චිලී විප්ලවීය ගායක වික්ටර් හාරාට යුක්තිය ඉටුවේ: 50 වසරකට පසු ඝාතක සොල්දාදුවන් සිරගෙට..! ලසන්ත, තජුඩීන්, සිවරාම්, ප්‍රගීත් ඝාතකයිනි...,
-සුනන්ද දේශප්‍රිය ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.01, ප.ව.10.45) 1973 දී චිලියේ ඔගස්ටෝ පිනෝචේ බලයට පත් කළ කුමන්ත්‍රණයෙන් පසුව ජනකාන්ත විප්ලවීය ගායක වික්ටර් හාරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 50 කට පසුව චිලී අධිකරණයක් විසින් වයෝවෘද්ධ විශ්‍රාමික සොල්දාදුවන් හත් දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබේ.
වික්ටර් හාරා සැලකෙන්නේ ලතින් ඇමෙරිකාවේ විප්ලවීය ගායක සංකේතය ලෙසය.
මෙම ඝාතකයින් අත්අඩංඟුවට ගැනීමට නියෝග කරන ලද්දේ කුමන්ත්‍රණයෙන් දශක හතරකට පසු 2012 වසරෙහි දීය. ඉන් පසු 2018 දී ඝාතකයින්ට දඬුවම් නියම කළ නමුත් අභියාචනා දෙකක් නිසා ඝාතකයින්ට මේ තාක් නිදහසේ සිටීමට ඉඩ ලැබුණි. අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව යළිත් අනුමත කළේය.
වයස අවුරුදු 73 ත් 85 ත් අතර වයස්වල එම සොල්දාදු ඝාතකයින්ට දැන් අවුරුදු 8 ත් 25 ත් අතර සිරදඬුවම් විඳීමට බන්ධනාගාරයට වාර්තා කිරීමට නියෝග කර තිබේ.
1973 සැප්තැම්බර් 11 වැනිදා සමාජවාදී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් පහකළ සීඅයිඒ සංවිධානයේ පිටුබලය ලත් කුමන්ත්‍රණයෙන් පසු දින එවකට 40 හැවිරිදි හාරා අත්අඩංගුවට ගත්තේ ය. හාරා චිලියේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූ අතර 1970 දී මහජන ඡන්දයෙන් බලයට පත් වූ මාක්ස්වාදී ජනාධිපති ඇලෙන්ඩේට සහාය දුන් මහජන එක්සත් සන්ධානයේ ප්‍රබල ආධාරකරුවෙක් විය.
සිරුරේ උණ්ඩ 44 ක්, ගිටාරය වැයූ ඇඟිලි චප්ප කරලා..
කුමන්ත්‍රණයෙන් පසු අත්අඩංඟුවට ගන්නා ලද වික්ටර් හාරා තවත් දේශපාලන සිරකරුවන් 5,000 ක් සමඟ ක්‍රීඩාංගණයක රඳවා ගෙන සිටි අතර එහිදී ඔහුගෙන් ප්‍රශ්නකර, වධහිංසා පමුණුවා මරා දැමුවේ ය.
වෙඩි උණ්ඩ 44 ක් පසා කර ගෙන ගොස් තිබූ ඔහුගේ සිරුර දින කිහිපයකට පසු සොයා ගැනීමට හැකි විය.
ඔහුට පමුණූවන ලද වෙනත් බිහිසුණු වධහිංසා අතර, ගිටාර් වාදනය කළ ඇඟිලි පොඩි කර රයිෆල් බට් සහ බූට් වලින් පාගා තිබුණි.
ජාතික බන්ධනාගාර අධ්‍යක්ෂ සහ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකු වූ 33 හැවිරිදි සෙසු රැඳවියෙකු වූ ලිත්‍රේ කිරෝගා ගේ සිරුර සහ තවත් දේශපාලන සිරකරුවන් තිදෙනෙකුගේ ගේ සිරුරු හාරාගේ සිරුර අසල දමා තිබුණි. එම සිරුරු සියල්ලෙහිම වධහිංසා පැමිණවීමේ ළකුණු දක්නට ලැබුණි.
වසර 25 ක සිර දඬුවම්; අභියාචනයේ දී දඬුවම් වැඩි කළා..
පසුගිය සඳුදා තීන්දුවෙන් හාරා සහ ලිත්‍රේ ඝාතන සඳහා වසර 15ක් ද, එක් එක් අය පැහැර ගැනීම සම්බන්ධයෙන් තවත් වසර 10 ක් ද, හිටපු හමුදා නිලධාරීන් වන රාවුල් ජොෆ්රේ, එඩ්වින් ඩිම්ටර්, නෙල්සන් හසේ, අර්නස්ටෝ බෙත්කේ, ජුවාන් ජාරා සහ හර්නන් චාකොන් යන අයට දඬුවම් නියම කෙරිණ. අපරාධ වසන් කිරීමේ ඔහුගේ භූමිකාව වෙනුවෙන් රොලැන්ඩෝ මෙලෝ නම් තවත් සොල්දාදුවකුට වසර 8ක දඩුවමක් ලැබිණි.
මෙම නඩුව අවසන්ව ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදා චිලී කුමන්ත්‍රණයේ 50 වැනි සංවත්සරය සැමරීමට සති දෙකකට නොඅඩු කාලයක් තිබියදීය.
මෙම ඝාතයින් ප්‍රථම වරට 2018 දී වරදකරුවන් බවට අධිකරණය තීන්දු කරන ලදී. එම තීන්දුවට එරෙහිව කරන ලද අභියාචනයේ දී වසර තුනකට පසුව අභියාචනාධිකරණය මගින් ඔවුන්ගේ සිර දඬුවම් වැඩි කරන ලදී. පසුගියදා එනම් අගෝස්තු 28 වන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව තහවුරු කරන ලදී.
හාරාට වධ දුන් ක්‍රීඩාංගනය ඇද ඇත්තේ ඔහුගේ නමින්...
ප්‍රේමය සහ සමාජ විරෝධය ගැන කතා කළ සාමවාදී ගායකයෙකු වූ හිටපු හාරාට, ලතින් ඇමෙරිකානු ජනප්‍රිය සංගීතයේ සංකේතයක් බවට පත් විය. සාමයෙන් ජීවත් වීමේ අයිතිය වැනි ඔහුගේ ගී ඉතා ජනප්‍රිය විය.
ඔහුගේ ගීත සහ ජීවිතය U2 සිට Bob Dylan දක්වා සංගීතඥයන් දිරිමත් කළ අතර, 2013 සන්තියාගෝ හි පැවති ප්‍රසංගයකදී Bruce Springsteen ඔහුට උපහාර දැක්වීය.
ක්‍රමන්ත්‍රණයෙන් බලය අල්ලා ගත් පිනෝචේ 1990 වන තෙක් චිලී පාලනය කළ අතර 2006 දී ඔහුගේ පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද අපරාධවලට දඬුවම් නොවිඳ මිය ගියේය. වාමාංශික ක්‍රියාකාරීන් සහ අනෙකුත් සැක සහිත විරුද්ධවාදීන් 3,200 ක් පමණ ඔහුගේ පාලන කාලය තුලදී මරා දැමූ බව විශ්වාස කෙරේ.
2009 දී චිලී බලධාරීන් හාරාගේ දේහය ගොඩ ගැනීමට නියෝග කළේය. එම වසරේ එවකට ජනාධිපති වූ සහ මෑතදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියද වූ මිෂෙල් බැචලේ සහභාගී වූ නිල උත්සවයකදී ඔහුගේ දේහය නිසි පරිදි තැන්පත් කරන ලදී.
අද හාරා සංගීත සංදර්ශන පැවැත්වූ සහ පසුව වධහිංසාවන්ට ලක් වූ මහජන ක්‍රීඩාංගනය ඇත්තේ ඔහුගේ නමිනි.
ලසන්ත, තජුඩීන්, සිවරාම්, ප්‍රගීත් ඝාතකයිනි...,
ශ්‍රී ලංකාවෙහි දේශපාලනඥයින්ගේ ගොදුරු බවට පත් ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, සිවරාම්, ප්‍රගීත් යනාදී සිය ගණන් ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාධරයින් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය කවර දිනෙක හෝ උදාවනු ඇති බවට වික්ටර් හාරාගේ ඝාතකයින් සිරගත වීම පෙන්නුම් කරන සත්‍යයි.
වෙන්සෙරෙමොස් ( අපි ජය ගන්නෙමු) නම් සැල්දෝවර් ඇලන්ඩේගේ මැතිවරණ ව්‍යාපාරයේ තේමා ගීතය ලියා ගයන ලද්දේ ද වික්ටර් හාරා විසිනි.
අපි ජය ගනිමු, අපි ජය ගනිමු,
දම්වැල් දාහක් කඩන්න වෙයි
අපි ජය ගනිමු, අපි ජය ගනිමු,
අපි දන්නවා දුක ජයගන්නේ කොහොමද කියලා
ගොවීන්, සොල්දාදුවන්, පතල් කම්කරුවන්,
අපේ රටේ ගෑනුත් එහෙමයි
සිසුන්, කම්කරුවන්, සුදු කරපටි සහ නිල්
අපි අපේ යුතුකම ඉටු කරමු
අපි මහිමයෙන් දේශය වපුරමු
සමාජවාදය අපේ අනාගතය වනු ඇත
අපි හැමෝම එකතුවෙලා ඉතිහාසගත වෙනවා
ඉටු කිරීමට, ඉටු කිරීමට, ඉටු කිරීමට
අපි ජය ගනිමු, අපි ජය ගනිමු,
දම්වැල් දාහක් අපිට කඩන්න වෙයි
අපි ජය ගනිමු, අපි ජය ගනිමු,
දුකින් මිදෙන්නේ කෙසේදැයි අපි දනිමු
ගීතයේ වීඩියෝවක් පහත දැක්වේ

No comments:
Post a Comment