Tuesday, 1 August 2023

සත්‍ය සෙවීමේ කොමිසම සත්‍යයක් වීමට නම් ඉටු විය යුතු කොන්දේසි මෙන්න..!

-මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි, හිටපු විනිසුරු රෝහිනී මාරසිංහ ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.01, ප.ව.7.45) පසුගිය මාස කිහිපය තුළ, යෝජිත සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සම්බන්ධයෙන් දේශපාලනඥයින්, සිවිල් සමාජ නියෝජිතයන් සහ සිවිල් ජනයා  පුද්ගලිකව සහ ප්‍රසිද්ධියේ බොහෝ සමපේක්ෂණයෙන් සහ සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ බහුවිධ ගැටුම් සහ නැගිටීම්වලට මුහුණ දී ඇත. වසර 30කට වැඩි කාලයක් රට උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුමකට මුහුණ දුන් අතර, එල්.ටී.ටී.ඊ.යට එරෙහිව හමුදාව යෙදවුණි . මේ අතර රටේ දකුණ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රචණ්ඩ කැරලිවලට මුහුණ දුන්නේය.

1971 කැරැල්ල සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා ක්‍රියාත්මක වූ දණ්ඩ මුක්තිය ශ්‍රී ලාංකීය ඉතිහාසය කැළැල් කරයි. රජය සිය ඉතිහාසයේ මෙම පරිච්ඡේදයට මුහුණ දීමට කැමතිවන තුරු  ශ්‍රී ලංකාවට ඉදිරියට යාම දුෂ්කර වනු ඇත.

1970 සිට 1980 ගණන් දක්වා ජනතා විමුක්ති පෙරමුණේ කැරලි සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රජය එම කැරලිවලදී සිදු වූ අපචාර ගැන සොයා බැලීම සඳහා සත්‍ය කොමිසමක් හෝ වෙනත් යාන්ත්‍රණයක් ස්ථාපිත කළේ නැත. ජනතා විමුක්ති පෙරමුණට සංහිඳියාව අභියෝගාත්මක වනු ඇත, නමුත් එය ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය වේ.

ගැටුම් දෙකම අවසානයේ රජය විසින් තලා දැමූ නමුත්, දෙකම ප්‍රචණ්ඩත්වයේ කල්පවත්නා උරුමයක් ඉතිරි කළේය.

TRC පිහිටුවීමත් සමඟ TRC ට 1971, 1987- 1989 JVP නැගිටීම් සහ 1983-2009 LTTE කැරැල්ල සඳහා සංක්‍රාන්ති යුක්තිය සාක්ෂාත් කර ගත හැකි බවට තවමත් බලාපොරොත්තුවක් ඇත.

ගැටුම් නිසා ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අවසන් වී වසර 30 කට ආසන්න කාලයක් සහ  දෙමළ කොටි නැගිටීම අවසන් වී වසර 14 කට වැඩි කාලයකට පසුව උතුරේ සහ දකුණේ ඇති වූ සන්නද්ධ ගැටුම්වලින් පෙනී යන්නේ සත්‍යය සහ සංහිඳියාව නොමැති වීමයි.

සියරා ලියොන් අත්දැකීම..

මෑත සතිවල, පසුගිය මාසයේ සියරා ලියොන් හි මැතිවරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ දූත මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සහභාගී වෙමින් සිටියදී, එම සංචාරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටත්, එරට සත්‍යය හා සංහිඳියාවේ සභාපති වූ රදගුරු ජෝසප් හම්පර් සහ කොමිසමේ විධායක ලේකම් යස්මින් ෂෙරිෆ් හමුවීමට ලැබීමත් මට භාග්‍යයක් විය. සියෙරා ලියොන්  . මම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු Desmond Babatunde Edwards සමඟ ද මම කතා කළෙමි.

ආගමික නායකයන්, සිවිල් සමාජ නායකයන්, වින්දිතයන්, දේශපාලන නායකයන්, කාන්තාවන් සහ තරුණයින් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් අතර පුළුල් පිළිගැනීමක් ඇති වීමට නම් සත්‍ය, සංහිඳියාව සහ යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් සැලසුම් කිරීමේදී සහ එහි අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහි ලා   එම සියලු දෙනාගේ අදහස් විමසිය විය යුතු බවට මගේ විශ්වාසය එමගින් ශක්තිමත් විය.  එවැනි උපදේශන මගින් වන්දි ගෙවීම, සමාව දීම, නඩු පැවරීම සහ වැරදිකරුවන් සඳහා වන වෙනත් ප්‍රතිවිපාක වැනි ගැට‍ළු කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.

රජය අවංකව කැපවී සිටින බවට හැඟීමක්, විශ්වාසයක් තිබිය යුතුය..

තවද, උතුරු නැගෙනහිර සම්බන්ධයෙන්, රජය ඉඩම් අත්පත් කර ගැනීම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සැකකරුවන්ට දිගු කලක් තිස්සේ ඔවුන්ගේ නඩු විභාගය සඳහා බලා සිටීමට සිදුවීම, පොලිස් බලතල සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සම්බන්ධ නිලධාරීන්ට නඩු පැවරීම සම්බන්ධ ගැට‍ළු වලට ප්‍රමාණවත් ලෙස අවධානය යොමු කර නොමැත.

මෙම ගැට‍ළු අර්ථවත් ලෙස විසඳා ගැනීම සත්‍ය, සංහිඳියාව සහ යුක්තිය ක්‍රියාවලියක් කෙරෙහි විශ්වාසයක් ද ගොඩනඟනු ඇත. රජය අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා කැපවී සිටින බව සහතික කිරීමටත් වින්දිතයින්ගේ අදහස් අවංකව භාර ගැනීමට රජය කැපවී සිටින බවට  හැඟීමක් ද විශ්වාසයක් ද  සහ සහභාගීත්වය සුරක්ෂිත කිරීමේදී එම පියවරයන් ප්‍රමුඛ වේ.

නමුත් දිගින් දිගටම ක්‍රියාත්මක වන මර්දනය..

එම ක්‍රියාවලියට බාධාවක් වන තවත් කරුණක් වන්නේ සාමකාමී විරෝධතා සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහිව දිගින් දිගටම ක්‍රියාත්මක වන මර්දනයයි. රජයක් සත්‍යය සහ සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම සඳහා කරන ව්‍යායාමයේ අවංකභාවය බරපතල ලෙස ප්‍රශ්න කරනු ලබන්නේ එහි වත්මන් හැසිරීම් වල කැපවීම සහ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ ඌනතාවක් පෙන්නුම් කරන විටය.

පාර්ලිමේන්තුවේ පනතක් ලෙස පාර්ලිමේන්තුවේ යම් අනුමැතියක් ලබා ගැනීමට පෙර සත්‍ය හා ප්‍රති-සන්ධාන කොමිසමක් පිහිටුවීමට නම්, විපතට පත් වූවන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වන නිර්දේශයන් ඇතුළුව සත්‍ය සහ සංහිදියාව යනු කුමක්ද සහ එයට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.

දණ්ඩ මුක්තියේ චක්‍රය බිඳ දැමිය යුතුය..

දශක ගණනාවක වේදනාවෙන් සහ දුක් විඳි ශ්‍රී ලංකාව සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම ප්‍රචණ්ඩත්වයේ සහ දණ්ඩ මුක්තියේ චක්‍රය බිඳ දමමින් සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කිරීම තුළින් අපරාධකරුවන් සහ වින්දිතයන් අතර සංහිඳියාව සහ සමාව දීම ප්‍රවර්ධනය කරනු ඇත. පුද්ගලයන් වශයෙන් හෝ සාමූහික කණ්ඩායමක් වශයෙන් පීඩාවට පත් වූවන්ට සිදු වන හානිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කළ හැකි වේදිකාවක් ද එය නිර්මාණය කරනු ඇත.

මේ වන විට රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය ඉතා පහළ මට්ටමක පවතී. සමාජයේ සෑම තරාතිරමකම මිනිසුන් සමඟ අවංක සංවාදයන් මගින් පෙන්නුම් කරන්නේ ජනතාවට  රජය, මැති ඇමතිවරුන් සහ ඔවුන් නායකත්වය දෙන ආයතන කෙරෙහි ඇති විශ්වාසය නැති වී ඇති බවයි.

එවැනි පසුබිමක පිහිටුටවන මෙම සත්‍ය සහ සංහිදියා කොමිසමක් උතුර, නැඟෙනහිර සහ දකුණේ ජනතාවට කිසිසේත්ම පිළිගත නොහැකිය. ප්‍රධාන වශයෙන් උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල මූලික අවධානය යොමු වී ඇත්තේ විශ්වාසය යළි ගොඩ නැංවීම සහ දැඩි ලෙස කැළැල් ඇති සහ හානියට පත් රටක සුවයක් ඇති කිරීමයි. කෙසේ වෙතත්, විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ අවම වශයෙන් විශ්වාසය හා සමානකමක් ලබා ගැනීමට, සත්‍ය සහ සංහිදියා කොමිසමක ක්‍රියාකාරී කණ්ඩායම එහි ආරම්භයේ සිටම වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.

පහත සඳහන් කොන්දේසි සැපිරීමට හැකි විය යුතුය...

සත්‍ය සහ සංහිදියා කොමිසමක් පිහිටුවීම සඳහා එවැනි ක්‍රියාකාරී කණ්ඩායමට පහත සඳහන් කොන්දේසි සැපිරීමට හැකි විය යුතුය.

•    මෙම සත්‍ය කොමිසම පිළිබඳ මහජන අවබෝධය පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වීම;
•    අවදානම් සහ අවස්ථා විශ්ලේෂණයක් කිරීම;
•    ප්‍රතිපත්ති නිර්දේශ යෝජනා කිරීම;
•    සුවපත් කිරීම සඳහා මාර්ග  සෙවීම.

එවැනි යාන්ත්‍රණයක සාධනීය සමාජීය බලපෑම උපරිම කිරීම සඳහා, සත්‍ය සහ සංහිදියා කොමිසම සම්පූර්ණයෙන්ම ස්වාධීනව, දේශපාලනයෙන් නිදහස්ව ක්‍රියා කිරීම අවශ්‍ය වන අතර, ඇතුළත් සහ වින්දිතයින්/ගැළවී සිටින්නන් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් එයට තිබිය යුතුය.

මහජන සංවාදය, විනිවිදභාවය, වගවීම සහ සහභාගීත්වය..

සත්‍ය සහ සංහිදියා කොමිසම පිහිටුවීමේ සහ සහන ලබා දීමේ හදිසි අවශ්‍යතාවය මහජන සංවාදයක් විසින් යටපත් කරනු ඇතැයි ඇතැමෙකුට හැඟිය හැකි නමුත්, කොමිසමේ අව්‍යාජ බව සහ එය ලබාදීමට යන්නේ කුමක්දැයි  ජනතාවට දැනෙන්නේ  මුල සිටම මහජන සංවාදය, විනිවිදභාවය, වගවීම සහ සහභාගීත්වය සහිත පිළිවෙතක් ස්ථාපිත කිරීම තුළින් පමණකි.

මේ වසරේ මුල් භාගයේදී මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය ලෙස මා උතුරට ගිය විට ප්‍රධාන දුක්ගැනවිල්ලත් වූයේ නිවෙස්හි ආදායම් උපයන්නන් බන්ධනාගාර ගතව සහ රිමාන්ඩ් භාරයේ සිටීමයි.  ඔවුන්ගේ හඬට සවන් දීම අවශ්‍යය. ඔවුන්ගේ ඉඩම් තවමත් ආපසු ලබා දිය යුතු බවත්, ප්‍රජාවට සම්බන්ධ නොවන විවිධ අරමුණු සඳහා තමන් කැඳවීම ගැනීම නැවැත්විය යුතු බවත් ඔවුහු පැවසූහ.

භයංකර මානසිකත්වයක..

ශක්තිමත් මිලිටරි ස්ථානගත කිරීමක් සහ මුරපොලවල් සහිත වෙනස් කොට සැලකීමේ ආරක්ෂක සැලසුම් දැඩි හිරිහැර සහ අසාධාරණයක් ද  භයංකර මානසිකත්වයක් ද ඇති කරන බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කළහ. මිනිසුන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි වූ බවක් දැනෙන අතර විශාදය දෛනික වී තිබේ. මෙම අරමුණු සඳහා දැනටමත් පිහිටුවා ඇති කොමිෂන් සභා ගැන මා සමඟ කතා කළ පුද්ගලයින්ට වැඩි විශ්වාසයක් නොතිබූ අතර, එම විශ්වාසයට කරා වූ මාවතක් ඔවුන් දුටුවේ නැත. සත්‍ය සෙවීමේ කොමිසමකට විදේශීය විනිසුරුවන් සහ උපදේශකයන්ගේ අවශ්‍යතාවය ගැන බොහෝ අය කතා කළහ. මේ මා ඉදිරියේ මතු වූ ගැටලුවලින් කිහිපයක් පමණි.

හුදු හරි ළකුණු සටහන් කිරීමෙන් ඵලක් නැත...

සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පූර්ව කොන්දේසියක් ලෙස මෙම ගැටළු විසඳිය යුතුය. මෙයට වඩා අඩු දෙයක් ශ්‍රී ලංකා සහ ජාත්‍යන්තර ප්‍රජාවට පිළිගත නොහැකි යැයි සලකනු ලැබේ. මෑතකදී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සැලකිය යුතු ආකාරය පෙන්වා දී ඇත. මෙයින් අදහස් කරන්නේ කිහිප දෙනෙකු නිදහස් කිරීම නොව බොහෝ දෙනෙකුට සලකන ආකාරය සහ සියලුම දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස සැලකිය යුතු ආකාරයයි. දැනට පවතින සත්‍ය සහ සංහිඳියා පනත් කෙටුම්පත පෙනෙන්නේ හුදු හරි ළකුණු සටහන් කිරීමේ ව්‍යායාමයක් ලෙසය.

සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සඳහා නීතියක් පැනවීමට පෙර,  සත්‍ය සෙවීම යනු කුමක්ද යන්න සහ එහි අරමුණු, බලතල, යුතුකම් සහ කාර්යයන්  පිළිබඳ සියලු පාර්ශ්වකරුවන් අතර පැහැදිලි බවක් තිබිය යුතුය.

ජනාධිපතිවරයා දකුණු අප්‍රිකානු ආකෘතියට අත දිගු කර ඇති බවක් පෙනුනද, දකුණු අප්‍රිකානු ආකෘතියට අනුව, එහි සභාපති අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ පත් කරනු ලැබුවේ දේශපාලන සිරකරුවෙකු සහ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ  සාමාජිකයෙකු වූ නෙල්සන් මැන්ඩෙලා විසිනි. ගැටුම් පැවති සමයේ මිනිසුන් විඳි දුක ඔහුට දැනී, අවබෝධ වී තිබුණි.

පාර්ලිමේන්තුවෙන් පිටත ස්වාධීන කාරක සභාවක් මගින් කොමිසමේ සාමාජිකයන් තෝරාගත යුතුය...

ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතොත් ස්වල්ප දෙනෙක් හැර ප්‍රමාණවත් ලෙස තේරුම් ගැනීමට තරම් එවැනි දුක් වේදනා විඳ නැතිවා විය හැකිය. ගැටුම් වලදී සිදු වූ සාහසික ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍යය ද වගකිව යුතු අතර වගකීම දරයි. එබැවින් පාර්ලිමේන්තුවෙන් පිටත ස්වාධීන කාරක සභාවක් මගින් කොමිසමේ සාමාජිකයන් තෝරාගත යුතුය. මෙරටට ආවේණික ආකෘතියක් පමණක් අනුගමනය කළ යුතුය.

ජාත්‍යන්තර උපදේශකයින් කණ්ඩායමක් ඕනෑ..

ඉදිරි වැඩකටයුතු කිරීමට සහ ඊට අමතරව සත්‍ය සෙවීමේ කොමිසමේ උපදේශකයින් ලෙස මෙහෙයවීම සඳහා ජාතික හා ජාත්‍යන්තර උපදේශකයින් කණ්ඩායමක් පිහිටුවීම ගැන ද ජනාධිපතිවරයාට සලකා බැලිය හැකිය.

“සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ සමහර උත්සුකයන්” නමින් ද මොර්නිං පුවත් පතෙහි පළ වූ ඉංග්‍රිසි ලිපියේ සිංහල අනුවාදය

-සුනන්ද දේශප්‍රිය විසිනි

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/17

No comments:

Post a Comment