Saturday, 1 July 2023

ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමේ අලුත් වැඩ පිළිවෙල පට්ට රැවටිල්ලක්...! ඔවුන් තව දුරටත් නොරැවටෙනු ඇත..!

-DailyFT කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද 

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.01, ප.ව.8.45) “සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යයි. වගවීම සහතික කිරීමට අපොහොසත් වූ වෙන වෙන අරමුණු සඳහා ඇටවූ කොමිෂන් සභා පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ හතු පිපෙන්නාක් මෙන් බිහි විය,” යනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාවක් පිළිබඳ වාචික යාවත්කාලීනය ඉදිරිපත් කරමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පසු ගිය සතියේ ප්‍රකාශ කළාය.

"අතීතය සමඟ ගනුදෙනු කිරීමට දරන උත්සාහයේ මූලික හිඩැස වන්නේ වගවීම නැතිකම බවත්, දණ්ඩ මුක්තිය පවතින තාක්, ශ්‍රී ලංකාව සැබෑ සංහිඳියාවක් හෝ තිරසාර සාමයක් අත්කර නොගන්නා බවත්" ඒ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් විය.

ජාත්‍යන්තර ප්‍රජාව තව දුරටත් නොරැවටෙනු ඇත..

පසු ගිය වසර 50 කට වැඩි කාලයක් තිස්සේ රට පීඩාවට පත් කර ඇති මූලික ගැටළුවක් විසඳීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යය විසින් කරන ලද අවිනිශ්චිත, අප්‍රමාණවත් හා නිර්ලජ්ජිත ක්‍රියාකාරකම්වලට ජාත්‍යන්තර ප්‍රජාව තව දුරටත් නොරැවටෙන බවට එම ප්‍රකාශය පැහැදිලි ලකුණකි.

මානව හිමිකම් සහ මානුෂීය නීතිය සම්බන්ධයෙන් පවතින මෙම අඩුපාඩුව වාර්ගික යුද්ධයේ අවසන් අදියරට හෝ එල්ටීටීඊය සමග පැවැති වසර 26 ක ගැටුමට පමණක් සීමා නොවේ.

1971 දී ශ්‍රී ලංකා රාජ්‍යය විසින් තරුණ තරුණියන් 15,000 ක් පමණ අනීතිකව මරණ දණ්ඩනයට ලක් කරන ලදී.

1987-89 කාලය තුළ බලහත්කාර අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන සඳහා මධ්‍යස්ථ ඇස්තමේන්තුව 60,000 කි. මෙම කාලය තුළ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 43,000 කට වඩා වැඩි බව රජය විසින් පත් කරන ලද කොමිෂන් සභා රාශියකින් වාර්තා කෙරිණ.

උතුරේ ගැටුමේ දී අතුරුදහන් වූ හෝ නීති විරෝධී ලෙස ඝාතනය වූවන්ගේ සංඛ්‍යව දස දහස් ගණනකි.

ආණ්ඩුව විසින් සිදු කරන ලද මෙම අපරාධ කිසිවක් සඳහා මෙතෙක් යුක්තිය ඉටු කර නැත. එකම එක අපරාධකරුවෙකුවත් මෙතෙක් වැරදිකරුවෙකු හෝ වග කියන්නෙකු වී නැත. එය අපරාධ යුක්තිය පසිඳලීමේ පද්ධතියේ, අධිකරණයේ සහ සමස්ත රාජ්‍යයේම අස්වාභාවික අසාර්ථකත්වය පිළිබඳ සාක්ෂියකි.

එවනි දුෂ්ඨ වාර්තා පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ දේශපාලන හා මිලිටරි නායකත්වයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා සැලකිය යුතු දේශපාලන කැමැත්තක් පෙන්වීමට අවශ්‍ය විය. එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් 2015 දී පුළුල් යුක්ති යාන්ත්‍රණයක් සමග ඉදිරිපත් කරන ලද එවැනි ක්‍රියාවලියකින් එම සියලු ගැටළු විසඳා ගත හැකිව තිබුණි.

කඩප්පුලියන් දෙදෙනා..

දැන් සංහිඳියාවේ මහා ශූරයන් ලෙස පෙනී සිටින විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යකාරයා සහ අලි සබ්‍රි විදේශ අමාත්‍යකාරයා යනු, පසු ගිය රනිල් වික්‍රමසිංහ [යහ]පාලනය යටතේ පැවැති යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමය හෑල්ලුවට ලක් කිරීමේ සහ අවසානයේ එය කඩාකප්පල් කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ කඩප්පුලියන් දෙදෙනාය.

යෝජිත දේශීය වගවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් එවකට සිටි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යකාරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකාරයා අතර ආරවුලක් ඇති කිරීම සඳහා ඍජුවම වග කිව යුත්තේ, 2015 දී ජිනීවාහි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු සමඟ එකතු වී ඒ සඳහා හීන් නූලෙන් වැඩ කළ විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යකාරයාය.

මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයෙකු වන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තමා ඉඩ නොදෙන බවට අධිකරණ අමාත්‍යකාරයා ලෙස එදා විජේදාස රාජපක්ෂ කටමැති දෙඩුව හැටි වාර්තා ගතව ඇත.

රටේ මානව හිමිකම් සහ මානුෂීය නීතිය ඉතාමත් පිළිකුල් සහගත ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණවල පස්සා දොරෙන් පෙනී සිටි අලි සබ්‍රි යනු ගෝටාගේ නොම්මර එකේ සපෝටරයාය.

බොරුවට ගිය ට්‍රිප් එකක්...

විජේදාස රාජපක්ෂ සහ අලි සබ්‍රි ජෝඩුව පසු ගිය දා ජොලියට දකුණු අප්‍රිකාව බලා ගියේ එරට මහ ඉහළින් පැවැත්වෙන එහෙත් මෑතක දී දැඩි විවේචනයට ලක් වූ සත්‍ය හා සංහිඳියා කොමිසම (TRC) ගැන ඉගෙන ගැනීමට ලු!

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ ක්‍රමවේද සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් මෙහි ස්ථාපිත කිරීමට යෝජිත බව පසුව නිවේදනය කරන ලදී. සංහිඳියාව පිළිබඳ ඔවුන්ගේ කතාබහ තුළ දේශපාලකයන්, රාජ්‍ය නියෝජිතයන් හා මිලිටරිකාරයන් විසින් සිදු කරන ලදැයි කියන අපරාධ සම්බන්ධ වගවීමක් පිළිබඳ කිසිදු සඳහනක් නැත!

වින්දිතයන්ගේ දුක්ගැනවිලි ඇසීමටත්, සමහරවිට ඔවුන් නැවත යථා තත්ත්වයට පත් කිරීමටත්, කැපී පෙනෙන ගැටළු විසඳීමටත් තවත් කොමිෂන් සභාවක් පිහිටුවීම ප්‍රමාණවත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඉදිරියට කටයුතු කිරීමට නියමිතය!

ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමේ අලුත් වැඩ පිළිවෙල පට්ට රැවටිල්ලක්..

ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමේ මෙම අලුත් වැඩ පිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය සිය තීන්දුව ලබා දී ඇත; ඔවුන් එය පට්ට රැවටිල්ලක් ලෙස හංවඩු ගසා ඇත.

සංහිඳියාව යනු ජාත්‍යන්තර ක්‍රියාකාරීන් සතුටු කිරීමට හෝ යම් වෙළඳ සහනයක් රඳවා ගැනීමට කරන දෙයක් නොවේ. සංහිඳියාව යනු ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතාවයක් මෙන්ම බලවත් අපේක්ෂාවකි.

එය ආරම්භ වන්නේ සාහසික අපරාධ සහ ආර්ථික අපරාධවලට වග කිව යුතු මෙරටේ ජනාධිපතිකාරයන්, අග්‍රාමාත්‍යකාරයන්, අමාත්‍යකාරයන්, මිලිටරිකාරයන් වරදකරුවන් කර තදබල දඬුවම් ලබා දීමෙනි.

- 2023 ජුනි 27 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “UN calls out TRC bluff” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment