හිටපු දූෂිතයෙකු පිටරට පටවයි..!
-DailyFT කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.03, ප.ව.11.30) එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස රෝහිත බෝගොල්ලාගම හිටපු විදේශ අමාත්‍යකාරයා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පත් කිරීමත් සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා යළිත් වරක් මහජන මතය හා යහපාලන මූලධර්මවලට පයින් ගසා ඇති බව පෙනේ.
පවුලේ අය සමග කෙළවරක් නැති විදේශ සංචාර සඳහා විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් බෝගොල්ලාගම කුප්‍රකටය. ඔහු රාජ්‍ය මුදල් අමු අමුවේ අවභාවිතා කිරීම, සහ ඥාති සංග්‍රහයේ සිට නිලය අපයෝජනය කිරීම දක්වා නොයෙකුත් මතභේදාත්මක චෝදනාවලට ලක් වී ඇත.
එවැනි පුද්ගලයෙකු ජනප්‍රිය රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට පත් කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මහජන මතය කෙරෙහි ඇති අප්‍රසාදය, දුර්වල විනිශ්චය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කෙරෙහි සැලකිල්ලක් සහ ප්‍රමුඛතාවයක් නොමැතිකමයි.
බෝගොල්ලාගම පත් කිරීම හොඳින් සිතා බලා ගත් තීරණයක් බව අලි සබ්‍රි විදේශ අමාත්‍යකාරයා ප්‍රකාශ කර ඇතැයි මෙරට මාධ්‍ය වාර්තා කරයි. සියලුම වෘත්තීය විදේශ සේවාස්ථාන පාලනය කිරීම සඳහා නිලධාරීන් නොමැති බවත්, ඒ නිසා ප්‍රධාන තනතුරුවලට පත් කිරීම සඳහා වෙනත් අය, එනම් දේශපාලන පත්වීම් අවශ්‍ය බවත් සබ්‍රි වැඩි දුරටත් පවසා ඇති බව වාර්තා වේ.
වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික සේවය විශාල අනතුරක...
අද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික සේවය විශාල අනතුරක වැටී ඇත. වෘත්තීය විදේශ සේවා නිලධාරීන් බඳවා ගැනීමේ සූදානමක් නැත. අලි සබ්‍රි හා ඔහුට පෙර සිටි විදේශ අමාත්‍යකාරයන් යටතේ, විශේෂයෙන්ම බෝගොල්ලාගම යටතේ, විදේශ සේවයේ වෘත්තීයභාවය හිතාමතාම හෑල්ලුවට ලක් කෙරිණ.
බෝගොල්ලාගම තම පුත්තරයා සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබන සමයේ දී නෑනණ්ඩිය සිංගප්පූරුවේ මහ කොමසාරිස් ලෙස පත් කළේය; පුත්තරයාට රජයේ වියදමින් නොමිලේ නවාතැන් ලබා දුන්නේය.
පසුව ඔහු තම පුතාට රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා විදේශ අමාත්‍යකාරයා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ලියුමක් යැව්වේය.
වෘත්තීයමය විදේශ සේවය පුරාවටම පුහුණු වීම් සහ වෘත්තීය දියුණුව සඳහා කිසිවෙකුට කිසිදු අවස්ථාවක් නොවීය. කනිෂ්ඨ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු පවා ලබා දුන්නේ දේශපාලකයන්ගේ ඥාතීන්ටය.
විදේශ සේවා තනතුරු දේශපාලකයින්ගේ දරුවන්ගෙන් පිරිලා..
අද වන විට නිව් යෝර්ක්, කැන්බරා හා වොෂින්ටන් ඩීසී වැනි ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික අග නගරවල බොහෝ විදේශ සේවා තනතුරු දේශපාලකයින්ගේ දරුවන්ගෙන් පිරී ඇත.
මේ අතර, දීප ව්‍යාප්ත විවෘත තරග විභාගවලින් බඳවා ගන්නා කනිෂ්ඨ විදේශ සේවා නිලධාරීන් පත් කර යවන ලද්දේ, තම වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යන විට ඔවුන්ටත් රටටත් අත්‍යවශ්‍ය වන රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ බොහෝ අංශ ඉගෙන ගැනීමට ඇති ඉඩකඩ අඩු ස්ථානවලටය.
අන්තිමට වෘත්තීය කණ්ඩායමක් බඳවා ගත්තේ 2018..
ප්‍රධාන තනතුරු සඳහා විදේශ සේවයේ නිලධාරීන් නොමැති වීම ගැන [බොරුවට] අඬන අලි සබ්‍රි විදේශ අමාත්‍යකාරයා එම වෘත්තීය සේවයට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා කළ කෙණ්ගෙඩියක් නැත. අවසන් වරට වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් බඳවා ගෙන ඇත්තේ 2018 වසරේ දීය.
වසර හයකට වැඩි කාලයක් තිස්සේ සුදුස්සන්ගෙන් කනිෂ්ඨ තනතුරු වුව පිර වීමට හැකි වන පරිදි එකම බඳවා ගැනීමක් හෝ සිදුව නැත්තේ, දේශපාලන පත්වීම්වලින්ම කනිෂ්ඨ තනතුරු පවා පුරවා ගැනීමේ [කැත] බලාපොරොත්තුව නිසාය.
බොහෝ දූත මණ්ඩලවල ප්‍රධාන තනතුරු පවා මෑතක දී පුරවා ඇත්තේ, ඔවුන්ගේ ක්‍රියාකාරී වෘත්තීය ජීවිත කාලය තුළ සැක සහිත [දූෂිත] වාර්තා ඇති විශ්‍රාමික පුද්ගලයින්ගෙනි. එයින් පැහැදිලිවම පෙනී යන්නේ, හිටපු වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පවා නැවත සේවයට කැඳවන්නේ, ඔවුන්ගේ කුසලතා හෝ පූර්ව කාර්ය සාධන වාර්තා මත නොව, දේශපාලන සම්බන්ධතා සහ දේශපාලක හැඩිදැඩියන් සමග ඇති පුද්ගලික ඇයි-හොඳයිකම් මත බවයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඉහළ නැංවා ගැනීම සඳහා සියලු උත්සාහයන් දැරිය යුතු මොහොතක, ලෝකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ ජනාධිපතිකාරයා අසාර්ථකත්වයට පත් වූ බව බෝගොල්ලාගම පත් කිරීමෙන් පැහැදිලිවම පෙනේ.
- 2023 ජුනි 26 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “Making a mockery out of diplomatic appointments” නම් කතු වැකිය සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

Bogollagama has earned a very dirty name as a Character full of Nepotism. What else we can expect from a Leader who looted CB with his Best Friend?
ReplyDelete