Sunday, 10 September 2023

දේපළ අයිතිකරුගේ කනෙන් රිංගා  හොරුන් සමග එකතු වූ අර්ථසාධකේ භාරකරු...! අයිතිකරුගෙන් කොල්ලකන මුදල පොඩි නෑ, රුපියල් බිලියන 3,271.93 ක්..!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.10, ප.ව.9.10) හඬක් නැති ලක්ෂ 24 ක් වූ මිනිසුන් ඔවුන්ගේ විශ්‍රාම අරමුදල (EPF) හොඳින් ආරක්ෂා කර දෙන ලෙස මහ බැංකු අධිපති වරයා ප්‍රමුඛ මුදල් මණ්ඩලයට පවරා දී තිබුනේ වැඩි හොඳට ය. එහෙත් දැන් එය හරියට වක්කඩේ හකුරු හැංගුවා හා සමාන ය.

ඉලංගරත්නගේ සිහිනය..

ටී. බී. ඉලංගරත්න කෘතහස්ත දේශපාලනඥයා 1956 SWRD බණ්ඩාරනායක රජයේ කම්කරු අමාත්‍ය වරයා හැටියට  ඔහුගේ දුරදක්නා නුවණින් කල්පනා කොට ඉදිරිපත් කල 1958 අංක 15 දරණ අර්ථසාධක අරමුදල් පනත මගින්‍ සේවක අර්ථසාධක අරමුදල පිහිටුවන්නේ අවුරුදු 55 න් විශ්‍රාම යන කම්කරුවාට තම සැඳෑ සමය සුවසේ කරදරයකින් තොරව ගත කොට නිදහසේ මියෑ දෙන්නට වන්නට පිළිවන. බොහෝ අය විරුද්ධ වෙද්දී ඉලංගරත්න අර්ථසාධක අරමුදල මහබැංකුවේ මුදල් මණ්ඩලයේ භාරයට පත්කළේ වැඩි හොඳටය. යම් දිනෙක අරමුදලේ හෙනහුරා බවට මුදල් මණ්ඩලයම පත්වනු ඇති කියා ඉලංගරත්නයන් කිසිදා හිතන්නට නැත. එහෙත් අද එය එසේම සිදු වී ඇත. එය දෛවයේ සරදමකි.

https://www.sundaytimes.lk/081123/FunDay/fundaytimes_2.html

ත්‍රාඩ හොරු කණ්ඩායමක්...

අරමුදල මහාපරිමානයෙන් කොල්ල කෑම ආරම්භ වන්නේ 2006 දී මහින්ද රාජපක්ෂ විසින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපති ධූරයට පත්කිරීමෙන් පසුවයි. ඉන් පසු රනිල් වික්‍රමසිංහ විසින් 2015 පත්කළ අර්ජුන මහේන්ද්‍රන් හරහා අරමුදලේ සල්ලි බිලියන ගණනින් කොල්ල කා සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගත් බව ප්‍රසිද්ධ රහසකි. මොවුන් සියල්ලෝම  ත්‍රාඩ හොරු කණ්ඩායමක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. තවමත් ඔවුන් බලයේ සිටින්නේ රටේ බහුතර ජනයාගේ වරදිනි.

දිවි පූජා කළ රොෂේන් චානක..

මහින්ද රාජපක්ෂ 2010 දී නැවත බලය ලබා ගෙන එවකට කම්කරු ඇමැති ගාමිණි ලොකුගේ හරහා සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමට සූදානම් වූ විට ඊට විරුද්ධව අරගල කළ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක රොෂේන් චානක පොලීසිය විසින් ඝාතනය කළේ 2011 මැයි මස 30 වන දාය. මෙම සිදුවීමෙන් පසු පොලිස්පති බාලසූරිය ධූරයෙන් ඉල්ලා අස්විය. මේ සිදුවීම් නිසා මහින්ද රාජපක්ෂ අරමුදල කොල්ලකෑමේ අදහස අත් හැර දැමූවේය.

