Sunday, 16 July 2023

පොලිසියේ වර්තමාන ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පති සේවය කරන්නේ නීති විරෝධීව..! රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධිකරණයට අපහාස කරලා..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.16, ප.ව.8.45) ශ්‍රී ලංකා පොලිසියේ වර්තමාන ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරයා වන පොලිස් මුලස්ථානයේ පරිපාලනය බාර නිලධාරී නිලන්ත ජයවර්ධන සේවයේ නියුතුව සිටින්නේ නීති විරෝධීව බව වාර්තා වේ. ඒ එසේ වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සත් දෙනෙකු විසින් දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම නිසා ය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව  පෙත්සමේ තීන්දුව 2023 ජනවාරි 12 දින ප්‍රකාශයට පත් කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කෙළේ ජ්‍යෙ.නි.පොලිස්පති නිලන්ත ජයවර්ධන බුද්ධි අංශ ප්‍රධානියා ලෙස සිය රාජකාරී වගකීම පැහැර හැර ඇති බවත්, ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. ඒ සමගම ඔහුට රුපියල් මිලියන 75 ක වන්දියක් වින්දිතයන් වෙත ගෙවන ලෙසද නියෝග කළහ. 

මෙකී නියෝගය දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන අයයි.    

සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගය අද වන විට බලු බෙට්ටක් තරම් වත් ක්‍රියාත්මක වී නැත. නිලන්ත ජයවර්ධන නියම කළ වන්දි මුදල ගෙවා නැති අතර ඔහුට එරෙහිව අබ මල් රේණුවක විනය ක්‍රියාමාර්ගයක් ද ගෙන නැත. 

මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුත්තේ විනය බලධාරීත්වය උසුලන රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. 

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි එහි වත්මන් සාමාජිකයන් මෙසේ ය.

සභාපති - සනත් ජේ. එදිරිවීර, එස්. එම්. මොහොමඩ් (මිය), එන්.එච්.එම්. චිත්‍රානන්ද, මහාචාර්ය එන්. සෙල්වකුමාරන්, එම්. බී. ආර්. පුෂ්පකුමාර, දොස්තර ඒ. ඩී. එන්. ද සොයිසා (මිය), ආර්. නඩරාජාපිල්ලේ (මිය), සී. පල්ලෙගම, ජනාධිපති නීතිඥ ජී. එස්. ඒ. ද සිල්වා 

ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල දුන් නියෝගය ඉහත සාමාජිකයන් සියළුම දෙනා විසින් මාස 6 ක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීම අනුව ඔවුන් සියළුම දෙනා අධිකරණයට අපහාස කිරීමේ වරද සිදුකර ඇත. 

ඒ අනුව නීතියක් ක්‍රියාත්මක වන රටක නම් මේ කොමිසමේ සාමාජිකයන් සියළුම දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් නොලබා සිටීමට කරුණු විමසා දඬුවම් ලබා දිය යුතුය. 

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

No comments:

Post a Comment