සමරිසියාගේ වත්තේ බෙලි ගහ දරුවන්ට තහනම් කළත් ඔහුව අගමැති කළ අපේ ඇත්තෝ සහ අද අපේ සංස්කෘතිය 'මොඩ්' කරන්නට තටමන පුස්සෝ..!
-'සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය' ගැන විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලියූ ලිපි මාලාවේ අවසන් කොටස
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.25, ප.ව.9.45) රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්. කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය කථා කිහිපයක් මෙහි ගෙනහැර දක්වමි.
ගෑනු සෝමේ..
මෙය බලපිටිය ප්‍රදේශයේ ගමක හැදුණු වැඩුණු මා මිත්‍ර විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පවසන ලද කරුණකි. ඔහුගේ ගමෙහි සෝමපාල නම් දුගියෙකු වාසය කළේය. ඔහුගේ රැකියාව පොල් කැඩීම විය. අනෙක් ගැමියන් විසින් මොහු “ගෑනු සෝමේ“ යැයි හැඳින්වූයේ ඔහු ඇන්දේ ගැහැණු ඇඳුම් නිසාය. ගම්වල බොහෝ දෙනාගේ නම්වලට ඉදිරියන් විශේෂණ පද (උදා; චන්ඩි ගුණේ, අත කොට සෝමේ, සොත්ති සිමන්) භාවිතාවන නිසා මේ නමෙහි ද අමුත්තක් නොවීය. මේ නම හැරුණු කොට අන් කිසිම ආකාරයේ වෙනස් බවකින් මේ පුද්ගලයාට සැලකීම හෝ ඔහුට විහිළු කිරීම, ගැමියන් විසින් නොකරන ලදී. පොහොය දිනයේදී මොහු බණ ඇසුවේ කාන්තවන් අතර වාඩි වීගෙනය. මෙය බණ කියූ ස්වාමීන් වහන්සේට ද ප්‍රශ්නයක් නොවීය. ගෑනු සෝමේ පැහැදිලිවම තමන්ට උපතින් ලැබුණු ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකයෙකු ලෙස හැසිරෙන්නෙක් වීම (Transvestite), ඒ ගමේ කිසිවෙකුට ගැටලුවක් නොවීය.
අතපය කඩාගත් සම ලිංගිකයා..
මෙයද මගේ මිතුරෙකුගේ අත්දැකීමකි. ලංකාවේ ගමක ඉපදී දැනට එංගලන්තයේ වාසය කරන මොහු වසරකට දෙකකට වරක් ලංකාවේ තම ගමට පැමිණෙන්නේ ය. මොහුට සමරිසි චර්යාවන් ඇති මැදිවියට පැමිණි ඥාතියෙක් විය. මේ බව මුළු ගමම දැන සිටි අතර ඔහු ජීවත්වුයේද තවත් සමරිසියෙකු සමඟ වෙනමම නිවසකය. වරක් ලංකාවට පැමිණි මගේ මිතුරා දුටුවේ දැහැමින් සෙමින් තම සමරිසි මිතුරා සමඟ ජීවත්වූ මොහුට, ගැමියන් පහරදී “කකුලක් කඩා“ ඇති බවය. “තමන්ගේ පාඩුවේ“ ජීවත්වූ මේ පුද්ගලයාට පහරදීම හෙළාදුටු මගේ මිතුරාට ගැමියන් පැවසුවේ අමුතුම කතාවකි. “එයාගෙ හැටි අපි හැමෝම දන්නවනේ. එහෙම හිටියට කමක් නෑ. පස්සේ මූ පටන් ගත්තනේ ඉස්කෝලේ යන කොල්ලොත් ගෙදරට ගෙන්න ගන්න. පොලීසියට කියලා වැඩක් නැති නිසා අපි ප්‍රශ්නය විසඳ ගත්තා.“ ගැමියන්ගේ සමලිංගික චර්යාවන් නිහඬව ඉවසීමත්, ළමා අපචාරවලට ප්‍රචණ්ඩව ප්‍රතික්‍රියා කිරීමත් පිළිබඳව මෙයට වඩා තවත් උදාහරණයක් නොමැත.