2015 බලයට පැමිණි රනිල් වික්‍රමසිංහගේ යහපාලන රජය නිමල් සිරිපාල කම්කරු ඇමැති වරයා හැටියට යොදා ගනිමින් නැවත රාජපක්ෂ කළ දේම කිරීමට ගොස් සේවක විරෝධය හේතුවෙන් එම උත්සාහයද හකුලා ගත්තේ ය. කෙසේ වෙතත්, මොවුන් දෙගොල්ලම EPF/ETF අරමුදල කොල්ල කෑමට තිබූ කෑදර කම කිසිදු අවස්ථාවක අත හැරියේ නැත. එයට හේතුව අරමුදල සතුව තිබෙන විශාල ධනස් කන්දයයි.

අරමුදලේ මුදල් බිලියන ගණනින් හොරකම් කරලා..

රාජපක්ෂලා කොටස් වෙළෙඳපොළ හරහාත්, වෙනත් විදේශීය බැඳුම්කර සහ තවත් නොදත් ව්‍යාපාර වල ආයෝජනය කරන මුවාවෙන් අරමුදලේ මුදල් බිලියන ගණනින් හොරකම් කොට තිබෙන බව විගණකාධිපති වරයාගේ වාර්තා පිරික්සීමේදි  පැහැදිලි ය. ඒ හා සමානවම රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම යහපාලන රජය බලයට පැමිණ මාස කිහිපයක් ඇතුලත භාණ්ඩාගාර බැ‍ඳුම්කර හරහා ඇලෝසියස්ලා  සමග එකතු වී බිලියන ගණනක් වරින්වර කොල්ල කෑවේය. ඒවා තහවුරු කිරීමට ඕනෑ තරම් සාක්ෂි සහ විමර්ශන වාර්තා ඇත.

කවදා හෝ ලංකාවේ මහජන රජයක් බිහිවූ දාට මේවාද ඇතුළුව සෑම තරාතිරමකම හොරකම්, වංචා, හා දූෂණ වලට සෘජුව සහ වක්‍රව සම්බන්ධ පුද්ගලයන් සියළුම දෙනාට ජනතා අධිකරණයක් ඉදිරියේ නඩු විභාග කොට නිසි දඬුවම් ලබා දෙනු ඇත. ඔවුන් එය හොඳින්ම දන්නා නිසා එවැනි රජයක් බිහිවීම වැලැක්වීමට කළ හැකි හැම දේම කරණු ඇත. ඔවුන්ගේ අභිප්‍රාය පරාජය කළ හැක්කේ රටේ බහුතර ජනතාව සත්‍ය තේරුම් ගෙන මෙම ත්‍රාඩ හොරු සිරගත කිරීමට සූදානම් රජයක් බිහිකර ගන්නේ නම් පමණි.

සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් තත්ත්වය..

