සකර්බර්ග් සහ එලෝන් මස්ක් උසාවි කැන්දන රනිල්ගේ වියරු සිහිනය
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.22, ප.ව.3.30) සමාජ මාධ්‍ය මරා දමන රනිල්ගේ වසල සමාජ මාධ්‍ය පනත (කෙටුම්පත) හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත මහින්ද රාජපක්ෂලාගේ උවමනාවට, රනිල් වික්‍රමසිංහ මගින්, ටිරාන් (අලස) ඇමැති වරයා හරහා මේ වන විට ගැසට් පත්‍රයේ පලකොට ඇත.
මෙම පනත සම්මත වුවහොත් ඔබට කට පාවිච්චි කළ හැක්කේ යමක් ගිල දැමීමටත්, අත පාවිච්චි කළ හැක්කේ කටට යමක් දමා ගැනීමටත් අමතරව මලපහ කළ විට (කරන්නේ නම් පමණක්) පස්ස සෝදා ගැනීමටත් (සෝදනවා නම් පමණක්) පමණි. දැන් කන්නට දෙයක් සොයා ගැනීම එතරම් පහසු නැත. ආහාර මිල ගණන් අහස උසටය. ආහාර ගැනීම අඩුවී ඇති නිසා මලපහ කිරීමත් සීමා වී ඇත. සේදීමත් ලෙහෙසි නැත. වතුර බිල ගෙවා ගැනීමට හරිහමන් ආදායමක් ද නැත. වැහි වතුරෙන් පස්ස සෝදා ගැනීමට සිදුව ඇත. 2048 වන තුරු ජීවත්ව සිටියහොත් හොඳින් සෝදා ගැනීමට හැකිය. එකල වන විට අප පෝසත් වන බව රනිල් වික්‍රමසිංහ කියයි.
ඔබ සමාජ මාධ්‍යක ලියන පෝස්ටුවක්, පල කරන පිංතූරයක්, හුවමාරු කරන ලිපියක්, හෝ කොටින්ම ඔබ සටහන් කරන ලයික් එකක්, හාට් එකක්, හහා එකක්, හෝ ඕනෑම දෙයක් ලංකාවේ යමෙකු පීඩාවට පත්වූ බවට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කොට වැලිකඩ මහඋළු ගෙදරට ඔබව ගෙන යෑම ඉතා පහසු ය. මෙය අපූරු පනතකි. කියවා බලන්න. http://documents.gov.lk/files/bill/2023/9/284-2023_S.pdf
නාමකරණයේම දෝශයක්...
මේ පනතේ නාමකරණයේම දෝශයක් පේන්නට ඇත."මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත." යනුවෙන් නම් කොට ඇත. සුරක්ෂිත භාවය ආරක්ෂා කරගැනීම සකර්බර්ග්ගේ හෝ එලෝන් මස්ක්ගේ වැඩක් මිස ලංකාවේ රජයට ඒ සඳහා කල හැක්කක් නොමැත. සුරක්ෂිත කිරීමට නම් මාර්ගගත ක්‍රමවල ආරක්ෂන ක්‍රමවේද (Cybersecurity) පනතේ සඳහන්ව තිබිය යුතු ය. එහෙත් පනතේ අන්තර්ගත වන්නේ සමාජ මාධ්‍ය වසා දමා ඒවායේ පරිශීලකයන් හිරේ දැමීම සම්බන්ධවය. කෙසේ වුවද, මෙවැනි ඩ්‍රැකෝනියන් (Draconian ) පනතක් සම්මත කරගෙන සුරක්ෂිත වීමට උත්සාහ කරන්නේ දූෂිත රාජපක්ෂලාය. මහ බැංකු හොරුය. බදු වංචා කරුවන්ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිව සිටියදීම ට්විටර් සමාගම විසින් ඔහුගේ ගිණුම වසා දැම්මේය (2021.01.06). එදා ජනාධිපති ට්‍රම්ප්ට කළ හැක්කක් නොවීය. ට්‍රම්ප් කෙතරම් ප්‍රභල වුවත් ට්විටර් සමාගම ඔහුට වඩා ප්‍රභල විය. පසුගිය දා එලෝන් මස්ක් ට්විටර් සමාගම මිල දී ගෙන මාස 22කට පසු ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කරන තුරු එය අක්‍රීයව පැවතුණි.
ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා...
රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීමට ය. ඒ සඳහා ඔහු විවිධ අණපනත් සම්මත කරගැනීමට උත්සාහ ගනියි. මේවා ලත් තැන ලොප් කර ගැනීමට රටේ සමස්ත ජනයා වහා පාරට බැසිය යුතුය. බිහිවෙමින් යන ව්‍යවස්ථාපිත ආඥාදායකත්වය පරාජය කළ යුතුය. භාෂනයේ සහ ප්‍රකාශනයේ මූලික මානව අයිතිය ආරක්ෂා කරගැනීම රටේ ජනයාගේ වගකීමකි. ඒ සඳහා වහා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ය. ප්‍රමාද වීම විනාශයට මුල ය.
සමාජ මාධ්‍ය මර්ධන පනත සහ ත්‍රස්ත විරෝධි පනත යන පනත් දෙකම පිළිවෙලින් සැප්තැම්බර් 18 සහ 15 යන ළඟ දින දෙකක් තුළ ගැසට් පත්‍රයේ පල කරන්නේ ද කිසියම් හේතුවක් නිසා විය හැක. මේ සඳහා ඇති වන මහජන විරෝධය දියාරු කරගැනීමට රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව වන්නට ඇත . කෙසේ වෙතත්, මේ කාරණා පිළිබඳ සාකච්ඡාව ඇති වීමත් සමග සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑම, රජයේ දේපළ විකිණීම, වෛද්‍යවරුන් සහ වෘතිකයන් රටහැර යාම, බෙහෙත් වංචාව , පාස්කු ප්‍රහාරය , ජීවත් වීමේ අර්බුදය, අධික බදු බර, සතොස, මිල්කෝ වැනි ආයතන විකිණීම සඳහා දැනට සිටින සේවකයින් ඉවත් කිරීම, IMF යනාදිය පිළිබඳ සමාජයේ තිබූ සාකච්ඡාව යටපත් වී ඇත. එයත් රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමයක් වන්නට පිළිවන. මෙම පනත් ඉස්මතු කරගෙන සිවිල් සහ දේශපාලන සංවිධාන ඒ තුළ හිර කර අවධානය වෙනතකට යොමු කිරීම හරහා රනිල් වික්‍රමසිංහ ඔහුට අවශ්‍ය දේ කරගැනීමට ගන්නා උත්සාහයක් වන්නට ද බැරි නැත.
බළලා සහ මීයා යන දෙකම එලියට පැන ඇත...
මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ පූර්විකාවේම රනිල් වික්‍රමසිංහගේ බළලා සහ මීයා යන දෙකම එලියට පැන ඇත. "ශ්‍රී ලංකාව තුළ කිසියම් සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ, මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම" සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි" යනුවෙන් පළමු පිටුවේම කලු අකුරෙන් මුද්‍රණය කොට ඇත. මෙම පනත සම්මත කල හොත් මුහුණු පොත (Facebook), යූ ටියුබ් (You Tube), වට්ස් ඇප් (WhatsApp), ඉන්ස්ටග්‍රැම් (Instegram), වයිබර් (Viber) හෝ වෙනයම් ඕනෑම මාර්ගගත සමාජ මාධ්‍ය ජාලයක් , ගිණුමක් , දෙදෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටින සමූහයක් සහිත ඔන්ලයින් (Online ) මාධ්‍යක් තහනම් කිරීමට මෙම පනතේ විධිවිධාන සලසා ඇත. මෙම පනතට අනිවාර්යයෙන්ම අත ඔසවන්නේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය. ඔවුන්ට සමාජ මාධ්‍ය භීතිකාවක් ඇත. පිස්සු බලු රෝගය වැළඳුණු සුනඛයා ජලයට බියේ හැසිරෙන්නේ යම් සේද, පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය කෙරෙහි තිබෙන්නේද එවැනි බිය කි.
සත්‍යද අසත්‍යද තීරණය කාගේද?
පනතේ අරමුණු දක්වා ඇති 2(අ) ඡේදයේ "අසත්‍ය ප්‍රකාශ" හුවමාරු කිරීම වරදක් හැටියට දක්වයි. අසත්‍ය ප්‍රකාශය යනු කුමක්ද කියා පනතේ 56 වන වගන්තියේ අර්ථ ගන්වා ඇත. එහෙත්, යම් ප්‍රකාශයක් සත්‍යද අසත්‍යද කියා තීරණය කරන්නේ ජනාධිපති වරයා විසින් පත්කරන ලද පස් දෙනෙකුගෙන් සමන්විත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව විසිනි.
