Friday, 8 September 2023

චැනල් 4 වීඩියෝවට ගෝටාගේ පිළිතුර හෙවත් මෝඩ ගෝටා හත් පොලේ ගා ගැනීම..!

-ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙක් ලියයි 

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.08, ප.ව.8.30) කතා නොකරන තුරු මෝඩයාත් ඥණවන්තයකු යැයි කියන උපහැරණයට ගැළපෙන එකෙක් හමුවන්නේ කලාතුරකිනි. දැන් අප හමුවේ එවැනි බියගුල්ලකු හමුවී තිබේ. එනම් කැලිෆෝනියාවේ මිනිසුන් කල් තියා නිවැරදිව 'මෝඩ ගෝටා' යයි නම් කළ, රටක් බංකොලොත් කර තනතුරත් හැර දා බියේ පළා ගිය ගෝටා ය..!

චැනල් 4 වීඩියෝව වෙනුවෙන් පෙනී සිටීමට අපට අවශ්‍ය නැත. ගවේශණාත්මක හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් කීර්තියක් උසුළන එම නාලිකාව සිය තර්ක වෙනුවෙන් පෙනී සිටිනු ඇත. අපට හන්සීර් අසාද් මවුලානා වෙනුවෙන් පෙනී සිටීමට ද අවශ්‍ය නැත. අප මෙහිලා විමසා බලන්නේ චනල් 4 නාලිකාව ප්‍රචාරය කරන ලද වාර්තා වැඩ සටහනට ගෝඨාභය රාජපක්ෂ විසින් දී ඇති පිළිතුර ගැන පමණය. 

චැනල් 4 වාර්තා වැඩසටහන ප්‍රචාරය පෙර ‌ගෝටාගෙන් කරුණු විමසා සිටියද ගොලුවත රැකි ගෝටා චැනල් 4 වාර්තා වැඩ සටහන ප්‍රචාරය වීමෙන් පසු ඊට දී ඇති එම පිළිතුර ලංකාවේ හොරණෑකරුවන්ට මහානර්ඝ වස්තුවක් සේ පෙනුනද එය ඇත්ත වශයෙන්ම නම් හිල් බේසමකින් වතුර ඇදීමක් හා සමානය. එම වාර්තා වීඩියෝවෙන් ගෝටා කෙරෙහි නගා ඇති චෝදනා වලට කිසිදු පිළිතුරක් නොදෙන ගෝටා වළිකන්නේ තම හෙංචයියා වූ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ බේරා ගැනීමට බව පිළිතුරින් හොඳින් පෙනේ. ඒ සලේ කට ඇරියොත් තමන් අමාරුවේ බව දන්නා නිසා සලේ ෂේප් කර ගැනීමට විය හැකිය.

ශානි අබේසේකර ගැන ගෝටා හත් පොලේ ගා ගැනීම... 

ගෝටාට හරියට බොරුවක්වත් කීමට බැරිය. නැත්නම් තමා අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවේ ප්‍රධානියා වූ ශානි අබේසේකර මාරු කර යවන ලද්දේ  රංජන් රාමනායකගේ හඬ පට හුටපටය නිසා යැයි කියන්නේ නැත.

ශානි අබේසේකර ගාල්ලට මාරු කරන ලද්දේ 2019 නොවැම්බර 21වනදා ය. එනම් ගෝටා ජනපති වී සතියක් යෑමටත් පෙර ය. අගමැති දිව්රුම් දීමටත් පෙර ය. ගෝටා ශානි මාරු කිරීමට ඒ තරම් හදිසි විය.  රංජන්ගේ හඬ පට හෙළිදරව් වූයේ 2020 ජනවාරි 04 වැනි දා ය.  කෙසේ වෙතත් ගෝටා තම පිළිතුරෙහි ශානි අබේසේකර මාරු කළේ තමා බව නොකියා කියයි.

ශානි මාරු කරන ලද්දේ ඇයිද යන්න ගෝටා බෙල්ලන්විල පන්සලේ දී කළ කුප්‍රසිද්ධ කතාවෙහි ඇතුලත්ය. එහිදී ගෝටා කියන්නේ ශානි අබේසේකර දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමාට සහ රණවිරුවන්ට විරුද්ධව නඩු පැටල වූ බවයි. දැන් ගෝටාට ඒ කතාව මතක නැත. මේ පිළිතුරට අනුව ගෝටා දිවැසින් රංජන් රාමනායකගේ හඬ පටි හෙළිදරව්වෙන්නටත් පෙර අසා තිබේ!

හඬ පටය පෙන්වා ශානිගේ වැඩ තහනම් කෙරුණේ 2020 ජනවාරි 07 දා ය. නමුත් එම හඬ පටිය ගැන ශානි අබේසේකරගෙන් මේ තාක් කිසිදු  ප්‍රකාශයක්වත් ලබා ගෙන නැත. කෙසේ වෙතත් එකී වැඩ තහනමට අදාල රංජන් සහ ශානි ගේ දෙබස් සහිත හඬ පටය 18 වතාවක් සංස්කරණය කරන ලද්දක් බව රජයේ රස පරීක්ෂක වාර්තා කර ඇත. එනම් එය සාක්කියක් ලෙස ගිනිය හැක්කක් නොවේ. එසේම මේ දක්වා ශානිගේ වැඩ තහනම් කළ කාරණයට අදාල විනය පරීක්ෂණ වාර්තාවක් නැත. ගෝටා ජනාධිපති ධුරය දැරූ වසර දෙක හමාර තුළව එම හඬ පටය ගැන කිසිදු පරීක්ෂණ වාර්තාවක් එළිදක්වා නැත. නමුත් වැඩ තහනම තවමත් එලෙසම ය. රජයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කාලය තුල වැටුපෙන් භාගයක් ගෙවිය යුතු නමුත් ශානිට ඒ අයිතියවත් ලබා දී නැත. ගෝටාගේ පළිගැනීමේ තරම ඒතරම් ය. 

සීඅයිඩී නිලධාරීන් මාරු කිරීම ගැන ගෝටා හත් පොලේ ගා ගැනීම..

එපමණක් නොවේ. එක බොරුවක් වසා ගැනීමට තවත් බොරු කිව යුතු නිසා ගෝටා සිය ප්‍රකාශයෙහි කියන්නේ “පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ  ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙක් මා බලයට පත්වීමෙන් පසු මාරු කර යවනු ලැබුනේ නැත.” යැයි කියාය.

2020 නොවැම්බරයේ දී ජනාධිපතිව සිටියේ තමා බව ගෝටා අමතක වී තිබේ. මන්ද යත් 2020 නොවැම්බර් 11 වන දින පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ නිලධාරීන් 19 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට මාරු කළ නිසාය. ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක කරසිංහආරච්චි, ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේකර, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ප්‍රියන්තිකා, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා මැණිකේ, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා එන් හේවාවිතාරණ, කාන්තා පොලිස් පරීක්ෂිකා හේරත්, පොලිස් පරීක්ෂක රංජිත්, පොලිස් පරීක්ෂක යාපා, කාන්තා පොලිස් පරීක්ෂිකා වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක වීරසිංහ, පොලිස් සැරයන් ජයසිංහ, පොලිස් සැරයන් ප්‍රේමකුමාර, පොලිස් සැරයන් රාජපක්ෂ, පොලිස් සැරයන් විජේවර්ධන, කාන්තා පොලිස් සැරයන් සුනේත්‍රා, කාන්තා පොලිස් සැරයන් චන්දිමා සහ පොලිස් කොස්තාපල් ආරියසිංහ  එසේ මාරු කරන ලද නිලධාරීන්ය.

ගෝටා සිය කකුල කටේ දා ගන්නේ එම කතාවෙන් පමණක් නොවේ.

'දේශපාලන දඩයම්' ගැන ගෝටා හත් පොලේ ගා ගැනීම..

ගෝටාට අනුව 2015 - 2019 කාලයෙහි “බොහෝ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් එවක ආණ්ඩුවේ දඩයමට හසු වී”  තිබුණි.

ඔහු මේ අදහස් කරන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය, ත්‍රිකුණාමල ගන්සයිට් නාවික බැරැක්කයේ 11 දෙනෙකුගේ ඝාතන, කීත් නොයර් සහ පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම වැනි අපරාධ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයන්ය. මෙම පරීක්ෂණයන්ගෙන් ප්‍රගීත් ඝාතනය සහ නාවික කඳවුරේ ඝාතන සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රි පුද්ගල මහාධිකරණයන් හමුවේ හමුදා සාමාජිකයින්ට විරුද්ධව නඩු පවරා තිබේ. එසේ නම් නීතිපති දෙපාර්තමේන්තුවත් ගෝටා කියන 'දේශපාලන දඩයමට'  හවුල් වී ඇත්ද යන්නට ගෝටා පිළිතුරු දිය යුතුය.

අනෙක් අතට, මෙම අපරාධ  සිදු වූ  ඇත්ත ඒවාය. ඒවා සිදු වුයේ ගෝටා ආරක්ෂක ලේකම් වශයෙන් සිටිය දී ය. එම ගෝටා 2019 දී ජනාධිපති බවට පත් වී 2022 ජූලි මාසයේදී පලා යන තුරු වසර දෙකහමාරක් විධායක බලතල හෙබවූ බව අපි දනිමු. ඉහත කී අපරාධ සම්බන්ධයෙන් 2015 - 2019 අතරතුර සිදු කරන ලද්දේ දේශපාලන දඩයම් කිරීම් නම් නියම අපරාධකරුවන් අත්අඩංඟුවට ගැනීමට ගෝඨාභය රාජපක්ෂ කළ කෙංගෙඩියක් තිබේ ද? දැන් කරන මෙම චෝදනා සනාථ කළ හැකි වන පරිදි ඇත්ත අපරාධකරුවන් අත්අඩංඟුවට ගැනීමට ඔහු කටයුතු නොකළේ මන්ද?

"මං තමයි හොඳටම කළේ" කියන්නේ කිසිවක් නොකර වැදි බණ දෙසීමට ය.

නිසි පරීක්ෂන නොකළා කියා ගෝටා හත්පොලේ ගා ගැනීම..

2015-2019 කාලය තුළ කරන ලද පරීක්ෂණවලට එවකට ජනාධිපති වූ සිරිසේන  කෙළින්ම විරුද්ධ විය. අන්තිමේදී 2018 වසරෙහි දී මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කරන ලද ව්‍යවස්ථා කුමන්ත්‍රණය දක්වා එම කකුලෙන් ඇදීම් වර්ධනය විය. 

පාස්කු ප්‍රහාරයට පෙර, මහින්ද රාජපක්ෂ නීති විරෝධී අගමැති කාලයෙහි සිදු වූ වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය ගැන මෙයට පෙර දීර්ඝ වශයෙන් අපි ලියා ඇත්තෙමු. එම ඝාතන එල්ටීටීඊය පිටින් යැවීමට එවකට එහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යටතේ රාජ්‍ය ඔත්තු අංශය කටයුතු කළ බව දැන් සාක්ෂි ඇතිව හෙළිදරව් වී තිබේ. "අජන්තන්" නම් එම එල්ටීටීඊ සාමාජිකයාගේ නිවසට පොලිස් සුනඛයින් යැවීම දක්වා එකී ව්‍යාජ නාටකය ක්‍රියාත්මක විය.

වව්නතිව් ඝාතනයන් ගැන ත්‍රිවිධ හමුදා ඔත්තු සේවාවන්ද නිලන්ත ජයවර්ධනගේ රාජ්‍ය ඔත්තු සේවය ද දුන්නේ ව්‍යාජ වාර්තාය.

වනාතවිල්ලුව සහරාන් කණ්ඩායමේ ආයුධ ගබඩාව පිළිබඳ යුද හමුදා ඔත්තු සේවා පරීක්ෂණයක් කළේය. ඒ කර්නල්වරයකු යටතේ ය. එසේ නමුත් එවකට හමුදාපති වූ මහේෂ් සේනානායක. පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවෙහි ප්‍රකාශ කළේ තමාට එවැනි වාර්තාවක් නොලැබුණූ බවයි.

වනාතවිල්ලව ආයුධ ගබඩාව සොයා ගැනීමෙන් පසු එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  එවකට ජනාධිපති වූ සිරිසේන හමුවී තත්වයේ බැරෑරැම්කම පැහැදිළි කළ ද සිරිසේන එම අනතුරු හැඟවීම නොසලකා හැරියේය.

වනාතවිල්ලුව සහරාන් කණ්ඩායමේ ආයුධ ගබඩාව සොයා ගන්නා ලද්දේ, මාවනැල්ල බුදුපිළිම කැඩීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පර්යේෂණයේ දිගුවක් ලෙසය.  නමුත් ගෝටා සිය ප්‍රකාශයෙහි කියන්නේ මාවනැල්ල බුදුපිළිම කැඩීම ගැන නිසි පරීක්ෂණයක් කළේ නම් පාස්කු ඉරිදා ප්‍රහාර වැළැක්වීමට ඉඩ තිබූ බවයි! ගෝටා අඩුම වශයෙන් වනාතවිල්ලුව ආයුධ ගබඩාව සොයා ගත් අන්දම වත් දන්නේ නැති ගානය.

'අමුඩෙයි පුකයි' ගෝටාගේ කටේ පිට්ටු..!

පොලිස් ඔත්තු සේවා නිලධාරීන් නිලන්ත ජයවර්ධන සහ සිරිසේන හඳුන්වන ලද්දේ 'අමුඩෙයි පුකයි' කියාය. දෙදෙනා ඒ තරමටම සමීප විය. සිරිසේන, එම අනතුරු හැඟවීම නොසළකා හරින ලද්දේ අමුඩයේ උපදෙස් පිට විය නොහැකිද?

පාස්කු ඉරිදා ප්‍රහාරයන්හි රහස් තොරතුරු කේන්ද්‍රය වූයේ එම රාජ්‍ය ඔත්තු අංශයයි. නිලන්ත ජයවර්ධන එම ප්‍රහාරයන් වැළැක්වීමට අසමත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දුවක් දී තිබේ. ඒ ගැන  අපි දීර්ඝ වශයෙන් ලියා ඇත්තෙමු. එම නඩු තීන්දුව ගැන ගෝටාගේ කටේ පිට්ටුය.

ඊට හේතුව ද පාස්කු ප්‍රහාර පිළිබඳ කොමිසමේ දී ම හෙළිදරව් විය. ඒ තමා පාර්ලිමේන්තු මංත්‍රී රවිරාජ් ඝාතනයේ දී, නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව සාක්ෂි දුන්නේ ගෝටාභය රාජපක්ෂ වෙනුවෙන් බව නිලන්ත ජයර්ධන කීම මගිනි. සලේ මෙන්ම නිලන්ත ජයවර්ධනද ගෝටාගේ සමීපතමයින්ය.

නිලන්ත ජයවර්ධන, පාස්කු ප්‍රහාර සමයෙහි තමා පාවිච්චි කළ ජංගම දුරකථනයෙහි සියලු දත්ත මකා දැමූ බව එම පාස්කු කොමිසමෙහි දී  ඔහු පිළිගත්තේය. ඔහු කීවේ සිය බිරිඳට එය තැගි දීම පිනිස දත්ත මැකූ බවයි. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියකු සිය ජංගම දුරකථනයේ දත්ත මකා දමන ලද්දේ ඔහු ගෝටා සමඟ එම ප්‍රහාර සමයේ කළ සාකච්ජා වසං කිරීමට යැයි චෝදනා කළ නොහැකිද?  සිය නිර්දෝශී බව පෙන්වීමට ඔහු සිය දත්ත සුරැකිව තබා ගතයුතු නොවූයේද?

ගෝටාටත් ගෝටාගේ හෙංචන්ටත් අභියෝගයක්..

ශානි අබේසේකර පාස්කු ප්‍රහාර පරීක්ෂන අසමත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු යැයි පාස්කු කොමිෂන් වාර්තාවේ ඇතැයි ගෝටා තවත් බොරුවක් කියයි. එවැනි කිසිදු සඳහනක් එම වාර්තාවේ ඇත්නම් පෙන්වන ලෙස අපි ගෝටාටත් ගෝටාගේ හෙංචන්ටත් අභියෝග කරමු. 

සලේ ගැන ගෝටා කියන බොරු...

මේජර් ජෙනරාල් සලේ සිය අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හැඳින්වීම වරදක් යැයි කියන ගෝටා ඊළඟ ජේදයේ කියන්නේ සලේ 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණයි කියාය. 

මේ කාලය තුළ සලේ සමඟ තමාට කිසිදු සම්බන්ධයක් නොවී යැයි ගෝටා කියන විට, අප ඇසිය යුත්තේ එසේ නම් 2019 දී එකවරම සලේ රාජ්‍ය ඔත්තු සේවයේ ප්‍රධානියා කිරීමට තරම් සම්බන්ධය පාදූර්භූත වූයේ කෙසේද කියාය. සිරිසේන රාජපක්ෂලාට යළි බලය දුන් දින 52 දී මහින්ද රාජපක්ෂ අගමැති වූ වහාම සලේ මැලේසියාවේ සිට මහ රෑම ලංකාවට ගෙන්වා ගත්තේ ඇයි ද කියා ද ගෝටා පිළිතුරු දිය යුතුය.

එෆ්බීඅයි ගැන පාරම්බානවා නම් එෆ්බීඅයි දුන් ඔත්තු ක්‍රියාත්මක කරන්න නොදුන්නේ ඇයි? 

තවද ගෝටා ඇමෙරිකානු එෆ්බීඅයි ආයතනයේ සහය ලබා ගැනීම ගැන පාරම්බායි. එනමුත්  එම ආයතනය විසින් ලබා දෙන ලද ඉතාමත් වැදගත් තොරතුරු ඔස්සේ පරීක්ෂන පැවැත්වීමට යුද හමුදා බුද්ධි අංශ ඉඩ දුන්නේ නැත. සහරාන් සමඟ දිගින් දිගටම සබඳතා  පවත්වන ලද පරිඝනකයක තොරතුරු මෙරට අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවට එෆ්බීඅයි ආයතනය ලබා දුන්නේය. ඒ අනුව ඊට සම්බන්ධ මුස්ලිම් ජාතික යුද හමුදා බුද්ධි සමාජිකයකු අත්අඩංගුවට ගැනුණි. එසේ නමුත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ නොතබා, හමුදා බුද්ධි අංශ ප්‍රධානී අණකින් ඔහු ඉවතට රැගෙන යන ලදී. ඒ ඇයි?

ගෝටා, එෆ්බීඅයි සහාය ලබා ගැනීම ගැන පාරම්බාන පරිද්දේන් එම සහරාන් සහචරයා ගැන පරීක්ෂණය ඉදිරියට ගෙන යෑමට සිය ජනාධිපති ධූර කාලය තුල කරන ලද ලබ්බක් ඇත්ද?

ගෝටා බක් බක් ගාන්නේ නැතිව පිළිතුරු දිය යුතු ප්‍රශ්න වූයේ ඒවාය.

සහරාන්ගේ පුහුණු කඳවුරු ගැන කියා ගෝටා හත්පොලේ ගා ගැනීම..

සිය පිළිතුරෙහි ගෝටා  සහරාන් කණ්ඩායම 2018 වර්ෂයේ සිට පුහුණු කඳවුරු පවත්වා ඇති බවත් එම පුහුණු කඳවුරු සොයා ගත්තේ නම් පාස්කු ප්‍රහාරය වැළැක්විය හැකිව තිබූ බවත් කියයි.

මෙම පුහුණූ වීම් කරන ලද්දේ යුද කාලයෙහි සිට යුද හමුදා ඔත්තු සේවා සමඟ වැඩ කළ, යුද හමුදා ඔත්තු සේවා විසින් පුහුණු කළ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු විසිනි. එසේ තිබියත් 6000 ක් පමණ සිටින යුද හමුදා ඔත්තු සේවාවට එම පුහුණූවීම් දැන ගන්නට ලැබුණේ නැත්ද? 

2021 වර්ෂයේ දී ජවිපෙ නායක අනුර කුමාර පාර්ලිමේන්තුවෙහි දී ප්‍රශ්න කර සිටියේ එවැනි සිවිල් ඔත්තුකරුවන්ට වැටුප් ගෙවන ලද්දේ ද ඒ කවර ආයතනයක් විසින් ද යන්නයි. තවම එම ප්‍රශ්නයට පිළිතුරක් නැත.

ගෝඨාභය රාජපක්ෂට පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔත්තු සේවා විසින් සඟවන ලද රහස් දැන ගැනීමට අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ තමා විසින්ම අගමැති බවට පත් කරන ලදුව රාජපක්ෂ පවුල විසින් ජනාධිපති බවට පත් කර බෞතීස්ම කරන ලද රනිල් රාජපක්ෂගේ අගසව්වන් දෙනෙකු වන අමිනිස් නානායක්කාර සහ වරෙන් ප්‍රනාන්දු යන දෙදෙනාගේ පැරණි රසාංග වාදනය කර ඇසීමය.

ට්‍රිපොලි කඳවුර ගැන ගෝටා මීක් නැති නමුත් මේවාට උත්තර දෙනු..

අවසාන වශයෙන්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ද චැනල් ෆෝ වාර්තා රූපවාහිනී වැඩ සටහටනේ කියැවෙන බැවින් මෙම ප්‍රශ්නයෙන් අවසන් කරමු.

ලසන්ත ඝාතනයට ට්‍රිපොලි කඳවුරෙහි සිට පැමිණී සොල්දාදුවන් සම්බන්ධිකරණ කර ගත් දුරකතන සිම් කාඩ් පහ මිලදී ගෙන තිබුණේ කෙළඹ 3 බෞද්ධාලෝක මාවතෙහි පිහිටි වරායේ බඩු නිදහස් කර ගන්නා වෝෆ් සමාගමක නමිනි. ඒ බව සනාථ කැරෙන නඩු වාර්තා තිබේ.

දුර කථන ඇමතුමක් ලැබී ටාජ් සමුද්‍ර හෝටලයේ ප්‍රහාරය අතහැර ගිය පාස්කු ප්‍රහාරයෙන් පසු ජමීල් නම් මරාගෙන බෝම්බකරුට,  ඔහුගේ නිවසට ගිය යුද හමුදා ඔත්තු සේවා නිලධාරීන් කතා කළේය.  ඉන් කියවෙන්නේ ජමීල් මරාගෙන මැරෙන බෝම්බකරුවකු බව යුද හමුදා ඔත්තු සේවා දැන සිටි බවය. 

වඩා වැදගත් කරුණ එයම නොවේ. එදින එම යුද හමුදා ඔත්තුසේවා නිලධාරීන් ජමීල්ට කතා කරන ලද ජංගම දුරකතන සිම් කාඩ් පත ද මිලදී ගෙන තිබුණේ, ලසන්ත ඝාතනයට යොදා ගත් සිම් කාඩ් පත් සමඟ එකම අවස්ථාවේය. එහි අංකය. අනෙක් අංක සමග එක ලඟ එකක් විය. මිල දී ගෙන තිබුණේ ද ඉහත කී වෝෆ් සමාගමේ නමිනි.

ලසන්ත ඝාතනය සහ පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇති බවට, එය ප්‍රබල සාක්ෂියක් නොවේද?

හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමයටය.

සෙස්ස පස්සට

-ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙකු විසිනි 

ගෝටා චැනල් 4 වාර්තා චිත්‍රපටය ‌පිළිබඳ දුන් පිළිතුර පහත දැක්වේ

2023 සැප්තැම්බර් මස 07 වන දින
මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම චැනල් 4 චිත්‍රපටය

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය 2019 නොවැම්බරයේ දී මා බලයට පත් කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම සඳහා හිතා මතාම සිදු කරනු ලැබූවක් බව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නවතම චිත්‍රපටයේ ඇති ප්‍රධානම චෝදනාවයි. මෙම චෝදනාව රඳා පවතින්නේ යුරෝපයේ දේශපාලන රැකවරණ සඳහා අයදුම්කරුවෙකු වන හන්සීර් අසාද් මවුලානා නැමැත්තෙකු විසින් ප්‍රධාන මැරෙන බෝම්බකරු සහරාන් සහ ඔහුගේ සහෝදරයා වන සයිනී මව්ලවි යන අයට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හඳුන්වා දුන් බවට කර ඇති ප්‍රකාශයකි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ හමුදා බුද්ධි සේවා අධ්‍යක්‍ෂ ලෙස ඉටු කරන ලද ඔහුගේ අතීත භූමිකාව නිසාය. මේජර් ජෙනරාල් සලේ මගේ අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හඳුන්වා ඇත. නමුත් ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර, සියලුම හමුදා නිලධාරීන් තනි පුද්ගලයින්ට නොව රජයට පක්ෂපාතී වේ. මම ද හිටපු හමුදා නිලධාරියෙක් වන අතර, ඔහු මෙන්ම මමත් විවිධ ආණ්ඩු යටතේ සේවය කර ඇත්තෙමි.

