Tuesday, 27 June 2023

දවස් පහක් බැංකු වසාදමා ආණ්ඩුව කරන්න යන හදිය මොකක්ද දන්නවා ද..?

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.27, ප.ව.8.15) ආණ්ඩුව හැංගී හැංගි වෙස් බැඳ කෙසේ හෝ ලබන සතියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉදිරිපත් කිරීමත් සමග එලියේ නැටීමට සූදානම් වෙයි. ඒ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පෙරෙයිදා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ කළේය. ඔහුගේ මුහුණේ ඉරියව් තුල අපි වෙනදා දකින Relaxed නන්දලාල් දැක්කේ නැත . ඒත් සමගම දැනට ප්‍රසිද්ධ කළ නොහැකි රහස් කිහිපයක් තිබෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, ඔහුගේ අංග ලක්ෂණ අනුව පෙනී ගියේ ජනාධිපති වරයා අඹරන්නට යන ගුලියේ සම්පූර්ණ බර ඔහු පිට පෙරලීමේ අවධානම මේ වන විටත් ඔහුට දැනී ඇති බවකි.

දින පහක් බැංකු වසා දමා මූල්‍ය වෙළෙඳපොළ නිහඬ කොට ජනාධිපති වරයා විසින් නටන්නට යන නාඩගම සුළු පටු එකක් නොවේ. පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට දැන් පිටිය සූදානම් ය. මෙය සිදුවන බව නොයෙකුත් අවස්ථාවල මීට පෙර අප අනතුරු හැඟවීම් කළේ ය. එහෙත් සමහරුන් එය විශ්වාස නොකළේය. කෙසේ හෝ ලබන සතිය වන විට එහි සැබෑ තොරතුරු හෙළිදරව් වනු ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යොදා ගෙන තිබෙන වචනය ණය ප්‍රශස්තකරණය හෙවත් Debt Optimization ය. ලෝකයේ ණය කපා හැරීමකට මෙවැනි වචනයක් යොදා ගත් පළමු රට ලංකාවයි. කුමන වචනය යොදා ගත්ත ද, ඔබ අවබෝධ කරගත යුත්තේ අවසාන විග්‍රහයේදි සිදුවන්නේ ණය කපා හැරීමක් බවය. එය කිසිවෙකුට ප්‍රතිකේෂ්ප කළ නොහැකිය. එය කරන්නාවූ ක්‍රමයේ යම් වෙනසක් තිබිය හැක. කෙසේ කළත් එහි බලපෑම (Cost) කවුරුන් හෝ විසින් දැරිය යුතුය.

දේශීය බැංකු, මූල්‍ය ආයතන සහ සේවක අර්ථසාධක අරමුදල හා වෙනත් අරමුදල්  ප්‍රධාන වශයෙන්ම ආයෝජනය කොට තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වලය. රජය බලාපොරොත්තු වන්නේ මුලින්ම මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජයට යොදා ගත හැකි ප්‍රධාන සහ බහුලව යොදා ගන්නා  උපකරණ තුනකි. ඉන් එකක් හෝ කිහිපයක් යොදා ගැනීමට ඔවුන්ට සිදුවනු ඇත.

1. මූනත අගය කපා හැරීම (Haircut)

ඔබ වසර දෙකකින් එනම් 2025 ජූලි 01 වන දිනට කල්පිරෙන වාර්ෂික පොලිය (Yield) 20% ක් සහිත රුපියල් 100 ක මූනත අගයක බැඳුම්කරයක් මිල දී ගෙන ඇතයි උපකල්පනය කරන්න. බැඳුම්කර සඳහා පොලිය මාස 06 කට වරක් ලැබෙන අතර මෙහිදී ඔබට රුපියල් 10 බැගින් වාරික හතරක් සහිතව කල්පිරීමේදි රුපියල් 140 ක ආදායමක් ලැබෙනු ඇත.

එහෙත්, යෝජිත ප්‍රශස්තකරණයේදි 50% ක් කපා හැරීමට තීරණය කර ඇතැයි සිතන්න. එසේනම්  ඔබට කල්පිරීමේදි හිමිවන පොලිය සහ මූනත අගය 50% කින් අඩුවී ඔබට ලැබෙන්නේ රුපියල් 70/- ක් පමණි. (පොලිය රුපියල් 5 බැගින් වාරික 4=20/- සහ + මූනත අගයෙන් 50% = 70/-)

සේවක අර්ථසාධක අරමුදලේ සම්පූර්ණ වත්කම 2022 දෙසැම්බර් 30 වන දින ට රුපියල් බිලියන 3,459.90 කි. ඉන් රජයේ සුරැකුම් පත් ආයෝජන වටිනාකම රුපියල් බිලියන 3,380.60 කි. එය 96% කට ආසන්නය. (Source: CBSL Annual Report) මේ අනුව ඉතිරි ශේෂය හැටියට රුපියල් බිලියන 79 කි. මේ අනුව මූනත අගය 2% ට වඩා කපාහැරිය නොහැක. එසේ කළ ද එම ප්‍රමාණය රුපියල් බිලියන 64 ක් වනු ඇත. එසේනම් Haircut අනුගමනය කළ හොත් අර්ථසාධක අරමුදලට විය හැකි දේ අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත් , විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙම ක්‍රමය යොදා ගැනීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විටත් රජයට උපදෙස් දී ඇත. ඒ අනුව ලංකාවේ රජය විදේශීය ණය හිමියන් සමග සාකච්ඡා කොට ඒ ඒ වර්ෂ වලදී  කපා හැරීමකට එකඟ කරවා ගත යුතු ප්‍රමාණයන් (2027 දක්වා) (Debt Relief) IMF වාර්තාවේ සඳහන් කොට ඇත.

2. පොලියෙන් (Yield) කොටසක් කපාහැරීම (Coupon Clipping)

මෙහිදී සිදුවන්නේ මුහුණත අගය එසේම තබාගනිමින් පොලිය පමණක් කපා හැරීමයි. එසේනම් පලමු උපකල්පනය ගත හොත් වර්ෂ දෙක අවසානයේ බැදුම්කරය කල්පිරීමේදි ඔබට ලැබෙන ආදායම පොලිය (Yield ) සමග එකතුව රුපියල් 120/- කි. මින් සිදුවන්නේ ද එක්තරා ආකාරයක ණය කපා හැරීමකි.

මෙහිදී බැංකු, අර්ථසාධක අරමුදල සහ වෙනත් අරමුදල් සහ මූල්‍ය ආයතන වල ශේෂ පත්‍ර වලට යම් සැලකිය යුතු බලපෑමක් වනු ඇත. බැංකු ඔවුන්ගේ අනාගත ආදායම් වියදම් පුරෝකථන වල වෙනස් කිරීම් කරගත යුතුය.

3. කල්පිරීමේ දින කල් දැමීම (Maturity Extension)

මෙහිදී සිදුවන්නේ කල්පිරීමේ කාලය දීර්ඝ කරගැනීමයි. පළමු උපකල්පනය අනුව 2025 ජුලි 01 වන දිනට කල්පිරීමට නියමිත බැඳුම්කරය 2030 දක්වා තවත් වසර පහකින් කල්දැමූවේ යැයි සිතමු. එවිට සම්පූර්ණ කාලය වසර 07 ක් වන අතර මූනත අගය එලෙසින්ම තබා ගනිමින් සෑම වසරකම පොලිය (Yield ) මාස 06 න් 06 ට ගෙවිය යුතුය. මෙහිදී රජයේ ණය බර එලෙසම පවතින අතර කවදා  හෝ කල්පිරීමේදි  මූනත අගය සම්පූර්ණයෙන් ගෙවිය යුතුය.

පෙර අයුරින්ම මෙමගින්ද ආයෝකයන්ට යම් බලපෑමක් සිදුවනු ඇත. එය haircut හෝ coupon clipping  එකක් තරම්ම නොවුනත් රටේ අයවැය පරතරයට මෙය බලපෑම් ඇති කරයි.

දැනට රජයට මේ ක්‍රමවේද තුනෙන් එකක් හෝ කිහිපයක් හෝ ඒවායේ සම්මිශ්‍රණයක් භාවිතා කළ හැකි අතර කුමන යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ද යන්න ලබන සිකුරාදා හෝ සෙනසුරාදා දැන ගැනීමට හැකි වනු ඇත. එහෙත් අවබෝධ කරගත යුත්තේ එක් දෙයකි. මේ කුමන යාන්ත්‍රනය ක්‍රියාත්මක කළ ද රජය ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ ණය ලබා ගෙන රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට නම් තවත් වසර 05 කින් නැවත වරක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යෑම නොවැළැක්විය හැකි බවය.

රජය මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදයන් හේතුවෙන් රටේ ආර්ථිකය හැකිලී , දුප්පතුන් බෝ වී ආර්ථිකය බිමටම වැටී ඇත. එය නැවත පණ ගැන්වීම නම් එතරම් පහසු නොවනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙළ තුලින් පමණක් ගොඩ ගිය රටවල් ලෝකයේ නැත. මෙවන් අවස්ථාවල Trial and Error උපක්‍රම හරියන්නේ නැත. එහෙත් රටේ පාලකයන්ට මෙන්ම ඔවුන්ට එහෙයි කියන නිළධාරී පැලැන්තියට මෙය අවබෝධ නොවන තාක් කල් ලංකාව ගමන් කරන්නේ විනාශය දිශාවට ය. එය රටේ අහිංසක ජනයාගේ  අභාග්‍යකි.

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment