Wednesday, 12 July 2023

ලෝක සාමයේ සහ බලාපොරොත්තුවේ පහනක් වූ අතිපූජ්‍ය දළයි ලාමා..! ලංකාවේ ව්‍යාජ මහණුන් සහ උන්ව පුදන ගිහියන් කියැවිය යුතුම ලිපියක්..!

-දළයි ලාමාතුමන්ගේ 88 වැනි ජන්ම දිනය වෙනුවෙන් කුඩගම්මන සීලරතන හිමියෝ ලියති

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.12, ප.ව.7.45) අති පූජ්‍ය දළයි ලාමාතුමාණෝ මේ සතියේ 88 වන වියට පිවිසුණහ. ශ්‍රී ලාංකික භික්ෂුව සහ බුද්ධාගම මහත් ව්‍යසනයකට මුහුණ පා තිබෙන සමයක යෙදුණ එම අවස්ථාවෙන් අපට ගහැකි සුසමාදර්ශයන් බොහෝ ය. සුවිශේෂ වශයෙන්, අතිශයින් ආදර්ශවත් වූ එතුමන්ගේ උපන්දින කේක් ගෙඩිය ඉතාමත් කුඩා එකකි. ශ්‍රී ලාකාවේ තමන් රහතන් වහන්සේ කෙනෙකුය, ධර්මාවබෝධය ලැබූවෙකි යයි පුන පුනා කියන සමන්තභද්‍ර ඔහුගේ උපන්දිනයට සහභාගිවූවන් සමග බෙදා ගැනීමට සැකසූ ඌරුමස් හට්ටියක් හැඳිගාන යූටියුබ් එකක් අන්තර්ජාලයෙහි තිබේ. සිය ප්‍රතිරූප ගොඩ නගා ගනිමින්, කොන්ක්‍රිට් වැලි ගඩොල්වලින් බුදුන් වහන්සේගේ ධර්මය කඳු මුදුන්වල තැන්පත් කර බබුළුවන්නට වැර වෑයම් කරන අතර ම, කෙළවරක් නැති අසික්කිත කම්වලින් මුළු ශ්‍රී ලංකාවේ ම නම කැත කරන සිවුවණක් පිරිසක් සිටින දූපතකට දළයි ලාමාතුමන්ගේ ආදර්ශය වැටහේ දැ’යි සැක සහිත ය.

දළයි ලාමා කෙනෙකු යනු කවරෙකු ද?

තම නිල වෙබ් අඩවියෙහි උන්වහන්සේ දළයි ලාමා කෙනෙකු යනු කවරෙකු දැ’යි හඳුන්වා තිබේ.  “අවලෝකිතේශ්වර හෝ චෙන්රෙසිග් හෙවත් අනුකම්පාවේ බෝසත්තුමන් මෙන් ම තිබ්බතයේ අනුශාසක සාන්තුවරයාගේ ප්‍රතිමූර්තිය ලෙස විශ්වාස කෙරෙන්නේ දළයි ලාමාවරුන් ව ය. බෝසත්වරුන් යනු, තම නිර්වාණය කල් දමා මනුෂ්‍යත්වයට සේවය කිරීම සඳහා නැවත ඉපදීම තෝරා ගත් ප්‍රබුද්ධ මනුෂ්‍යයන් විශේෂයක් ලෙස විශ්වාස කෙරේ. ”

සිය ප්‍රකාශන සහ ලේඛන මගින් ඒ බෝධිසත්ව පරමාදර්ශය ම පිළිබිඹු කරවන දළයි ලාමා සමස්ත ලෝකයේ ම අභිවාදනයට පාත්‍ර වන උත්තම බෞද්ධ භික්ෂුවකි. කිසිවටෙකත්, වැලි, ගඩොල්, සිමෙන්ති තෙරුවන කර නොගත් උන්වහන්සේ සිය ජන්මදිනය සැමරුමට සහභාගි වූවන් අමතමින් මෙසේ පැවසූහ.

දිනපතා ජප කරන මන්ත්‍රය..

“මගෙ යහළුවනේ, මං අද මගෙ දිනපතා ජප කරන මන්ත්‍රය ඔය ඇත්තන්ට කියන්න කැමතියි. ඒක මෙහෙමයි:

අහස පොළොව පවතින තුරු,
ජීවය ලොව පවතින තුරු,
මට ජීවත් වන්න ලැබේවා!
දුකින් මිදීමක් ලබන්න
දයාවත් ව උදව් කරන්
තවත් කලක් මේ ලෝකේ ඉන්න ලැබේවා!”

“සතුට සොයන ජීවීන් මෙලොව සිටිනාතාක් කල් ඔවුනට උදව් කිරීමට මම නැවත නැවතත් ආපසු එමි.”  

“අම්ඩෝ ප්‍රදේශයෙහි මා උපත ලබන්නේ, පෙර කරගෙන තිබුණ පින්දහම් බලයෙන් සහ වන්දන මානනයන්ගේ ශක්තියෙනි. එතැන් පටන් සියළු දෙනාගේ ම යහපත වෙනුවෙන් මට කළහැකි හැම උදව්වක් ම මම කර ඇත්තෙමි.” 

“අද දින ඔබ සමරන්නේ මගේ අසූ අටවන ජන්ම දිනයයි. ඒත්, කණ්ණාඩිය ගාවට ගියාම නම් මට මාව පෙනෙන්නෙ තවමත් පණහක් වගේ ඇති කියලයි. මගෙ මුහුණෙන් කොහොමවත් ම වියපත් බවක් පෙනෙන්නේ නෑනෙ. වයසත් එක්ක බලන්න මූනෙ රැළි වැටිල නෑ. තවත් කියනව නම්, මගෙ දත්ටික සේරම අපූරුවට තියෙනව. මට හපන්න බැරි කිසිම දෙයක් නෑ.”

“තිබ්බතයෙ ඉපදුණ නිසා මට තනතුරක් ලැබිල තියෙනව. ඒ නිසයි මට දළයි ලාම කියන නම ලැබිල තියෙන්නෙ. ඒ නොවන්න මාත් සාමාන්‍ය භික්ෂුවක්. කිසි ම විශේෂත්වයක් නෑ. තිබ්බතය සම්බන්ධයෙන් කටයුතු කරන අතරෙ ම මම, වැඩ කරල තියෙන්නෙ සමස්ත ජීව ගෝලයේ ම සුබ සිද්ධිය වෙනුවෙන්. බලාපොරොත්තු කඩ කර නොගෙන, මගේ අධිෂ්ඨානශීලී භාවය උත්කර්ශයට නැංවිය හැකි හැම දෙයක් ම මං කරල තියෙනව. මං කිසිම කෙනෙක් එක්ක තරහක් නෑ. අඩු ම තරම, තිබ්බතය ගැන සැහැසි ලෙස ක්‍රියා කරන චීන නායකයින් එක්කවත් තරහක් නෑ.”

“ඓතිහාසික වශයෙන් තිබ්බතය වගේ ම චීනයත් බුදුන් වහන්සේගේ දහමෙන් පෝෂණය වෙච්ච රටවල්. කෙළවරක් නැති පන්සල් ඒකට සාක්ෂි දරණව. ඒක මම දැක්ක එහෙ ගියෙද්දි.”

අවුරුදු සීයකට වඩා ඉන්න අනාවැකිමය ඇඟවීම්..

“තිබ්බතීය සංස්කෘතියෙත්, ආගමෙත් මහා පරිමාණ වශයෙන් ගත්තොත් ලෝකයට විශාල යහපතක් සැළසිය හැකි දැනුමක් තියෙනව කියලයි මං විශ්වාස කරන්නෙ. කෙසේ වෙතත්, මම අනෙක් හැම ආගමික සම්ප්‍රදායකට ම ගෞරව කරනව. මොකද, ඒ හැම ආගමක්මත් තමන්ගෙ අනුගාමිකයන්ට උගන්වනව ආදරණීය වෙන්න වගේ ම, දයාවන්ත වෙන්න.”

“මං අවුරුදු සීයකට වඩා ඉන්න බලාපොරොත්තු වෙනව කියන සිහිනය වගේ ම වෙනත් අනාවැකිමය ඇඟවීම් මට තියෙනව. මෙතුවක් කල් මං අනෙක් අයට සේවය කරල තියෙන අතරෙ, මම තවමත් ඉන්නෙ එය දිගට ම කිරීමට අධිෂ්ඨාන කරගෙනයි. ඒ පදනමේ ඉඳගෙන මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න.”

ආගම කියන්නේ කුමක්ද?

“මාවෝ සේතුං එක්ක පවත්වපු අවසාන හමුවෙදි එතුම මගෙ විද්‍යානුකූල ආකල්පයට ප්‍රශංසා කරල ආගම විවේචනය කළා. ආගම කියන්නෙ වස කියල කිවුව. ඒත්, මං හිතන්නෙ ආගම කියල කියන්නෙ ඔය පුදපූජා, යාඥා පැවැත්වීම ම නෙවෙයි. ආගම කියන්නෙ අනෙක් අයට උදව් කිරීමට කරුණාවෙන් පෙරමුණ ගැනීම.”

“වෙලාවකට මට හිතෙනව මාවෝසේතුං අද හමුවුණොත් ඔහුත් එක්ක කතාබස් කරන්න මට ඉඩක් ලැබෙන එකක් නැතිවුණත්, මගෙ විශ්වාසය සමාජවාදී චින්තනයෙ උනත් ආගමේ ඡායා මාත්‍රයක්වත් තියෙනව කියලයි. ආගම කියන්නෙ අනෙක් අයට සේවයක් කරගෙන හොඳ ජීවිතයක් ගත කරන එක.”

“දැනටමත් සඳහන් කර ඇති පරිදි, මා තවත් වසර පහළොවක් හෝ විස්සක් ජීවත් වන බවට ඇඟවීම් තියෙනව. ඒ කාලය තුළ ලෝකයේ වෙනසක් සඳහා - ආයුධ සහ  හමුදා බලය භාවිතා කිරීම අවසන් වෙයි කියන බලාපොරොත්තුවක් තිබෙනව. මිනිසුන් සාමයෙන් හා මිත්‍රත්වයෙන් ජීවත් වීමට ඉගෙන ගනිත්වා!”

“මූලික බෞද්ධ ග්‍රන්ථ යෝජනා කරනව ක්‍රමයෙන් ලෝකය ගින්නකින් දැවිල විනාශ වෙනවය කියල. ඒක වෙනකම්, අපට සිද්ධ වෙනව වඩාත් සාමකාමී, මිත්‍රශීලී ස්වරූපයකින් ජීවත් වෙන්න. අපට පුළුවන් තරම් හොඳින් අපි ධර්මය පුහුණුවීම කරනව නම්, ක්‍රමයෙන් අපි අපේ පණිවිඩය අනෙක් ලෝකවලටත් ගෙනයයි.”

“දළයිලාමා කියන නම එක්ක මට ඒ තරම් ප්‍රශ්නයක් නෑ. මට තියෙන ප්‍රශ්නය කොහොමද මම තව තවත් මේ සේවාවන්හි නිරත වෙන්නෙ කියන එකයි. ඇත්තෙන් ම, මට කෑම බීම අවශ්‍ය ජීවිතය පවත්ව ගන්න විතරයි. වෙන මොන ම දේකටවත් නෙවෙයි. මගෙ ලොකු ම උවමනාව සෙසු සියළු ම සත්වයන්ට සෙවය කිරීමයි. ස්තුතියි.”

තිබ්බතීයයන් සහ දළයි ලාමා..

පැරණි සාම්ප්‍රදායික තිබ්බතීය සමාජය නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බවට ප්‍රතිසංස්කරණය කිරීමේ අතිපූජ්‍ය දළයි ලාමාතුමාගේ දිගු කාලීන දැක්ම සැළකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් ගෙන ඒමෙන් පසු විශාල සාර්ථකත්වයක් අත්කරගෙන තිබේ. 2011 දී, දළයි ලාමා ස්වේච්ඡාවෙන් හා ආඩම්බරයෙන් තමාට උරුම ව තිබුණ ඉතිරි දේශපාලන අධිකාරිය සෘජුව ම තේරී පත් වූ තීබ්බතීය නායකත්ව මණ්ඩලයකට පවරා දුන්නේ ය. උන්වහන්සේ නිතර ම කියා සිටින්නේ, තමා පූර්ණ විශ්‍රාමික දිවියක් දැන් ගත කරන බව ය.

තිබ්බතයේ සිටින තිබ්බතීයයන් සහ පිටුවහල් ව සිටින අය දළයි ලාමා කෙරෙහි දක්වන භක්තිය පිළිබඳ  විවාදයක් නැති අතර, තිබ්බතීයයන් සහ අති පූජ්‍ය දළයි ලාමා අතර තිබෙන  බැඳීම නොවෙනස් ව පවතියි.

අසූඅට වන වියෙහි දී පවා දළයි ලාමාතුමන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ය. ප්‍රීතිමත් ය. තිබ්බතීයයන්ට මෙන් ම සෙසු මහජනතාවටත් මානුෂීය සේවා සැපයීම සඳහා ම කැප වූවෙකි.

දළයි ලාමාතුමන් සිය අසූඅට වන ජන්ම දිනය සමරණ  මෙම සුවිශේෂ අවස්ථාවෙහි තිබ්බතීයයන් සහ ලොව පුරා පීඩාවට පත් සුළු ජාතීන් සඳහා වූ ගෝලීය සන්ධානය උන්වහන්සේට ඉතා උණුසුම් සුබ පැතුම් පිරිනමයි. අතිපූජ්‍ය දළයි ලාමාතුමන් දිගුකල් දිනේවා!

දළයි ලාමාතුමන් කැපවී සිටින ප්‍රධාන ප්‍රතිපත්ති හතර..

ශ්‍රේෂ්ඨ සදාචාර සම්පන්න නායකයෙකු මෙන් ම, පිළිවෙත් ගරුක මනුෂ්‍යයෙකු ලෙස ලොව ම දළයි ලාමාතුමන්ගේ ජන්ම දිනය සමරන මෙම අවස්ථාවෙහි උන්වහන්සේ කැපවී සිටින ප්‍රධාන ප්‍රතිපත්ති හතර ශ්‍රී ලාංකිකයන්ට ද කියා දීම මැනවැ’යි ලංකා ඊ නිවුස් කල්පනා කරයි.

1. පළමුවැන්න, මනුෂ්‍යයකු වශයෙන් අතිපූජ්‍ය දළයි ලාමාතුමන් වඩාත් සැළකිළිමත් වන්නේ, මිනිසුන් සතුටින් තැබීමට ය. ඔවුන්ගේ සිත් අවුල් ව ඇත්නම්, ඔවුනට කායික ව සුවපත් විය නොහැකි බව වටහා ගැනීමට උදව් කිරීමට ය. ඔවුන්ගේ සිත් සාමකාමී නම්, ඔවුනගේ සන්සුන් බව යටපත් කිරීමට කායික වේදනාවන්ට නොහැකි වන බව වටහා ගැන්මට මග පෙන්වීමට ය. උන්වහන්සේ අවවාද කරන්නේ,  දයාව, සමාව දීම, ඉවසීම, සෑහීමකට පත් වියහැකි බව සහ ආත්ම දමනය වැනි මානුෂික හැඟීම්වලින් පිරුණ උණුසුම් හදවතක් දියුණු කර ගැනීමට ය. මනුෂ්‍යයන් වශයෙන් අප සියල්ලන් ම එක හා සමාන බව උන්වහන්සේ පවසති. සැප කැමති වන අප සැවොම, පීඩාවන්ට පත්වීමට නොකැමැත්තෙමු. ආගමික විශ්වාසයක් නොමැති මිනිසුන් පවා ඔවුන්ගේ ජීවිත තුළ මෙම මානුෂීය වටිනාකම් ඇති කර ගන්නේ නම්, ඒවායින් ප්‍රතිඵල අත්විඳිනු ඇත. එවැනි සාරධර්මවල වැදගත්කම ගැන කතා කිරීමටත්, හමුවන සෑම කෙනෙකු සමග ම ඒවා බෙදා ගැනීමටත් කැප වී සිටින උන්වහන්සේ, ඒවා ලෞකික ආචාර ධර්ම හෝ විශ්වීය වටිනාකම් ලෙස හුවා දක්වති.

2.  දෙවනුව, බෞද්ධ භික්ෂුවක වශයෙන්, දළයි ලාමාතුමන් සාම්ප්‍රදායික ලෝක ආගම් අතර අන්තර් ආගමික සාමුහිකත්වයක් ගොඩ නැගීමට කැපවී සිටියි. ඒවා අතර තිබෙන දාර්ශනික වෙනස්කම් නොතකා, යහපත් මිනිස් චරිත ගොඩ නැගීමේ හැකියාව සෑම ආගමකට ම තිබෙන බව උන්වහන්සේ පිළිගනිති. සියළු ආගමික සම්ප්‍රදායයන් එකිනෙකාට ගරු කිරීම සහ ඔවුන්ගේ සම්ප්‍රදායයන්හි වටිනාකම් හඳුනා ගැනීම වැදගත් වන්නේ එබැවින් ය. තිබෙන්නේ එක ම සත්‍යයකි. එනිසා ම තිබෙන්නේ එක ම ආගමකි යන අදහස  පෞද්ගලික ව පුහුණු වන්නවුන්ට යෝග්‍ය ය. පුළුල් ප්‍රජාවක් වශයෙන් සලකා ගැනෙන විට,  කෙසේ වෙතත්, උන්වහන්සේ පවසන්නේ, මිනිසා ආගම් කිහිපයක් සහ සත්‍යයේ පැති කිහිපයක් නිරීක්ෂණය කරන බව හඳුනා ගත යුතු බව ය.

3. තෙවනුව, දළයි ලාමාතුමන් තිබ්බතීයයෙකි. තිබ්බතීයයන්ගේ බලාපොරොත්තුව සහ විශ්වාසය එතුමන් ය. තිබ්බතයේ ස්වාභාවික පරිසරයත් සමග තිබ්බත බසත්, සංස්කෘතිය සහ ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලයෙන් ලැබුණ එහි ජාතික උරුමයනුත් රැක ගැන්මට තමන් වහන්සේ කැප වන්නේ එහෙයිනි.

4. මීට අමතර ව, නූතන තරුණ ඉන්දියානුවන් අතර පැරණි ඉන්දියානු දැනුමේ වටිනාකම පිළිබඳ දැනුවත්භාවය පුනරුත්ථාපනය කිරීමට උන්වහන්සේ දක්වන කැපවීම ගැන ද කතා කර තිබේ. මිනිස් මනස සහ ආවේගවල ක්‍රියාකාරිත්වය පිළිබඳ පොහොසත් පුරාණ භාරතීය අවබෝධය මෙන් ම,  ඉන්දියානු සම්ප්‍රදායන් විසින් වර්ධනය කරන ලද භාවනාව වැනි මනස පුහුණු කරවන ශිල්ප ක්‍රම අදට බෙහෙවින් අදාළ වන බව අතිපූජ්‍ය දළයි ලාමාතුමන්ට ඒත්තු ගොස් තිබේ. ඉන්දියානු අධ්‍යාපනික ඉතිහාසයෙහි දැනුම ලබා ගැනීමේ සහ බෙදා හදා ගැනීමේ මාධ්‍යයන් වශයෙන් තර්කනයට සහ විවාද පැවැත්වීමට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ලෞකික, ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් බලන විට, ඒ ඉපැරණි දැනුම නවීන අධ්‍යාපනය සමග ඒකාබද්ධ කළ හැකි බව උන්වහන්සේ දැඩි ලෙස විශ්වාස කරති. සමකාලීන සමාජය තුළ වඩාත් ඒකාබද්ධ හා සදාචාරාත්මක පදනමක් සහිත ලෝකයක් ප්‍රවර්ධනය කළ හැකි වන පරිදි ඵලදායි ආකාරයෙන් පැරණි හා නවීන ඉගෙනුම් ක්‍රමවල මෙම සංයෝජනය ඵලදායී ලෙස භාවිතා කිරීමෙහි ලා ඉන්දියාවට හිමිවන ස්ථානය සුවිශේෂී බව උන්වහන්සේ පිළි ගනිති.

බුදුන් වහන්සේගේ දහම කෙරෙහි පවා සිවුවණක් පිරිස ම කලකිරවමින් ජවුසම් නටන, සිමෙන්ති, ගල්, වැලි සරණ යමින් බුදුන් වහන්සේ පෙන්වා වදාළ මග රැක ගන්නවා යයි මුසා බස් දොඩවන බහුතර ශ්‍රී ලාංකික භික්ෂූන්ට අසූ අට හැවිරිදි අතිපූජ්‍ය දළයි ලාමාතුමන්ගෙන් උගත හැකි දේ අපමණ ය.

-කුඩගම්මන සීලරතන හිමි

හිමි ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/80

No comments:

Post a Comment