Tuesday, 17 September 2024

වසරකට රුපියල් මිලියන 15,000 කට වඩා මන්ත්‍රී වරප්‍රසාද අහිමි කරන්නට එන අනුර අපි ජනපති කරනවාද..?

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.සැප්.17, ප.ව. 11.00) රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට ඔවුන්ගේ ප්‍රතිපත්ති වල හෝ වේදිකාවේ කිව නොහැකි එහෙත් අනුර කුමාර දිසානායකට පමණක් කිවහැකි කරුණු රාශියක් ඇත. ඉන් එක් කරුණක් වන්නේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමයි.

අනුරගේ මැතිවරණ ප්‍රකාශනයේ 194 වන පිටුවේ සඳහන් වන අන්දමට මන්ත්‍රීවරුන්, ජනාධිපතිවරුන්, විශ්‍රාමික ජනාධිපතිවරුන්ද ඇතුළුව, ජනාධිපති වැන්දඹුවන් යනාදීන් විසින් මේ දක්වා භුක්ති විඳිමින් සිටින අයථා වරප්‍රසාද ඉවත් කිරීම ඔහුගේ නව රජයේ පළමු කාර්යයන් සමූහය තුල ඇත.   එම වරප්‍රසාද අතර මන්ත්‍රී වරුන්ට වසර පහකට වරක් ලැබෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය අහෝසි කෙරේ. නිල නිවාස, ආරක්ෂක භටයන්, විශ්‍රාම වැටුප්, ඉන්ධන දීමනා, සහ අනෙකුත් වියදම් ප්‍රතිපූර්ණයන් නවතා දැමෙනු ඇති. මෙමගින් වසරකට රුපියල් මිලියන 15,000 කට වඩා ඉතිරිකර ගත හැක.  

වාහන බලපත්‍ර අහෝසිකිරීම-වසරකට ඉතිරිය මිලියන 7000

තීරු බදු නිදහස් වාහන බලපත්‍ර ඉවත් කරන බව රනිල්ට හෝ සජිත්ට කොහෙත්ම කිව නොහැක. එසේ කිවහොත් බොහෝ මන්ත්‍රීවරු සජිත්ට හෝ රනිල්ට එකතු නොවනු. ඇත. එකතු වූ අය පවා ඔවුන් හැර යනු ඇත. මැතිවරණය නිවේදනය කිරීමට පෙර සිටම වර්ථමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 116 දෙනෙක් තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා තිබුණි.

සාමන්‍යයෙන් ආනයනික වාහන සඳහා අයකරන තීරු බද්ද වාහනයේ වටිනාකම මෙන් තුන් ගුණයකි. 2016 දක්වා මන්ත්‍රී වරුන් ගෙන්වන ලද මන්ත්‍රී වාහන වරායෙන් නිදහස් කරගන්නා අවස්ථාවේ යම් අවම තීරුබද්දක් ගෙවීමට සිදුවිය. එහෙත්, යහපාලන සමයේ මුදල් ඇමැති රවී කරුණානායක (2016) විසින් එම බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කොට මන්ත්‍රීවරයාට කැමති වාහනයක් කැමති මිලකට ආනයනය කිරීමට තීරුබදු ඇතුලු සියලු බදු රහිත බලපත්‍රයක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය.

වර්තමානයේ සාමාන්‍ය පුද්ගලයකු වාහනයක් ආනයන කිරීමේදී වාහනයේ වටිනාකම මෙන් තුන් ගුණයක (CC කාණ්ඩය අනුව)  තීරු බදු ගෙව්වද, මන්ත්‍රී වරයකු ගෙවන්නේ රුපියල් 1750/-ක් පමණි (Customs Facilitation Fee (CFI). එයද වාහනයේ දත්ත පරිඝනක පද්ධතියට ඇතුළත් කිරීමේ ගාස්තුවයි.

මෙසේ ආනයනය කරනු ලබන එක් වාහනයකින් රජයට අහිමි වන බදු මුදල රුපියල් මිලියන 30 සිට 45 අතර වේ. වැඩි විස්තර සඳහා මෙම දිගුවෙන් ඇති ලිපිය කියවාගන්න. https://numbers.lk/news/duty-free-vehicle-permits-for-mps බොහෝ මන්ත්‍රීවරු මෙම වාහන බලපත්‍රය මිලියන 20 වැනි ඉහළ මිලකට වාහන සේල් කරුවන්ට විකුණා දමයි.

යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමති රවී කරුණානායක හඳුන්වා දුන් මෙම ක්‍රමවේදය හේතුවෙන් වසරකට රජයට අහිමි වන බදු මුදල රුපියල් මිලියන 7000 -10,000 අතර වේ.  2017 සිට මේ දක්වා බදු නිදහස් මන්ත්‍රී වාහන ආනයනය හේතුවේන් රජයට අහිමි වී ඇති බදු මුදල දල වශයෙන් රුපියල් මිලියන 53,867 කි. මෙම දිගුවෙන් (අවසන් ඡේදය) කියවාගන්න.  https://www.dailymirror.lk/print/plus/Vehicle-import-companies-ministers-deny-Rs-53-867-Mn-worth-taxes-to-Govt/352-291138#:~:text=Additionally%2C%20another%207%2C000%20million%20rupees,53%2C867%20million%20rupees%20in%20taxes

අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම- වසරකට ඉතිරිය මිලියන 700

රනිල්ට වගේම සජිත්ටත් ඔවුන්ගේ රජයක කැබිනට් අමාත්‍ය මණ්ඩලය 25 කට සීමා කරන බව කෙසේ වත් කිව නොහැකිය. එසේ කිව හොත්, බොහෝ පිරිසක් ඔවුන් හැර යනු ඇත. අමාත්‍ය මණ්ඩලය නඩත්තුව සඳහා වසරකට රුපියල් මිලියන 2590 ක් බදු මුදල් වැයකරයි. එක් කැබිනට් ඇමතිවරයකු නඩත්තුව සඳහා වසරකට රු.මිලියන 35 ක් ද රාජ්‍ය ඇමතිවරයකු සඳහා වසරකට මිලියන 34.8 ක් ද වැය වේ. මෙය ඔහුගේවැටුප් සහ දීමනා සඳහා පමණි.  

https://publicfinance.lk/en/topics/ministers-and-state-ministers-cost-of-offices-are-similar-1620729803

ජනාධිපති වැයශීර්ෂය කපාහැරීම-වසරකට ඉතිරිය රු.මිලියන 3,960

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ නඩත්තුව සඳහා රුපියල් මිලියන 6,601 ක් (පුනරාවර්ථන සහ ප්‍රාග්ධන) 2024 අයවැයෙන් වෙන් කර ගෙන තිබුණි. 2024 මාර්තු වන විට විදේශ සංචාර සඳහා වියදම් ලෙස තවත් රු.මිලියන 200 ක් ලබා ගත්තේය. පසුගිය ජුනි මාසය වන විට රනිල් වික්‍රමසිංහ තවත් රුපියල් මිලියන 8750 ක් පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත්තේය. මේ සියල්ලේ එකතුව රුපියල් මිලියන 15,551 කි.

සැප්තැම්බර් 22 වන දින තේරී පත්වන ජනාධිපති අනුර මේ සියල්ලම සැලකිය කිය යුතු ප්‍රතිශතයකින් කපා හරිණු ඇත. අමතර වෙන්කිරීම් අතහැර 2024 ජනාධිපති වැය ශීර්ෂය වූ මිලියන 6,601 න් 60%  ක් කපා හැරියහොත් ඉතිරිකර ගත හැකි මුදල රු. මිලියන 3,960 කි.

https://www.treasury.gov.lk/api/file/2790e3f1-9df3-4de7-985d-186cc97df2a3

මන්ත්‍රී විශ්‍රාම වැටුප් සහ W&OP දීමනා කපාහැරීම-වසරකට ඉතිරිය රු. මිලියන 304

පාර්ලිමේන්තු ගිණුම් වාර්ථා අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන් 255 ක් නඩත්තුව සඳහා මසකට අවම වශයෙන් රුපියල් මිලියන 16 ක්  (16,181,799.46) රජය වැයකරයි. වසරකට රුපියල් මිලියන මෙම කපාහැරීමෙන් 194 ක් ඉතිරි කළ හැක.

මීට අමතරව වැන්දඹු සහ අනත් දරු දීමනා මන්ත්‍රිවරුන් 168 දෙනකු සඳහා ඉකුත් පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 9 ක් වැයකොට ඇත. වසරකට රුපියල් මිලියන 110 ක් මේ සඳහා වැයවෙයි.

ඉන්ධන දීමනා කපාහැරීම- වසරකට ඉතිරිය මිලියන 500

පසුගිය දා මන්ත්‍රී වරුන්ගේ ඉන්ධන දීමනාව ලක්ෂ දෙක දක්වා වැඩිකළ අතර මෙය දුර අනුව තීරණය වේ. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා පමණක් මෙම වැඩි වූ ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කළෝය.

