Thursday, 17 August 2023

මරඳ මඩු දේව මාතාවන්ගේ මහා මංගල්‍යය අල්තාරය රනිල් දේශපාලන වේදිකාවක් කර ගැනීම ගැන කතෝලික විරෝධය..! ඊට ඉඩ දුන් මන්නාරම රදගුරුටත් අප්‍රසාදය..!

-කතෝලික ගිහි සංවිධාන එකමුතුව

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.17, ප.ව‍.11.45) පසුගියදා පැවති මරද මඩු දේව මාතාවන්ගේ වාර්ෂික මංගල්‍යය මෙහෙය අවසානයේ දී, එකී ගෞරවනීය අල්තාරය තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ දේශපාලන වේදිකාවක් බවට පත් කර ගැනීම සම්බන්ධව කතෝලික ගිහි සංවිධාන එකමුතුව සිය විරෝධය පළ කර සිටිනවා.  මඩු දේව මාතාවන්ගේ මහා මංගල්‍යය සඳහා පැමිණි බැතිමතුන්ගේ සාමකාමීත්වයත්, භක්තියක්, ශ‍්‍රද්ධාවත් කඩා බිඳ ඉහිරවමින් දැඩි ආරක්ෂාවක් යොදමින් බැතිමතුන් අපහසුතාවයට පත්කරමින් හදිසියේ දේව මෙහෙය අවසානයේ කඩාවැදී මඩු මෑණියන්ගෙ ගෞරවනීය අල්තාරය දේශපාලන වේදිකාවක් බවට පරිවර්තනය කර ගනිමින්  ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද දේශපාලන කතාව සම්බන්ධයෙන් සියලූ  කතෝලික ජනතාව වෙනුවෙන් කතෝලික ගිහි සංවිධාන එකමුතුව සිය විරෝධය මෙලෙස ප‍්‍රකාශ කර සිටිමු.

ජනතාව ජනාධිපතිට අත්පුඩියක්වත් ගැහුවේ නෑ..

ජනාධිපතිවරයාගේ එම දේශපාලන කතාව එවැනි ආගමික උත්සවයක් අවස්ථාවක් සඳහා කිසිසේත්ම ගැලපෙන උචිත දෙයක් නොවන බව අපගේ හැඟීමයි. පැමිණ සිටි සියලූ බැතිමතුන්ගේ හැසිරීමෙන් හා කතාබහින් එය අපට ද මනාව පැහැදිලි විය.  මරද මඩු දේව මෑණියන්ගේ ප‍්‍රතිමාව වෙනුවෙන් දෙවරක් අත්පොලසන් දුන් බැතිමත් ජනතාව කිසිම අයුරකින් ජනාධිපතිවරයා ගේ කතාව සම්බන්ධයෙන් අත්පොළසන් දීමක් හෝ ප‍්‍රතිචාරයක් නොදක්වා තම මුහුණුවලින් ඒ සම්බන්ධයෙන් නොසතුට පළ කිරීම මගින්ම මෙය පැහැදිලි වේ. ජනාධිපතිවරයාට මෙවැනි උතුම් ආගමික අවස්ථාවක අල්තාරය දේශපාලන වේදිකාවක් බවට පරිවර්තනය කර ගනිමින් තමන්ගේ දේශපාලන පටු ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරවීමට අනුමැතිය ලබා දුන්නේ කවුරුන් දැයි අප නොදන්නා නමුත් එය ලබා දුන් සියලූ දෙනාට අපි අපගේ දැඩි විරෝධය පළ කර සිටිමු.

රනිල් වික‍්‍රමසිංහට කතෝලික ජනතාව වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් කළ යුත්තේ...

විශේෂයෙන් එම අවස්ථාවේදී කතෝලික සභාවේ ලංකා රදගුරු සම්මේලනයට අයත් වගකිවයුතු රදගුරුවරු කිහිප දෙනෙක් ද වගකිව යුතු පියවරු කිහිපදෙනෙක්ද සිටියත් ඔවුන් කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් කිසිම ප‍්‍රතිචාරයක් නොදන්වා මුනිවත රකිමින් සිටීම අප විශ්මයටත්, විමතියටත්, කළකිරීමටත් පත් කරනු ලැබිය. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට කතෝලික ජනතාව වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට, ගෞරවය දැක්වීමට, ප‍්‍රණාමය පුද කිරීමට අවශ්‍යතාවක් තිබෙනවා නම් ඔහු ප‍්‍රථමයෙන් කළයුතු වන්නේ කතෝලිකයින්ට අසාධාරණයක් සිදු වූ, ඔහු අග‍්‍රාමාත්‍ය ධුරය දරන සමයෙහි ජාතික ආරක්ෂාව බිඳ වැටීමක් සිදු වූ පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර යුක්තිය ඉටු කර දීමයි. බැතිමතුන් 273 දෙනෙකුට මරු කැඳවමින් තවත් දහස් ගණනක් වින්දිතයින් බවට පත් කරමින් රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධූරය දරන කාලයේ සිදු වූ පාස්කු බෝම්බ ප‍්‍රහාරයට යුක්තිය ලබා දීමට අදටත් ඔහු  ඕනෑකමින් කටයුතු නොකරන බව අප සැම දන්නා කරුණක්.

පාස්කු කොමිෂන් සභා වාර්තා දුන්නේ විශාල කොටසක් සඟවමින්..

රනිල් වික‍්‍රමසිංහ රජය තමන්ට බලය පවත්වා ගැනීමට සහයෝගය දක්වන පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ දේශපාලනඥයින් හා නිලධාරීන් රකිමින් එම පරීක්ෂණ කටයුතු යට ගසමින් ඒවා සඟවමින් හා මන්දගාමී තත්ත්වයට පත් කරමින් සිටින බව අපි කවුරුත් දන්නා රහසක්.  පාස්කු කොමිෂන් සභා වාර්තා වල සඟවා තිබු වෙළුම් කිහිපය පසුගියදා රදගුරු මණ්ඩලයට නිකුත් කරන බව පවසමින් ප‍්‍රකාශ කරනු ලැබූව ද ඒවා පෙර සඳහන් කළ පරිදි පිටු ලක්ෂයකින් සමන්විත සම්පූර්ණ වෙළුම් ප‍්‍රමාණයෙන්ම නොව පිටු හැට හත් දහසක් පමණ අඩුවෙන් නිකුත් කරන ලද වෙළුම් වලින් කොටසක් පමණක් බව මේ වන විට අපට පෙනී ගොස් ඇත. ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ රජයේ ද පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධ කරුණු සඟවමින් සිටින බව මේ අනුව අපට පෙනී යයි. එසේම මේ වන විටත් පාස්කු කොමිෂන් සභා වාර්තා තුළින් චෝදනා ලබා ආරක්ෂක අංශයේ සිටින දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, සුරේෂ් සලේ යන ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කළ යුතු වුවත් අදටත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව යටතේද ඔවුහු උසස් නිලතල දරමින් වැජඹෙමින් සිටිති. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ රජය කිසිදු පියවරක් මේ දක්වා ගෙන නැත.

ජනාධිපති මාධ්‍ය ඒකකය අති උතුම් කාදිනල් හිමිපාණන්ට මඩ ගසද්දී රනිල් මොනවද කෙළේ?

එසේම මේ වන විට පාස්කු බෝම්බ ප‍්‍රහාර සටනට නායකත්වය දෙමින් සෘජුව එඩිතරව කටයුතු කරන අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ට එරෙහිව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඉතා සංවිධානාත්මකව මඩ ප‍්‍රහාරයක් පසුගිය මාස කීපයේදී දිගින් දිගටම දියත් කර තිබුණු බව අප හැමෝම දන්නා කරුණක්.

එම මඩ ප‍්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඇතැම් පිරිස් මඩු සිද්ධස්ථානය තුළ ඊයේ දවසේද කිසිදු හිරිකිතයක් නොමැතිව ඇඳුම් ඇඳගෙන පැමිණ සිටි බව අපිට දකින්නට හැකි විය.  තමන්ගේ ජනාධිපති මාධ්‍ය ඒකකය අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට සැලසුම් සහගතව මඩ ප‍්‍රහාරය දියත් කරද්දිත් මුනිවත රකිමින් සිටි රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා කතෝලිකයින්ට යුක්තිය ඉෂ්ඨ කිරීමට කතා කිරීම විහිළු සහගත කරුණකි.

දේශපාලන කුමන්ත‍්‍රණයක් සිදු කිරීමට ඇතැම් කතෝලික නායකයින් දායකවීම..

එසේම ඊයේ දවසේ සිදු වූ මෙම දේශපාලන කාරණා සම්බන්ධයෙන් වඩා විමර්ශනශීලීව බැලීමේදී අපට පෙනී යන්නේ මෙය ඉතා සැලසුම් සහගතව කතෝලික සභාවේ ඇතැම් නායකයින්ගේ ද අනුදැනුම ඇතිව සිදු වූවක් බවයි. රටේ බහුතර කතෝලික පියවරුන්, කතෝලික පැවිදි සොයුරියන්, කතෝලික ජනතාව පොදු සටනක් ලෙස රටේ දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් සටන් කරමින් සිටිද්දී, කාදිනල් හිමිපාණන්ද පාස්කු ප‍්‍රහාරය ඇතුළු රටේ පීඩිත ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් කතා කරමින් නායකත්වය ලබා දෙමින් රටේ දේශපාලන නායකයින්ගේ අමනෝඥ ක‍්‍රියා බරපතල ළෙස විවේචනය කරමින් සිටින අවස්ථාවක එයට ප‍්‍රතිවිරුද්ධ ලෙස වෙනත් දේශපාලන කුමන්ත‍්‍රණයක් සිදු කිරීමට ඇතැම් කතෝලික නායකයින් දායකවීම සම්බන්ධයෙන් අපි අපගේ කණගාටුව දැඩි ලෙස ප‍්‍රකාශ කරමු.

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ හදාරනු..

අපි එම කතෝලික නායකයින් ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටින්නේ ආජන්ටිනා සිවිල් අර්බූදයේ සමයේ දී නිල කතෝලික සභාව ජනතාව මරන්නට, පීඩාවට පත් කරන්නට, දූෂිත පාලනයක් ගෙනයන්නට, මර්ධනය දියත් කරන්නට රජයට සහය දක්වද්දී  වර්තමාන ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එයට ප‍්‍රතිවිරුද්ධව සිත් හැරී රදගුරුවරයෙක් ළෙස රජයේ ක‍්‍රියා වලට එරෙහිව ආජන්ටිනාවේ නිල කතෝලික සභාවට පිටුපා ජනතාව සමග සිටගෙන ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉතා විමර්ශනාත්මකව ගැඹුරින් හදාරන ලෙසයි.

එදා නිල කතෝලික සභාව ආජන්ටිනාවේදී තමන්ට ලැබෙන වරප‍්‍රසාද වෙනුවෙන් දූෂිත රජයට අනුග‍්‍රහය දැක්වීමට එරෙහිව කටයුතු කළ කතෝලික පියවරුන් සමග වර්ථමාන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමා එවක ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ (Jorge Mario Bergoglio) රදගුරුවරයා වශයෙන් අත්වැල් අල්ලා ගනිමින් කටයුතු කළ ආකාරය ගැන ලංකාවේ කතෝලික සභාව හා නායකයින් අවධානය යොමු කළ යුතු බව අපගේ අදහසයි. දූෂිත දේශපාලනඥයින්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා කතෝලික සභාවේ නායකයන් ලෙස හා කතෝලිකයින් ලෙස අපගේ ඇත්ත ක‍්‍රිස්තියානි වගකීම ක‍්‍රිස්තුන් වහන්සේගේ ඇත්ත විමුක්තිදායක සටන පාවා දීම තරම් පාපයක් කතෝලිකයෙකුට තවත් නැතැයි අපි සිතන්නෙමු.

අවසර දුන් මන්නාරම රදගුරු එම්මානුවෙල් ප‍්‍රනාන්දු හිමිපාණන්ට අපේ අප‍්‍රසාදය පළ කරමු..!

එනිසාම පීඩිත ජනතාවගේ ප‍්‍රශ්න සමග සෘජුවම හිටගෙන ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් කතාකරමින් සෘජු නායකත්වයක් කතෝලික සභාවට ලබා දෙමින් සටන් කරන අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගෙනයන සටන සම්බන්ධයෙන් අපි නැවතත් අපගේ ගෞරවයත් උත්තමාචාරයත් පුදකර සිටින අතර වතිකාන තානාපති රදගුරු හිමිපාණන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මුඛ්‍ය දේශනයේ දැක්වූ අදහස් සහ එයට සමගාමීව ජනාධිපති හදිසියේ පැමිණ කළ දේශපාලන කතාව සැලසුම් සහගත දේශපාලන කුමන්ත‍්‍රණයක්දැයි අපි අපේ දැඩි අවධානය යොමු කරමු. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික රදගුරුමණ්ඩලයේද අවධානය වගකීම් සහගත ලෙස යොමු වෙතැයි අපි බලාපොරොත්තු වෙමු. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අවසර ලබාදීම ගැන මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප‍්‍රනාන්දු හිමිපාණන්ට අපි අපේ අප‍්‍රසාදය පළ කරමු. එසේම මඩු දේවමාතා සිද්ධස්ථානය මන්නාරම පදවියට අයත් වුවත් එය මුළු රටේම කතෝලිකයන්ට අයත්, මුළු රටේම කතෝලිකයින්ගේ ගෞරවය, විශ්වාසය හා ශ‍්‍රද්ධාව මත බිහි වූ පොදු ස්ථානයක් බවද මතක් කරන්නට කැමැත්තෙමු.

අපගේ දිවැසිවර කාර්යය හා ගිහි එඬේරික වගකීම ඉදිරියටත් නොබියව නොපසුබටව ඉටුකරන්නෙමු..!

තවද පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසු පසුගිය ගෝඨාභය රජය සමයේ තක්කඩි ලෙස රැවටීම් වලට ලක් කළත් කතෝලිකයින් කිසිවෙක් නැවත නැවත එසේ රැවටීමට තරම් අණුවනයින් නොවන බව ද, රනිල් වික‍්‍රමසිංහ වැනි ගෝඨාභයගේම අනුප‍්‍රාප්තික දූෂිත සට කපට දේශපාලන තක්කඩියකුට කිසිසේත් රැවටෙනු ඇතැයි අපි කොහෙත්ම නොසිතමු. එසේ රැවටෙන්නට කතෝලික ජනතාවට නැවත වරක් අපි කිසිවිටෙකත් ඉඩ නොතබන්නෙමු.

ආදරණීය වූ ප‍්‍රාතිහාර්යය මඩු මෑණියන්ගේ ගෞරවයත් කතෝලික සභාවේ ගෞරවය රැකීමට කතෝලික ගිහි සංවිධාන එකමුතුව ලෙස අපි අපගේ දිවැසිවර කාර්යය හා ගිහි එඬේරික වගකීම ඉදිරියටත් නොබියව නොපසුබටව සිදුකරමින් කතෝලික ජනතාව ඇත්ත යුක්තිය වෙනුවෙන් අවදියෙන් තබා ගැනීමේ ක‍්‍රිස්තු වගකීම වෙනුවෙන් සටන් කරන්නෙමු.

ඔබ සැමට මඩු දේව අම්මාගේ පිහිටයි.!

-තිළිණ අලහකෝන්

කැඳවුම්කරු - කතෝලික ගිහි සංවිධාන එකමුතුව

No comments:

Post a Comment