2015 දී ආරක්‍ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වන තුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. තමා 2016 දී හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ අතර, එතැන් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර්-කවුන්සලර් තනතුරේ කටයුතු කළ බවත්, මෙම හමුව සිදු වූවා යැයි කියන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් මේජර් ජෙනරාල් සලේ චැනල් 4 වෙත දන්වා තිබුණි. තවද, 2019 ජනවාරි සිට නොවැම්බර් මස දක්වා ඔහු ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව හදාරමින් ඉන්දියාවේ සිටි අතර, 2016 සිට 2019 දක්වා මේ මුළු කාල පරිච්ඡේදය තුළම ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ව්‍යුහය තුළ ක්‍රියාත්මක නොවුන බව ද දන්වා ඇත. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වුවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ හමුදා බුද්ධි අංශ සම්බන්ධ වූ බවට ඔවුන්ගේ චෝදනාව  තහවුරු කිරීම සඳහා, 2018 නොවැම්බර් 30 වන දින වව්නතිව් හීදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ ආයුධ සොරකම් කිරීම සහ 2019 ජනවාරි 16 වන දා වනාතවිල්ලුව ආරක්‍ෂිත නිවාසයක් තුල පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධීන් සම්බන්ධයෙන් ආරම්භ කරන ලද පොලිස් පරීක්ෂණ හමුදා බුද්ධි අංශ විසින් කඩාකප්පල් කල බව මෙම චිත්‍රපටයේ කියැවේ. 2015-2019 ආණ්ඩුව බුද්ධි අංශ සහ විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කල බව මුළු රටම දනී. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් සැලකිය යුතු ගණනක් යහපාලන ආණ්ඩුව සමයේ මාස ගණන්, අවුරුදු ගණන් රිමාන්ඩ් භාරයේ සහ පොලිස් අත්අඩංගුවේ කාලය ගත කළ බවත් සියලුම ශ්‍රී ලාංකිකයන් දනිති. එබැවින් 2015 - 2019 ආණ්ඩුව සමයේ හමුදා බුද්ධි අංශය පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශය හාස්‍යයට කරුණකි.

2015-2019 ආණ්ඩුව විසින් මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නොසලකා හැරිය බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු සිරියාවට ගොස් අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වී ඇති බවත්, විදේශීය ඉස්ලාම් ආගමික දේශකයින් ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කරන බවට 2016 නොවැම්බර් 18 වන දා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ කළ හෙළිදරව්වද එම ආණ්ඩුව නොසලකා හැරිය බව ඔවුන් ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2018 මාර්තු 23 සිට 25 දක්වා ලේවැල්ල ප්‍රදේශයේ ලැගුම් හලක පුහුණු කඳවුරු පවත්වා ඇති අතර 2018 අප්‍රේල් සහ මැයි මාසවල දී නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම් හලක ද තවත් රැස්වීම් පවත්වා ඇති අතර, ඒ සියල්ල පොලිසියට වාර්තා වී තිබූ නමුත් විමර්ශනය කර නැත.

සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් 2018 අගෝස්තු 27 අලුයම කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමේ දී බරපතළ තුවාල ලැබීය. කලින් සඳහන් කළ වව්නතිව් සහ වනාතවිල්ලුව සිද්ධීන් හැරුණු විට 2018 දෙසැම්බර් මස අගදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ද ප්‍රහාර එල්ල වූ සිද්ධීන් ද විය. ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි, මෙම ඕනෑම සිදුවීමක් නිසි ලෙස විමර්ශනය කලේ නම් ත්‍රස්තවාදීන් කලින් අත්අඩංගුවට ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට හැකි වීමට ඉඩ තිබුණි. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදා බුද්ධි අංශ නොවේ. මේ මුළු කාලය තුළම මම බලයේ නොසිටියා පමණක් නොව බොහෝ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්ම, මම ද එවක ආණ්ඩුවේ දඩයමට හසු වී, 2015 සිට 2019 නොවැම්බර මස ජනාධිපති වන තෙක්ම එක් පොලිස් ඒකකයකින් තවත් පොලිස් ඒකකයකටත් එක් උසාවියකින් තවත් උසාවියකටත් යමින් සිටියෙමි.

මේ අලුත් චිත්‍රපටියෙන් මට එල්ල වූ එක් චෝදනාවක් වූයේ, මම ජනාධිපති වූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන නිලධාරීන් මාරු කර පරීක්‍ෂණ කඩාකප්පල් කළ බවය. මේ සඳහන අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට බව මම උපකල්පනය කරමි. මහාධිකරණයේ විභාග වෙමින් පැවති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනඥයෙකු සමඟ ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට දුරකථන හඬපටවලින් හෙළි වී තිබූ අතර, ඔහු වැන්නකු මොනම තත්ත්වයක් යටතේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් සහිත තනතුරක තබා ගැනීමට මොනම ආණ්ඩුවකටවත් නොහැක. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙක් මා බලයට පත්වීමෙන් පසු මාරු කර යවනු ලැබුනේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයත් මම බලයට පත් වීමත් අතර මාස හතකට ආසන්න පරතරයක් තිබුණ නිසා ඒ කාලය තුළත් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබුණි. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් 2016ත්, 2019ත් අතර කාලයේ වූ නොසැලකිල්ලට ද ශානි අබේසේකරත් වගකිව යුතු විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව මට භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම මා ප්‍රතික්ෂේප කළ බව චැනල් 4 නාලිකාව කියයි. එය අමූලික බොරුවකි. එම වාර්තාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති. පසුගිය වසරේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඇතමුන් මා සම්බන්ධ කිරීමට පටන් ගත් විට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා එෆ්බීඅයි / සීඅයිඒ සහාය ලබා ගැනීමේ හැකියාව ගැන සොයා බලන ලෙස මම වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහට උපදෙස් දුන්නෙමි. 2022 අප්‍රේල් 07 වැනි දින, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් මහතා තානාපති සමරසිංහට පිළිතුරු ලිපියකින් මෙසේ දන්වා තිබුණි.

 “පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි... ප්‍රහාරයෙන් ඉක්බිතිව, සහ අද දක්වාම, එක්සත් ජනපද රජය වගකිවයුත්තන් විමර්ශනය කිරීමට සහ ඔවුන්ට නඩු පැවරීම සඳහා සහාය ලබා දී ඇත. 2021 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද පුරවැසියන්ගේ මරණ සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ පැමිණිල්ලක් ද ගොනු කළේය. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය ඔබේ රජයට දිගටම සහයෝගය ලබා දීමට සූදානම්ව සිටියත්, ප්‍රහාරයන් සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම තේරුමක් නැත... මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ප්‍රහාරයෙන් පසු සතිය තුළ, නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීම සඳහා යෙදවූ බව මම අවධාරණය කිරීමට කැමැත්තෙමි. මේ සහයෝගීතාවයට සාක්ෂි එකතු කිරීම, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ඩිජිටල් උපාංග පරීක්‍ෂා කිරීම යනාදිය ඇතුළත් විය...”

ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් අමතර ඉල්ලීමක් කළහොත් ඒ වන විටත් (එනම් 2022 අප්‍රේල්  මාසයේ දී) කොළඹ රැඳී සිටී ඇමෙරිකා එක්සත් ජනපද පරිචෝදකයන් දෙදෙනාගේ සහය ලබා දීමට හැකි බව ද ලෑන්ඩ්බර්ග් මහතා තවදුරටත් එම ලිපියේ සඳහන් කර තිබුණි. මීට පෙර 2021 ජනවාරි 08 වන දින, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, එහි මෙසේ සඳහන් විය.

“...අයිඑස්අයිඑස් නැමති විදේශීය ත්‍රස්තවාදී සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත... ඔවුන් ‘ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්’ ලෙස හැඳින්වූ අයිඑස්අයිඑස් ආධාරකරුවන් පිරිසක සාමාජිකයන් විය. එම කණ්ඩායම 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අතර, එම ප්‍රහාරය නිසා එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 දෙනෙකු මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු විය... ප්‍රහාරයෙන් දින දෙකකට පසු, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ එම ඝාතන ‘ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්’ වෙත ආරෝපණය කරමිනි... 2020 දෙසැම්බර් 11 වැනි දා ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් උසාවියේ දී පවරනු ලැබූ අපරාධ නඩුව, ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර ජාතිකයින් නිතර ගැවසෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වූ එෆ්බීඅයි ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තුල කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයකි.”

චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කලෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු වලට ද මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා ද විය. බෝලවලාන ප්‍රදේශයේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේ දී ද මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළෙමි. එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.

ගෝඨාභය රාජපක්ෂ

හත්වන විධායක ජනාධිපති

No comments:

Post a Comment