Friday, 4 August 2023

වතුර බිල අහස පොළොව නුහුලන ගාණකින් වැඩි කිරීමේ රනිල්ගේ රහස් සැලැස්ම වෘත්තීය සමිති හෙළිකරයි..!

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.04, ප.ව.9.15)  ජල බිල්පත දැන් පිට පිට දෙවතාවක්ම වැඩිකර තිබේ. මෙවර වැඩිවීම 30% සිට 50% දක්වා බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනී වසන්තා ඉලංගසිංහ ප්‍රකාශ කර තිබේ. මෙම වැඩිවීම ආයතනික උවමනාවකට වඩා ආණ්ඩුවේ උවමනාවක් බවත් අයිඑම්එෆ් දේවතාවුන් ප්‍රමුඛව ඉදිරිපත් වන දේශපාලන ක්‍රියාවලියේම එක් පියවරක් බවත් අපි කියා සිටිමු.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ..

මේ අවස්ථාවේ එනම් දරාගත නොහැකි ආර්ථික පීඩනයකට සියළුම ජනතාව මුහුණ දී ඇති අවස්ථාවක මෙසේ නැවතත් ජල බිල වැඩිකිරීම පීඩාවට පත් ජනතාවට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ තත්වයකි.

මෙහිදී අප වෘත්තීය සමිති ලෙස කියා සිටින්නේ පානීය ජලය යනු ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයකි. නාගරික අර්ධ නාගරික මෙන්ම නල ජලයෙන් පමණක් තම ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නා ජනතාවක් අප රටේ සිටී. පානීය ජලයේ මිල නියම විය යුත්තේ අන්ත දුගියාට මෙන්ම සැමට ගෙවා ගත හැකි මිලක් ලෙසය. මෙහිදී දැන් ආණ්ඩුවේ සංකල්පය වී ඇත්තේ (Cost recovery) වියදම පියවා ගැනීම යන්නයි.

අප කියා සිටින්නේ රජය අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වෙනුවෙන් වියදම් කරන්නා සේම සහන මිලකට ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා භාණ්ඩාගාර මැදිහත්වීමක් යටතේ සුභ සාධනයක්, සහනයක් ලබාදිය යුතු බවයි. ඒ මුලින් සඳහන් කළ අයුරින් ජීවිතයට සම්බන්ධ අත්‍යවශ්‍යම සේවාව සැමට ලබාගත හැකි වන මිලක් වෙනුවෙනි.

ජල බිල්පත වැඩි කිරීමේ දේශපාලනය භයානකයි..

මෙහි දේශපාලන තත්වය ඉතා භයානකය. මෙය ජල කළමණාකරණ පනත සමග මෙන්ම සියළුම සේවාවන් විකුණා දමන ආරිථීක ප්‍රතිපත්තිය හා බැඳේ. දැනට පොදු මහජන අයිතියට ඇති ස්වභාවික සම්පතක් වන ජල සම්පතේ අයිතිය මුදලාලිට

ලබා ගැනීම ජල කළමණාකරන පනතේ යටි අරමුණයි. ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පනතක් ගෙන ඒම විටින් විට මතු වුවද එය පරාජයට පත්විය.

දැන් රනිල් වික්‍රමසිංහ මීට පෙර කරගත නොහැකි වූ ලිබරල් ආර්ථීක උවමනාවන් මෙම ආපදා අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කරගෙන යයි. නැවත ජල කළමණාකරන පනත ගෙන එයි. දැනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගෙන තිබේ. එසේ අනුමැතිය ගෙන ඇත්තේ නීතිපතිගේ නිර්දේශ ද නොසලකා හරිමින් බව දැනගන්නට තිබේ. දැන් මෙය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වේ.

රනිල්ගේ රහස් සැලැස්ම මෙන්න..

එමගින් දැනට පොදු අයිතියේ ඇති ජල සම්පතේ අයිතිය මුදලාලිට යනු ඇත. ජල සම්පතේ අයිතිය ගත්තාට වැඩක් නැත. දැනට ජල සම්පාදන මණ්ඩලය සතු පානීය නල ජලය නිෂ්පාදනය බෙදාහැරීම සහ විකිණීමේ ඒකාධිකාරිය ද මුදලාලිට ගත යුතුය. ම ුදලාලිට ජල සම්පාදන මණ්ඩලය ගැනීමට පෙර Cost recovery තත්වයට ගෙන ආ යුතුය.

ජනාධිපතිවරයාම කියා ඇත්තේ පාඩු ලබන ඒවා මුදලාලි නොගන්නා බවයි. දැන් මේ පිට පිට ජල බිල වැඩිකරන්නේ මුදලාලිට ගත් පසු පහසුවෙන් අධික ලාභයක් ගැනීමට පරිසරය සැකසීමටය.

පානීය ජලය යනු නුදුරු අනාගතයේදීම ඉතා ඉහළ බිලක් නියම වන ආර්ථීක භාණ්ඩයක් බවට පත්වීමට නියමිත දෙයකි. වර්තමානයේ ඛණිජ තෙල්වලට සමාන ආර්ථීක තත්වයක් පානීය ජලයට ලැබේ. ඒ වන විට අපට සිදුවනු ඇත්තේ වත්තට බද්දට දී ඇස්සට දත නියවන තත්වයකි.

ඒ අනුව ආණ්ඩුවේ මෙම මුග්ධ ක්‍රියාවලිය පරාජය කිරීම වෙනුවෙන් දැනුවත්ව අප සමග එක්වන ලෙස සියළුම ජනතාවගෙන්ද සියළුම ප්‍රගතිශීලී කණ්ඩායම් වලින්ද අපි සංගමය ඉල්ලා සිටින්නෙමු.

ඉංජිනේරු උපාලි රත්නායක

ජල සම්පාදන සහ ජලාපවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

No comments:

Post a Comment