සුබ දසුන..
මා ජීවත් වන්නේ කොළඹ නගර සීමාව තුල වුවත්, මා ජීවත් වන ප්‍රදේශයෙහි ග්‍රාමීය ලක්ෂණ රැසක් ඇත. ධනකුවේරයන් ගේ සිට අන්ත දුගියන් දක්වා වෙසෙන මෙහි, එදිනෙදා අවශ්‍යතාවයන් සපුරණ කඩ මන්ඩියක්ද ඇත. ඉඩම් මිල ඉහල ගියවිට බොහෝ මුල් ගම්වැසියන් තම මුල් ඉඩම් විකුණා පිටතට ගියත්, තවමත් මේ ප්‍රදේශයට හිමිකම් කියන මුල්ගම්කරුවන් පිරිසක්ද වාසය කරති. කොළඹ අන් පෙදෙස් මෙන් නොව මේ ප්‍රදේශයහි වෙසෙන බොහෝ දෙනා එකිනෙකා හඳුනයි.
මෙයට වසර කිහිපයකට පෙර මෙහි ඉහල මධ්‍යම පංතික නිවසක් කුලියට ගෙන ගැහැණුන් මෙන් අඳින, හැසිරෙන පිරිමින් පිරිසක් පැමිණියෝ ය. මොවුන් සමරිසියන්ද නැත්ද යන්න මම නොදනිමි. මොවුන් දිනපතා ප්‍රදේශයෙහි හැසිරුණු අතර මෙහි ඇති කඩ මන්ඩියෙන් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම, ආහාර ගැනීම සිදුකළ අතර මේ පිරිස ගැන මේ ප්‍රදේශයේ වැසියන් කිසිම අමනාපයක් නොවීය. මේ අය ගැන කඩ හිමියන් පැවසුවේ ඔවුන් කිසිම කරදරයක් නොමැති පිරිසක් බවයි. මේ කරුණ ගැන වැඩිදුර "පර්යේෂණය" කළ එක් කඩ හිමියක් මට පැවසුවේ මොවුන් දැකීම "නිමිති ශාස්ත්‍රය" අනුව සුබ දසුනක් බවත් මොවුන් පැමිණි පසු තම වෙළඳසැලේ වෙළඳාම වැඩිවූ බවත්ය. ඔහු පැවසූ කරුණ සත්‍යයකි. පැරණි නිමිති ශාස්ත්‍ර පොත්වල "නපුංසකයන්" නම් පොදු නමකින් හැඳින්වුණු මොවුන් දැකීම සුබ දසුනක් සේ සඳහන්ව ඇත.
සිංහල බසෙහි 'නපුංසක' වචනය යෙදෙනේනේ අවඥා සහගත ලෙස නොවේ. සිංහල ව්‍යාකරණ රීති වලට අනුව නාම පද පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග හා නපුංසක ලිංග ලෙස උගන්වන්නේ එය අන් ලිංගයකට වඩා පහත් වචනයක් ලෙස නොවේ. රෝගියා, දුගියා වැනි නාම පද ද අයිතිවන්නේ නපුංසක ලිංග ගණයට ය.
නිමිති පොත්වල නපුංසකයන් ලෙස හැඳින්වෙන මේ පිරිස අප පෙදෙසට පැමිණ මාස කිහිපයක් ගතවිය. ඉන්පසුව මොවුන් හා පෙදෙස් වැසියන් අතර තිබු සාමකාමී සහජීවනය මුළුමනින්ම බිඳවැටුණි. ඒ, අඳුර වැටුණු පසුව මේ පුද්ගලයන් මහාමාර්ගය අසලට විත් සිටගෙන සිටීමටත්, වාහන වලින් පැමිණෙන පුද්ගලයන් ඔවුන් සමඟ ගණුදෙනු කථාකොට වාහන වලට නංවා රැගෙන යාමටත් ඇරඹීම නිසාය. ප්‍රදේශයම නොසන්සුන් විය. කඩ හිමියන් මොවුන්ට භාණ්ඩ අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළේය. "දැන් ඉතින් ළමයෙක් වත් හදාගන්න බෑ. කරන දෙයක් රටට ලෝකෙට පෙන්නේ නැතිවෙන්න කරන්න ඕනේ නේ" යන්න ප්‍රදේශයේ වැඩිහිටියන්ගේ පොදු මැසිවිල්ල විය. අවසානයේදී, ප්‍රදේශයේ "පුරෝගාමී පුරවැසියන්" කිහිපදෙනෙකු මොවුන්ට ප්‍රසිද්ධයේ "ලුණු ඇඹුල්" ඇතිව බැණ වැදුණු පසුව, මොවුහු ප්‍රදේශය හැර ගියෝය. මෙම සිදුවීම් අප සමාජය තුල සමරිසි චර්යාවන් හා විරුද්ධ ලිංගිකයෙකු සේ හැසිරීම ඉවසීමත්, ප්‍රසිද්ධයේ ගණිකා වෘත්තියේ නියැලීම නොඉවසීමත් පිළිබඳව පැහැදිලි උදාහරණයකි.
තහනම් බෙලි ගහ..
මා ඉපදුණු දකුණු ලකේ නගරයේ, මාස තුනක් හැරුණු කොට දශක තුනක් පුරා මහජන නියෝජිතයාව සිටි ප්‍රසිද්ධ සමරිසියෙකි. සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබු මොහු ව්‍යවස්ථාදායකයේ ඉහලම පදවිය ද හෙබවිය. ඔහු නියෝජනය කළ ආසනයේ සියලු දෙනාම පාහේ ඔහුගේ මේ හැසිරීම දැන සිටි නමුදු එය කිසිවෙකුට ප්‍රශ්නයක් නොවීය. ඔහු ව්‍යවස්ථාදායකයට පැමිණි යුගයේ බටහිර රටවල නම්, සමරිසි චර්යාවන් ඇති අය සමාජය විසින් පිළිකුල් කළ පිරිසක් විය.
මොහුගේ නිවසේ බෙලි ගසක් තිබිණි. සවස් වරුවේ තම ගේට්ටුව ඉදිරිපිටට පැමිණෙන මේ මැතිතුමා තම වත්තේ ඇති බෙලි ගසේ බෙලි ඇහිඳීමට ඔහු පාසල් සිසුවන්ට ඇරැයුම් කරන බව ඒ නගරයේ ප්‍රසිද්ධ රහසක් විය. ප්‍රියමනාප හැසිරීමකින් යුතු ඔහු ඇතැම් විට එසේ කළේ දරුවන්ට ඇති ඇල්ම නිසා විය හැක. එසේ වුවත් ඔහුගේ නිවස ඉදිරිපිටින් යනවිට සීයා බෙලි කෑමට ආරාධනා කළහොත්, කිසිවිටෙක නිවස තුලට නොයන ලෙස දෙමවුපියන් තම දරුවන්ට අනතුරු හඟවා තිබුණි. තම දරුවන්ට සීයා දෙන බෙලි නොකෑමට අවවාද කළ දෙමවුපියෝ, සෑම ඡන්දයකදීම ඔහු පාර්ලිමේන්තුවට යැවීමට මැලි නොවූහ.
බටහිර සමලිංගික සංස්කෘතිය..
බටහිර ඉතිහාසයේ මුල් අවදියේ ග්‍රීක හා රෝමානු සංස්කෘතීන් තුල සමලිංගික චර්යාවන් ඉවසීමේ පිළිවෙතක් තිබුණි. ග්‍රීක හා රෝම දේව කථාවල සියුස් නම් මහා දෙවියාට මෙන්ම ඇපොලෝ, කියුපිඩ් වැනි දෙවිවරුන්ට ද, ඇප්‍ටොයිඩ්, හේරා වැනි දේවතාවියන්ට ද සමලිංගික හැසිරීම් තිබුණි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා සේ සැලකෙන හිපොක්‍රටිස්ගේ සුප්‍රකට ප්‍රතිඥාවේ 7 වෙනි වගන්තියේ මෙසේ සඳහන් වේ. "රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා නිවසකට ඇතුලුවෙන මම ඒ නිවසේ ගැහැණු හෝ පිරිමි කිසිවෙකු හෝ නිදහස් හෝ වහල් පුද්ගලයෙකු සමඟ සමඟ අයථා සම්බන්ධයක් ඇති කර නොගනිමි" . මෙය පුරාතන ග්‍රීසියේ සමලිංගික හා ප්‍රතිලිංගික හැසිරීම් සමව සැලකූ බවට කදිම උදාහරණයකි.
