Wednesday, 28 June 2023

වානර කටයුතු ඇමැතිකාරයාගේ රිලව් විකුණංකෑමේ ව්‍යාපෘතිය කොට උඩ..!

-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.28, ප.ව.4.30) ශ්‍රී ලංකාවේ “ටෝක් මැකාක්” වඳුරන් (රිලව්) ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගත් තීරණය නතර කරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

වන ජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මේ බව අනාවරණය කළේ, ටෝක් මැකාක් වඳුරන් අල්ලා චීනයට අපනයනය කිරීමේ යෝජනාවට එරෙහි රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දීය.

සත්ව හිමිකම් සංවිධාන සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණයට දන්වා සිටියේ, බලධාරීන්ගේ මෙම යහපත් ප්‍රතිචාරය පිළිබඳව තමන් සතුටු වන බවයි. 

“මේක අහන්නට ලැබුණු එක ගැන මට සතුටුයි, එහෙම නොවුණා නම් මේ වඳුරන් නතර වෙන්නේ චීන රෙස්ටොරන්ට්වලයි,” ජයවර්ධන පැවසීය.

මේ අතර, එම තීරණය ලිඛිතව දැනුම් දෙන ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන බලධාරීන්ට දන්වා සිටියේය. ඒ අනුව නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම ජූලි මස 7 වැනි දාට කල් තැබුණි.

ශ්‍රී ලංකාවට ආවේණික ටෝක් මැකාක් වඳුරන් (රිලව්) ලක්ෂයක් චීන සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා චීනයට අපනයනය කරන ලෙස චීනාණ්ඩුව කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාණ්ඩුව සලකා බලන බව මහින්ද අමරවීර අමාත්‍යකාරයා පසු ගිය දා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකාවට ආවේණික එම වඳුරන් ලක්ෂ ගණනින් චීනයට අපනයනය කිරීමට අමාත්‍යකාරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කළේ, ශ්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය, සත්ව අයිතීන් සහ පරිසරය සඳහා පෙරමුණ, සතුන් සඳහා යුක්තිය, ශ්‍රී ලංකා සතුන් මුදා ගැනීම, සත්ව සුභසාධනය යනාදී සංවිධාන සහ සත්ව සුභසාධනය වෙනුවෙන් පෙනී සිටින ඔටාරා ගුණවර්ධන, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි, රුක්ෂාන් අමල් ජයවර්ධන, සොනාලි ප්‍රනාන්දු, ඉරෝමි අහිල්‍යා සල්ගාදු, දුමින්ද්‍ර රජිත් රත්නායක, ශාරධා මනෝරමා ද සේරම්, ස්ටෙෆානි වේග් අළුවිහාරේ, පුෂ්පදේව ධර්මවර්ධන, රන්දික ප්‍රබෝධ ප්‍රනාන්දු, ක්‍රිස්ටීන් බියන්කා ශිවන්ති පෙරේරා, තාරා දිල්රුක්ෂි වික්‍රමනායක, බන්දුල පත්මසිරි පනාපිටිය, රුෂිකා නදියා ද ලැනරෝල්, ජයමහ මුදලිගේ දොන් අයිරාංගනී, විජේනායක පතිරණගේ විපුලසේන, තන්තිරිගේ පසිදු නිරෝෂ්, විමුක්ති බුද්ධික, හිරුණි මලීෂා ගුණවර්ධන, ඉරාකි ලංකිකා කොඩිතුවක්කු, ශාන්ති වික්‍රමනායක, චාන්දනී පෙරේරා, ශාෂි උදේනි පෙරේරා, උමංගා හයිසින්ත්, මනෝජා ජයස්විනී වීරක්කොඩි, සහ එම්. එස්. චන්ද්‍රබෝස් යන අය විසිනි.

- 2023 ජුනි 26 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Lakmal Sooriyagoda ලියූ, “Decision on monkey exports to China will be halted - AG” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment