Sunday, 24 September 2023

ඉන්දු ලංකා අවසන් ක්‍රිකට් තරඟයේ අජූත පරාජය ගැන ප්‍රශ්න 12 ක්..!

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.24, ප.ව.6.10) ක්‍රීඩාවේ ජයග්‍රාහකයෝ මෙන්ම පරාජිතයෝද වෙති. ඒ ක්‍රීඩාවේ හැටිය. හැමෝටම හැම විටම ජයගන්නත් හැම විටම පරදින්නත් නොහැක.

එහෙත් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සුපුරුදු හා වාසිදායක ක්‍රීඩාංගණයක හුරුපුරුදු තණතීරුවක 25,000 කට අධික මිත්‍රශීලී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ඉන්දීය පිල ඉදිරියේ ශ්‍රී ලංකා පිල අජූත ලෙස  පැරදුණු ආකාරය නම් බොහෝ දෙනාගේ කුතුහලයට තුඩු දෙන කරුණකි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් පිලක් ඕවර 15 කදී ලකුණු 50 කට දැවී යාමත් ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා කිසිදු ආයාසයකින් තොරව ඕවර 6කදී එම ලකුණු සංඛ්‍යාව ලබාගෙන කළුවර වැටෙන්නත් පෙර ආපසු හෝටලයට යාමත් එක්තරා අන්දමකට පුදුමයට හේතුවකි.

බැලූ බැල්මට ඉන්දීය වේග පන්දු යවන්නන්ගේ පන්දුව දෝලනය හමුවේ අපේ පිතිකරුවන් අසරණ වීම නිසා මෙසේ සිදු වූ බවද තර්කයකි.

එසේම අනවශ්‍ය පහර වලට නොයා ඕවර 10ක් 12ක් කඩුළු රැක ගත්තේ නම් මෙසේ සිදු නොවන්නට ඉඩ තිබුණු බවටද තර්කයකි.

හාත්පසින්ම වෙනත් කරුණු කිහිපයක්..

මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වනුයේ මේ සියලු තර්ක වලට වඩා හාත්පසින්ම වෙනත් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමය.

මේ වන විටත් මෙම තරගය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් පාර්ශ්ව රැසක් ඉල්ලීම් සිදු කර ඇත. පාර්ලිමේන්තුවේද මෙය  කතා බහට ලක්ව ඇත.

එහෙත් ක්‍රිකට් බලධාරීන්ගේ සාක්කුවට වැටී ඇති නිසා අප රටේ බොහෝ මාධ්‍ය මේ ගැන කතා නොකළෝය.

සරලවම කිවහොත් අප රටේ ක්‍රිකට් බලධාරීන්ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නම් බූවල්ලාගේ සාක්කුවට වැටී අවසන්‍ ය.

ජේ ෂා..

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් හා ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ය. ක්‍රිකට් පිත්තක් අල්ලා නැතත් හරිහැටි ඉංග්‍රීසි භාෂා දැනුමක් නොමැති වුවත් 35 හැවිරිදි වියේදීම මෙවැනි ප්‍රබලයෙක් වීමට මොහුට හැකිව ඇත්තේ ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ අගසව් ඇමතිවරයකුගේ පුත්‍රයා වීම නිසාය.

මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය පකිස්තානය සතු වුවත් එහි යාන්ත්‍රණය මෙහෙයවූයේ සභාපති ජේ ෂා ය.

බලගතු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ ඕස්ට්‍රේලියාව හා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල පමණක් නොව අයිසීසියද නකුට කකුල් දෙක අස්සේ ගසාගෙන දෙකට නැමෙන බව ලෝක ප්‍රසිද්ධ කරුණකි.

එනිසා ඔවුන් හමුවේ අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන කුමන කතාද?

කොහොම ගැහුවත් මේ වන විට අංශ තුනේම ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ සිටින්නේ ඉන්දියාවයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේද ඉන්දියාවයි. තම රටේ පැවැත්වෙන   මෙවර ලෝක කුසලාන දිනා ගැනීම සමස්ත භාරතයේම අරමුණයි.

2011 පැවති ලෝක කුසලාන අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රීලංකාව පැරදුණු ආකාරය ගැනද ඇත්තේ බලවත් කුකුසකි. එවකට ක්‍රීඩා ඇමති වූ මහින්දානන්ද අලුත්ගමගේ අදත් මේ ගැන කියන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් එවර අපේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුට ඊළඟ අයිපීඑල් තරගාවලියේ ඉහළ කොන්ත්‍රාත් ලැබුණු අතර සමහරු අදටත් එහි තනතුරු දරති.

මීළඟ අයිපීඑල් තරගාවලියේද අපේ ක්‍රීඩකයන් කිහිප දෙනකුට ඉහළ කොන්ත්‍රාත් ලැබේදැයි කිව නොහැක.

තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් වරින් වර ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි හෝ වෙනත් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලි වල පවා අවසන් තරගය ජය ගන්නේ ඉන්දියාවය. එය ඔවුන්ටම ලියා දී තිබේ. ඒවාට ක්‍රීඩකයන් තෝරාගන්නේද ඔවුන්ට අවශ්‍ය පරිදිය. ෂුවර් නැති ක්‍රීඩකයෝ අවසන් තරගයේ සිටින්නේ බංකුවේය.

මෝදිගේ ප්‍රාර්ථනය..

මැතිවරණයක් අභියස සිටියදී ජනප්‍රිය බවින් හීන වී යමින් සිටින මෝදිගේ ප්‍රාර්ථනයද  වනුයේ ඉන්දීය පිල ඉන්දියාවේදීම ලෝක ශූරයන් බවට පත්වනු දැකීම බවට සක් සුදක් සේ පැහැදිලිය. චන්ද්‍රයාන්ගේ සඳතරණය මෙන්ම එයද  ඔහුට ආශීර්වාදයක් වනු ඇත.

එසේ තිබියදී ලෝක කුසලාන තරගාවලිය කටමුල පැවැත්වූ ආසියානු කුසලාන තරගාවලියේ පරාජිතයකු වන්න ඉන්දියාව කීයටවත් කැමති වන්නේ නැත.

අසම්මත තරග නීති වෙනස් කිරීම..

එනිසා ජේ ෂාට අවශ්‍ය පරිදි තරගාවලිය මැද තරග නීතිද වෙනස් කළේය.

වර්ෂාවෙන් බාධා වුවහොත් ඉන්දීය පිලට අවසන් තරගයට යාමට බාධාවක් වන නිසා ඉන්දියාව හා පකිස්තානය අතර තරගයට පමණක් අමතර අතිරේක දිනයක් නියම කොට එම හේතුවෙන්ම ඔවුන් අවසන් තරගයට පැමිණියෝය.

මෙවන් අසම්මත තරග නීති වෙනස් කිරීමකදී පවා අපේ ක්‍රිකට් බලධාරීන් ඇතුළු අනෙකුත් ආසියානු ක්‍රිකට් සාමාජිකයෝ මුඛය මෙන්ම අධෝ මුඛයත් වසාගෙන සිටියෝය.

හඬක් නැගුවේ අර්ජුන රණතුංගත් බංග්ලාදේශ පුහුණුකරු හතුරුසිංහත් පමණි.

ඉන්දීය බලපරාක්‍රමය එසේ තිබියදී ඔවුන්ට ආසියානු කුසලානය අහිමි කර ගත නොහැකි බවත් ඔවුන් කෙසේ හෝ අවසන් තරගය දිනාගත යුතු බවත් පැහැදිලිය.

වෙනකක් තබා මෙහි සිටියදී  ජනපති රනිල් වික්‍රමසිංහ හමුවීමටද ෂම්මි සිල්වා සමග යාමට සාගල රත්නායක අවස්ථාව ලබා දුන්නේය.

ක්‍රීඩා ඇමතිවරයාව පන්නාවි...

වාර්තා වන ආකාරයට තමන්ට අවශ්‍ය පරිදි ඕනෑම පාවා දීමකට සූදානම් අන්ත දූෂිත ෂම්මි සිල්වාද රකින ජේ ෂා ගේ ඉන්දීය රාජ්‍ය සබඳතා අනුව දූෂණයට එරෙහිව පියවර ගන්නා ක්‍රීඩා ඇමතිවරයාවද පැන්නීමට ජනපතිවරයා කටයුතු කළහොත් පුදුම වියයුතු නොවේ. මෙය ඉදිරි දින කිහිපයේ බොහෝ විට සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අපේ රටේ  නීල කාස හොරු බේරීම සඳහා  සුපිරි නිල ඇල්ලීමට සුපිරි  දක්ෂයන් බව ප්‍රසිද්ධ රහසකි.

ආසියානු කුසලාන අවසන් තරගය ගැන බොහෝ දෙනා බොහෝ දේ කීවත් මෙහි පහත දැක්වෙන කරුණු ගැන අවධානය යොමු කිරීම වටී.

ප්‍රශ්න  12 ක්...

1. තරගාවලිය අතරතුර ඉන්දීය පකිස්තාන තරගයට පමණක් අතිරේක දිනයක් ලබා දුන්නේ ඇයි?

2. අවසන් තරගයට පෙර දින රාත්‍රියේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ කවර ඇර තණතීරුවට යමක් කළේද? ( මූලික වටයේ තරගයේදී ඉන්දීය පිතිකරුවන් අපේ දඟ පන්දු යවන්නන් ඉදිරියේ දඟ කැවෙන තණතීරුවක ඇඹරුණු අයුරු මතකද? එවැනි තණතීරුවක් අවසන් තරගයට සැකසුවාද ? නැත්නම් එම අදහස යම්කිසි බලපෑමකින් වෙනස් වුණාද?)

3. තරගාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් 75,000 ක් පමණක් දෙන විට ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ තණතීරු සකසන්නා ඇතුළු ක්‍රීඩාංගණ සේවකයන්ට ඩොලර් 50,000 ක් දීමත් ඒ බව කලින්ම ඔවුන්ට දැනුම් දීමත් සිදු කළේ ඇයි? ( මෙතෙක් ලොව කිසිම ජාත්‍යන්තර  තරගාවලියක තණතීරු සකසන්නාට Curator  හෝ ක්‍රීඩාංගණ සේවකයන්ට මෙවැනි ලොකු මුදලක් සංවිධායකයන් විසින් පිරිනමා නොමැත. මෙසේ ලබා දුන් මුදල රුපියල් වලින් මිලියන දහසයකි)  අපේ තණතීරු අදින්නන් වැඩකරුවන් හා අගය කළ යුතු වුවත් මෙය එක්තරා අන්දමකින් අල්ලසක් දීමකි.

4. එදින පස්වරු හයෙන් පසු වර්ෂාව ඇද හැලෙන බවට කාලගුණ වාර්තා තිබියදී මුලින් පන්දුවට පහර දෙන්නට තීරණය කළේ ඇයි.? එම තීරණය සාමූහික තීරණයක්ද ?

5. කාසියේ වාසිය උරගා බැලීමත් සමග ඇතිවූ වර්ෂාව නිසා වසා දැමුණු තණතීරුව යළි ඇර දැමූ ගමන් තරගය ආරම්භ කළේ ඇයි.? අපේ කණ්ඩායම තණතීරුවේ වෙනසක් වූ බව දැන සිටියේද?

6. තරග විනිසුරුවරුන් පස්වරු 3.30 ට පිටිය පරීක්ෂා කර බලා ආරම්භය තීරණය කරන බව දන්වා සිටියත් පස්වරු 3.20 ට කණ්ඩායම් කාමර දෙකට ගොස් 3.40 ට ආරම්භ කරන බව දන්වා සිටියේ ඇයි.?

7. ඒ වන විටත් එතරම් අඳුරක් නොවුණත් විදුලි ආලෝක ධාරා පද්ධතිය යොදා ගත්තේ ඇයි ?

8. තරගාවලියේ වෙනත් තරගවල ආරම්භයට පෙර ක්‍රීඩකයන් පිටියට පැමිණ දෙරටේ ජාතික ගීය ගැයීම අවසන් තරගයේ සිදු නොකර හදිසියේ තරගය ආරම්භ කිරීමට තිබුණු හදිසිය කුමක්ද? එම තීරණය ගත්තේ කවුද?

9. වෙනදා ඛෙත්තාරාම තණතීරුවේ දක්නට නොලැබෙන දෝලනයක් එදින මුල් පන්දුවේ සිටම දැක දැකත් හොඳ පන්දු වලට මෙන්ම අනවශ්‍ය පහරවලින් පිතිකරුවන් කී දෙනෙකු දැවී ගියේද?

10. මෙම අජූත පරාජය ගැන ප්‍රේක්ෂකාගාරයේ සියළුම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ මුහුණු තුළින් දකින්නට ලැබුණ කණස්සල්ල හා ශෝකය  පුහුණුකරු සිල්වර්වුඩ්ගේ හැරුණු විට අපේ බොහෝ ක්‍රීඩකයන්ගේ මුහුණු වලින් නොදැක්කේ ඇයි ?

10. තරගය අවසානයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අපේ කිසිදු බලධාරියකු සහභාගි නොවූයේ ඇයි.?

11. තරගය අවසානයේ පැවැත්වූ මල්වෙඩි සංදර්ශනය නිසා ඛෙත්තාරාම පුහුණු තණතීරු හා ආවරණ වලට සිදුවූ පාඩුව කීයද?  

12. විශාල වැටුපක් ලබන අපේ කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන මෙම තරගාවලියේදී අපේ කණ්ඩායම සමග එක් නොවූයේ ඇයි.?

විශේෂ ලියුම්කරුවකු විසිනි

No comments:

Post a Comment