Monday, 24 July 2023

යුක්තිය වෙනුවට තුවක්කු..! පහනක් දල්වන්න ඉඩ නොදී ගුටි දෙයි..! කළු ජූලියේ 40 වැනි සමරුවේ රනිල් පහරයි..! (Photo & Video)

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.24, ප.ව.10.45) සැළසුම් සහගත ජන සංහාරයක් වූ කළු ජූලිය ට, ඊයේ(23) දින වන විට, වසර 40ක් සම්පූර්ණ විය. යුක්තිය නොළද එම වසර 40 පුරාම ලංකාවේත්, ලංකාවෙන් පිටතත්, කළු ජූලිය ට ගොදුරු වූවන්ට යුක්තිය ඉල්ලා මෙන්ම එවන් සංහාරයක් යළි ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ගයන් සහ 1983 ජූලියේ දී සාහසික මැරයින්ගේ ගොදුරු බවට පත්ව මිය ගිය සියලු දෙනා ස්මරණය කිරීම් සිදු විය.

කොළඹ සැමරුම්වලට බාධා..

කළු ජූලිය පාදක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී තරුණ සංගමය විසින් "බෙදෙන්නෙට ඉඩ නොදෙමු..! එක්ව අපි පියාඹමු..!!" යනුවෙන් පාගමනක්, හයිඩ් පිටියේ සිට විහාරමහාදේවි රංග පීඨය දක්වා සංවිධානය කර තිබිණි. කෙසේ නමුත් අතර මගදී කැරළි මර්දන පොලීසිය සහ හමුදාව යොදවා එම පාගමනට ජල ප්‍රහාරයන් එල්ල කළේය. එම ජල ප්‍රහාරයන් සහ විවිධ බාධා කිරීම් මධ්‍යයේ විහාරමහාදේවී උද්‍යානයේ සංවිධානය කර තිබු සංස්කෘතික වැඩසටහන පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබිණි

එම සාමකාමී පාගමනට පොලීසිය යොදවා එල්ල කළ ප්‍රහාරය මුලු ලෝකයම බලා සිටියේය. දැන් බලය හොබවන රනිල් වික්‍රමසිංහ ඒ ගැන කුමක් කියන්නේද? එවැනි සැමරුමක් සාමකාමීව සිදුකිරීමටවත් වික්‍රමසිංහ පාලනය යටතේ ඉඩක් නැති බවත්, කළු ජූලිය ට සහ එවැනි සියලු අපරාධයන්ට, මෙවැනි පාලකයින් යටතේ කිසිදු කළක යුක්තිය ඉටු නොවන බවත් නොවේද?

“මරණය වෙනුවට, ජීවිතය යදින මිනිසාට සවන් දෙන්න ඔබත් එන්න”

“මරණය වෙනුවට, ජීවිතය යදින මිනිසාට සවන් දෙන්න ඔබත් එන්න” 83 කළු ජූලිය ට වසර 40යි යනුවෙන් සැමරුමක් සංවිධානය කර තිබුනේ බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිට දී ය. එය සංවිධානය කර තිබුණේ ‘උතුරු- දකුණු සහෝදරත්වය විසිනි. වැඩසටහන පැවැත්වීමට පෙර සිටම සුසානභූමිය අවට 500කට වැඩි පොලිස්, විශේෂ කාර්ය බලකා සහ හමුදාව ආයුද සන්නද්ධව කැඳවා තිබිණි.

“ඇයි මෙච්චර හමුදාවක්, යුද්දෙකට යනවා වගේ, ආයුධත් එක්ක. අපි ඉන්නේ සාමකාමී සත්‍යග්‍රහයක් කරන්න. 83 දී ජූලියේ දී මරා දාපු සියලු දෙනා වෙනුවෙන්. අපි පහන් පත්තු කරනවා එච්චරයි. මොකටද මෙච්චර ආයුද සන්නද්ධ හමුදාවක් එවලා තියෙන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා” එතැනට එක්ව සිටි සමාජ ක්‍රියාකාරිකයෙක් පැවසීය.

සාමකාමී සිහිකිරීමට ජාතිවාදී කුළී කුක්කං කඩා පනී..

සිහිකිරීමේ වැඩසටහන ආරම්භයටත් පෙරම 10 කට ආසන්න ජාතිවාදී කුළී කුක්කං පිරිසක් පැමිණ, එතැනට එක්ව සිටි 30 කට ආසන්න පිරිසට බාධා කරන්නට විය. ‘කළු ජූලියේදී එක්කෙනෙක්වත් මැරිලා තියනවද? පෙන්නන්න බලන්න’ එක් සිංහල වර්ගවාදියෙක් ඇසුවේය. එයින් කියවුනේ සැළසුම් සහගතව සිදුකිරීමට නියමිත නාට්‍ය අවුල් බවයි. කෙසේ නමුත්, සාමකාමී සිහිකිරීම් වැඩසටහනට පැමිණ සිටි පිරිසට දිගින් දිගටම තර්ජනය කරමින් හැසිරුනු එම ජාතිවාදී කුළී කුක්කං එතැනින් ඉවත් කරනවා වෙනුවට, පැමිණ සිටි පොලීසිය උත්සාහ ගනු ලැබූවේ, සිහිකිරීම් වැඩසටහනට පැමිණි සාමකාමී පුරවැසියන් එතැනින් ඉවත් කිරීමටයි.

