සති දෙකක් තුල රුපියල සීඝ්‍රයෙන් කඩා වැටුනේ ඇයි කියා ඔබ දන්නවා ද..? විගණකාධිපතිගේ කතාවෙන්වත් ඇස් ඇරේවා..!
-ශාන්ත ජයරත්න විග්‍රහ කරයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.27, ප.ව.7.10) අවුරුද්දේ පළමු මාස හයේ ආසියාවේ ශක්තිමත්ම හා කාර්‍යකෂම මුදල් ඒකකය වූ ලංකාවේ රුපියල මේ වන විට අකාර්යක්ෂම හා දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව ලෝකයේ කීර්තිමත් ආර්ථික හා මූල්‍ය විශ්ලේෂණ පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් (Bloomberg) ජූලි 24 දින වාර්තා කොට තිබුණි. https://www.ft.lk/front-page/Rupee-goes-Asia-s-best-to-worst-in-three-weeks/44-750996
මේ මාසය තුල පමණක් ඩොලරයට සාපේක්ෂව රුපියල 6% කින් කඩා වැටී ඇති බවත් , එම කඩාවැටීම එක දිගට දින 14 ක් පැවතීම හා මෙතරම් අගයකින් ඉතා කෙටි කලක් තුල පහළ යෑම පසුගිය අවුරුදු 05 ට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් බවත් බ්ලූම්බර්ග් කියයි. පළමු මාස 06 ආසියාවේ කාර්‍යක්ෂමතාවය අතින් 19% වැනි ඉහළම අගයක් වාර්තා කළ රුපියල (Asia's Top Performer) මෙසේ දුර්වල වෙමින් යන්නේ ඇයි?
රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණ වුනේ ඇයි?
බ්ලූම්බර්ග් ට අනුව රුපියල අවප්‍රමාණය වීමට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ මහබැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත තව දුරටත් අඩුවනු ඇතැයි වෙළඳපොළේ තිබෙන අපේක්ෂනය සහ එමගින් විය හැකි අනපේක්ෂිත චලනයන් (Headwinds) මගින් ඇති වන බලපෑම පිළිබඳ තිබෙන අවිනිශ්චිත බව සහ මෑතක කිහිප විට ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් ඩොලරයට තිබූ ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යෑම ආදිය බවයි.
මේ වන විට වෙළඳපොළ ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව ඩොලර් සැපැයුම යම් සැලකිය යුතු මට්ටමකින් අඩු වීම සහ මහබැංකුව විදේශ විනිමය වෙළෙඳපොළ කටයුතු වලට කරන සීමිත මැදිහත් වීමද මෙම තත්ත්වයට බලපා ඇත. මේ මොහොත වන විට මහබැංකුව සතුව ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් නොතිබීම තුල (මහබැංකුව සතුව භාවිතයට ගත හැකි ඩොලර් සංචිතය බිලියන 2 ට අඩුය) වෙනදා මෙන් වෙළෙඳපොළට ඩොලර් අලෙවි කොට තත්ත්වය පාලනය කිරීමටද හැකියාවක් නැත. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකඟතාවය මත වෙළෙඳපොළ ඉල්ලුම හා සැපැයුම බලවේග මත ඩොලරයේ මිල තීරණය වීමට ඉඩ හැර තිබීම අනෙක් හේතුව යි. ඒ වගේම වසර අග වන විට රට තුල ඩොලර් බිලියන 4.5 ක විදේශ සංචිතයක් පවත්වා ගැනීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකි. වෙළෙඳපොළේ ඩොලර් හිඟ වීමට තවත් හේතුවක් වූයේ පසුගිය දා කල්පිරුණු සංවර්ධන බැදුම්කර යම් ප්‍රමාණයක් පියවීම සඳහා බැංකු සතු ඩොලර් යෙදවීමට සිදුවීමත් බව දැන ගන්නට ඇත.
එමෙන්ම, නැටිග්සිස් හොංකොං මූල්‍ය ආයතනයේ ආර්ථික විද්‍යාඥයකු වන හඔක්සින් මූ (Economist Haoxin Mu at Natixis SA Hongkong) පුරෝකථනය කරන අන්දමට මෙම වසර අග වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් 8% කින් අවප්‍රමාණය විය හැකි බවත් ඩොලරය රුපියල් 355/- මට්ටමට යා හැකි බවත් බ්ලූම්බර් ප්‍රකාශ කොට ඇත. එහෙත් , ෆිච් රේටින් (Fitch Ratings) ආයතනයට අනුව එය රුපියල් 395/- පසුකර යෑමට ඉඩ ඇත. එසේ නම් රජය මේ අවස්ථාවේ කළ යුත්තේ සියළු උත්සාහයන් යොදවා හැකි තාක් ඩොලර් උපයා ගැනීමට තිබෙන මාර්ග ප්‍රයෝජනයට ගැනීමයි. ඔවුන් එසේ කරන බවක් පේන්නට තිබෙනවා ද ?
තානාපති කාර්යාල වලින් වැඩක් ගන්නේ නෑ...
රටවල් 60 කට වැඩි ප්‍රමාණයක ලංකාවේ තානාපති හෝ කොන්සල් ජනරාල් කාර්යාල ඇත. එම නිළධාරීන්ට කිසියම් ඉලක්කයක් ලබා දී එම රටවල සංචාරක සමාගම් සමග සම්බන්ධ වී මසකට කිසියම් සංචාරකයන් සංඛ්‍යාවක් ලංකාවට එවීමට කටයුතු කළ නොහැකි ද? එසේ කටයුතු නොකරන තානාපතිවරුන් ගෙන් නිදහසට කරුණු විමසිය නොහැකි ද? සෑම තානාපති කාර්යාලයකටම ඉලක්ක ලබා දී වාර්ෂිකව කිසියම් සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමට මග පෙන්වීම් කළ නොහැකි ද? ලංකාවේ ශ්‍රමිකයන් වැඩි වශයෙන් සේවය කරන රටවල දේශීය බැංකු ශාඛා ඇති කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කොට හැකි තාක් විදේශ ප්‍රේශන ලංකාවට කැඳවා ගැනීමට උස්සාහ නොකරන්නේ ඇයි ? ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජීවත් වන රටවල් සඳහා ලංකාවේ නිෂ්පාදන , එළවළු , පලතුරු, මාළු වැනි දෑ අපනයනය කිරීමට දේශීය අපනයන කරුවන්ට වෙළෙඳපොළ සොයා දීමට තානාපති කාර්යාල මැදිහත් නොකරන්නේ ඇයි? ලංකාවේ ආයෝජකයන්ට විදේශ රටවල තම ආයෝජන ඇති කිරීමට හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් තානාපති කාර්යාල හරහා ලබා දී ලෝක සැපැයුම් ජාල වලට සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය නොහැකි ද? එහෙත් මේ පාලකයන් කරන්නේ කුමක්ද ? විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගිය පිරිස් හෝ හිතවතුන් සඳහා තානාපති තනතුරු ලබා දී නිවාඩුවක් ගත කිරීම සඳහා මහජන මුදලින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් පිටින් නඩත්තු කරමින් පිටරට පැටවීම නොවේද? ඩොලර් ආදායම් ඉපැයීමට ඕනෑ තරම් අවස්ථා තිබිය දී මේ පාලකයන් කරන්නේ උතුරු නැගෙනහිර සම්පත් සහ දේපළ ඉන්දියාවට විකිණීමත්, දකුණේ සම්පත් චීනයට විකිණීමත් තුලින් සොයා ගන්නා කිසියම් ඩොලර් ප්‍රමාණයක් පමණි. එසේ නොමැතිව රට ගොඩනැගීම සඳහා කුමන තිරසර සංවර්ධන වැඩපිළිවෙළක් ඔවුන් ක්‍රියාත්මක කරනවා ද ? මෙතෙක් කර තිබෙනවා ද ?
ඒ අතරේ පුදුම තීන්දු..
මේ අතර ඊයේ මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් තවත් විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත. එහි සඳහන් වන්නේ ලංකාවෙන් විදේශ ගත වන පුද්ගලයන් සඳහා විනිමය රැගෙන යෑමට පනවා තිබූ සියළු සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කොට හෝ පැවති සීමා විශාල ලෙස ලිහිල් කොට ඇත. උදාහරණයක් ලෙස පළමු වරට විදේශ ගත වන පුද්ගලයකුට රැගෙන යා හැකිව පැවති ඩොලර් 30,000 සීමාව 50,000 දක්වා වැඩි කොට ඇත. ලංකාවේ ලියාපදිංචි විදේශීය සමාගම් සඳහා ඔවුන්ගේ කොටස් ආයෝජන හෝ හෝ වෙනත් කොටස් සම්බන්ධ කටයුතු සඳහා ලංකාවේ උපයන ඩොලර් ආදායම විදේශ වලට ගෙන යාමට තිබූ වාරණය සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඇත. මහබැංකුවේ මෙම නවතම තීරණය මත ඩොලරයට ඇති ඉල්ලුම ඉදිරියේදී තවත් ඉහළ යා හැක. මහබැංකු නිවේදනය සඳහා https://www.cbsl.gov.lk/en/press-releases එය අද මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමේ දී ඔබට පෙනී යනු ඇත.
විගණකාධිපතිගේ ප්‍රකාශයෙන් වත් ඇස් ඇරේවා..
ලංකාවේ දේශපාලකයින් මෙන්ම බොහෝ ජනයා හිතන්නේ සහ කතා කරන්නේ පළමු ලෝකයේ මිනිසුන් ලෙසය. එහෙත් ජීවත් වන්නේ තුන් වන ලෝකයේ මිනිසුන් ලෙස බව ඔවුන් නොදනී (දුක). රටේ ජනයා දැන් වත් සිතිය යුත්තේ අපිට එසේ ජීවත් වීමට සිදුවූයේ ඇයි ද යන්නයි (දුකට හේතුව). එක් හේතුවක් පසුගිය දා විගණකාධිපති වරයා පාර්ලිමේන්තුවේ පැවති කෝපා කමිටුව සංවිධානය කළ සම්මාන පිරිනැමීමේ උත්සවයකදී ප්‍රකාශ කළේ ය. ලංකාවේ රජයේ ගිණුමේ රුපියල් ට්‍රිලියන 8ක ව්‍යාපෘති ණය ලබා ගෙන තිබුණත් , රටේ වත්කම් තිබෙන්නේ රුපියල් ට්‍රිලියන 02 ක පමණක් බව ඔහු සංඛ්‍යා දත්ත උපුටා දක්වමින් පෙන්වා දුනි. ඉතිරි ට්‍රිලියන 06 ට වූ දෙයක් සොයා ගැනීමට 2015 සිට උස්සාහ ගත්තත් මෙතෙක් නොහැකි වූ බව විගණකාධිපති වරයා කීවේය. රටේ ජනයා තවදුරටත් මේ දුකේ සිටිනවා ද කියා දැන්වත් කල්පනා කළ යුතු නොවේද (දුක නැති කිරීම) ? මේ දුකෙන් මිදීමට මාර්ගය වන්නේ පවතින අර්බුදයට පැලැස්තර විසඳුම් සොයන රජයක් වෙනුවට ඉලක්කයක් , වැඩපිළිවෙළක් , සහ දූෂණයෙන් තොර රටේ ජනයාට වගවෙන අදූෂිත පාලනයක් බිහිකර ගැනීමයි (දුක නැති කිරීමේ මාර්ගය). ඒ සඳහා රටේ ජනයාට අවශ්‍ය නැණ නුවණ දැන් වත් පහළ වේවා!!
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
https://www.lankaenews.com/category/102

No comments:
Post a Comment