ගල් හා අසූචිවලට සැලියුට් ගසන පොලිස් ඇමතිකාරයාගේ ඒඑස්පී පුතාගෙන් ප්‍රශ්න කරනු...!
-ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩුගේ ලිපියක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2022.පෙබ.19, ප.ව.3.20) හිරු නිවේදක චමුදිත සමරවික්‍රමට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ඊයේ (18) අධිකරණයට ගියේ ය.
හිරු මේ බව ප්‍රකාශ කළේ මෙම අලුත්ම සිදු වීමට පසුවත් තමන්ට ආරක්ෂාවක් ලබා දී නොමැති බවට සමරවික්‍රම චෝදනා කිරීමත් සමගය. ඔහු කියා සිටියේ තමාගේ පෞද්ගලික ආරක්ෂාව සහ පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් සැලකිලිමත් වන බවයි.
සචිත්‍ර අධීෂ වීරසේකරගේ ප්‍රතිචාරය..
පිළියන්දල, වෑවල, ගංගාරාම පාරේ පිහිටි, හිරු නිවේදක චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ බව කියන ප්‍රහාරයෙන් පසු, තම පුත් සහකාර පොලිස් අධිකාරී සචිත්‍ර අධීෂ විසින් පළ කරන ලද ආන්දෝලනාත්මක ෆේස්බුක් (FB) සටහනක් සම්බන්ධයෙන් තමා ඔහුගෙන් විමසීමක් කළ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක ඇමතිකාරයා පවසයි.
සමවික්‍රමගේ නිවසට ගල්මුල් හා අසූචි ගසා ඒවාට අපහාස කළ අය හෙළා දකින බව සහකාර පොලිස් අධිකාරී සචිත්‍ර අධීෂ වීරසේකර විසින් සිංහලෙන් පළ කර තිබූ අදහස් දැක්වීමක සඳහන්ව තිබේ. (“ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙලා දකිමු...”)
වීරසේකර අමාත්‍යවරයා තම පුත්‍රයාගේ ක්‍රියාව විග්‍රහ කළේ හදිසියේ කළ දෙයක් ලෙසය. සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාගේ එම ප්‍රතිචාරය සමාජ මාධ්‍යවල අවධානයට ලක් වීමත් සමග The Island මේ පිළිබඳව වීරසේකර ඇමතිකාරයාගෙන් ප්‍රශ්න කර ඇත.
සහකාර පොලිස් අධිකාරී වීරසේකර වෛද්‍ය නිලධාරියෙකු ලෙස නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට තමන් සමරවික්‍රම මහතාට දුරකථනයෙන් කතා කළ බව තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීරසේකර ඇමැතිකාරයා පැවසීය.
පසු ගිය වසරේ මෙම මාධ්‍යවේදියාට එල්ල වූ බව කියන මරණීය තර්ජන හේතුවෙන් මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව මෙම සිද්ධියට පැය දෙකකටත් අඩු කාලයකට පෙර මාධ්‍යවේදියාගේ නිවසට පොලිසිය (මුර සංචාරයේ) ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.
වැලන්ටයින් දිනයේ අලුයම 2.10 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇත. වීරසේකර ඇමැතිකාරයාට අනුව පොලිසිය එහි පවත්වා ගෙන ගිය ලොග් පොතේ අත්සන් තබා ඇත්තේ 12.45 ටය.
පරීක්ෂණ සාර්ථක අවසානයකට ගෙන ඒම ගැන පොලිසියට විශ්වාසයක් ඇති බව වීරසේකර ඇමැතිකාරයා සහතික කළේය.
ඇමැති පුතාගේ සටහන ගැන පොලිසියට ඇස් කන් පියාගෙන සිටිය හැකිද?
සමරවික්‍රම කියා සිටියේ, පොලිසියට එම FB සටහන දැක ඇස් කන් පියා ගෙන සිටිය නොහැකි බවයි. සිද්ධියට අදාලව මාධ්‍ය ප්‍රකාශ මෙන්ම සමාජ මාධ්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති බව ද සමරවික්‍රම පැවසීය. එබැවින්, අදාල සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත යුතු බව ඔහු පැවසීය.
තම නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා 22 ක වීඩියෝ දර්ශන පොලිසියට ලබා දුන් බව ද මාධ්‍යවේදියා පැවසීය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිකාරයාගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයා ද වන ඔහු මෙම විමර්ශනයේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් පසු වේ. සමරවික්‍රම ඒ බව පැවසුවේ The Island නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
"පොලිසියට වැරදිකරුවන් අල්ලා ගැනීමට බැරි වුනොත්, මේ නඩුවත් තවත් නොවිසඳුණු සිදු වීමක් ලෙස අවසන් වේවි," යයි කෝපයට පත් සමරවික්‍රම කියා සිටියේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට අභියෝගය භාර ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි.
හිරු රූපවාහිනියේ සේවයට අමතරව, සමරවික්‍රම සමාජ මාධ්‍ය වේදිකා දෙකක් ද පවත්වා ගෙන යයි.
කාදිනල්තුමාගේ මැදිහත්වීම සිදු නොවූයේ නම්...
ජනවාරි 11 වැනිදා බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් අත් බෝම්බයක් සොයා ගැනීම ගැන සඳහන් කරමින් සමරවික්‍රම කියා සිටියේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පෙර නොවූ විරූ මැදිහත්වීම හේතුවෙන් විමර්ශනයේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවයි. කාදිනල්තුමාගේ මැදිහත්වීම සිදු නොවූයේ නම් සමහර අහිංසකයන් තවමත් අත්අඩංගුවේ පසු වන්නට ඉඩ තිබුණි.
සම්පූර්ණ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේ වැදගත්කම තමන් පොලිසියට පැහැදිලි කළ බව සමරවික්‍රම පැවසීය. එය අනවසරයෙන් ඇතුළු වූවන් පැමිණි වේලාවෙන් පසුව ගත වූ කාලයට පමණක් සීමා නොකළ යුතුය.
බොරැල්ල දේවස්ථානයට අත් බෝම්බය රැගෙන ආ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වූයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් විසින් පොලිසියට දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් පසුව බව ද සමරවික්‍රම පෙන්වා දුන්නේය.
"මෙම ප්‍රහාරය මා සහ මගේ බිරිඳ විසින් සිදු කරන ලද්දක් බවට මේ ගැන උනන්දුවක් දක්වන සමහර පාර්ශ්ව චෝදනා කරනවා. ඒ නිසා අපේ ඇඟිලි සලකුණු ගන්නා ලෙස අප පොලිසියෙන් ඉල්ලා සිටියා", යයි ඔහු තව දුරටත් පැවසීය.
නිවාස සංකීර්ණයට ඇතුළු වූ අනවසර ප්‍රවිෂ්ටයන් පැමිණියේ එම Wagon R වර්ගයේ මෝටර් රථයෙන් ද යන්න වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමෙන් පොලිසියට පහසුවෙන්ම තහවුරු කර ගත හැකි බව ද සමරවික්‍රම පැවසීය.
වෙඩි හඬක් ඇහුනාමයි..
මාධ්‍යවේදියාගේ නිවසට ගල්මුල් සහ අසූචි දමා ගසන අයුරු කැමරා කාචයේ සටහන් වූ තිදෙනාට අමතරව තවත් දෙදෙනකු සිට ඇත. සමරවික්‍රම සහ පොලිසිය කියන පරිදි ඔවුන්ගෙන් එක් අයෙකු නිවාස යෝජනා ක්‍රමයට ඇතුළු වන ස්ථානයේ ආරක්ෂක නිලධාරියාට තුවක්කුවක් එල්ල කර ගෙන රඳවා ගෙන සිට ඇත. වාහනයේ රියදුරු වාහනයේම රැඳී සිට ඇත.
ප්‍රහාරකයන් දෙදෙනකු කළු හෙල්මට පැළඳ සිටි අතර අනෙකා රතු හෙල්මටයක් පැළඳ සිටි බව සමරවික්‍රම පෙන්වා දුන්නේය. මාධ්‍යවේදියා තරයේ කියා සිටියේ නිවසට වෙඩි වැදී නොතිබුණ ද වෙඩි හඬ ඇසුණු බවයි.
ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සමරවික්‍රම වැඩි දුරටත් කියා සිටියේ, තමන් හිරු මෙන්ම ‘Truth with Chamuditha’ නමැති සමාජ මාධ්‍ය වෙබ් අඩවියට ද කළ වාර්තාකරණය නිසා කෝපයට පත් පුද්ගලයන් රැසක් සිටින බැවින් තමන්ට කිසිදු පක්ෂයක් නම් කළ නොහැකි බවයි. එය ඔවුන්ට සාධාරණයක් නොවන බව කියා සිටි ඔහු, පොලිසිය ඉක්මන්ම අනාවරණයක් කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද පැවසීය.
මීට පෙර තමන්ට එල්ල වූ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් කළ පොලිස් විමර්ශනවල තත්ත්වය අපැහැදිලි බව ද සමරවික්‍රම සඳහන් කළේය. “පොලිසිය මගේ ප්‍රකාශය සටහන් කර ගත්තත්, විමර්ශනයේ ප්‍රතිඵලයක් ගැන මං දන්නේ නැහැ,” යයි සමරවික්‍රම පැවසීය.
තොරතුරකට ලක්ෂ පහක්..
සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරක් ලබා දෙන අයෙකුට රු. 500,000 ක ත්‍යාගයක් පිරිනමන බවට හිරු කළමනාකාරීත්වය කළ නිවේදනය ඔහු අගය කළේය. 077-03 22821 යන දුරකථන අංකය අමතා හිරු විමර්ශන කණ්ඩායමට තොරතුරු ලබා දිය හැකි බව ද ඔහු පැවසීය. තමන් විසින්ම පරීක්‍ෂණ සිදු කර පොලිසිය සමග තොරතුරු හුවමාරු කර ගන්නා බව එම විමර්ශන කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.
හිරු නාලිකාවේ පානුක රාජපක්ෂ සමග සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටි සමරවික්‍රම පැවසුවේ ප්‍රහාරකයන් ඔවුන්ගේ ප්‍රධාන නිදන කාමරය ඉලක්ක කර ගත් නමුත් ඔවුන් එදින වෙනත් ස්ථානයක නිදා ගත් බවයි.
තම බිරිඳ සහ 14 හැවිරිදි දියණිය ප්‍රහාරයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව ඇති බව පිළිගත් සමරවික්‍රම, ඔවුන්ට ඉක්මනින් එක්සත් ජනපදයට හෝ කැනඩාවට යාමට හැකියාව ඇති නමුත් රට හැර නොයන බව අවධාරණය කළේය.
- 2022 පෙබරවාරි 18 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Shamindra Ferdinando ලියූ, ‘Attack on Chamuditha’s home: Court to be moved seeking protection; Hiru offers Rs 500,000 for info’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68
No comments:
Post a Comment