"සීසර්ට රෝමයේ ගැහැණුයි පිරිමියි දෙගොල්ලොම කැමතියි"
ග්‍රීක ශිෂ්ඨාචාරයෙන් පසුව පහලවූ රෝම ශිෂ්ඨාචාරය තුල ද සමලිංගික චර්යාවන් අස්වාභාවික ලෙස නොසැලකූ බවට සාක්ෂි රැසකි. පොම්පේ හා රෝමයේ අනෙකුත් නටබුන්වූ නගරවල විශේෂයෙන්ම උණුසුම් නාන තටාක වල බිත්තිවල සැරසූ රූප අතර සමලිංගික චර්යාවන් පෙන්වන රූප රැසක් හමුවී තිබේ. තරමක ප්‍රචණ්ඩකාරී ලිංගික හැසිරීමකින් යුතු ජුලියස් සීසර් බහුලිංගික චර්යාවන්ට ප්‍රසිද්ධ වුවෙකු විය. "සීසර්ට රෝමයේ ගැහැණුයි පිරිමියි දෙගොල්ලොම කැමතියි" එකල රෝමයේ ප්‍රකට විහිළුවක් විය. බොහෝ රෝම අධිරාජයන්ට සමලිංගික පෙම්වතුන් විය. රෝමානු නගර තුල ප්‍රතිලිංගික මෙන්ම සමලිංගික ගණිකා මඩම් තිබුණි.
යුරෝපයේ 'අඳුරු යුගය'..
බටහිර පැවති මේ ඉවසීම වෙනස් වුයේ එය රෝමානු කතෝලික පල්ලියේ සංස්කෘතික ග්‍රහණයට හසුවූ පසුවය. ක්‍රි. ව. දෙවැනි සියවසේ සිට බටහිර සිසාරා පාප් වහන්සේගේ ආධිපත්‍යයෙන් බටහිර පැතිරුණු කිතුනු දහම, ජන ජීවිතයේ සියළු අංග පමණක් නොව, රාජ්‍ය පාලනය, විද්‍යාත්මක පර්යේෂණ යන සියල්ලටම නීති පනවා තම ග්‍රහණයට ගත්තේය.
ආගමේ නාමයෙන් සිදුවූ මේ සංස්කෘතික ආක්‍රමණය හමුවේ මුළු යුරෝපයම “අඳුරු යුගය“ යැයි හඳුන්වන පසුගාමී යුගයට ගියේය. මේ යුගයේදී පල්ලිය උපතේ සිට මරණය දක්වා සියලු කරුණු වලට ඇඟිලි ගැසීම කළේය. දරුවන් බෞතිස්ම කොට දරු උපත් පල්ලියේ ලියාපදිංචි කිරීම, විවාහයන් පල්ලියේ සිදුකොට ලියාපදිංචි කිරීම, මියගිය පසු පල්ලියේ භූමියක මිහිදන් කිරීම වැනි තවත් පල්ලිය සම්බන්ධ වන ක්‍රියාවන් රාශියක් මේ කාලය තුල සිදුවිය. මෙවැනි ක්‍රියාවන්ට එරෙහි වීමට සාමාන්‍ය ජනතාවට පමණක් නොව රජවරුන්ටද නොහැකි විය. එවන් ක්‍රියා 'ස්වර්ගයට යෑමට බාධා පමුණුවන්නේ ය' යන මතය නිසා මේ මුළු සමාජයම එයට අනුගත වීම සිදුවිය.
