Tuesday, 27 June 2023

IMF නියෝග අනුව ණය කපා හරින්න දින 5 ක් බැංකු වසා දැමීම පුදුම සහගතයි..! EPF, ETF අරමුදල් වලට අත තිබ්බොත් අපි නිකම් ඉන්නෙ නෑ..!

-ලංකා බැංකු සේවක සංගමයෙන් තීරණාත්මක නිවේදනයක්..!

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.27, ප.ව.9.45) 1948 ලබාගත් නාමික නිදහසින් පසුව හා විශේෂයෙන් 1978 විවෘත ආර්ථීකය හඳුන්වා දීමෙන් පසුව මේ දක්වාම රට කරවූ හා කරවන ආණ්ඩු විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථීක ක්‍රමවේදයන් හා කළමනාකරණයන් හේතුවෙන් 2022 අප්‍රේල් මස 12 වන දින ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කරන්නට යෙදුණි.

රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම පිණිස ඇති එකම ක්‍රමවේදය, ඉතිහාසයේ 16 වතාවක් අනුගමනය කර ප්‍රතිඵලයක් නොමැතිව අසාර්ථක වුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබාගැනීම බව 17 වන වතාවටත් වත්මන් ආණ්ඩුව විසින් තීරණය කරනු ලැබීමෙන් පසුව එය පාර්ලිමේන්තුවේ බහුතරය විසින් ද අනුමත කරනු ලැබීය.

වැඩ කරන පන්තිය මත පතිත කර ඇති මාරක ප්‍රහාරය..

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව විසින් ඇති කරගත් එකඟතාවයන් ක්‍රියාත්මක වී ඇති අතර, රාජ්‍ය ආදායම වර්ධනය කිරීම පිණිස ක්‍රියාත්මක කර ඇති යෝජනා ජනතාවට දරා ගැනීමට අතිශය අපහසු කාර්යයක් වී ඇත. උපයනවිට බදු අය කිරීම (Payee Tax/APIT) හරහා වැඩ කරන පන්තිය මත පතිත කර ඇති මාරක ප්‍රහාරය උගතුන් බුද්ධිමතුන් හා පළපුරුදු වෘත්තිකයින් තොග පිටින් රට හැර යන තත්වයටම දරුණු වී ඇත.

මෙම තත්වය මත අප සංගමය ඇතුළු බොහෝ පාර්ශව සිදුකළ බරපතල ඉල්ලීම් සළකා බලමින් ආණ්ඩුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇතිකර ගෙන තිඛෙන එකඟතාවන්වල පළමු සමාලෝචන අවස්ථාවේදී (1st Review) බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට එකඟතාව පළකර ඇත. ඒ පිළිබඳව ද අප නිරන්තර අවධානයෙන් පසුවන්නෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර ඇති එකඟතාවන්ට අනුව බදු අයකිරීමේ යෝජනා සහ විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව තොරතුරු සමාජ ගතවූවද ආණ්ඩුව හා වගකිව යුතු සියලූම පාර්ශව පාහේ නිරතුරුවම ප්‍රකාශ කරනු ලැබූවේ කිසිදු ආකාරයකින් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට ලක් නොකරන බවය.

එහෙත් ඉන් ඉතා කෙටි කාලයකට පසුව දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට නොව දේශීය ණය ප්‍රශස්තකරණයට කටයුතු කරන බවට වගකිව යුතු පාර්ශව අදහස් දක්වමින් රජය විසින් ණය ලබාගෙන ඇති ආයතනවලට දැනුම් දී සිටියේ ස්වෙච්ඡාවෙන් (Voluntary) කටයුතු කිරීමට එකඟතාව ලබාදෙන ලෙසය. ඒ අනුව ප්‍රකාශ වී ඇත්තේ දේශීය ණය ප්‍රශස්තකරණයකට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවය. එහෙත් එම ඉල්ලීමට කිසිදු පාර්ශවයක් එකඟතාව ලබාදී නොමැත.

නිවාඩු ලබාදීම පුදුම සහගතයි...

මේ අතරතුර 2023 ජූනි මස 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශ කරනුයේ එක දිගට දින 5 ක නිවාඩු මාලාවක් ක්‍රියාත්මක වන ආකාරයටය. පසුව මහ බැංකු අධිපතිවරයා නිල ප්‍රකාශයක් කරමින් දේශීය ණය ප්‍රශස්තකරණය සාර්ථකව සිදුකිරීමට ඉහත නිවාඩුව ලබාදුන් බව ප්‍රකාශ කරන ලදී. ඊට අමතරව කොටස් වෙළඳපල කටයුතු ද අදාල නිවාඩුවට යටත් කර ඇත.

මෙම තත්වය පිළිබඳව රට තුළ විශාල සැක සංකා මතු වී ඇති අතර, ණය ප්‍රශස්තකරණයට හා පාර්ලිමේන්තුව රැස්වී තීන්දු තීරණ ගැනීමට රට තුළ රජයේ නිවාඩු ලබාදීම පුදුම සහගතය.

කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යූහගතකරණයකදී/ප්‍රශස්තකරණයකදී ණය (රාජ්‍ය සුරැකුම්පත්- සම්බන්ධයෙන් පහත පරිදි කටයුතු කෙරේ.

1.     මුහුණත වටිනාකම අඩු කිරීම. (Face Value Reduction - Haircut)
2.     කල් පිරෙන දිනය දිගු කිරීම. (Maturity Extension - Reporting)
3.     අතර මැද ලැබෙන පොලිය අඩු කිරීම (Coupon Adjustment) මෙමගින් මුහුණත වටිනාකම අඩු කිරීම හෝ කල්පිරෙන දිනය වෙනස් නොවේ.

