Saturday, 1 July 2023

තවමත් දිය සැලිය රත් වෙන්න පටන්ගෙන නැත..! සේවක අර්ථසාධක අරමුදල ගිලටීනයට ගෙනියන දේශීය ණය ප්‍රශස්තකරණය..!

-ශාන්ත ජයරත්න විග්‍රහ කරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.01, ප.ව.5.30) මේ සතියේ ලංකාවේ සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හෙවත් ප්‍රශස්තකරණය යි. මෙහිදී රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩි බරක් පටවා තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල  ඇතුළු අනෙකුත් අරමුදල් (Superanuation Funds) මත වීම විශේෂ ය. වාණිජ බැංකු  ප්‍රශස්තකරණ ක්‍රියාවලියෙන් ඉවත් කොට ඇත. ඒ සඳහා මහ බැංකුව හේතු රාශියක් කියයි. ඒවා යම් මට්ටමකට පිළිගත හැකි වුවත් , යෝජිත ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේ  කරුණු රාශියක් වචන අතර සඟවා තිබෙන බව කිව යුතුය.

ප්‍රාථමික ගැණුම්කරුවන් (Primary Dealers) සහ පුද්ගලික බැඳුම්කර හිමියන් (Private Bond Holders) මෙම ණය ප්‍රශස්තකරණයට ඇතුළත් නොකරන්නේ ඇයි?

පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි ප්‍රාථමික ගැණුම්කරුවන්  (Primary Dealers) මිල දී ගෙන තිබෙන බැඳුම්කර සහ සහ ඔවුන් හරහා බැඳුම්කර මිල දී ගෙන තිබෙන පුද්ගලික  බැඳුම්කර හිමියන් පිළිබඳ කිසිදු සඳහනක් යෝජිත ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේ නැත. මේ සම්බන්ධව මහ බැංකු අධිපති වරයා හෝ මුදල් අමාත්‍යාංශය කිසිවක් නොකියා සිටීම පිළිබඳ ප්‍රශ්න කල යුතුය.

මෙම ප්‍රාථමික ගැණුම්කරුවන් හරහා භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කොට තිබෙන්නේ පුද්ගලික සමාගම්, ඉහළ ආදායම් ලාභී පිරිස් සහ විදේශීය ආයෝජකයන් බව කිව යුතු ය. මෙසේ මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය මුළු බැ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඳුම්කර තොගයෙන් 17% කට තරමක් වැඩිය. යෝජිත ප්‍රශස්තකරණය හරහා ඔවුන්ගේ ප්‍රතිලාභ පිළිබඳ කිසිවක් සඳහන් නොවෙයි . ඉන් අදහස් වන්නේ ගිවිසුම් ගත ආකාරයටම සියළු ප්‍රතිලාභ ඔවුන්ට ලැබෙණු ඇති බවය. රජයේ මෙම වංක උස්සාහය හෙළිදරව් කළ යුතු නොවේද?

බාහිර ණය හිමියන්ට සාධාරණව සැලකීමට ප්‍රතිඥා දෙන රජය දේශීය ණය හිමියන්ට අසාධාරණව සලකන්නේ ඇයි?

මුදල් ඇමැති වරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් 2023 මාර්තු 06 වන දා අත්සන් කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියෝවා මහත්මියට ලබා දෙන අභිප්‍රාය ලිපියේ (Letter of Intent) ප්‍රකාශ කරන්නේ සියලු බාහිර ණය හිමියන්ට විනිවිද භාවයෙන් සහ සමානව සැලකීමට බැඳී සිටින බවයි. (...Ensure commitment to transparency and comparable treatment of all our external creditors:IMF Agreement Appendix 1, Letter of Intent) මෙම ලිපියේ දේශීය ණය හිමියන්ට සලකන ආකාරය සඳහන් නොකළේ මන්ද යන්න දැන් සිදුවෙමින් තිබෙන ක්‍රියාවලිය දෙස බැලීමේදී පැහැදිලි ය. දේශීය ණය හිමියන්ට කෙසේ සැලකුවද කම් නැත කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිතුවා වන්නට ඇත.

යෝජිත ප්‍රශස්තකරණයයේදී සේවක අර්ථසාධක අරමුදලේ 2027 දී කල් පිරීමට නියමිත බැඳුම්කර 2038 වැනි දිගු කාලයකට කල් දමා නව බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වෙයි. එමෙන්ම, යෝජිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන දින සිට 2025 අවසානය දක්වා 12% ක වාර්ෂික ස්ථාවර පොලියක් ගෙවීමටත්, ඉන් අනතුරුව, 2026 සිට 2038 දක්වා ඉදිරියට වාර්ෂිකව 9% ක ස්ථාවර පොලියක් ගෙවීමටත් මහ බැංකුව තීරණය කොට ඇත. මෙම කොන්දේසියට එකඟ නොවන බැඳුම්කර හිමි අරමුදල් සඳහා 30% ක ආදායම් බද්දක් පනවා ඇත. දැනට එය පවතින්නේ 14% ක මට්ටමේය. IMF  වැඩසටහනේ සඳහන් වන්නේ ස්වේච්ඡා ණය ප්‍රශස්තකරණයකට (Voluntary Debt Optimization ) උනන්දු කරන බවකි. එහෙත්, ඉහත කොන්දේසිය අනුව කිසිදු ස්වේච්ඡා ප්‍රශස්තකරණයක් නොවන බව පැහැදිලිය.

විශේෂත්වය, මේ කොන්දේසි කිසිවක් අනෙකුත්  ප්‍රාථමික ගැණුම්කරුවන්ට අදාළ නැත. එමෙන්ම ,  පුද්ගලික බැඳුම්කර හිමියන් හෝ බැංකු වලටද අදාළ නොවේ. ඔවුන් සියළු දෙනා හට බැඳුම්කර නිකුතුවේදි එකඟ වූ සම්පූර්ණ පොලියම (Yield ) ගෙවීමටත් කල්පිරීමේදි අදාල මූනත අගය ගෙවීමටත් මහ බැංකුව කටයුතු කරණු ඇත.

2022 මැයි 01 වන දින මහබැංකුව රුපියල් මිලියන 85,762.20 ක බැඳුම්කර වෙන්දේසියක් පවත්වා ඇත. එම බැඳුම්කරය කල්පිරීමට නියමිතව තිබෙන්නේ 2024. මැයි 01 වන දා වන අතර ඒ සඳහා ගෙවීමට නියමිත වාර්ෂික පොලිය (Yield ) 22.50% කි. ඒ අයුරින්ම තවත් වෙන්දේසියක් සිදුව තිබෙන්නේ 2022 ජනවාරි 15 වන දා වන අතර නිකුත් කොට තිබෙන බැඳුම්කරයේ වටිනාකම රුපියල් මිලියන 86055.83 කි වාර්ෂික පොලිය 22.50% කි. කල්පිරීමට නියමිත වන්නේ 2025 ජනවාරි 15 වන දාය. තවත් මෙවැනි නිකුතු සිය ගන්නක් මෙම මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පල කොට තිබෙන ත්‍රයි මාසික ණය වාර්තාවේ ඇත. https://treasury.gov.lk/api/file/a7db93c9-70a2-46b7-932f-dc92643865c9

ඉහත දක්වා ඇති බැඳුම්කර දෙකෙහි සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් (Superanuation funds ) ආයෝජනය කොට තිබෙනවා කියා ඔබ හිතුවොත් ඒවා සඳහා ඔවුන්ට කල්පිරීමේ දී හිමිවන්නේ ප්‍රශස්තකරණය කළ පොලිය වන 12% පමණි. ඒ අනුව අරමුදලට වාර්ෂිකව 10.5% පොලී ආදායමක් අහිමිවනු ඇත. මෙය බැඳුම්කර  හිමියා සහ  මහ බැංකුව අතර සිදුවන වාණිජමය ගණුදෙනුවට අදාළ  විශ්වාසය කඩකිරීමක් (Breach of Trust) නොවන්නේද ?  මේ අතර, අනෙකුත් සියළු බැඳුම්කර හිමියන්ට ප්‍රශස්තකරණය නොකළ 22.50% සම්පූර්ණ පොලිය ලැබෙනු ඇත. මේ සම්බන්ධව මහබැංකුව මෙතෙක් කිසිදු නිල හෙළිදරව්වක්  නොකිරීම තුල පවතින තත්ත්වය නිවැරැදි ලෙස පිළිගැනීමට අපිට  සිදුවන්නේ ය. මේ අනුව ශ්‍රී ලංකාවේ මහබැංකුව ප්‍රශස්තකරණයට නව අර්ථකථනයක් (Redefinition) ලබා දී ඇති බව පැහැදිලි ය.

මහ බැංකුව සඳහා ප්‍රතිමූල්‍යණය කිරීමට (Recapitalization) අවශ්‍ය වුවහොත් මහා භාණ්ඩාගාරය අරමුදල් සපයා ගන්නේ කෙසේද?

මහ බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 645 කට ආසන්න ය (2023 මැයි මස ). යෝජිත ප්‍රශස්තකරණය යටතේ ඔවුන් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කොට තිබෙන රුපියල් ට්‍රිලියන 2.8 ක පමණ සම්පූර්ණ තොගයම දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කොට 2027-2038 දක්වා කල්පිරීමේ කාලය දික් කිරීමට බලාපොරොත්තු වේ.  මෑත කාලයේ නිකුත් කළ බිල්පත් බොහෝමයක් ඉතා ඉහළ පොලී මත නිකුත් කොට ඇති අතර,  මෙම ක්‍රියාවලිය තුල මහ බැංකුවේ ද්‍රවශීල වත්කම් අගය සෘන වීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි  අනතුරු හැඟවීමක් අධිපති වරයා පසුගිය දා කැබිනට් මණ්ඩලයට කළ ඉදිරිපත් කිරීමේ 21 වන ස්ලයිඩයේ සඳහන් කොට ඇත. ඔහු ප්‍රකාශ කරන අන්දමට මහබැංකුවේ විශ්වසනීයත්වය සහ ස්වාධීනත්වය (CBSL's credibility and independence ) ආරක්ෂා කරගැනීම සඳහා භාණ්ඩාගාරයේ  මූල්‍යමය සහාය අවශ්‍ය වීමට ඉඩ ඇති බවයි.

එවැනි අවස්ථාවක් පැන නැගුණහොත් භාණ්ඩාගාරය අරමුදල් සපයා ගන්නේ කෙසේද ? ඔවුන්ට තිබෙන විකල්පය වන්නේ ජනතාව මත වැඩි පුර වක්‍ර බදු පැනවීමයි. එසේ බදු ගෙවීමට හැකියාවක් ජනයාට තිබේද ? මේ වන විටත් ජනගහනයෙන් මිලියන 07 ක් අන්ත දරිද්‍රතාවයේ සිටී. එමෙන්ම,  ආදායම් බදු ගෙවිය හැකි වැඩි වැටුප් ලාභීන් රට හැර යයි. රජය ගජමිතුරන් ආරක්ෂා කිරීමට සියළු උස්සාහයන් ගනී. අවසාන වශයෙන් කීමට ඇත්තේ , තවමත් දිය සැලිය රත් වීමට පටන් ගෙන නැත. එම නිසා සමහරුන්ට රජයේ මෙම ක්‍රියා තුලින්  තාවකාලික සතුටක් ලබා දෙනු ඇත. ඔවුනට සත්‍ය පසක් වන විට බොහෝ ප්‍රමාද වැඩිය.

"අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං "

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment