මේ වසරේදී පමණක් සතියකට වෙඩි තැබීම් 2 බැගින් 65 ක්..! ඝාතන 43 ක්..! මේ ගිනි අවි 2005 දී කරුණාට ගිරිතලේ කඳවුරෙන් දුන් ගිනි අවිද?
-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.28, ප.ව.11.55) රට පුරා සංවිධානාත්මක සහ කොන්ත්‍රාත් පන්නයේ ඝාතන අතිශය විශාල මට්ටමකින් ඉහළ ගොස් තිබේ. මේ වසරේ අද දක්වා පමණක් වෙඩි තැබීම් 65 ක් සිදුව ඇති අතර ඉන් 43 දෙනෙකු ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
එනම් මාස 8 ක දී වෙඩි තැබීම් 65 කි. එහි සාමාන්‍යය සතියකට වෙඩි තැබීම් 2 බැගින් ය. මෙම වෙඩි තැබීම් සඳහා ටී 56 ගිනි අවි ද භාවිතා කර තිබේ.
මේ සා විශාල ප්‍රමාණයෙන් පාතාල සහ සංවිධානාත්මක වෙඩි තැබීම් සිදුකිරීමට අවශ්‍ය ගිනි අවි විශාල ප්‍රමාණයක් පාතාලය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සතුව තිබේ. ටී 56 ගිනි අවියක් භාවිතා කිරීමට මනා පුහුණුවක් ද අවශ්‍යම ය.
2005 වසරේ දී සිදුකරන ලද මහා තකතීරු ක්‍රියාවක්...
වර්තමානයේ මේ සා විශාල ප්‍රමාණයෙන් ගිනි අවි පාතාලය සතුව ඇත්තේ ඉදිරි අනතුරු ගැන නොතකා ආරක්ෂක හමුදා බුද්ධි නිලධාරීන් සේම ආරක්ෂක හමුදා ප්‍රධානීන් 2005 වසරේ දී සිදුකරන ලද මහා තකතීරු ක්‍රියාවක් නිසා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී තිබේ.
2005 වසරේ දී කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන්වීමෙන් අනතුරුව සමහර ආරක්ෂක ප්‍රධානීන්ගේ විරෝධය මැද එවකට හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතරණගේ උපදෙස් මත එවක හමුදාපති ලයනල් බලගල්ලගේ නියෝග අනුව විශාල ගිනි අවි ප්‍රමාණයක් කරුණා පාර්ශවය වෙත ලබා දී ඇත.
2005 දී කරුණා වෙත ලබා දී ඇති ගිනි අවි අතර ටී56 ගිනි අවි 100 ක්, ක්ලේමෝ බෝම්බ 25 ක්, ආර්පීජී ගිනි අවි 24 ක්, පිස්තෝල සහ සී4 පුපුරණ ද්‍රව්‍ය වේ. ටී 56 ගිනි අවි වලට යොදන සහ පිස්තෝල සඳහා යොදන උණ්ඩද විශාල ප්‍රමාණයක් කරුණා වෙත නිකුත් කර ඇත.
ලුතිනන් කර්නල් විජේවන්නිආරච්චි බෑ කිව්වා..
මේ ගිනි අවි නිකුත් කර ඇත්තේ ගිරිතලේ හමුදා කඳවුරේ ඇති අවි ගබඩාවෙනි. එවක ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස රාජකාරී කෙළේ ලුතිනන් කර්නල් විජේවන්නිආරච්චි නමැති නිලධාරියා ය. ඔහු ත්‍රස්ත සංවිධානයකට ගිනි අවි නිකුත් කිරීමට තමාට නොහැකි යයි විරෝධය පළකර තිබේ. ඉන්පසුව හෙන්දාවිතාරණ සහ බලගල්ල විසින් කර ඇත්තේ විජේවන්නිආරච්චි ගිරිතලේ කඳවුරේ අණදෙන නිලධාරී ධූරයෙන් ඉවත් කර තමන්ට අවනත එහි දෙවැනි අණදෙන නිලධාරියා ලෙස එවකට කටයුතු කළ කර්නල් ෂම්මි කුමාරරත්න අණදෙන නිලධාරී ධූරයට පත් කර තම අවශ්‍යතාවය ඔහු ලවා ඉටු කර ගැනීමයි. ඉහත සඳහන් කරන ලද ගිනි අවි සහ උණ්ඩ නිකුත් කර ඇත්තේ ෂම්මි කුමාරරත්න ගිරිතලේ කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමෙන් අනතුරුව ය. මේ පිළිබඳ සාක්කි තිබේ. කෙසේ වෙතත් මේ ගිනි අවි සහ උණ්ඩ නිකුත් කර ඇත්තේ ලේඛන ගත කරගනිමිනි.
ප්‍රගීත් ඝාතනය කළේත් ෂම්මි කුමාරරත්න...
ෂම්මි කුමාරරත්න එතැන් සිට හෙන්දාවිතාරණ සහ කල්ලියට අවශ්‍ය නීති විරෝධී ක්‍රියා ගණනාවක් ඉටු කර ඇත. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් වද දී මරා දැමීම ඉන් එකක් පමණි. ඒ ඝාතනය ගැන ෂම්මි කුමාරරත්නට මහාධිකරණයෙන් අධි චෝදනා ලබා දී තිබිය දී පවා නීති විරෝධී ආකාරයෙන් ඔහුව බ්‍රිගේඩියර් ධූරයට ද උසස්වීම් ලබා දුන්නේ ය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු නීති විරෝධී ක්‍රියා ඉටු කිරීමට ඉදිරිපත් වන නිසා ය.
කරුණාට දුන් ගිනි අවි වලට වුනේ මොකක්ද?
එදා කරුණාට දුන් ගිනි අවි වලට සිදු වූයේ කුමක්දැයි මේ දක්වා කිසිවෙක් නොදනී. එක් ගිනි අවියක් නම් හමු වී තිබේ. ඒ කොළඹ දී එවක පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය කිරීම සඳහා යොදා ගත් ටී56 ගිනි අවිය යි. එය එකී නඩුවේ දී සඳහන්ව තිබේ.
කරුණාට දැන් සන්නද්ධ අංශයක් නැත. එදා 2005 දී කරුණාට දුන් ගිනි අවි යළි හමුදාව වෙත බාර දුන් බවට සඳහනක් ද නැත.
කරුණා ගිනි අවි පාතාලයට විකුණලා..?
වත්මන් පාතාලය සහ සංවිධානාත්මක අපරාධකල්ලි සතුව ඇත්තේ එදා කරුණාට දුන් ගිනි අවි බවත් ඔවුන් පසුව ඒවා පාතාලයට විකුණා ඇති බවත් නිල නොවන වාර්තා කියයි.
කෙසේ වෙතත් වර්තමානයේ හෙරොයින් කිලෝ 10 ක් විකිණීමට බාර ගන්නා අයට ජාවාරම් කරුවන් විසින් ගිනි අවියක් සහ උණ්ඩ මැගසින් 4 ක් ලබා දෙන බව ද පැවසේ. මේ තරම් ගිනි අවි පාතාලය සතුව ඇත්තේ ඔවුන් ගිනි අවි ආනයනය කරන නිසා නොවන බවත් ඒවා කරුණා අම්මාන්ට එදා දුන් ගිනි අවි බවත් මේ පිලිබඳ උනන්දුවන්නෝ කියති.
මේ සම්බන්ධයෙන් වත්මන් ආරක්ෂක බලධාරීන් තම විශේෂ අවධානය යොමු කර තීක්ෂන විමර්ශනයක් සිදුනොකරන්නේ නම් සතියකට වෙඩි තැබීම් දෙකක් නොව දිනකට වෙඩි තැබීම් දෙකක් සිදුවන කාලය එළැඹෙනු ඇත. එවිට සාමාන්‍ය සිවිල් මිනිසුන්ගේ පමණක් නොව අද වෙඩි වදින්නේ නැතැයි සිතාගෙන සිටින බොහෝ ජීවිත වලට ද අබ සරණම විය හැකිය.

No comments:
Post a Comment