ඉහත ක්‍රම 3 න් එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් භාවිතා කිරීමට ඉඩ ඇත.

ආණ්ඩුව කරන්නේ කුමක්දැයි නිශ්චිතව කියා නැති නිසා රට තුල කලබගෑනියක්..

එහෙත් ආණ්ඩුව හෝ මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්තකරණයේදී සිදුකරන්නේ කුමක්දැයි නිශ්චිතව ප්‍රකාශ කර නොමැති තත්වය තුළ විවිධ උපකල්පනයන් හරහා ගැඹුරු කථීකාවතක් හා කලබැගෑනියක් රට තුළ ජනිතවීම ස්වභාවිකය.

පසුගිය කෝවිඩ් වසංගතය සමග රටේ බොහෝ ක්ෂේත්‍ර අඩපන වීම සිදු වී ඇති අතර, ආර්ථීකය කඩාවැටීම එහි උච්ච ස්ථානයකට ලඟාකර ඇත. බහුතර මහජනතාව අතිශය දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වී ඇත. මෙම සියලූ තත්වයන් තුළ බැංකු  ක්ෂේත්‍රය ප්‍රමුඛ මූල්‍ය පද්ධතිය ඉතා අපහසුවෙන් හෝ ආරක‍ෂා කරගැනීමට හැකි වී ඇති අතර, දේශීය ණය ප්‍රශස්තකරණයක් ක්‍රියාත්මක කිරීම හරහා මූල්‍ය පද්ධතියට සිදුවන බලපෑම පිලිබඳව දැඩි අවධානය යොමු කළ යුතුමය.

අපෙන් යෝජනා පහක්..

රජය විසින් විදේශීය ණය ගෙවීම් පැහැර හැර ඇති තත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද මැදිහත්වීම සහිතව සියලූ ආකාර විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට උත්සාහ කරමින් සිටින පසුබිමක දේශීය ණය සඳහා ද යම් ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියක් සිදු කිරීමේ බලපෑම රජය වෙත එල්ල වී ඇතත් පහත කරුණු කෙරේ දැඩි අවධානය යොමුකළ යුතු බව සංගමය අවධාරණය කර සිටී.

1. මොනම ආකාරයේ හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයකින් තොරව, පවතින අර්බුදය තුළ අපේක‍ෂිත ඉලක්ක කරා ළඟාවිය හැකි විකල්ප යෝජනා පිළිබඳව සලකා බැලීම.

2. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ගෝලීය බලපෑම් මත යැපීමට සිදුවුව ද 100% ක්ම ඔවුන්ගේ මගපෙන්වීම් මත නොව ඒවායින් අපහට ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සාකච්ඡා කරමින් රටට වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් පිළිබඳව කේවල් කිරීම.

3. ඉහත 1 හා 2 යෝජනා සළකා බැලීමෙන් අනතුරුව වෙනත් විකල්පයක් නොමැති වීම මත දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සිදුකරන්නේ නම් රජය,  මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, බැංකු පාලනාධිකාරීන් හා ඇල්මැති පාර්ශවයන් යන සියලූ පාර්ශව අතර කෙරෙන ප්‍රශස්ත සංවාදයක් තුළින් ඒ සඳහා සුදුසු සැලසුමක් සකස් කිරීම.

4. කුමන හෝ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් බාහිර පාර්ශවයන්ගේ බලපෑම මත බැංකු පද්ධතිය මත බලහත්කාරයෙන් පැටවීමට කටයුතු නොකිරීම.

5. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයක් සිදුකිරීමට සිදුවන්නේ නම් රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු, සේවක අර්ථසාධක අරමුදල වැනි රාජ්‍ය අරමුදල්, පෞද්ගලික භාර අරමුදල් ආදිය සඳහා දායක වී ඇති සියලූම පාර්ශව එක හා සමාන තත්වයේ සලකමින් ඔවුන් සැමට කිසිදු ගැටලූවක් ඇති නොවන ක්‍රමවේදයක් සැලසුම් කිරීම.

EPF, ETF අරමුදල් වලට අත තැබුවොත් අපි නිකම් ඉන්නෙ නෑ..

කෙසේ වෙතත් අප විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු කෙරෙහි අවධානය යොමු නොකරමින් බැංකු පද්ධතිය හා කොටස් වෙළඳපොල ක්‍රියාවලිය හදිසියේ අඩපන කරමින් ආණ්ඩුවේ බලහත්කාරය භාවිතා කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකට කටයුතු කරයි නම් ඒ හරහා රටේ ආර්ථීකයට, බැංකු පද්ධතියට ගනුදෙනුකරුවන්ට, EPF, ETF ඇතුලූ සමාජ ආරක්ෂණ අරමුදල්වලට අගතියක් සිදුවන්නේ නම් ආණ්ඩුව සෘජුවම ඊට වගකිව යුතු අතර එම සියලූම පාර්ශවයන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අප සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින බවද අවධාරණය කර සිටිමු.  

මෙම ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය රජය හා රජයට ණය සැපයූ ණය හිමියන් අතර සිදුවන සංක‍ෂිප්ත ක්‍රියාවලියක් බැවින් ද බැංකු පද්ධතියේ තැන්පත්කරුවන් හෝ ගණුදෙනුකරුවන් කෙරේ හදිසි සෘජු බලපෑම් ඇති නොකෙරෙන බැවින්ද අනවශ්‍ය ලෙස කලබල නොවන මෙන් ගනුදෙනුකාර ප්‍රජාව වෙතින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

රන්ජන් සේනානායක

ප්‍රධාන ලේකම් - ලංකා බැංකු‌ සේවක සංගමය

No comments:

Post a Comment