ව්ලැදිමීර් පුටීන්ගේ සළුපට අහසට..! Wagner කුලී හමුදා නායකයා රුසියාව මෙන්ම "අයෝමය" පුටීන් ලෝකය ඉදිරියේ විහිළුවක් බවට පත් කරයි..!
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.26, ප.ව.10.35) රුසියානු ඒකාධිපති නායක ව්ලැදිමීර් පුටීන් සිය යුක්රේන ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරිපත් කළ සියළු හේතු පට්ටපල් බොරු බව ඔහුගේ සමීපතම හිතවතෙකු වශයෙන් සැළකෙන Wagner Group කුලී හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගෝශින් (Yevgeny Prigozhin) පසුගිය සෙනසුරාදා (24) ප්‍රකාශ කළේ ය. ඔහු මහා බලගතු පෞරුෂයක් සහිත නායකයෙකු වශයෙන් ඇතැමෙකු සැළකූ පුටීන්ව ඔහු ඔළුවෙන් හිට වූයේ ය. වසර විසිතුනකට පසුව පුටීන්ගේ දේශපාලන ආධිපත්‍යය විවෘත තර්ජනයකට මුහුණ දී සිටියි.
ප්‍රිගෝශින් පුටීන්ගේ යුක්රේන ආක්‍රමණය නිරුවත් කරයි…
යුක්රේන ආක්‍රමණය වැරදි තීරණයක් බවත්, නැගෙනහිර යුක්රේනයේ ඩොන්බස් ප්‍රදේශයේ පිහිටා තිබෙන රුසියානු හිතවාදී ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශවලට යුක්රේන හමුදාවන්ගෙන් තර්ජන නොතිබුණ බවත්, ඔවුන් එම ප්‍රදේශවලට ප්‍රහාර එල්ල නොකළ බවත්, යුක්රේනයේ නාසිවාදයක් නොපවතින බවත් යෙව්ජෙනි ප්‍රිගෝශින් හෙළි කළේ ය. මේ ආක්‍රමණය සිදුවූයේ දූෂිත රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පුටීන්ගේ Oligarchy ව්‍යාපාරික පංතියේ අවශ්‍යතාවයට බව ඔහු පෙන්වා දුන්නේය.
යුක්රේනය යටත් කර ගැනීමේ සිහිනය..
රුසියානු නායක ව්ලැදිමීර් පූටීන් යුක්රේනය ආක්‍රමනය කළේ යුක්රේන හමුදා ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශවලට යුක්රේන හමුදා ෂෙල් ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමිනි. එහෙත් සැබැවින් එම ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර එල්ල කළේ යෙව්ජෙනි ප්‍රිගෝශින්ගේ කුලී හමුදාවයි. එදා යුක්රේනය ආක්‍රමණ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙකු වන ප්‍රිගෝශින් දැන් ඒ සියල්ල වමාරමින් සිටියි. පුටීන් යුක්රේනය ආක්‍රමණය කළේ මාසයකින් සම්පූර්ණ යුක්රේනයම යටත් කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් එම ආක්‍රමණයට මාස දහසයක් ගත වුවද එම ඉලක්කය අද දවල් සිහිනයක් බවට පරිවර්තනය වී තිබේ.
Wagner කුලී හමුදාවේ බක්මුට් ජයග්‍රහණය…
යුක්රේන ආක්‍රමණය ආරම්භ කළ අවධියේ රුසියානු හමුදාවන්ට බලාපොරොත්තු නොවූ ජීවිත හානි සහ පරාජයන්ට මුහුණදීමට සිදු වූ අතර රුසියානු ආරක්ෂක අංශයන්හි අසංවිධානාත්මක බව සහ ඔවුන්ගේ දුර්වලතාවයන් ඒ හරහා ප්‍රදර්ශනය විය. මේ අවස්ථාවේ පුටීන්ගේ ආරක්ෂාවට සහ ගැලවීමට පැමිණියේ Wagner කුලී හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගෝශින් ය. ඔහු තම කුලී හමුදාව සමඟ රුසියානු නිළ හමුදාව වෙනුවට යුක්රේන සටනට එක්වීමට එකඟ විය. ඒ අනුව ඔහු සහ Wagner කුලී හමුදාව සටනට ප්‍රවේශ වූයේ ය. යුක්රේන සටනේදී රුසියාවට හිමි වූ එකම ජයග්‍රහණය පුටීන්ට බක්මුට් හි දී ලබා දුන්නේ යෙව්ජෙනි ප්‍රිගෝශින් සහ ඔහුගේ Wagner කුලී හමුදාවයි. ඒ සටනේදී දෙපාර්ශ්වයටම දැවැන්ත ජීවිත හානියක් සිදු වූ අතර Wagner භටයන් දසදහසකට අධික පිරිසක් ඝාතනය වූ බව මාධ්‍ය වාර්තා කළේ ය.