රනිල් ව්ක්‍රමසිංහගේ කොමිෂන් සභා ඉතිහාසය ඉතා පිළිකුල් සහගත ය. මහ බැංකු හොරකම විමර්ශනය කිරීම සඳහා පත්කල "පිටිපන කොමිසම" එක් උදාහරණයකි. සිරිකොතේ එජාප නීතීඥ කණ්ඩායමේ තිදෙනෙක් පත්කොට මහ බැංකු හොරකම (යහපාලන රජය පැවති සමයේ) පිළිබඳ විමර්ශනය කොට වාර්තාවක් කැඳවීය. වාර්තාව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දුන් බවට තොරතුරුද ඇත. එහෙත් අර්ජුන ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති , ප්‍රධාන සැකකරු රනිල් වික්‍රමසිංහ යනාදීන් අපූරුවට බේරා වෙනත් තාක්ෂණික කරුණු කිහිපයක් පමණක් නිර්දේශ කොට තිබුණි . කෙසේ වෙතත් , මෙය හරියට "හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ" ප්‍රසිද්ධ කියමන වෙනුවට "හොරාගෙන්ම පේන ඇසිමේ රනිල් වික්‍රමසිංහගේ අපූරු ක්‍රමය" ලෙස අලුතෙන් අර්ථකථනය කළ යුතුය.
මාර්ගගත සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීමේ කොමිෂන් සභාව තීරණය කල හොත් යම් ප්‍රකාශයක් "අසත්‍ය" බවට, පනතේ 11(ඊ) වගන්තිය අනුව (II වන කොටස), එම ප්‍රකාශය ඉවත් කිරීමට සමාජ මාධ්‍ය සේවා සපයන ආයතන වලට නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාවට බලය ලබා දී ඇත. ඒ අනුව Face book සමාගමට , වට්ස්ඇප් ජාලයට, හෝ වෙනත් ඕනෑම මාර්ගගත සේවා සපයන්නෙකුට කොමිෂන් සභාවේ තක්සේරුව අනුව යම් තහනම් ප්‍රකාශය/ප්‍රකාශ ඉවත් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාවට හැකි ය.
කිසියම් ප්‍රකාශයක් "අසත්‍ය ප්‍රකාශයක් " යැයි මාර්ගගත සුරක්ෂිත කිරීම පිළිබඳ කොමිෂන් සභාව තීරණය කොට එය ඉවත් කරන ලෙස සමාජ මාධ්‍ය ජාලය හිමි සමාගමට කරන නිර්දේශය පිළිගැනීමට ඔවුන් සූදානම් නොවුන හොත් කොමිෂන් සභාව කුමක් කරයි ද?
පනතේ III වන කොටසේ 12 වන වගන්තියට අනුව එවැනි පලකිරීමක් වරදක් වන අතර එකී මාධ්‍ය ජාලය තහනම් කිරීමට, අමතරව වරදකරු වන්නා වසර පහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට යටත් විය යුතුය. දෙවන වරටත් එම වරද කල හොත් දඬුවම හෝ දඩය හෝ දඬුවම් දෙකම දෙගුණයක් වනු ඇත.
සකර්බර්ග්ට සහ එලෝන් මස්ක්ට හොඳ පාඩමක්..
මෙම පනත සම්මත වුවහොත් සකර්බර්ග් සහ එලෝන් මස්ක් හොඳ පාඩමක් ඉගෙන ගන්නේ ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ය. ඔවුන් ඔක්කොම මැගසින් බන්ධනාගාරයේ L වාට්ටුවේ ගාල් වෙන දවස වැඩි ඈතක නොවනු ඇත. අමෙරිකානු සමාගමක්, මූලස්ථානය පිහිටා ඇත්තේ අමෙරිකාවේ නම්, ලංකාවේ නීතිය කෙසේ නම් වලංගු වෙයිද ? මෙම පනත සම්මත වුවහොත් වෑඩි කාලයක් නොගොස් සියළු සමාජ මාධ්‍ය ජාල සේවා ලංකාවට අහිමි වනු ඇත. මෛත්‍රී VPN නැවත වරක් ලංකාවේ ජනප්‍රිය වනු ඇත.
ට්‍රම්ප්ට යටත් නොවුණු සකර්බර්ග් රනිල් වික්‍රමසිංහට බිය වී මුහුණ හංගාගෙන පොත අරගෙන ලංකාවෙන් යාවිද? එලෝන් මස්ක් ට ලංකාවේ දඩය ගෙවීමට ටෙස්ලා සමාගම විකිණීමට සිදුවෙයිද? ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතා කරන්නේ ඩිජිටල් ලෝකයක් ගැනය. කෘතීම බුද්ධිය (Artificial Intelligence ) ගැන ය. එහෙත් සමාජ මාධ්‍යට අසූචි බයය. ඒවා තහනම් කිරීමට නීති ගෙන එන්නේ කටේ නරිවාදං එල්ලෙන කලිසම පල්ලේ බේරෙන නිසා වන්නට පිළිවන.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
https://www.lankaenews.com/category/102

No comments:
Post a Comment