Friday, 4 August 2023

ඔබත් උමාරා මරාගෙන කන්න හදන අරුම පුදුම මිනිස්සුන්ගෙන් අයෙක් ද..?

-ශාන්ත ජයරත්න අසයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.04, ප.ව.8.05) ලංකාව කියන්නේ මහා පුදුම රටක්. ඒ රට බංකොලොත්. රටේ ජනගහනයෙන් තුනෙන් එකක් නැතහොත් මිලියන 7 ක් දවස ගෙවන්නේ බඩගින්නේ, හාමතේ. ලෝක බැංකුව කියන විදිහට සමහරු කන්නෙ දවසටම එක වේලයි. රටේ ණය බර ඩොලර් බිලියන 83ක්. රටේ ලොකු කුඩා සෑම පුරවැසියෙක්ම තනි තනිව රුපියල් ලක්ෂ 13 ක් ණය යි. ඒත් රටේ මිනිසුන්ට ඒවා ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නය ජාතික ගීයේ "මාතා" "මහතා" වීමයි. 

ප්‍රශ්නය උමාරා සිංහවංශ කෙසේ හෝ දඬු කඳේ ගැසීමයි...

ජනගහනයෙන් පවුල් ලක්ෂ 18ක් පමණ දශක තුනකට ආසන්න කාලයක් යැපෙන්නේ සමෘද්ධි සහනාධාර වලින්. එම පවුල් සංඛ්‍යාව ලක්ෂ 12 කට අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය අනුව අස්වැසුම නමින් සමාජ ආරක්ෂන වැඩ සටහනක් හඳුන්වා දීමට ගොස් රජය ඇති කළ අර්බුදය තවමත් අවසන් නැහැ. මිනිසුන් දින ගණන් මහාමාර්ග වල උද්ඝෝෂණය කරනවා. අස්වැසුම ක්‍රියාත්මක වූ විට රටේ දුප්පතුන් තවත් ලක්ෂ නවයකින් හෝ දහයකින් වැඩි වීමට නියමිතයි . මේ දිනවල අස්වැසුම සහනාධාර මුදල් ලබා ගැනීම සඳහා බැංකු  ගිණුමක් විවෘත කරගැනීමට නොහැකිව දවස් ගණන් වැඩිහිටියන්, රෝගීන්, ආබාධිත පුද්ගලයන් දහස් ගණනින් පෝලීම් වල බඩගින්නේ දිවා රෑ සිටිනවා. ඒවා රටේ සමහර මිනිසුන්ට  ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නය උමාරා සිංහවංශ කෙසේ හෝ දඬු කඳේ ගැසීමයි. 

වෛද්‍යවරුන් නොමැතිව රෝහල් වාට්ටු වසා දමමින් තිබෙනවා. දහසකට ආසන්න වෛද්‍යවරුන් රටහැර ගොස් තිබෙන බව වෛද්‍ය සංගමය කියනවා. ඖෂධ නොමැතිව හෝ බාල ඖෂධ භාවිතය නිසා රෝගීන් මිය යනවා. තත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන් පිරිසකගේ ඇස් අන්ධ වූ බව කියනවා. ලක්ෂ 12 කට රැකියා අහිමි වී ඇති බව කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් කියනවා. ආර්ථිකය -11.5% කින් මේ වන විටත් කඩා වැටී හමාරයි. දෙවන කාර්තුවේ තවදුරටත් කඩා වැටීමට ඉඩ තිබෙන බව පසුගිය දා මහ බැංකුව නිකුත් කල මුදල් ප්‍රතිපත්ති වාර්තාව අනතුරු හඟවනවා. ඉන්ධන සහ ජල බිල්පත් නැවත ඉහළ යනවා. රටේ සමහර මිනිසුන්ට ඒවා ප්‍රශ්න නොවෙයි. ඔවුන්ගේ එකම උත්සාහය  කෙසේ හෝ උමාරා සිංහවංශ උසාවියේ විත්ති කූඩුවට නැන්වීමයි.

ප්‍රශ්නය උමාරා සිංහවංශගෙන් වාඩුව ගැනීමයි.. 

යූරෝපයට ඇතුළු වීමට අවශ්‍ය ෂෙන්ගන් වීසා ප්‍රතික්ෂේප වීමෙ ඉහළම ප්‍රතිශතයන් හිමි රටවල් ලැයිස්තුවේ (Countries with the most Shengen Visa denials -2022) හතර වන රට බවට ලංකාව පත්වීම මිනිසුන්ට ප්‍රශ්නයක් නැහැ. https://www.immigrantinvest.com/insider/shengen-visa-rejections-en/

ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයයේ 2022 දූෂණ සංවේදන දර්ශක (Corruption Perception Index) වාර්තාවට අනුව ලෝකයේ රටවල් 180 කින් 101 වන රට (1 දූෂණයෙන් තොර -180 අන්ත දූෂිත) බවට ලංකාව පත්වීම සමහරුන්ට ප්‍රශ්නයක් නොවෙයි. 2015 සිට මෙතෙක් බලයේ සිටි රජයන් ව්‍යාපෘති ණය රුපියල් ට්‍රිලියන 08 ක් ලබා ගෙන තිබෙනවා . එහෙත් ලංකාවේ භූමියේ ඇති වත්කම් වල වටිනාකම රුපියල් ට්‍රිලියන 02 ක් බව විගණකාධිපති වරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ඉතිරි ට්‍රිලියන 6 ක වත්කම් වලට සිදුවූ දෙය 2015 සිට සෙව්වත් අද දක්වා සොයාගැනීමට නොහැකි වී ඇති බව ඔහු කියනවා. රට බංකොලොත් වූයේ ඇයි කියා සිතා ගැනීමට තවත් හේතු හොයනවා.  https://sundaytimes.lk/230730/business-time/sri-lanka-project-loans-and-assets-disparity-exposed-526434.html/

මේ කිසිවක් රටේ සමහරුන්ට ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නය උමාරා සිංහවංශ විසින් ඉරාජ් වීරරත්න සහභාගි වීමට නියමිත වූ  ප්‍රසංගය වර්ජනය කිරීමේ වාඩුව ගැනීමයි.

ප්‍රශ්නය උමාරා සිංහවංශ එක් දිනක් හෝ රිමාන්ඩ් හිරගෙදරට දක්කා ගන්නේ කෙසේද?

මහබැංකුව මංකොල්ල කෑ පිරිස් 'කොළඹින් පටන් ගමු' කියා ඡන්ද ව්‍යාපාර අරඹන විට, එදා මහබැංකු මහ හොරා හෙට දවසේ රටේ එකම ගැලවුම් කරු යැයි විශ්වාස කරන ජනතාවක් සිටින රටක, රටේ ජාතික ධනය මංකොල්ල කෑ රාජපක්ෂලට විරුද්ධව උසාවියේ විභාග වෙන නඩු දුසිම් ගණනක් තිබුණත් වල පයයි ගොඩ පයයි ඉන්න 'මහින්ද රාජපක්ෂ සමග නැගිටිමු' කියන රත්තරන් හොරු, අරක්කු තැබෑරුම් කරුවන් සිටින රටක, කප්පම් ගැනීමේ චෝදනාවකට වැරැදි කරු වී හිරේට නියම වූ පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක , නාගරික සංවර්ධන ඇමැති කම් දරණ රටක, මිනීමැරුම් චෝදනා ලැබ මරණීය දණ්ඩණය නියමවූ චොකා මල්ලිලා රාජ්‍ය ඇමැති කම් කරන රටක, කෝච්චියේ වඩේ විකුණූ චාමර සම්පත් පළාත් සභා මහ ඇමති හැටියට ගුරුවරියක් දන ගැස්සු හැටි දැක දැකත් පාර්ලිමේන්තුවටත් එවා රාජ්‍ය ඇමැති වරයෙකුත් වී ඇල්ල  සංචාරක නගරයේ හෝටල් කිහිපයක් , හාලි ඇල, බණ්ඩාරවෙල ප්‍රදේශයේ කඩ සාප්පු සහ දේපළ රාශියක හිමිකරු වෙක් වූවේ කෙසේද කියා හොඳින්ම දැන දැනත් නැවත නැවතත් ඔහුව පාර්ලිමේන්තු එවීමට තරම් හිරිකිතයක් නැති මිනිසුන් සිටින රටක, ඒවා ඔවුන්ට ප්‍රශ්න නොවෙන කල, ඔවුන්ගේ ප්‍රශ්නය කෙසේ හෝ උමාරා සිංහවංශ එක් දිනක් හෝ කොළඹ රිමාන්ඩ් හිරගෙදරට දක්කා ගන්නේ කෙසේද යන්නයි.

කෙසේ හෝ උමාරා සිංහවංශට මේ රට එපා කරවන තැනට පත්කිරීමට..

ලංකාවේ ජීවත් වන සමහර මිනිසුන්ට ජාතික කොඩිය , ජාතික ගීය ,ජාතික ආරක්ෂාව වාගේ මාතෘකා අලෙවි කිරීම ඉතා පහසු බව දන්නා රාජපක්ෂලා, වික්‍රමසිංහලා මැතිවරණ කාලයට මේවා හොඳින් ප්‍රයෝජනයට ගනී. දෙමළ ජනයාට බලය බෙදීම, සිංහලයාට මුස්ලිම් අන්තවාදය හෝ ක්‍රිස්තියානි මූලධර්මවාදය වැනි මාතෘකාද මැතිවරණ ආසන්න වෙත්ම ජනප්‍රිය සාකච්ඡා බවට පත්වෙයි. මේවා කරේ තබාගෙන යෑම සඳහා සැදී පැහැදී සිටින මාධ්‍ය ආයතන කිහිපයක්ද මෙම දේශපාලන වෙළෙන්දන් විසින් නිර්මාණය කරගෙන සිටිති. මේ දිනවල "මාතා" "මහතා" කොට කෙසේ හෝ උමාරා සිංහවංශට මේ රට එපා කරවන තැනට පත්කිරීමට ඔවුන් දිවා රෑ වෙර දරණ ආකාරය හොඳින් පෙනී යයි.

මිනිසුනේ, දැන්වත් මේ ජඩ දේශපාලනයට තිත තබමු...

මිනිසුනේ, දැන්වත් මේ ජඩ දේශපාලනයට තිත තබමු. මේ හොරු ප්‍රතිකේෂ්ප කරමු. මොවුන් අපිට අහිමි කල දේ බොහෝමයි. අපේ දරු මුණුපුරන්ට ජීවත් වීමට රටක් ගොඩනැගීමට, මේ භූමියට ආදරය කරන රටේ භූමිපුත්‍රයන්ට මේ රට භාර දෙමු. 2048 පෝසත් රටක් හදන බව කියන 1978 සිට රට කරවු ඇත්තන්ගේ කැරට් අල වලට හසු නොවෙමු. රටේ සම්පත් කොල්ලකෑ තවමත් කොල්ල කන වියපත් තක්කඩි දේශපාලකයන් ප්‍රතිකේෂ්ප කරමු. ඔවුන්ගේ රැස්වීම් සාකච්ඡා වර්ජනය කරමු. අපේ ගම් තුලාන වලට ඔවුන් වද්දා නොගනිමු. අපි දැන්වත් ඔලුව පාවිච්චි කරමු. 

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක 

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

1 comment:

  1. තමන්ගේ කියා අවේනික වූ සංගීතයක් නැති රටක,
    තමන් හට ඉතිරිව තිබෙන්නා වූ එකම සංගීතය වන ජන ගීයෙන් බැහැරව,
    අසල් වැසි රටක සංගීතය ඇසුරින් නිර්මාණය කල ජාතික ගීය
    වෙනත් බටහිර රටක සංගීත උරුවට,
    වෙනත් රටකින් ගෙනා ක්‍රීඩාවක සමාරම්භක උත්සවයක් තුල,
    සිංහල නොවන විජාතික බසකින් දවසම කතා කරන, හැසිරෙන පංතියක,
    මනාව සංගීතය දැන උගත් ගායිකාවක් ගැන වරද පටවන්න
    තමන්ගේම කියා හිතන්න දෙයක් නැති ජාතියකට
    මේ මදැයි එල්ලෙන්න . . . . .
    මාතා ගේ "හ"යන්න ගැන නෙමෙයි හොයන්න ඕනේ "හු" යන්න ගැන .

    ReplyDelete