අස්වැසුම ඇස් වැසුම නොවීමට නම්..
-ජයශ්‍රී ප්‍රියලාල් ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.08, ප.ව.6.25) වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන මැතිවරණ ක්‍රම වේදයන් ක්‍රියාත්මක වුවද, ඡන්ද දායකයින් තෝරාපත් කරගනුයේ හුදෙක් සාමාන්‍ය ඝණයේ දේශපාලනඥයින් සමූහයකි. ඔවුන් අතරින් විශිෂ්ඨ ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිවීමට ඇති සම්භාවිතාව පවතින ක්‍රම වේදය තුලින්ම අඩාල කර ඇත.
රාජ්‍ය තාන්ත්‍රිකයින් යම් දර්ශණයක් සහිත ජනතා ප්‍රශ්න තෝරාගෙන ඒවාට දීර්ඝ කාලීන විසඳුම් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට කටයුතු කරති. ඔවුන් හරි දේ හරිවිදිහට කිරීමටත්, ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට නොපැකිලිව කටයුතු කරති. මේ නිසාම ඔවුන් නොයිඳුල් වැඩදායී විසඳුම් සොයා යාමට පසුබට නොවෙති. එහෙත් වර්තමානයේ සිදුවනුයේ ඊට හාත්පසින්ම විරුද්ධ ක්‍රියාපාටියකි. රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙනුවට තේරීපත්වන දේශපාලනඥයින් කටයුතු සැළසුම් කරනුයේ එක් මැතිවරණයකින් තවත් මැතිවරණයකින් සිය බලය තහවුරු කරගනු පිණිස මහජන මතය නොමඟ යැවීමටත්, රටට සහ ජාතියට අවැඩදායි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට මහජන නියෝජිතයින් සේ සිය වරප්‍රසාද බුක්ති විඳීමට කටයුතු කිරීමය. මෙම කොට්ඨාශය වැරදි දේ නිවැරදියැයි මවාපාමින් අසරණ ජනතාව මුලා කරති. දේශපාලන බලය මෙවැන්නන් අතට පත්වීම ශ්‍රී ලාංකේයන්ගේ අනාගතය තව දුරටත් අගාධයකට ඇද දැමීමට හේතු වනවා ඇත. පවතින පරිපාලන ක්‍රමවේදය මෙම තත්වයෙන් මිදීමට නොහැකි විෂම චක්‍රයක් වී ඇත. පද්ධතිමය වෙනසකින් මෙය වෙනස් කළ යුත්තේ ඒ නිසාය.
“හඳෙන් හාල් - ඇට අට“
පවතින සමාජයේ දුප්පත්කම (දුකට+පත්) මෙම නඩයට වෙස්වලාගෙන පැමිණෙන ආශිර්වාදයක්ව ඇත. ඒ හෙයින් දිළිඳුකම පිටු දැකීමට ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් ඉටුකරවීමක්ද යන්න බුද්ධිමත්ව හරිහැටි තේරුම් ගතයුතු වේ. දිළිඳුකම නැති බැරි අයවෙත රැඳුනද, දුප්පත්කම ඇති හැකි අයවෙතද දෝලනය විය හැක. මන්ද, තමන් සතු ආර්ථික ශක්තියෙන් තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමේ අවස්ථාව, පවතින ක්‍රමය විසින් අසුරාතිබීම නිසා ඔවුන් දුකට පත්වී සිටින නිසාය. එමනිසා ඇති හැකි සමාජ ස්ථරයන්ද දුකට පත්ව ඇත. සමාජ සුභසාධනය පමණක් ඉලක්ක කරගෙන කර ඇති ප්‍රතිපත්ති සැළසුම් කරණය ශ්‍රී ලංකාව වර්තමාන අවාසනාවන්ත තත්වයකට ඇදවැටීමට මුල්වුනු බව මෙම ලියුම් කරුගේ මතයයි. දුකට පත් අයගේ ඡන්දය සොරාගැනීමට පුරවැසියන් රැවැටුන ආකාරය ආවර්ජනය කළහොත්, හඳෙන් හාල්, ඇට අට, 3.50ට පාන්, ගැබිණි මව් වරුන්ට විශේෂ දිරිදීමනා, නොමිලේ පොහොර අමතරව ටැබ්ලට් සහ බ්‍රේස්ලට් ලබාදීමට පොරොන්දු වූ දේශපාලනඥයින් තවමත් රට සංවර්ධනය කිරීමට පොරකති.
සමාජ සුභසාධනයට සහ දිළිඳුකම පිටු දැකීමට නායකත්වය දෙන දේශපාලනඥයින්ගේ වරප්‍රසාද සැපයීමට සිදුවන්නේ බදු ගෙවන්නන්ටය. අසාමාන්‍ය ලෙසට ප්‍රසාරණය වන නාස්තිකාරී රාජ්‍ය වියදම පියවා ගැනීමට බදු ආදායම ප්‍රමාණවත් නොවූ කල ඉවක් බවක් නොමැතිව ණය ලබාගෙන පරම්පරා ගණනාවගේ අනාගත සශ්‍රීකත්වය සහ ජීවන තත්වය නොරටුන්ට උකස්කර සුනුවිසුණු කර ඇත. මෙය ක්‍රමාණුකූලව සිදුවුයේ, පළමුව පෞද්ගලික ණය, බැංකු පද්ධතිය ඔස්සේ බොල්ණය බවට පත්වෙමින් දෙවැණුව පොදු රාජ්‍ය ණය බවට ඒකරාශී වී, අවසානයේදී ඒවා ස්වෛරීය ණය බවට ගොඩගැසී සෙසු ලෝකයාගේ අනුකම්පාව මත රාජ්‍ය පාලනය කරගෙන යාමට පාලකයින් ඇදවැටීමය.
විශේෂයින්ම ගෙවීගිය දශක කිහිපයකම නව ලිබරල් ප්‍රතිපත්ති මත ආර්ථික ක්‍රියාවලිය අන්ධානුකරණය කිරීමේ අහිතකර ප්‍රථිපල සියල්ලේම සමස්ථය දැන් සියළුම ශ්‍රී ලාංකේයන්ට අත්විඳීමට මග හෙලිකර ඇත. මේ කිසිවකින් පාර්ලිමේන්තුව නියෝජණය කරන කිසිම දේශපාලන පක්ෂයක් පාඩමක් උගෙන ගෙන ඇති බවක් දක්නට නොමැත. සියල්ලම දත කන්නේ කෙසේ හෝ නැවතත් ජනමතය ව්‍යාකූල කොට රාජ්‍ය පාලනය ලබා ගැනීමට ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් 17 වතාවක් පහසුකම් සහිත ණය ආධාර ලබාගෙන ඇත්තෙමු. ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය කර ඇත්තෙමු. එහෙත් රටේ ආර්ථිකය හෝ සමාජ දේශපාලන ක්‍රියාදාමය නිවැරදි තලයට ගෙන ඒමට තවමත් අපොහොසත්ව සිටිමු.
ණය ප්‍රශස්ථකරණය සහ ප්‍රතිව්‍යුහගත කිරීම..
සංවර්ධනය උදෙසා පැහැදිලි ඉලක්ක මත ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති සමස්තයම දේශීය ආර්ථිකයේ ප්‍රසාරණයට දායක වියයුතු වුවද, පසුගිය දශක කිහිපයකම සිදුව ඇත්තේ එක් එක් දේශපාලනඥයින්ගේ විකාර චින්තනයන් ඔස්සේ ප්‍රතිපත්ති සැළසුම් කරමින් රාජ්‍ය බලය සහ වරප්‍රසාද සිය ඥාතීන්ට සහ ගජමිතුරු කල්ලිවලට ලබා දෙමින් අසරණ ජනයා තවදුරටත් දිළිඳු භාවයට ඇද දැමීම ය. ශ්‍රී ලංකාව සැබැවින්ම ආසියාවේ ආශ්චර්ය වුයේ තිස් වසරක යුද්ධයක් කරමින් සිය ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය පවත්වාගෙන යාම නිසාය. එහෙත් ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීමෙන් පසු සිදුවී ඇත්තේ ආර්ථිකය ප්‍රසාරණය වෙනුවට 2022 වෙනවිට බුන්වත් බව පෙනෙන නොපෙනන මානයක පවතින තත්වයකට ඇදදැමීමය. ඒ සඳහා මූලික වූයේ කෙටිකාලීන දේශපාලන මගඩි වලට සරිලන අධික ණය මත රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමය. මෙම තත්වය වහාම නිවැරදි කරගෙන ආර්ථික වර්ධනය ඉලක්ක කර නාස්තිකාර පරිපාලන ව්‍යුහයන් ඉවත්කරමින් ජනතාවගේ සහයෝගය සහ විශ්වාසය දිනාගත හැකි පැහැදිලි වැඩපිලිවෙලක් සහ දර්ශනයක් සහිත තරුණ නායකත්වයකට පාලන බලය ලබාදිය යුතුය.
පවතින තත්වයන්ගෙන් ගොඩ ඒමට විදේශීය සහ දේශීය ණය ප්‍රශස්ථකරණය සහ ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යෙන් කළයුතුව ඇත. ඊට සමගාමීව හුදෙක් දේශපාලන බලය නතුකර ගැනීමට ඡන්ද දායකයින් මුලාකරවීමට යොදාගත් නාස්තිකාර සුභසාධක වැඩපිලිවෙල අවසන් කළ යුතුව ඇත. දිළිඳු ජනයාගේ අගහිඟ කම් අවම කරවීමට සමාජ සුභසාධන කටයුතු සඳහා සම්පත් යොදාගත යුතු වන්නේ එකී ජන කොට්ඨාශවල ආර්ථික ශක්තිය විද්‍යාණූකූලව තක්සේරු කර එකී ජනතාවට ආර්ථික ක්‍රියාවලියට ඍජුව හෝ වක්‍රව දායක විය හැකි ලෙසට නිශ්පාදනයට හෝ පරිභෝජනයට සම්බන්ධ කරවමින්ය.
අස්වැසුම ප්‍රයෝගයක් නොවීමට නම්..
රජයේ ප්‍රධානතම සමාජ සුභසාධන වැඩපිලිවෙල වන සමෘද්ධි සහන බෙදාදීම සහ එකී සහන සීමා කිරීමට යාමේදී උද්ගත වී ඇති මහජන විරෝධය ගැන සැලකිලිමත් විය යුතු වුවද, එකී තත්වයන් දේශපාලන වාසී සඳහා දඩමීමා කරගැනීමට ඉඩදිය යුතු නැත. සමාජ සුභසාධනය භාර රාජ්‍ය පරිපාලන නිලධාරීන් මෙම කණ්ඩායම නිවැරදිව හඳුනාගනිමින් ඩිජිටල් තාක්ෂණ පහසුකම් යොදාගනිමින් රජයේ සහනාධාර ඍජුවම ලබාදෙන ආකාරයේ වැඩපිලිවෙලක් සකස් කරමින්, ඔවුන් සදාකාලික දිළිඳුකමෙන් මුදවාලීමට නිරන්තර අධීක්ෂණයකට ලක්කරවීම වගබලා ගතයුතුව ඇත. චීනය සහ ඉන්දියාව මෙම කාර්ය සාර්ථකව සිය ආර්ථික වර්ධනයට ශක්තියක් කරගෙන ඇති ආකාරය ශ්‍රී ලංකාවට කදිම ආදර්ශයක් වනු ඇත.
මෙම අභියෝගය නිවැරදිව කලමනාකරණය කරගැනීමට අපොහොසත් වුවහොත්, සමෘද්ධිය වෙනුවට පිරිනමණ අස්වැසුම තවත් එක් දේශපාලන ප්‍රයෝගයක් වෙන ඇස් වැසුමක් කරගැනීමට අවස්ථාවාදී ජනතා නියෝජිතයෝ කටයුතු කරන වග ඉඳුරාම කිව හැක.
ලිපිය අවසාන කරවීමට ප්‍රථමයෙන් රටේ ප්‍රතිපත්ති සැළසුම් කරන සියළු දෙනා සහ විද්වතුන් වෙත අවධාරණය කළයුතුව ඇත්තේ, ශ්‍රී ලංකාව කරවටට ණය කර සිර කර තැබීමට අප කිසිම ජාත්‍යන්තර ආයතන වලට ඉඩදිය යුතු නොවන වගයි. රටේ ඇති සියළු සම්පත් කාර්යක්ෂමව කලමණාකරනය කරගනිමින් ආර්ථික වර්ධනය ප්‍රධාන ඉලක්කය කරගත් සංවර්ධන ක්‍රියාවලියකට සමස්ත ජාතියම පොළඹවා ගැනීමයි. වර්තමාන සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩඒමට දේශීය නිෂ්පාදනය වැඩිවෙන ආර්ථික ප්‍රසාරණ ප්‍රතිපත්ති වලට මූලිකත්වය නොදී, හුදු ජනප්‍රිය දේශපාලන ඇස් වැසුම් ප්‍රයෝග වන සම්පත් බෙදාහැරීමට මූලිකත්වය දෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමෙන් වැලකී සිටීමට වගබලා ගතයුතු වගයි. ණය අර්බුදයෙන් මිදී ස්වාධීනව හිස එසවීමට හැකි පරිසරයක් බිහිකර ගතහැක්කේ ජාතික ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් පවත්වාගෙන යාමෙන් පමණක් බව ජාති හිතෛෂී සියළු දෙනා සිහිතබා ගතයුතුව ඇත.

No comments:
Post a Comment