Tuesday, 20 June 2023

බේරේ ගෙදර නොමිලේ බෙදන ප්‍රකාශනවල වසරක බිල රු.මිලියන 84 යි..! ගහන දිනමිණ පත්තර වලින් බාගයක්ම මකර කටේ..!

-සේ. පියවර්ධන ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.20, ප.ව.4.30) අනුන්ට බණ දෙසන ආණ්ඩුවේ මුද්‍රිත මාධ්‍ය ආයතනය වන ලේක් හවුස් හෙවත් බේරේ ගෙදර පත්තර නොමිලේ බෙදා හැරීම ගජරාමයට කැරෙන හැටි වාර්තා වේ.

2021 වර්ෂය සඳහා මෙලෙස නොමිලයේ බෙදා ඇති පුවත්පත් සහ වාර ප්‍රකාශන  වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 84 කි.

දිනමිණ පුවත් පත් මුද්‍රණයෙන් සියයට 22 ක්ම බෙදන්නේ නොමිලේ වන අතර තවත් සියයට 20 කට වඩා අළෙවි නොවී ආපසු පැමිණේ. එනම් මුද්‍රණය කරන දිනමිණ පත්තර වලින් බාගයකට ආසන්නව යන්නේ කිසිදු ආදායමක් නොලබා  මකර කටට ය.

මෙම නොමිලයේ බෙදන ප්‍රමාණය 500 ක් ලෙස සැළකුව හොත් දිනමිණ මුද්‍රණය කැරෙන්නේ පිටපත් 2500 ක් තරම්ය.

කුලී ලියන්නන්ට පෑදෙන්නේ ඉල්ලමකි..

රනිල් රාජපක්ෂ යටතේ  දිනමිණ පුවත්පතේ වත්මන් කතුවරයා වන්නේ වෛද්‍ය සාෆි ගැන බොරු වැපූරු මනෝජ් අබේධීර ය. සිළුමිණ කතුවරයා වන්නේ තවත් එවැනිම කුලී ලියන්නකු වන සිසිර පරණතන්ත්‍රී ය.

2021 වර්ෂය තුළ ‍බේරේ ගෙදර පුවත්පත් හයකින් පිටපත් 1,154,607 ක් සහ වාර සඟරා 14 කින් පිටපත් 87,898 ක් නොමිලේ නිකුත් කර තිබේ.

ආයතනයේ සියලු කළමනාකාර සාමාජික සාමාජිකාවනට විධායක ශ්‍රෙණියේ නිලධාරීන්ට සෑම ප්‍රකාශණයක්ම නොමිලේ ලැබේ. ඉන් වැඩි හරියක් ආපසු බරට විකිණේ.

බේරේ ගෙදර යනු දස දහස් ගණනාවක් සේවය කරන රාජ්‍ය ආයතනයකි. වරක් එහි දිනමිණ පුවත්පතෙහි මාධ්‍ය කාර්ය මණ්ඩලය සියය ඉක්මවා සිටි අතර පිරිසකට  වාඩිවීමට පුටු පවා තිබුණේ නැත. එම පිරිස කාලය ගත කළේ පුස්තකාලයේය.

ජනාධිපතිවරයා, අගමැති, ජනමාධ්‍ය ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම් යනාදීන් ට, හිටපු කළමනාකරන සාමාජික සාමාජිකාවන් ට, වසර 20 ක් එහි සේවය කරන සියලු සේවක සේවිකාවන්ට. වසර 25 ක සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගිය සේවක සේවිකාවන් ට මෙසේ නොමිලේ ප්‍රකාශන ලබා දෙනු ලැබේ.

බේරේ ගෙදර පත්තර මං කියවන්නේ හරකෙක් මිලදී ගන්න අවශ්‍ය නම් පමණයි..

දේශපාලන පත්වීම් ලබන එහි මාධ්‍යවේදීන්ට සහ කතුවරුන්ට පෑදෙන්නේ ඉල්ලමකි. මාස 12 ක වැටුපට අමතරව තවත් මාස 06 ක බෝනස් දෙනු ලැබේ. සෑම කතුවරයකුටම රියදුරකු ඇතිව හෝ නැතිව වාහනයක් ලබා දේ.

'බේරේ ගෙදර පත්තර තමන් කියවන්නේ හරකෙක් මිලට ගැනීමට අවශ්‍ය නම් පමණක්' යැයි වරක් කීවේ අගමැතිවීමට සුදුසුකම් තිබියදී මරා දමන ලද ඇමති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේය. මෙම ආයතනය ලාභ ලැබුවේ ආණ්ඩුවේ වෙළඳ  දැන්වීම් නිසා ය. 2022 වසරෙහි බේරේ ගෙදර ප්‍රථම වතාවට පාඩු ලැබුවේය.

(කරුණූ විගණකාධිපති වාර්තාවෙනි)

-සේ. පියවර්ධන විසිනි.

No comments:

Post a Comment