"පුනරුද යුගය"
"පුනරුද යුගය" යැයි හඳුන්වන නවීන විද්‍යාව කරලියට පැමිණි 15 වෙනි සියවස දක්වා කාලයේදී යුරෝපය, සෑම අතකින්ම ලොවෙහි අන් රටවලට වඩා පසුගාමී වූ අතර, සමලිංගික චර්යාවන් පිලිබඳ බරපතල නීති රීති පැනවුනේ මේ කාලයේදීය. සමලිංගික හැසිරීම් අස්වාභාවික ලෙස පිළිගැනුණු ඒ යුගයේදී ඇතැම් විට සමලිංගික චර්යාවන් ඇති අය පණපිටින් පුළුස්සා දැමීමට තරම් ආගමික සංස්ථාව දරුණු විය. බටහිර නීති පොත් ලිවීමට පසුබිම්වුයේ ද මේ ආගමික පසුබිමයි.
"වික්ටෝරියානු සදාචාරය"
බ්‍රිතාන්‍යය රෝමානු කතෝලික පල්ලියෙන් මිදී එංගලන්ත සභාව පිහිටුවා ගත්තත්, සමලිංගික චර්යාවන් පිළිබඳව එම ආගමික සංස්ථාවේ මතය ද එතරම් වෙනස් නොවීය. මේ තත්ත්වය බරපතල කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වික්ටෝරියා මහා රැජිනගේ පාලනයට නතුව පැවති 19 වෙනි සියවසේ පැතිර ගිය "වික්ටෝරියානු සදාචාරය" තුල සමලිංගිකත්වය අස්වාභාවික හැසිරීමක් ලෙස සැලකීම තවත් ප්‍රබල විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ප්‍රබලව පැවති මේ යුගයේ ගෙනා අණ පනත් වලින් සමාජයේ බහුතර ලිංගික හැසිරීම් හා චර්යාවන්ට වඩා වෙනස් ලෙස හැසිරෙන්නන් මානසික රෝගීන් සේ සැලකීම ද, ඔවුන් සිරගත කිරීම ද, "පුනරුත්ථාපනය" කිරීම ද බහුල ලෙස පැතිරිණි. ප්‍රකට ලේඛකයෙකු හා දාර්ශනිකයෙකු වූ "ඔස්කා වයිල්ඩ්" මෙසේ වික්ටෝරියානු නීති රීති මගින් සිරගත වූ අයෙකි. 1900 දී සිදුවූ ඔහුගේ මරණයෙන් වසර සියයකට පසු ඒ විකාරරූපී අණපනත් වෙනස් කොට ඔහු හා ඔහු මෙන්ම තවත් එවැනි ලිංගික හැසිරීම් නිසා අසාධාරණ දඬුවම් වලට ලක්වූ 50,000 ක් නිර්දෝෂී කිරීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියාකළේ 2017 දී ය.
බටහිර සමාජය තුල සමලිංගික විරෝධී ආකල්ප තවමත්..
කෙතරම් නීති ලිහිල් කළ ද බටහිර සමාජය තුල සමලිංගික විරෝධී ආකල්ප තවමත් සැඟවී තිබේ. මා බ්‍රිතාන්‍යයේ සේවය කළ එක් රෝහලක් පිහිටා තිබුනේ යෝක්ෂයර් ප්‍රාන්තයේ ගම් රැසක් මධ්‍යයේය. මේ ගම්වල සමලිංගිකයන් වෙසෙන නිවෙස්වලට ගල් ගැසීම, ඔවුන්ට පහරදීම, ප්‍රසිද්ධ ස්ථානවල ඇනුම්පද කීම නිතර සිදුවිය. තවමත් බටහිර රටවල ප්‍රසිද්ධයේ හා අප්‍රසිද්ධයේ සමරිසියන්ට පහරදීම, අපහාස කිරීම පමණක් නොව මරාදැමීම පවා සිදුවේ. මෙවන් පසුබිමක් යටතේ සමලිංගිකයන් ආරක්ෂා කිරිමට හා ඔවුන්ගේ අයිතීන් සුරැකීම අත්‍යවශ්‍ය කරුණකි.
බටහිර ඇති තවත් නොහොබිනා සංස්කෘතික අංග..
