Thursday, 17 August 2023

රනිල්ගෙ පාලනයේ දි වෙලා තියෙන්නෙ ‘ලිපෙන් කබලට වැටුනා’ වගේ වැඩක්..! මෙහෙම ගිහින් කවදාවත්  බංකොලොත් බවින් මිදෙන්න බෑ..!

-රට බංකොලොත් වෙන බව ඈත තියාම පළමුවෙන් කී චම්පික රණවක යළි අනතුරු අඟවයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.17, ප.ව‍.9.35) 2023 රාජ්‍ය මූල්‍ය වගවීම් වාර්තාව අනුව, ලංකාව මූල්‍ය හා ආර්ථික තත්ත්වය අතින් තවත් පහළට ගොස්, 2048 දී හෝ බංකොලොත් බවින් මිදීමේ හැකියාවක් රජය ගෙන යන වැඩපිළිවෙළ ඔස්සේ ළඟා නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරයි

ආර්ථික අපගමනය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණෙන් දරුණු අනතුරු ඇඟවීමක් සිදුකරමින් අද (17) දින එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක සහ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභාපති කරූ පරණවිතාන  සහභාගී වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක;

ආර්ථිකය ඍණ -11.5% ට ඇද වැටිලා...

“2023 රාජ්‍ය මූල්‍ය වගවීම් කළමනාකරණ පනත යටතේ මූල්‍ය හා ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට සෑම වසරකම මැද වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව රජය එම වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඒ ගැන සාකච්ඡාවක්, විවාදයක් පසුගිය වාරයේ පැවැත්වුණා. නමුත් මෙයින් පැන නැගෙන කරුණු පිළිබඳව වැදගත් සංවාදයක් රටේ ඇතිවුණේ නෑ. ඒ නිසා මේ දත්ත එක්ක මතුවෙලා තියෙන අනතුරුදායක තත්වය පිළිබඳ නැවත අවධානය යොමු කරන්න අපි කල්පනා කළා. පළමුවෙන්ම පළවෙනි කාර්තුවේදී ලංකාවේ ආර්ථිකය ගිය වසර, 2022ට සාපේක්ෂව 11.5% කින් අඩුවෙලා තියෙනවා.(-11.5%) මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. සමස්තයක් හැටියට කිව්වොත් 2019 ජනාධිපතිවරණ කාලේදී, වියත් මගේ හිටපු ආර්ථික ඔස්තාර්ලා, මේ රටේ ජනතාවට කියපු දේ තමයි යහපාලනය ආවට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සංවර්ධන දශකය අවුල් වුණා. 7% ක වර්ධනයක් ගෙනිච්චා මහින්ද රාජපක්ෂ. ඒක 3% ට බැස්සුවා. ගෝඨාභය මහත්තයා ගෙනල්ලා අපි මේක නැවත 7% ට ගේනවා කියලා තමයි ඔය වියත්මගේ ආර්ථික ඔස්තාර්ලා, රට වටේම මිනිස්සු රවට්ටන්න ගෙනගිය මතය. අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද? 7% ක වර්ධනය නෙවෙයි, යහපාලනය 3% ත් නෑ. සෘණ 11.5% ක වර්ධනයක් රටට අරන් දීලා තියෙනවා. සීඝ්‍රයෙන් රටේ ආර්ථිකය ආපහු යනවා. ඩොලර් බිලියන 90 ක් පමණ තිබූ රටේ ආර්ථිකය දැන් ඩොලර් බිලියන 80 කටත් වඩා අඩුවෙලා තියෙනවා. ක්‍රමයෙන් රට ආපස්සට යනවා. ඒ නිසා මේ වගේ කයිවාරු කාරයෝ අනාගතයෙත් එන්න පුළුවන්. කිසිම වැඩක් නොකර, කිසිම ප්‍රතිඵලයක් පෙන්නපු නැති මිනිස්සු ඇවිල්ලා මේ වගේ කතා පවත්වන්න පුළුවන්. ආර්ථික ඔස්තාර්ලා හැටියට, ඒ ගැන ප්‍රවේශම් වෙන්න කියලා අපි ජනතාවගෙන් මුලින්ම ඉල්ලා සිටිනවා.”

2022 දී කෘෂිකර්ම ක්ෂේත්‍රය භයානක ආකාරයෙන් බිඳ වැටීමට ලක් විය. එම වසරට සාපේක්ෂව වැවිලි කර්මාන්තයේ සුළු වර්ධනයක් දක්නට ලැබුන ද, කර්මාන්ත සහ සේවා, විශේෂයෙන් ම මූල්‍ය හා ආරක්ෂණ ක්ෂේත්‍රවල විශාල කඩා වැටීමක් ඇති ව තිබේ. ඒ ඒ ක්ෂේත්‍ර ගොඩනැගීමෙන් තොර ව ගමනක් නැත. අද රටේ පවතින ලොකුම ගැටලුව ඩොලර් ය.

අපනයනය අඩුවෙලා, ඉස්සරහට තවත් අඩුවෙනවා...

“ඒකට තියෙන ලොකු විසඳුමක් තමයි අපනයන. අපනයන අඩුවෙලා තියෙනවා 7.7% ක පමණ, ප්‍රමාණයකින්. ඉස්සරහට තවත් අඩුවෙන්න පුළුවන්. ඒකට බරපතල හේතු දෙකක් තියෙනවා. එකක් බාහිර හේතුවක්, එකක් අභ්‍යන්තර හේතුවක්. බාහිර හේතුව තමයි අපි කාලාන්තරයක් අවුරුදු තිහක පමණ කාලයක් අපේ අපනයන වෙළඳපොළ මාරු කරගත්තේ නැහැ. අපේ අපනයන වෙළෙඳපොළෙන් 60% ක් ගියේ උතුරු ඇමරිකාවටයි, යුරෝපෙටයි. අපි මේක වෙනස් කරගත්තේ නෑ. අලුත් ආර්ථික කලාප ගණනාවක් දකුණු ඇමරිකාවේ, අප්‍රිකාවෙ, අපිට කිට්ටු දකුණු ඉන්දියානු කලාපයේ, නැගෙනහිර ආසියාවේ මතු වුණාට අපි ඒවා ගැන බැලුවෙම නෑ. අපි හිතුවෙම යුරෝපයයි, උතුරු ඇමරිකාවයි ගැන. දැන් ඒ රටවල් දෙකේම දැවැන්ත උද්ධමනයක් ඇතිවෙලා, ඒ රටවල් දෙකේ ඒ කලාප දෙකේ ආර්ථික අවපාතයක් ඇවිල්ලා. දැන් ඒක අපිට බලපාලා තියෙනවා.”

ඇඟලුම් කම්හල් වැහිලා.. 25%  කින් ඇද වැටිලා, මානව සම්පත රටින් යනවා..

විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කම්හල් වැසී ගොස් රැකියා කළ අය පාරට වැටී ක්ෂේත්‍රය 25% කින් පමණ කඩා වැටීමකට ලක් ව තිබේ. රට අභ්‍යන්තරයේ මතු ව තිබෙන මේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මේ අපනයන කර්මාන්ත හා  සේවාවල නිරතවූවන් රටෙන් පිටවීමයි. ව්‍යවසායකයන්, කර්මාන්ත, මානව සම්පත රටෙන් පිටවෙයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මධ්‍යම කළමනාකරුවන් 30% ක් රටෙන් පිටමං වී අවසන් ය.

ඩොලර් බිලියන 5 ක් නොගෙවා, බිලියන 1.5 ක් ඉතිරි කර ගැනීම හපන්කමක් ද?

“ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ බංකොලොත්භාවය ප්‍රකාශ කළාට පස්සේ පළවෙනි ඇතුලත, 2022 අප්‍රේල් සිට 2023 අප්‍රේල් දක්වා ඩොලර් බිලියන 4990ක්. ඒ කියන්නේ ආසන්නයෙන් ඩොලර් බිලියන පහක ණය හා පොළී ලංකාව ගෙවලා නැහැ. එහෙම තමයි ඔය ඩොලර් එක 330 තියන් ඉන්නේ.  එම කාලය තුල අපේ සංචිත වැඩි වෙලා තියෙන්නේ බිලියන 1.5 කින්. බිලියන පහක් ගෙවලා නැහැ. ඒ ණය ගෙව්වා නම් කාරිය. මේක ලොකු හපන්කමක් නෙමෙයි. මේ ණය ආපසු නොගෙවීම නිසා ඇතිවෙලා තියෙන තාවකාලික චූන් එකක්. ලබන ජනවාරි මාසේ ඉඳන් මේ සැප්තැම්බර් මාසේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ආණ්ඩුව සමත් නොවුනොත් මේ අර්බුදය තවත් අර්බුදයකට යනවා. සමත් වුණත් එනවා. “ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” වගේ තත්ත්වයක් තමයි ආණ්ඩුවට තියෙන්නෙ.”

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශාල බාධාවක් පවතී. දී තිබෙන සූත්‍රයට අනුව එසේ කිරීමට සමහර රටවල් සූදානම් නැත. එසේ කරගත්ත ද, ණය ගෙවීමට සිදුවන නිසා නැවත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට නියමිතය.

මේ ඉලක්කම් වල මායාවෙන් රැවටෙන්න එපා..

“වැදගත්ම දේ තමයි අපි ආදායම් බලාපොරොත්තු වුණා. ආදායම් ඉලක්ක බලාපොරොත්තු වුණා. කරගන්න ඒ ආදායම් ඉලක්ක අපි සපුරගෙන නෑ ආණ්ඩුවක් හැටියට. ඒකට හේතු හැටියට හුඟාක් පෙන්නලා දීලා තියෙනවා. ඇත්තටම මේ ආර්ථිකය කඩා වැටෙනවා. විශේෂයෙන්ම රේගුවෙ අපිට ගහන්න පුළුවන් බදු ආණ්ඩුව තහනම් කරලා. ඒක නිසා රේගු දෙපාර්තමේන්තුවට අපේක්ෂිත ආදායම ලැබෙන්නේ නෑ. යම් ප්‍රමාණයකට ආදායම් එකතු කරලා තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. නමුත් ආර්ථික කඩා වැටීම හමුවේ ඒකත් ක්‍රමයෙන් අඩු වේගෙන යනවා. සුරාබදු දෙපාර්තමේන්තුව කියන්නේ 40%ක්  මත්පැන් පානයෙන්, සිගරට් පානයෙන් කට්ටිය ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා අපට බලාපොරොත්තු වූ ඒවා එකතු කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ ආදායම් ඉලක්ක දුන්නට ඒවා ළඟා කරගෙන නෑ.  වැදගත්ම කාරණය තමයි වැට් බද්දෙන් තමයි ලොකුම ආදායම බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ආදායම් ඉලක්ක වලින් බාගයක් පමණ වැට් බදු හරහා තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. වැට් බද්දෙන් අඩක්ම ලැබිලා තියෙන්නේ 2022 ට සාපේක්ෂව. මොකක් නිසාද? උද්ධමනය නිසා. ඒ කියන්නේ ආණ්ඩුව උද්ධමනය ඇති කරලා, ඒ උද්ධමනය නිසා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් හා මේ ඉලක්කම් සෙල්ලම් කරන අයගෙන් ඉල්ලා හිටිනවා මේ ඉලක්කම් වල මායාවෙන් රැවටෙන්න එපා. තමන්ම ඇති කරපු උද්ධමනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආදායම් වැඩි වෙලා වගේ පේන්නේ. වියදම් පාර්ශවය ඉතා බරපතල විදිහට වැඩි වෙලා තියෙනවා ණය සඳහා පොලිය. මෙතන තියෙන ලොකුම කණගාටුදායක හා විහිලු සහගත තත්වය නම් විදේශ ණය පොලිය ගෙවන්නේ නැතුවත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ පළවෙනි හය මාසයේ ණය පොලිය 100% විතර වැඩිවෙලා තියෙනවා.

හැම දේකම මිල තුන් ගුණයකින් වැඩි වෙලා, වැටුප් වැඩි වෙලා නෑ..

ආණ්ඩුවේ ආදායම ආසන්නයෙන් සමානයි රජයේ ණය පොලියට විදේශ ණය පොලිය නොගෙවන තත්වය තුල ආසන්නයෙන් සමානයි. ඉතින් මේක ඉතාම බරපතල දෙයක්. මේක හිනා යන්නැතුව අනික් දුක හිතෙන කාරණය තමයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ අනෙකුත් දීමනා වලින් ඉතුරු කරගෙන තියෙන්නේ ආණ්ඩුව බිලියන දාහතයි. වැටුප් වැඩි වෙලා නෑ දැන් අවුරුදු තුනකින්. භාණ්ඩ මිල ඉහල ගිහිල්ලා තියනවා තුන් ගුණයකින්. තුන් ගුණයකින් භාණ්ඩ මිල ඉහළ ගිහින් තියෙනවා. එතකොට මේ උද්ධමනය අඩුයි අඩුයි කිව්වට උද්ධමනය කියන්නේ මොකක්ද? උද්ධමනය කියන්නේ භාණ්ඩ මිල වැඩිවීමේ සීඝ්‍රතාව මිසක් භාණ්ඩ මිල නෙමෙයි. භාණ්ඩ මිල ආසන්නයෙන් තුන් ගුණයකින් වැඩියි. ලයිට් බිල තුන් ගුණයකින් වැඩියි. තෙල් මිල තුන් ගුණයකින් වැඩියි. හාල් සේරුව තුන් ගුණයකින් වැඩියි. පිටි කිලෝව තුන් ගුණයකින් වැඩියි. හැම එකක්ම තුන් ගුණයකින් වැඩියි. හැබැයි රාජ්‍ය සේවකයාගේ සහ සේවකයින්ගේ පඩි වැඩි වෙලා නෑ. ඇත්තටම පඩි වලින් ඉතුරු කරගෙන තියෙන්නේ ආණ්ඩුව රුපියල් බිලියන දාහතයි. හැබැයි පොළී ගෙවන්න වැඩියෙන් වැය කරලා තියෙනවා බිලියන හයසිය පහළොවක්. ඉතින් මේකෙන් පේනවා මේ ආණ්ඩුවේ වියදම් ආදායම් කළමනාකරණයේ ලක්ෂ දාහතරක් තමන්ගේ රාජ්‍ය සේවකයින්ගෙන් ඉතුරු කරගත්ත සොච්චම වගේ කීප ගුණයක් කීප ගුණයක් අවසානයේ වැය කරලා තියෙනවා. පොළී ගෙවන්න වැරදි ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරපු මහ බැංකුවේ භාණ්ඩාගාරයේ නිලධාරීන් හා දේශපාලන හතර පස් දෙනෙක් නිසා.”

මෑතකදී ජල මණ්ඩලයේ ගාස්තු 50% කින් වැඩි කළේය. නමුත් මණ්ඩලය මිලියන 3600 ක ලාභයක් ඉපයූ බව කියවේ. වතුර බිල 50% කින් වැඩි කළේ ලාභ ඉපයීම සඳහා ය. මෙම වැඩි කිරීමෙන් රාජ්‍ය ආයතන බේරාගැනීම සුදුසු ද?

සංඛ්‍යාලේඛන විජ්ජාවක්..

“දැනට ලංකා විදුලිබල මණ්ඩලය විතරයි පාඩුවක් වාර්තා කරලා තියෙන්නේ. ඒකත් මම හිතනවා සංඛ්‍යාලේඛන විජ්ජාවක් නිසා වෙච්ච දෙයක්. ඒක පෙන්නලා දීලා තිබුණා මහජන උපයෝගිතා කොමිසම. කෙසේ නමුත් මේ මේ රාජ්‍ය ආයතනවල මේ ලාභය ළඟා කරගෙන තියෙන්නේ කොහොමද? කිසිම කළමනාකරණ දක්ෂතාවයකින්, කළමනාකරණයේ වෙනස් කමකින්, මූල්‍ය කළමනාකරණයේ හැකියාවකින් නෙවෙයි. කොහොමද කරලා තියෙන්නේ? තුන් ගුණයකින්, හතර ගුණයකින් ගාස්තු වැඩි කිරීමෙන්. එහෙම නැත්නම් ඔය ශ්‍රී ලංකන් එක වගේ ඒවාට නම්, ඒවාට අයකරපු බදු වලින් ඒවා නිදහස් කිරීමෙන්. ලැබිය යුතු ආදායම් අහිමි කර ගනිමින් මේ තත්ත්වය ලඟා කරගෙන තියෙන්නේ. ඉතින් වැදගත් දේ තමයි මේ මිල වැඩි කරලා ජල සම්පාදන මණ්ඩලය ලාභ කිරීම. මිල වැඩි කරලා ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභ කිරීම, මිල වැඩි කරලා තෙල් සංස්ථාව ලාභ කිරීම නෙමෙයි තියෙන්නේ. මිල ජාත්‍යන්තර තලයත් එක්ක තරඟ කරන අතරේ කළමනාකරණයේ වෙනසෙන් කොහොමද මේවා කරන්නේ කියන එක. ඒක වෙලා නෑ.

ලංකා බැංකුව සහ මහජන බැංකුව සතුව පවතින ට්‍රිලියන හත අටක් වූ වත්කම්වලට සාපේක්ෂ්ව ලබා ඇති ලාභය සොච්චමකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනම ධන කුවේරයන් අතලොස්සක් විසින් කොල්ල කෑම ය. ඒ කොල්ල කෑ ධනය නැවත ලබා ගැනීමේ කිසිම වැඩපිළිවෙලක් නැත. එහි බර දැරීමට සිදුව ඇත්තේ අනෙකුත් තැන්පත්කරුවන්ට ය.

ආර්ථිකය ක්‍රමයෙන් පොළොව යටින් නාය යනවා..

“මේවා විකුණන්න ඕනේ කිය කිය හිටියේ. දැන් ඒවා විකුණන්න ඕනේ කියලා කියන්න කිසිම තර්කයක් ඉතුරු වෙලා නැහැ. මොකද දෙතුන් ගුණයකින් තෙල් මිල ඉහළ දමලා, වතුර බිල ඉහළ දමලා, දැන් ලාභ උපයන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා විකුණන්න දැන් තර්කයක් නෑ. එක ම කණගාටුදායක දේ මොකක්ද? මේවා අත්පත් කරගෙන තියෙන්නේ මිල වැඩි කිරීමෙන් මිසක්, කළමනාකරණයේ වෙනසකින් නෙවෙයි. ඒ නිසා මේ සියල්ලේ ප්‍රතිඵලය මොකක්ද? මේවා මිනිස්සුන්ට දරාගන්නට බැරි තත්වයකට පත්වෙමින් තියෙනවා. ආර්ථිකය ක්‍රමයෙන් පොළොව යටින් නාය යනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පටන් අරන් රටේ දශක ගාණක් ගොඩනගාගත්ත දැවැන්ත මානව ප්‍රාග්ධනය, මානව සම්පත රටට අහිමි වෙමින් යනවා. රටේ නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ආණ්ඩුවට නෑ. මෙහි ප්‍රතිඵලයක් හැටියට අනාගතයේ මීටත් වඩා බරපතළ ප්‍රශ්න වලට නැවත රට බංකොලොත් වීමකට නැවත ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයකට.

මැතිවරණ ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස් එකක් වෙන්න පුළුවන්...

2025 දී මැතිවරණයක් සම්බන්ධ කතා බහක් ඇති ව තිබේ. ණය ගෙවීම සිදුවන්නේ 2028 දී ය. 2028 දී නැවතත් රට බංකොලොත් ගැටලුව අභියෝගය පැන නගී.

“සමහරු දැන් ඉඳන්ම රෙදි සූට් මහනවා වෙන්න පුළුවන්. නමුත් ආජන්ටිනා මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවම සම්පූර්ණ අනපේක්ෂිත පුද්ගලයෙක් තමයි පළවෙනි වටයේ ජයග්‍රහණය ලැබුවේ. අර අපි දිනනවා. අපි ගන්නවා. අපි තමයි පක්ෂ කියලා හිතන් හිටපු ඔක්කොමලා පස්සට ගිහිල්ලා, පැරදිලා, නව අපේක්ෂකයෙක් තමයි ජය ලැබුවේ. ලොකු පක්ෂ සංවිධානයකින් තොරව. ඒ වගේ තත්ත්වයක් ලංකාවෙත් ඇතිවෙන්න පුළුවන් මේ තත්ත්වය එක්ක. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ පාලනය ගැන සරලවම කිව්වොත් ලිපෙන් කබලට වැටිච්ච තත්ත්වයක්.”

ආයෙත් සැරයක් අර පරණ ලොරි උඩ හදපු ටාටා බස්ම ගෙනාවොත්..! -සුමේධ රත්නායක

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා පවසා සිටියේ මෙරට ආර්ථිකය කඩාවැටීමත් සමඟ එය නැවත නගාසිටුවීම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ කුමන කටයුතු සඳහා ද? යන්න හා මෙරට ආර්ථිකයට ලබාදිය යුතු ප්‍රාග්ධන වියදම් කළමනාකරණය කිරීමේදී ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ කුමන අංශ සඳහාද යන්නයි.

"2023 පළවෙනි මාස හයේ ප්‍රගති වාර්තාවට අනුව අපිට පේනවා ඉදිකිරීම් ක්ෂේත්‍රය 38% කින් හැකිලිලා. ඒ කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කලින් ලක්ෂ දහයකට රැකියා දුන්නු පිරිවැය, 38% කින් හැකිළිලා. විශාල ප්‍රමාණයක් ව්‍යාපාර බිඳ වැටෙනවා. ගිය වසරේ අහිමි වූ රැකියා වලටත් අමතරව තවත් අති විශාල රැකියා ප්‍රමාණයක් අහිමිවෙලා තියෙනවා. රාජ්‍ය ආයෝජන අඩුවීම මධ්‍යයේ වුවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මීට වඩා කාර්යක්ෂම කරගන්න, මීට වඩා ඵලදායිතා ලබා ගන්න නිසි ක්‍රියාමාර්ග ගත්තොත් පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අද රටේ තැන්පතු සඳහා ලැබෙන ඉහළම පොලී අනුපාතිකය වෙලා තියෙන්නේ 12.5% ක්. හැබැයි බැංකුවකින් ණයක් ගන්න ගියාම 20% පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ආයෝජනය කරන ව්‍යාපාරිකයෝ කියන දේ තමයි 15% වඩා පොලී අනුපාතිකය අඩු වෙනවා නම් ඔවුන්ට මේ ක්ෂේත්‍රය සඳහා ආයෝජනය කරලා ලාභදායී බවට පත් කරන්න පුළුවන් කියලා. ඒ වගේම රජය පැත්තෙන් ගන්න ප්‍රතිපත්තිමය තීන්දු නිවැරදි ආකාරයකින් ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට කඩවත සිට මීරිගමට ඉදිරි කරන අධිවේගී මාර්ගය වෙනුවට කොම්පඤ්ඤවීදියේ ඉදිවෙන පාලම සඳහා ප්‍රමුඛතාවය දුන්නා නම් වාහන තදබදය මගින් නාස්ති වෙන විශාල ධනයක් අපිට රටට ඉතිරි කරගන්න පුළුවන්. දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා බස් ගෙන්වීම සඳහා අවසර ලබා දීලා තියෙනවා කියලා. නමුත් ආයෙත් සැරයක් අර පරණ ලොරි උඩ හදපු ටාටා බස්ම ගෙනාවොත් මේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු වෙන්නේ නෑ. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අමාත්‍යංශයක් ඇති කිරීම කළ යුතුයි. පහුගිය යුගයේදී ඉදිකිරීම් අමාත්‍යංශයේ හිටියා වගේ ක්ෂේත්‍රය හඳුනන පළපුරුද්දක් තියෙන නිලධාරීන් ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පත්කළ යුතුයි. පසුගිය කාලේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනය කිරීම සඳහා වූ ඒජන්සිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් පත්කරපු සභාපතිවරයෙක් පාලනය කළා. ඔහු ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රෙගුලාසි සෑදීමේ කිසිම කාර්යයක් කරේ නෑ.  ඒ අනුව ආයතනවල සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරලා ඒ ආයතනවල ආදායම් මට්ටම ඉහළ නංවමින් කාර්යක්ෂම කළ යුතුයි. එසේ කළොත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට නැවත පිබිදීමක් ඇති කරගන්න පුළුවන්."

බැංකු වලට මේ පොලු තියලා තියෙන ගජමිතුරු ව්‍යාපාරිකයෝ කවුද කියා පාර්ලිමේන්තුවටත් හංගනවා..! - කරු පරණවිතාන

එමෙන්ම රටේ මහජනතාව වශයෙන් දැනගත යුතු ඉතාමත්ම වැදගත් තොරතුරු සම්භාරයක් ඇති අතර ඒවා නිසි පරිදි රට හමුවේ තැබීම යම් යම් පියවරවල් මගින් වැලකී ඇති බවට ඉන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරූ පරණවිතාන මහතා පවසා සිටී.

"දැන් මේ රටේ තොරතුරු දැනගැනීමේ නීතියක් සම්මත කරලා ක්‍රියාත්මක කරන්නේ එක්තරා වැදගත් අරමුණක් ඉෂ්ඨ සිද්ධ කරගන්න. ඒ කියන්නේ රජයේ කටයුතු, මහජනයාට සඟවා තබන්නේ නැතුව, ආණ්ඩුවේ කටයුතු විවෘතව පවත්වාගෙන යෑමට තමයි තොරතුරු දැනගැනීමේ නීතියක් සම්මත වෙලා, ඒ ආයතන හදලා ක්‍රියාත්මක කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ඉතාමත්ම වැදගත් අංග ලක්ෂණයක්. තොරතුරු දැනගැනීමේ නීතිය ක්‍රියාත්මක කරන්න, රජයේ නිලධාරීන් විශාල පිරිසක් විශාල සහයෝගයක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම අපේ තොරතුරු කොමිසමත්, ඉතා හොඳට ක්‍රියාත්මක වෙනවා. එහෙම තිබෙන තත්වයක් යටතේ ඉතාම නරක ප්‍රවණතාවයක් මතුවෙලා තිබෙනවා. රටේ රාජ්‍ය බැංකු  ගජමිතුරු ව්‍යාපාරිකයන් අතළොස්සක් විසින් කොල්ලකාලා තියෙනවයි කියලා මේ වනවිට පැහැදිලි වෙලා තිබෙනවා. විශාල පිරිසක් මේ බැංකුවලින් ණය අරගෙන, ණය ගෙවන්නේ නැතුව පැහැර හැරලා තිබෙනවා. ණය නොගෙවන අය අතර අර කියන ජාවාරම්කාර පිරිස ඉන්නවා. සාමාන්‍ය මිනිස්සුන්ට පමණක් නෙවෙයි අද මේ රාජ්‍ය බැංකු මේ තොරතුරු පාර්ලිමේන්තුවටවත් දෙන්නේ නැහැ. විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරමින් අණපනත් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවටවත් ඒ තොරතුරු දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා තියෙනවා. රාජ්‍ය ගිණුම් කාරක සභාව තිබෙනවා, රාජ්‍ය මුදල් කාරක සභාව තිබෙනවා, රාජ්‍ය ව්‍යාපාර කාරක සභා තිබෙනවා. මේ කිසිම කාරක සභාවකට මේ තොරතුරු ටික ලබා දෙන්නෑ.  බැංකු වලට මේ පොලු තියලා තියෙන ගජමිතුරු ව්‍යාපාරිකයෝ කවුද කියලා මේ රට දැනගන්න ඕනේ. රටේ තොරතුරු දැනගැනීමේ නීතිය තියෙන්නේ, ඔය පනත් වලට වැඩිය ඉහළින්. මේ පනත යටතේ යම් යම් සීමාවන් දාලා තිබෙනවා. ජාතික ආරක්ෂාවට හානිකරව බලපාන තොරතුරු දෙන්නේ නෑ කියලා තියෙනවා. නමුත් අපි අහන්න කැමතියි රජයට ලැබෙන්න තියෙන ආදායම් ටික නොගෙවා ඉන්න අයගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් මොකක්ද ජාතික ආර්ථිකයට වෙන හානිය."

No comments:

Post a Comment