රුසියාවේ වැඩ බැරි ටාසන්ලා…
මේ සටන් අතරේ යෙව්ජෙනි ප්‍රිගෝශින් සහ රුසියානු ආරක්ෂක ඇමති Sergei Shoigu සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී Valery Gerasimov අතර සීතල යුද්ධයක් නිර්මාණය විය. රුසියානු ආරක්ෂක ඇමති සහ හමුදා මාණ්ඩලික ප්‍රධානියා "වැඩ බැරි ටාසන්ලා" බව යෙව්ජෙනි ප්‍රිගෝශින් කියා සිටියේය. ඔවුන් තම හමුදාවන්ට අවශ්‍ය උණ්ඩ සහ යුධ උපකරණ ලබා නොදෙන බවට ද විටින් විට චෝදනා කළේ ය. යෙව්ජෙනි ප්‍රිගෝශින් අවසාන කැරැල්ල දියත් කළේත් තම භටයන් ඉලක්ක කර ගනිමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ගුවන් ප්‍රහාර එල්ල කළ බව කියමිනි. මේ ගැටුම ලඟ එන බව බොහෝ නිරීක්ෂකයෝ දුටුහ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන් Wegner කුලී හමුදාව රුසියානු හමුදාවට අනුයුක්ත කිරීමට උත්සාහ ගත්තේ එබැවිනි. එහෙත් ප්‍රිගෝශින් පුටීන්ට අභියෝග කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවූහ. එය පැහැදිලිවම සූදුවකි!
පුටීන්ගෙ Wagner බළල් අත..
Wagner කුලී හමුදා ආරම්භ කිරීමට මූලික වූයේ දිමිත්‍රි උට්කින් නම් දක්ෂ රුසියානු හමුදා නීළධාරියෙකි. චෙච්නියානු යුද්ධයේ කැපීපෙනෙන චරිතයක් වූ ඔහු Wagner හි පළමු ක්ෂේත්‍ර අණදෙන නිලධාරියාය. Wagner යනු ඔහුගේ ගුවන්විදුලි ඇමතුම් සංඥා නාමයයි. Wagner හි පළමු මෙහෙයුම වන්නේ වසර 2014 දී රුසියාව ක්‍රිමියාව ආක්‍රමණය කිරීමට සහය ලබාදීමයි. පසුව යෙව්ජෙනි ප්‍රිගෝශින් එහි නායකත්වයට පත්විය. Wagner Group යනු පුටීන්ගේ සහ රුසියානු ආණ්ඩුවේ බලල් අතකි. එය ඔවුන්ගේ proxy සංවිධානයකි.
රුසියාවේ කුලී හමුදා පවත්වාගෙන යෑම නීති විරෝධී ය. එහෙත් Wagner Group වසර 2022 දී සමාගමක් ලෙස ලියාපදිංචි කර ශාන්ත පීටර්ස්බර්ග් හි නව මූලස්ථානයක් ද විවෘත කළේය. මේ කුලී සංවිධානයට සෙබළුන් බඳවා ගැනීම සඳහා රුසියාවේ නගරවල විශාල දැන්වීම් පුවරු සවිකර තිබේ. පුටීන් හිතවාදී රුසියානු මාධ්‍ය මේ කුලී හමුදාව දේශප්‍රේමී සංවිධානයක් වශයෙන් හඳුන්වාදෙයි.
ස්ත්‍රී දූෂකයන්, මිණීමරුවන්ගේ කුලී හමුදාව..
ආරමිභයේදී Wagner කුලී හමුදාවේ ශක්තිය පන්දාහක් පමණ වන වූ අතර ඔවුන්ගෙන් බහුතරය රුසියානු විශේෂ බලකායේ සහ ප්‍රභූ ආරක්ෂක බලකායේ සාමාජිකයෝ වූහ. ඒ වකවානුවේ ඔවුන් ක්‍රියාකාරී වූයේ මැදපෙරදිග සහ අප්‍රිකාවේ පමණි. එහෙත් මේවන විට යුක්රේනයේ පමණක් Wagner කුලී හමුදා භටයෝ පනස් දහසක් සටන් කරන බව පසුගිය ජනවාරියේ බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යාංශය හෙළි කළේ ය. Wagner කුලී හමුදාවේ සමස්ත භට පිරිසෙන් සියයට අසූවක් පමණ රුසියානු සිරකරුවන් ය. මාස හයක කාලයක් යුක්රේනයේ සටන් කිරීමේ කොන්දේසි අනුව ඔවුහු කුලී හමුදාවට එක් වූහ. මේ සිරකරුවන් අතරින් බහුතරය ස්ත්‍රී දූෂණ, ඝාතන, මංකොල්ලකෑම් චෝදනා යටතේ සිරදඬුවම් ලබමින් සිටියහ.
පුටින්ගේ අරක්කැමියා..
යෙව්ජෙනි ප්‍රිගෝශින් ද සෝවියට් යුගයේදී අපරාධකරුවෙකු වශයෙන් සිරදඬුවම් ලැබූවෙකි. සිරෙන් නිදහස් වන ඔහු "හොට් ඩෝග්" වෙළඳාමට එක්විය. ඉන් පසුව ඔහු අවන්හලක සේවයට එක් වන අතර කාලකට පසුව අවන්හල් අයිතිකරුවෙකු බවට පත්වෙයි. ඉන් පසුව ඔහු සමාජ ඉනිමගේ ඉහළ යෑමට පටන් ගත්තේ ය. ජනාධිපති පුටීන් නගරාධිපති කාලයේ දැන හඳුනාගන්නා ඔහු පසු කලෙක පුටීන්ගේ සමීපතම හිතවතෙකු බවට පත්වෙයි. මේ සම්බන්ධතා හරහා රජයේ ආයතනයන්ට, හමුදාවට ආහාරපාන සැපයීමේ කොන්ත්‍රාත් ලබාගත් ප්‍රිගෝශින් ධනවත් ව්‍යාපාරිකයෙකු බවට පත්වෙයි. ඔහුව "පුටින්ගේ අරක්කැමියා" (Putin’s chef) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ එබැවිනි.
රුසියානු හමුදාව යුක්රේන දරුවන් 136 ක් ඝාතනය කරයි…
රුසියානු හමුදාව යුධ අපරාධයන් සම්බන්ධයෙන් කුප්‍රකටය. ස්ත්‍රී දූෂණ, සාමාන්‍ය පුරවැසියන් ඝාතන කිරීම, යුධ සිරකරුවන්ට අමානුෂිකව සැළකීම සහ ඔවුන් ඝාතනය කිරීම, දරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියෙන්ම සිටියි. විශේෂයෙන් යුද්ධයේදී සිවිල්වැසියන් ඉලක්ක කර ගනිමින් රෝහල්, පාසැල්, නිවාස සංකීර්ණවලට මිසයිල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වන යුධ අපරාධයන්ට රුසියානු හමුදාව දෙවන ලෝක යුද්ධයේ සිට චිරප්‍රසිද්ධ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තොනියෝ ගුතාරෙස් පසුගිය සතියේ ආරක්ෂක මණ්ඩලයට යොමු කළ වාර්තාවක් මගින්, රුසියානු ප්‍රහාර හේතුවෙන් වසර 2022දී යුක්රේන දරුවන් 136 දෙනෙකු ඝාතනය වී ඇති අතර තවත් 518 දෙනෙකු අංගවිකල වී ඇති බව පෙන්වා දෙයි. පාසැල් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර 480 කි. දරුවන් 51 දෙනෙකු මානුෂික පලිහන් වශයෙන් යොදාගෙන තිබෙන බව එම වාර්තාවේ දැක්වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියානු හමුදාව "දරුවන් ඝාතනය කරන නින්දා සහගත හමුදා ලැයිස්තුවට" එක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ නවතම "Children and armed conflict" වාර්තාවට මෙතැනින් පිවිසිය හැකිය
සිරියාවේ අසාද් ආරක්ෂා කිරීමට රුසියන් සහ Wagner හමුදා එකට සටනේ..
රුසියානු ඒකාධිපති නායක ව්ලැදිමීර් පුටීන් Wagner කුලී හමුදාව යොදා ගත්තේ රුසියානු හමුදාව සාමාන්‍යයෙන් සිදුකරන යුධ අපරාධවලට වඩා විශාල ම්ලේච්ඡ විනාශ කිරීමට ය. එමෙන්ම භූ දේශපාලනයේ රුසියානු අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙනි. මේ කුලී හමුදාව රුසියානු හමුදා සමඟ එකට කටයුතු කරන නමුත් රුසියාව ඔවුන් පිළිබඳ වගකීම ගැනීම ප්‍රතික්ෂේප කරයි. Wagner කුලී හමුදාව සහ රුසියානු හමුදාව සිරියාවේ අසාඩ් වෙනුවෙන් සහ අසාඩ්ගේ තෙල් නිධි ආරක්ෂා කිරීම සඳහා එක්ව සටන් කරති. සිරියාවට අමතරව, මාලි, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව (CAR), ලිබියාව, ඇතුළු රටවල් ගණනාවක රුසියානු අවශ්‍යතාවය වෙනුවෙන් Wagner කුලී හමුදාව ක්‍රියාත්මක වෙයි.
ලිබියාවේ සිවිල් ගැටුමේදී Wagner කුලී හමුදාව ජෙනරාල් කලීෆා හෆ්තාර්ට පක්ෂපාතී හමුදාවන්ට සහාය දක්වයි. එහිදී රුසියාව ප්‍රහාරක ගුවන් යානා සහ සන්නද්ධ වාහන ඇතුළු හමුදා උපකරණ යවා ඇති අතර කුලී හමුදාව රුසියාව වෙනුවෙන් භූමියේ සටන් කරයි.
Wagner කුලී හමුදාවට සිවිල් වැසියන් ඝාතන චෝදනා…
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (CAR) සිවිල් යුද්ධයට Wagner කුලී හමුදාව සම්බන්ධ වූ අතර එහිදී සිවිල් වැසියන් ඝාතනය කිරීම, එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට ප්‍රහාර එල්ල කිරීම සහ මුස්ලිම් ප්‍රජාවන් ඉලක්ක කර ගැනීම සම්බන්ධයෙන් එම කණ්ඩායමට චෝදනා එල්ල විය. ඒ පිළිබඳව චෝදනා ජාත්‍යන්තර Human Rights Watch ආයතනය නිකුත් කළ වාර්තාවකද අන්තර් ගතවෙයි. මේ වන විට එම කණ්ඩායම මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රන් ආකර සිය පාලනයට ගෙන තිබේ.
සුඩානයේ රුසියානු රන් ජාවාරම ජයට..
සුඩානයේ වර්තමාන සිවිල් යුද්ධයට Wagner කණ්ඩායම සෘජුවම සම්බන්ධය. ඔවුහු RSF අතුරු හමුදාවට ආයුධ සහ පිරිස් බලය සපයන බවට චෝදනා එල්ල වෙයි. සුඩානයේ රන් ආකර පාලනය කරන RSF අතුරු හමුදාවේ නායක ජෙනරාල් මොහොමඩ් හම්දාන් ඩගාලෝ සමඟ රුසියාව සමීප සම්බන්ධයක් පවත්වයි. ඔහු සමඟ එක්ව රුසියාව රන් ජාවාරමක් සිදු කරන බව මාධ්‍ය වාර්තා කරයි. සුඩානයේ අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා එම රන් තොග හොර රහසේ රුසියාවට ගෙන යයි. රුසියාව වෙනුවෙන් මේ මෙහෙයුම නියෝජනය කරන්නේ Wagner කුලී හමුදාවයි.
අප්‍රිකාවේ රටවල් අස්ථාවර කර, දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ එම රටවල ජනතාවගේ ස්වභාවික සම්පත් කොල්ලකෑමට එරෙහිව Wagner කුලී හමුදාවට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි මාසයේදී තීරණය කළේ ය.
රුසියාවේ කෙලින් කථා කරන අංක එකේ වැඩකාරයා..
මේ විදේශ මෙහෙයුම් හරහා Wagner Group කුලී හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගෝශින්ට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායමක් ලැබෙන බව වාර්තාවෙයි. ඔහු අද රුසියාවේ අංක එකේ ධනවතෙකි. යුක්රේනයේ සටන් මෙහෙයවමින් ලැබූ ජයග්‍රහණ හේතුවෙන් ඔහු රුසියාවේ ඉතා ජනප්‍රිය චරිතයක් බවට පරිවර්තනය විය. විශේෂයෙන් පුටීන්ගේ රුසියානු ජාතිකවාදී, වර්ගවාදී ආධාරකරුවන් අතර වීරයෙකි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය යුක්රේනයේ සිය පරාජයන් වසන් කරමින් පාලිත ජනමාධ්‍ය මගින් පච කෙලින විට ප්‍රිගෝශින් යුක්රේන යුධ භූමියේ සැබෑ තත්ත්වය ජනතාව හමුවේ තැබුවේය. රුසියානු ජනතාව ඔහුව සළකන්නේ කෙලින් කථා කරන "වැඩකාරයෙකු" වශයෙනි.
ප්‍රිගෝශින් වෙනුවෙන් රුසියාවේ නගර පුරා ප්‍රීතිඝෝෂා …
ඔහුගේ පැය විසිහතරේ කැරැල්ලට රුසියානු ජනතාව විරෝධය දැක්වූයේ නැත. ඒ වෙනුවට රුසියාවේ නගර ගණනාවක ජනතාව වීදි බැස "Wanger" යැයි කියමින් ප්‍රීති ඝෝෂා නඟන අයුරු දැක්වෙන වීඩියෝ අන්තර් ජාලයේ සංසරණය වෙයි. ප්‍රිගෝශින්ගේ පැය විසිහතරේ කැරැල්ලේ දී ඔහු රොස්තොව්හි පිහිටි රුසියාවේ දකුණු හමුදා දිස්ත්‍රික්කයේ මූලස්ථානය එක වෙඩි උණ්ඩයක් පත්තු කිරීමෙන් තොරව අත්පත් කර ගත්තේ ය. ඔහු එතැන සිට සිය හමුදා මොස්කව් නුවර වෙත මෙහෙයවීය.
පුටීන් "කටින් පුටීන්" දක්වා පසුබැසීම…
ප්‍රිගෝශින්ගේ කැරැල්ලෙන් පුටීන් මෙන්ම ඔහුගේ ආණ්ඩුව ත්‍රාසයෙන් තැති ගත්තේ ය. මොස්කව් නගරය ආරක්ෂා කර ගැනීමට උපරිම පියවර ගත්තේ ය. කැරැල්ල ආරම්භවී පැය ගණනාවක් යන තුරු ප්‍රකාශයක් පවා නිකුත් නොකළ ජනාධිපති පුටීන් අවසානයේ රුසියානු ජනතා අමතමින් කියා සිටියේ ප්‍රිගෝශින් ද්‍රෝහියෙකු බවත් ඔහුව අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් ලබා දෙන බවයි. එහෙත් ඔහුගේ ප්‍රකාශයෙන් පැය හයක් යෑමට පෙර පුටින් "කටින් පුටින්" බවට පත් විය.
ප්‍රිගෝශින්ට එරෙහි චෝදනා පත්‍ර ඉවත් කර ගැනීමටත්, ඔහුව මෙන්ම ඔහුගේ Wagner කුලී හමුදා භටයන් අත්අඩංගුවට නොගැනීමටත් පුටීන් එකඟ වූයේ ය. ප්‍රිගෝශින්ට බෙලරුසියාවට යෑමට අවස්ථාවක් ලබාදීමටත් ජනාධිපති පුටීන් එකඟ වූයේ ඔහුගේ රූකඩයක් වශයෙන් සැළකෙන බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ දෙපාර්ශවය ඇති කරගත් එකඟතාවයක් අනුවය.
පුටීන්ගේ අයෝමය ප්‍රතිරූපය බිඳ වැටෙයි….
යෙව්ජෙනි ප්‍රිගෝශින්ගේ කැරැල්ල පරාජයවීම යනු කාලය පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ ඇති වූ එකඟතාවය ඔහුගේ යම් ජයග්‍රහණයකි. මේ එකඟතාවය ජනාධිපති පුටීන්ගේ පරාජයක් මෙන්ම ඔහු අද පත්වී සිටින අස්ථාවර, දුර්වල තත්ත්වය ප්‍රදර්ශනය කරයි. පුටීන් ප්‍රසිද්ධව සිටියේ දැඩි, ශක්තිමත් අභියෝග කළ නොහැකි "අයෝමය" නායකයෙකු ලෙසිනි. රටේ දේශපාලන ස්ථාවරභාවය දැඩිව පවත්වා ගෙන යන නායකයෙකු වශයෙනි. එහෙත් ප්‍රිගෝශින්ගේ කැරැල්ල හරහා ඒ ප්‍රතිරූපය බිඳ වැටුණේ ය. රුසියානු හමුදාවේ දුර්වල ස්වරූපය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් අතර තිබෙන බෙලි කපා ගැනීමේ තරඟය මේ හරහා ලෝකයට ප්‍රදර්ශන විය. ඉදිරියේ ඕනෑම මෙහොතක තවත් ප්‍රිගෝශින්ලාට පුටීන්ගේ පාලනයට අභියෝග කළ හැකිය යන අනතුර පුටීන් ඉදිරියේ දැන් පවතියි.
බටහිර විරෝධී කඳවුරේ නායකත්වය චීනයට ද?
මේ කැරැල්ල හරහා පුටීන්ගේ මෙන්ම රුසියාවේ සැබෑ ස්වරූපය ද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ නිරාවරණය විය. පුටීන් තවදුරටත් දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේ ශක්තිමත් නායකයෙකු නොවෙයි. දැන් රුසියාව සිටින්නේ විසුළුකාරී තැනකය. ඒ අනුව බොහෝ විට බටහිර විරෝධී කඳවුරේ නායකත්වය චීනයට පැවරෙනු ඇත. පසුගිය කාලය පුරා රුසියාවේ ආරක්ෂාව බලාපොරොත්තුවෙන් ඔවුන් පසුපස සිටි රටවල් තවදුරටත් රුසියාව පිළිබඳ විශ්වාස නොකිරීමට වැඩි ඉඩක් තිබේ.
ප්‍රිගෝශින් නොමැති යුක්රේන සටන..
මේ කැරැල්ල යුක්රේන යුධ පෙරමුණේ රුසියානු මැදිහත්වීමට ද දැඩි බලපෑමක් ඇති කරනු ඇත. පසුගිය මාස දහසයක කාලය තුළ පුටීන්ට සහ රුසියාවට යම් ජයග්‍රහණයක් ලබාදුන්නේ යෙව්ජෙනි ප්‍රිගෝශින් සහ ඔහුගේ Wagner කුලී හමුදාවයි. එහෙත් අද එම ජයග්‍රාහී සාධකය තවදුරටත් නැත. Wagner කුලී හමුදාව රුසියානු හමුදාවට අනුයුක්ත කිරීමට දැන් පුටීන් තීරණය කර තිබේ. ප්‍රිගෝශින් සහ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අතර ගැටුමට මූලික හේතුවක් වූයේ මේ අනුයුක්ත කිරීමේ යෝජනාවයි. මේ අනුයුක්ත කිරීමෙන් පසුව කුලී භටයන් සිය සුපුරුදු "දක්ෂතා" දක්වනු ඇතැයි සිතිය නොහැකි වන්නේ දෙපාර්ශවය අතර පවතින දීර්ඝ කාලීන ගැටුම් හේතු වෙනි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණ විසින් යුධ අපරාධකරුවෙකු වශයෙන් නම් කර සිටින රුසියානු ජනාධිපති පුටීන් සහ ඒ මාදිලියේම මැරයෙකු, ඝාතකයෙකු වශයෙන් ප්‍රකට යෙව්ජෙනි ප්‍රිගෝශින් අතර අපට වෙනසක් නැත. ප්‍රිගෝශින් වැනි යක්ෂයන් මුදාහැරීම පහසුය. එහෙත් යළි කැඳවීම ඉතා දුෂ්කරය. රුසියාව සහ පුටීන් අද මුහුණ දෙන්නේ එම යථාර්ථයටය.
-ආනුභාවනන්ද
anubhawananda1@gmail.com
https://www.lankaenews.com/category/33

No comments:
Post a Comment