සමරිසි පැවතුම් පමණක් නොව දේශපාලඥයන්ගේ හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීම බටහිර ඇති තවත් නොහොබිනා සංස්කෘතික අංගයකි. මේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඇඳුම් පැළඳුම්, නිවාඩු ගතකිරීම්, අනියම් සම්බන්ධකම්, දරු උපත්, කෑම බීම ආශ්‍රිතව මහා වෙළඳ ව්‍යාපාරයක් ගොඩනැගී ඇත. ටැබ්ලොයිඩ් වර්ගයේ පුවත්පත්, පැපරාසි කැමරාකරුවන් බිහිව ඇත්තේ මේ අනුන්ගේ ඕපාදුප දැනගැනීමට බටහිර සමාජයේ විශාල පිරිසකට ඇති නොතිත් ආශාව නිසාය. යම් උත්සවයකට ප්‍රසිද්ධ නිළියක් අඳින ගවුමේ පැහැය ගැන මුදල් ඔට්ටු ඇල්ලීමට සූදු ආයතන ක්‍රමවේදයන් ද සකසන තරම් බොළඳ තැනකට මේ ඕපාදුප කලාව බටහිර පැතිර තිබේ.
ශ්‍රී ලාංකික සංස්කෘතිය "මොඩ්" කරන්නෝ...
අප රටේ හෝ බටහිර ඉතිහාසය හා සංස්කෘතිය ගැන කිසිවක් නොදන්නා අතලොස්සක්, අපගේ "පසුගාමී" සංස්කෘතිය බටහිර මට්ටමට දියුණුකර, නවීකරණය කිරීමේ "සත්ක්‍රියාවට" අත ගසා ඇත. මොවුන් උත්සාහ කරන්නේ සියළු අංග වලින් බටහිර සංස්කෘතියට වඩා පසුගාමී යැයි ඔවුන් සිතන අපේ සංස්කෘතිය, මුළුනුපුටා දමා ලංකාව තුල බටහිර සංස්කෘතිය පැල කිරීමට ය. මේ සංස්කෘතික ආක්‍රමණයේ යුද සෙනෙවියන් වී, ලංකාවේ "නොදියුණු" සංස්කෘතියෙන් ශ්‍රී ලාංකිකයන් ගලවා ගැනීම මොවුන්ගේ පරම පවිත්‍ර චේතනාවයි.
පල්හොරුන්ට ආශිර්වාදයක්..
මෙවැනි අදහසක් දැරූ තවත් පිරිසක් අධිරාජ්‍යවාදීහු අතර ද සිටියෝය. මෙයින් එක් අයෙකු ප්‍රකට ඉංග්‍රීසි කිවිවර "රුඩ්යාඩ් කිප්ලිං" . ඔහුගේ සුප්‍රකට කවිපෙලක් වන "සුදු මිනිසාගේ හිසරදය" (white man's burden) හි ඔහු පවසන්නේ මේ නොදියුණු , අර්ධ මිනිස්, දුඹුරු සමුහයාට "සංස්කෘතිය" හඳුන්වා දීම සුදු මිනිසාගේ කරපිට පැටවුණු වගකීමක් බව ය. අප අතර "රුඩ්යාඩ් කිප්ලිං" වැනි චරිත සිටීම, අප රට මං පැහැරූ සිංහල බෞද්ධ පල්හොරුන්ට ආශිර්වාදයකි. මේ සටනේ අනෙක් පස කඳවුරු බැඳ, බටහිර සංස්කෘතික ආක්‍රමණයෙන්, "නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය" ගලවා ගැනීමේ සටනට නායකත්වය දීමට මේ හොරුන්ට හැකිවන්නේ එවිටය.
අද අප කළ යුත්තේ කුමක්ද..?
බටහිර රටවල් ගැලවෙන්නට උත්සාහ ගන්නේ ඔවුන්ගේ ඉතිහාසයෙනි. අපේ ඉතිහාසය ඔවුන්ට වඩා වෙනස්ය. කළ යුත්තක් කළ යුත්තේ ඒ බව සිහියේ තබාගෙන ය. සමරිසි මාතෘකවෙහිදී අප ගැලවිය යුත්තේ බටහිරයන් අපට හඳුන්වාදුන් නීති රීති වලින් මිස, අපේ සංස්කෘතියෙන් නොවේ.
අප රටේ සමලිංගික චර්යාවන් අනෙක් ලිංගික චර්යාවන්ගෙන් වෙනස් කොට සැලකීමේ පොදු නීතියක් නොතිබුණි. ඇත්ත වශයෙන්ම බටහිරට නතුවීමට පෙර කිසිම ලිඛිත නීතියක් නොතිබි අපේ රටේ රාජ නීතිය යටතේ මෙවන් චර්යාවන්ට දඬුවම් පැමිණවීමේ චාරිත්‍රයක්ව නොතිබුණි.
අප රට යටත්විජිතවාදීන්ට නතුවූ පසු ඔවුන්ගේ සමලිංගික විරෝධී නීති අපේ රටේ නීති බවට පත්වුයේ ය. පසුගිය සියවස තුල බටහිර රටවල් තම නීතිපොත් වලින් මෙවන් ලිංගික චර්යාවන් නීති විරෝධී ලෙස සඳහන්ව ඇති ලියැවීම් ඉවත් කරමින් සිටී. අපේ ඊනියා දේශප්‍රේමීන් රැකගැනීමට උත්සාහ ගන්නේ දැන් බටහිරට ද හිසරදයක් වී ඇති අධිරාජ්‍යවාදීන් අපට හඳුන්වා දුන් නීතින්ය. බටහිර සංස්කෘතියේ පවතින, ඔවුන් විසින් ගලවා ඉවත් කිරීමට උත්සාහ කරන අංග, අපේ මුග්ධ දේශප්‍රේමීහු වැළඳ ගැනීමට උත්සාහ ගනිති. බටහිර සංස්කෘතියෙන් අපේ ප්‍රගමනයට උකහා ගත යුතු දේ අපමණ තිබියදී, අපේ "දේශප්‍රේමීන්" වැළඳ ගැනීමට යන්නේ ඔවුන් ඔවුන්ගේ සංස්කෘතියෙන් ඉවත් කිරීමට උත්සාහ කරන දේ පමණි.
අප රටේ පැවති යහපත් සමාජ ලක්ෂණයක් නම් සමාජයට හෝ රටට හානියක් නොවෙනතාක් කල් යමෙකුගේ ලිංගික හැසිරීම් නිහඬව ඉවසීමේ පිළිවෙතයි. එසේම ලිංගිකත්වය අනවශ්‍ය උත්ප්‍රාසයකින් තොරව විඳීමේ පිළිවෙතයි. අපේ සංස්කෘතියේ සැබෑ ස්වභාවය ලංකාව "බටහිරකරණය" කරන්නට උත්සාහ කරන්නන් මෙන්ම, අපට අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන් නීතියක් රැකීමට උත්සාහ ගන්නා ඊනියා දේශප්‍රේමීන් යන දෙකොටසම වටහා ගත යුතුය. ලිංගික කරුණු විෂයෙහි බටහිර පැවති සංකල්පයන්ට වඩා දියුණු සංකල්පයන් අප තුල තිබුණු බවද, ඒ අදහස අද පවා සමාජය තුල පවතින බව ද, මේ සටනේ දෙපිලම නොදනිති. මෙයින් අදහස් වන්නේ අපගේ සංස්කෘතියේ පැවති සියලු ලක්ෂණ බටහිරට වඩා ඉදිරිගාමී බව නොවේ. එසේ තර්ක කරන ගුණවතුන් දෙදෙනෙකු නම් ගුණදාස අමරසේකර හා නලින් ද සිල්වා මැතිවරුන්ය.
අපගේ සංස්කෘතිය තුල සමාජ ප්‍රගමනයට ඉවහල් වන මෙන්ම හානිකර ලක්ෂණ ද පැවතින. අද ද පවතී. අප සංස්කෘතියේ යහපත් ලක්ෂණ හඳුනාගෙන ඒවා රැක ගැනීමත්, අයහපත් ලක්ෂණ ඉවත්කොට එය බටහිර හෝ පෙරදිග අන් රටවල් ඇති යහපත් ලක්ෂණ වලින් පෝෂණය කිරීමත් අද දින කළ යුතු කාර්යය වේ.

No comments:
Post a Comment