යාපනය වැනි ප්‍රදේශයක ජීවත් වන මන්ත්‍රීවරයකු සඳහා රු.ලක්ෂ දෙකක් ලබා දෙන අතර, කොළඹ ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරයකු සඳහා රුපියල් ලක්ෂයකට වඩා ගෙවනු ලබයි. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු සඳහා ඉන්ධන ලීටර් 355 ක් ලබා දෙන අතර යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ඊට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියයි. මේ අනුව බලන කල වසරකට ඉන්ධන දීමනාව යම් ප්‍රතිශතයකින් කපා හැරීම තුල රුපියල් මිලියන 500 ක් පමණ වසරකට ඉතිරි කළ හැක. https://www.parliament.lk/si/members-of-parliament/allowances-and-benefits

පැමිණීමේ දීමනා, කාරක සභා දීමනා, සංග්‍රහ  කාර්යාල දීමනා කපාහැරීම- වසරකට ඉතිරිය මිලියන 500

මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව ලෙස එක් දිනකට රුපියල් 2500 ක් ගෙවනු ලබයි. ඊට අමතරව කාරක සභාවක සාමාජිකයකු පාර්ලිමේන්තු දින වලට අමතරව පැවැත්වෙන කාරක සභාවක් සඳහා සහභාගී වන්නේ නම් දිනකට රුපියල් 2500 ක් ගෙවනු ලබයි. එමෙන්ම කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට තවත් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දේ. මේ අනුව මන්ත්‍රීවරුන් 225 දෙනකු නඩත්තුව සඳහා වසරකට අවම වශයෙන් මිලියන 500 ක් පමණ බදු ගෙවන්නා වියදම් කරයි. https://www.dailymirror.lk/print/opinion/Lawmakers-paying-36-as-tax-and-their-salaries-exposed/231-257000

පෞද්ගලික කාර්ය මණ්ඩලය සීමා කිරීම - වසරකට ඉතිරිය මිලියන 200

එක් අමාත්‍යවරයකුට 15 ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් තබා ගත හැක. ඔවුන් සඳහා වැටුප් දීමනා, නිවාස කුලිය, වාහන සහ ඉන්ධන දීමනා යනාදිය සඳහා විශාල මුදලක් වැය කරයි. බොහෝ විට මේ සඳහා බඳවාගන්නේ තම පවුලේ ඥාතීන් බව ප්‍රකට රහසක්. https://www.parliament.lk/si/members-of-parliament/allowances-and-benefits

මීට අමතරව මාසිකව දුරකථන දීමනාව රුපියල් 50000 ක්ද, වර්ෂයකට රුපියල් 350,000 ක වටිනාකමින් යුත් නිදහස් තැපැල් මුද්දර ලබාදීම ඇතුලුව වාර්ෂිකව පාර්ලිමේන්තු කටයුතු සඳහා රුපියල් මිලියන 2,841 වැය වන බව 2017 මුදල් අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි. මේ වන විට මෙම අගය විශාල ලෙස වැඩි වී ඇත.

https://publicfinance.lk/en/topics/The-Money-Spent-on-Parliament:-Where-does-it-go-1620669685

ලංකාව බංකොලොත් වීමට හේතුව මෙම පරපුටු දේශපාලකයන් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. සමහරුන් දශක තුනකට වඩා මහජන මුදලින් යැපෙමින් තම පවුල සහ ඥාතීන් මහජන මුදලින් පෝෂනය කරමින් රටේ ජනයාගේ රීරී මාංශය උරා බොමින් සිටී. ඒ දූර්ධාන්ත කාලය අවසන් කිරීමට ඇත්තේ තවත් දින කිහිපයකි.

රටේ මහජන අභිලාෂයන් ඉටු කරවා ගැණීමට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක බලයට පත් කර ගැණීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට අද පත් වී ඇත. මෙම දූෂිත දේශපාලනය සංස්කෘතිය සැප්තැම්බර් 21 අවසන් කරමු. දේශපාලන පරපුටුවන් ගෙදර යවමු. අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති දූෂිත දේශපාලකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවමු. අනුර කුමාර දිසානයක හැර අන් කිසිවෙකුට මෙම වෙනස කළ නොහැක. අප බුද්ධිමත්ව කටයුතු කරමු.

-ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
shantha323@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment