Thursday, 17 August 2023

වීරෝධාර හමුදාවේ රතුපස්වල ක්‍රියාන්විතයේ දශ වැනි සංවත්සරය...!

-ඩේලි එෆ්ටී කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.17, ප.ව‍.8.35) ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන්ට එරෙහිව ශ්‍රී ලංකාවේම ආණ්ඩු විසින් කරන ලද බොහෝ කුරිරුකම් අප දැක ඇත. 1971 වසරේ සිට අධිකරණයෙන් පරිබාහිර ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් තවමත් වාර්තා ගතව පවතී. 

එහෙත්, මහ දවාලේ, වීඩියෝ කැමරා ඇතුළු මාධ්‍ය ඉදිරියේ හමුදාව විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ අහිංසක විරෝධතාකරුවන්ට රතුපස්වල දී වෙඩි තබා සිදු කළ ඝාතනය යනු එවැනි සාහසික ක්‍රියාවලට අණ දෙන්නන්ට ඇති දණ්ඩමුක්තියේ තරම මේ යයි කියාපාන සංකේතයකි.

වසර 10 ක් ගත වී ඇතත් අද වනතුරු...

වසර 10 ක් ගත වී ඇතත් අද වනතුරු මේ අපරාධයට එකදු පුද්ගලයකු හෝ වගකිව යුත්තෙකු කර නැත.

2013 අගෝස්තු 01 දා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලා සිටි විරෝධතාකරුවන්ට ජීව උණ්ඩ භාවිතා කර වෙඩි තබා ඉන් තිදෙනෙකු මරා දැමීමටත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව සමත් විය.

ප්‍රදේශයේ ජල මූලාශ්‍ර අපවිත්‍ර කරන සමාගමකට එරෙහිව පැවති විරෝධතාවක් මැඩ පැවැත්වීම සඳහා හමුදාව කැඳවා තිබුණි.

සාමකාමී උද්ඝෝෂණයක් වූ එය හැසිරවීමට පොලිසියට හා ප්‍රාදේශීය ආයතනවලට අවස්ථාවක් ලබා නොදී මෙතරම් ඉක්මනින් සොල්දාදුවන් යෙද වූයේ මන්ද යන්න පැහැදිලි නැත. එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝටාබය රාජපක්ෂ නමැත්තාගේ අවශ්‍යතාව මත එසේ සිදු වූ බව බොහෝ දෙනාගේ මතයයි. 

ජල දූෂණයට සම්බන්ධ වීම නිසා විරෝධයට ලක් වූ සමාගම අතිවිශාල දේශපාලන බලයක් හිමි පුද්ගලයකුට අයත් වූවක් විය.

හමුදා ප්‍රහාරක ආයුධ රැගත් සොල්දාදුවන් විරෝධතාකරුවන් වෙත පැමිණෙන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ. 

පල්ලියක ආරක්ෂාව පැතූ විට කන්‍යා සොයුරියට තුවක්කුව එල්ල කර මරණ තර්ජන කළා..

සොල්දාදුවන් ප්‍රථමයෙන් ගුවනට ද පසුව විරෝධතාකරුවන්ට ද වෙඩි තැබීමට පෙර, විරෝධතාකරුවන් එම ස්ථානයෙන් දුවන්නට පටන් ගත් අතර ඇතැමුන් පොලු සහ වෙනත් දේවලින් දමා ගැසූහ. 

සමහර විරෝධතාකරුවන් ප්‍රාදේශීය පල්ලියක ආරක්ෂාව පැතූ අතර, එහි පිටත බිත්තිවලට ද වෙඩි වැදී තිබුණි. පල්ලියේ නිලධාරීන් සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් පසුව පැවසුවේ, ආයුධ සන්නද්ධ සොල්දාදුවන් පල්ලියට ඇතුළු වී එහි සැඟව සිටි පුද්ගලයින් ශාරීරිකව හා වාචිකව අපයෝජනය කළ බවයි. විරෝධතාකරුවන්ට සහාය දැක්වීමට එරෙහිව පල්ලියේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරන ලද අතර, තුවක්කුව එල්ල කර එක් කන්‍යා සොහොයුරියක රඳවා ගෙන තිබිණ.

මාධ්‍යවේදීන්ගේ කැමරා කඩා දමන ලදී. සිද්ධියෙන් පසු, මාධ්‍යවේදීන් වාර්තා කළේ, හමුදා නිලධාරීන් වාර්තා නොකරන ලෙස තර්ජනය කරන බවයි.

පුෂ්පකුමාර මරා දමා තිබුණේ මොට ආයුධයකින් හිසට පහර දීලා...

ශාම්ලි රවිශාන් පෙරේරා සහ කහඳවිට ආරච්චිලාගේ දොන් අකිල දිනේෂ් වෙඩි තබා ඝාතනය කරන ලද අතර, නිලන්ත පුෂ්පකුමාර මරා දමා තිබුණේ මොට ආයුධයකින් හිසට පහර දීමෙනි.

මෙම මිනිස් ඝාතන සිදු කළ සන්නද්ධ හමුදා ඒකක භාරව සිටි බ්‍රිගේඩියර්කාරයාට මහින්ද රාජපක්ෂ පාලනය විසින් රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් ලබා දී තිබුණි. විනය ක්‍රියාමාර්ගයකට මුහුණ දෙනවා වෙනුවට, ඔහු තනතුරින් උසස් කර බදු ගෙවන්නන්ගේ මුදලින් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දැරීම සඳහා යවන ලදී.

2016 න් පසු රතුපස්වල සිද්ධියට අදාලව යම් යම් අධිකරණ ක්‍රියාමාර්ග ගත් නමුත් එම ක්‍රියාදාම ඇනහිට ඇති අතර ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගවීමක් නොමැත.

ශ්‍රී ලංකා රාජ්‍ය වැටී ඇති ඉතාම පහත් තත්ත්වය..

සිවිල් ජීවිත පිළිබඳව අබ මලක තරම් හෝ තැකීමක් නොමැතිව උතුරේ කොටි තලා දැමූ හමුදා යාන්ත්‍රණය දකුණේ හොල්මන් කිරීම ආරම්භ කළේ රතුපස්වලිනි. 

උතුරේ හා නැගෙනහිර ජනවාර්ගික යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූයේ යැයි කියන මිනිස් ඝාතන සම්බන්ධයෙන් හමුදාවට ලබා දුන් දණ්ඩ මුක්තියට කිසිදු නෛතික පදනමක් නැත. 

රතුපස්වල අහිංසක, නිරායුධ විරෝධතාකරුවන්ට මහ දවාලේ නිරපරාදේ වෙඩි තැබීම වනාහී වගවීම සම්බන්ධයෙන් ගත් කළ ශ්‍රී ලංකා රාජ්‍ය වැටී ඇති ඉතාම පහත් තත්ත්වය පිළිබඳ සංකේතයයි.

මෙබඳු බිහිසුණු අපරාධවල වගකිවයුත්තන්ට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වීමෙන් තව දුරටත් පෙනී යන්නේ, කොන්ද පණ නැති ශ්‍රී ලංකාවේ අධිකරණයට විධායක ජනාධිපතිකාරයාගේ බලය සමතුලිත කිරීමේ කිසිදු ඕනෑකමක් නැති බවයි. අධිකරණයේ එකී අසමත්කම හේතුවෙන් තමන්ගේම රටේ ආණ්ඩුවලින් සිදු කරන අපරාධවලට එරෙහිව යුක්තිය ඉටු කර ගැනීම සඳහා රටවැසියාට යා හැකි තැනක් මෙරට නැත!

- 2023 අගෝස්තු 14 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “A decade without justice for Rathupaswala killings” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

1 comment:

  1. At least this year Gota and his clan who killed the innocence should be send to Jail for life without any more delay.

    ReplyDelete