඉවත් කළ යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබෙනවා. නමුත් ඒකත් වෙලා නෑ."
"ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 61 වැනි වගන්තියෙන් කියනවා 20 වැනි වගන්තියේ නිදර්ශනය සංශෝධනය කරන්නැයි කියා. එහෙම සංශෝධනයක් සිදුකළේ නෑ."
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව බැඳී තිබෙනවා
"ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුවේ බොහොම පැහැදිලිව කියනවා 16 වැනි වගන්තියත් 19 වැනි වගන්තියත් ඉවත් වෙන්නට ඕනෑ කියලා. නමුත් ඒවා ඉවත් කරලා නෑ. එතකොට මේ පනත අනුමත කිරීමේ දී මේ පාර්ලිමේන්තුව තුල කතානායක වන ඔබත්, සම්මත කර ගත් පාර්ශවයත්, ඇත්තටම වරදක් සිදුකරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලබන තීන්දුවලට අනිවාර්යයෙන්ම අනුගත විය යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 වගන්තියේ බොහොම පැහැදිලිව කියා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව බැඳී තිබෙනවා කියා"
කතානායකයි පාර්ලිමේන්තුවයි රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කරලා..
"මා ඉහත කීවා සේ සම්මත කර ගත් පනතේ අඩුපාඩු 9 ක් තිබෙනවා. ඇත්තම කතා කරනවා නම් මේක පදනම් කරගෙන කතානායකවරයා වන ඔබ ගැන විශ්වාසය භංග වී තිබෙනවා. මන්ද ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් මේ අඩුපාඩු සිද්ධ වුනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ක්‍රියාත්මක වෙලා නෑ. ඔබ අවසානයේ අපිට ඡන්දයක් දුන්නෙත් නෑ. ඒ අනුව ඉතා පැහැදිලියි මේ පනත නීතිගත කිරීමේ දී අධිකරණය දුන් නියෝග පැහැර හැරලා තමයි මේ පාර්ලිමේන්තුව කටයුතු කරලා තියෙන්නේ. ඒක රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒකට කතානායක වන ඔබත් හවුල්."
සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා වැඩි දුරටත් පැවසීය.
ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ සමහර විපක්ෂ මන්ත්‍රීවරු කීවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව නීතිපතිවරයා විසින් පනත් කෙටුම්පතට ගෙන ආ සංශෝධන විවාදයට පෙර තමන්ට නොලැබුණු බවයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල වෙතද සංශෝධන ලැබී තිබුනේ සවස 3.45 ට ය.
අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ද සම්මත වූ පනතේ අඩුපාඩු තිබෙන බව පාර්ලිමේන්තුවේ දී පිළිගත්තේ ය.
නීති විරෝධීව සම්මත කළ නීතියක් ජනතාව පිළිපැදිය යුතු ද?
මේ අනුව නීති හදන පාර්ලිමේන්තුව ඔන්ලයින් පනත සම්මත කරගනිද්දී ක්‍රියා කර ඇත්තේ සහමුලින්ම නීති විරෝධීව ය. රටේ උපරිම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග වලට සේම රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය ද පයින් ගසා ය. පනත් කෙටුම්පතක් ඉදිරිපත් වූ කල එයට එරෙහිව අධිකරණයට ගොස් කරුණු දක්වා අධිකරණය කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ලබා දෙන නියෝග පිළිපදින්නේ නැති ආණ්ඩුවක් මෙලෙස සම්මත කර ගත් නීතියක් නීත්‍යාණුකූල වන්නේ ද? ජනතාව එවැනි නීතියක් පිළිපැදිය යුතු ද?
-චන්ද්‍රප්‍රදීප්
https://www.lankaenews.com/category/54

No comments:
Post a Comment