‘මරණවා තෝ ඔතැනම’ පොලීසිය බලා සිටියදීම එක් ජාතිවාදී කුළී කුක්කෙක් තර්ජනය කළේය. සෑම විටම මෙන් පොලීසිය ජාතිවාදී මැරයන්ගේ පැත්තේ බව අවබෝධ වන්නට තවත් දේවල් අවශ්‍ය වූයේ නැත.

[පොලීසිය ඉදිරියේ සාකාමී පුරවැසියන්ට මරණ තර්ජනය කළේ මොවුන්ය. එක් අයෙක් හිටපු හමුදා නිළධාරියෙක් ලු! සේයාරූ සහ වීඩියෝව බලන්න]

‘පහන් බෑ’ පොලීසිය කියයි..

සිහිකිරීමේ වැඩසටහනට පැමිණ සිටි අය විසින් පහන් දැල්වීමට උත්සාහ කිරීමේදී ජාතිවාදී කුළී කුක්කං විසින් එය කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයේදී පොලීසිය හැසිරුනේද ජාතිවාදී කුළී කුක්කං පාර්ශවයේ ලෙස වීම පුදුමයක් වුව පුදුමයක් නොවේ. ‘පහන් පත්තු කරන්න බෑ, කෝ වතුර ගහන්න ගේන්න කියන්න’ උසස් පොලිස් නිළධාරියෙක් කීවේය. “ඒත් ප්‍රශ්ණයක් තියනවා මුං පහන් පහත්තු කරන්නේ මල් ශාලාව ඉස්සරහා නේ…” තව පොලිස් නිළධාරියෙක් කීවේ ය.

නමුත් ජල විදින භාවිතා නොවුවත් පොලීසිය විසින් පොල්තෙල් පහන් සහ ඉටි පන්දම් විනාශ කරමින් හැසිරුණේ ධර්මචක්‍රයත් අලවා ගෙන සිටි පොළිස් නිළ ඇඳුමත් සමග වීම පුදුමයට කරුණකි. එම සිදුවීමේදී අතුරුදහන් කළ සිය සැමියා සොයමින් වසර ගණනාවක් ඇවිද යන සන්ධ්‍යා එකැණැලිගොඩගේ අත සීරිමට ලක්වීමත් සහ රත් වූ පොල්තෙල් ශරීරයට වැටීමෙන් ඇය පීඩාවට ද පත් විය.

පහන් පාගා කුඩු කරයි..

ඉන් පසු බිම වැටි තිබූ පහන් පොලීසිය විසින් පාගා කුඩු කරන ලද්දේ කළු ජූලිය ට යුක්තිය තබා පහනක් දල්වා මළවුන් සිහි කිරීමටවත් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ඉඩක් නැති බව නැවතත් ලොව හමුවේ තබමින්ය.

මෙයත් කළු ජූලිය මෙන්ම සැළසුම් සහගත ක්‍රියාවක් නොවන්නට ඉඩ නැත.

ප්‍රශ්න කිහිපයක් මතුවේ..!

30 කට ආසන්න පිරිසක් විසින් 83 ජූලියේදී දී මරා දැමූවන් සිහිකිරීමේ සාමකාමී වැඩසටහනට පැමිණි ජාතිවාදී කුළී කුක්කං 10 කට අඩු පිරිස එතැනින් ඉවත් කිරීමට, පොලීසියට නොහැකි වූයේ ඇයි?

කුළී කුක්කං ඉවත් කරනවා වෙනුවට සාමකාමීව සිහිකිරීම් වැඩසටහනට එක්ව සිටි පුරවැසියන් ඉවත් කිරීම කළේ ඇයි?

මළවුන් සිහිකර පහනක් දැල්වීමට මිනිසුන්ට ඇති ‘අයිතිය’ පොලීසිය විසින් උදුරා ගත්තේ ඇයි?

‘තොපි මරණවා’ යැයි සාමකාමී වැඩසටහන මැදට පැමිණ කුළී කුක්කං තර්ජනය කරන විට, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට නොහැකි වූයේ ඇයි?

නිරායුද සාමකාමී පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවට ජාතිවාදී කුළී කුක්කං ආරක්ෂා කිරීමට ක්‍රියා කළා යැයි යමෙක් කිවහොත් පොලීසියේ පිළිතුර කුමක්ද?

නැවතත් “සත්‍ය සහ සහජිවනය සඳහා වන කොමිසමක්”(TRC) යෝජනා කරමින් සිටින ජනාධිපති වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද?

“නැවත කළු ජූලියක් ඇති කරන්නට අපි ඉඩ තියන්නේ නෑ”

“මෙතෙන්නට ඇවිල්ලා අපිට බාධා කරන අය වගේම, පිරිසක් ඉන්නවා නැවත වරක් 83 කළු ජූලියක් ඇති කරන්න බලාගෙන. අපි ජීවත්වෙලා ඉන්නකං ඒකට ඉඩ තියන්නේ නෑ”  එක්සත් සමාජවාදී පක්ෂයේ, සිරිතුංග ජයසූරිය ප්‍රකාශ කළේය.

-සේයාරූ, වීඩියෝව සහ වාර්තාව "විකල්ප" විසිනි









වීඩියෝව පහතින් බලන්න




No comments:

Post a Comment