සේවක අර්ථසාධක අරමුදලේ මේ වන විට සක්‍රීය ගිණුම් හිමි මිලියන 2.4 වූ (ලක්ෂ 24) සාමාජිකයන්ට අයත් රුපියල් බිලියන 3460 ක දිනෙන් දින වර්ධනය වන වත්කමක් ඇත. මෙම මුදල් වලින් 96% ක් පමණ ආයෝජනය කොට තිබෙන්නේ රජයේ සුරැකුම් පත් සහ භාණ්ඩාගාර බිල්පත් වල ය. වාර්ෂිකව රුපියල් බිලියන 193 ක සාමාජික මුදල් අරමුදලට එකතු වන අතර රුපියල් බිලියන 163 ක පමණ විශ්‍රාමික මුදල් සාමාජිකයන්ට ගෙවනු ලබයි. සෑම වසරකම රුපියල් බිලියන 30 කට මඳක් වැඩි මුදලක් අරමුදලේ රැඳෙයි. එමෙන්ම, අරමුදල සිදුකොට තිබෙන ආයෝජන සඳහා වාර්ෂිකව ලැබෙන පොලී ආදායම මේ වන විට රුපියල් බිලියන 285 ක් පමණ වී ඇත. එය තවත් ඉහළ යෑමට නියමිතව තිබිණි. ඒ පසුගිය වසර දෙක තුල  අරමුදල විසින් පොලිය 18%-26% මට්ටමේ බැඳුම්කර මිල දී ගෙන තිබීමයි. දැනට සති කිහිපයකට පෙර නිකුත් කළ බැඳුම්කරය සඳහා ද 18% කූපන් අගයක් (පොලියක්) ලැබෙයි. එහෙත් යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් කොපමණ ඉහළ පොලියකට ආයෝජනය කොට තිබුණද 2025 දක්වා කල්පිරෙන බැඳුම්කර සඳහා ලැබෙන්නේ 12% කි. ඉන් පසු 2026 සිට 2038 දක්වා කල්පිරෙන බැඳුම්කර සඳහා 9% ක පොලියක් ලබා දීමට උත්සාහ කරන බව මහබැංකු අධිපති වරයා පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේදි ප්‍රකාශ කළේ ය. මෙහිදී බලලා මල්ලෙන් එලියට පැන්නේ මෙතෙක් 9% ක පොලියක් ස්ථීරවම ගෙවන බවට අධිපති වරයා සහ අනෙකුත් ආණ්ඩුවේ දේශපාලකයින් කළ සාවද්‍ය ප්‍රකාශය හෙළිදරව් වීමත් සමගයි.  එය එසේ නොවන බව දැන් පැහැදිලි ය. අධිපති වරයා ප්‍රකාශ කරන්නේ ඉදිරි වසර හතර තුල 9% ක පොලියක් ගෙවීමට උත්සාහ කරන බවකි. ඉන් පසු කුමක් වෙයිද කියා ඔහුට වගකිව නොහැකි බව කියයි.  එය 8% ක් වීමටද ඉඩ ඇත. ඔහු ප්‍රකාශ කරන ආකාරයට කිසියම් ප්‍රශ්නයක් ඇති වුවහොත් අයවැය හරහා හිඟ මුදල ගෙවීමට ඉඩ ඇති බවකි. ඉන් කියවෙන්නේ එසේ නොගෙවා සිටීමට ද ඉඩ ඇති බවකි. කෙසේ වෙතත් කවදා හෝ වර්තමාන මුදල් මණ්ඩලයත් මේ අරමුදල කොල්ලකෑමට හවුල් වීම සම්බන්ධව විත්තිකරුවන් කළ යුතුය.

කම්කරුවන්ගේ ඉපැයීම් වලින් කිසිවෙකු නොදැන කොල්ල කෑ හැටි..  

1958 අංක 15 දරණ අර්ථසාධක අරමුදල් පනත මගින් මෙම අරමුදල ආදායම්  බදු වලින් නිදහස් කොට තිබුණි. එහෙත්, 1989 දී ආර්.ප්‍රේමදාස රජය මෙම අරමුදල මත 10% ක බද්දක් පැනවීය. නැවත 2017 දී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය එම බද්ද 14% කළේය. මේ හරහා වාර්ෂිකව විශාල මුදලක් රටේ කම්කරුවන්ගේ ඉපැයීම් වලින් මොවුන් කොල්ල කෑවේය. කිසිවෙක් මෙය අභියෝගයට ලක් නොකළේ බොහෝ අය මේවා දැනගෙන නොසිටීම විය හැක.

ගමේ පොලී මුදලාලිටත් වඩා අන්ත රජයේ මංකොල්ලය...

රනිල් වික්‍රමසිංහ මෙවර ඊට වඩා බරපතළ දෙයක් කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවන්නේ නම් සේවක අර්ථසාධක අරමුදල 30% ක බද්දකට යටත් කොට ඇත.  කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වන අරමුදල් මත 14% බද්ද එලෙසම පවතී. කම්කරුවාට 9% ක පොලියක් ගෙවන විට ඔහුගේම වත්කමින් 14% ක ආදායම් බද්දක් රජය කොල්ල කයි. රජය කටයුතු කරන්නේ ගමේ පොලී මුදලාලිටත් වඩා අන්ත විදිහටය.

ගෙයක් කොල්ල කෑමට පැමිණි හොරු රැලක් සේ..

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සේවක අර්ථසාධක අරමුදලට කිරීමට යන දේ එක්තරා ආකාරයකට ගෙයක් කොල්ල කෑමට පැමිණි හොරු රැලක් නිවසේ කුඩා දරුවාගේ බෙල්ලට පිහි තුඩ තබා ගෙයි තිබෙන මුදල් හා ස්වර්ණාභරණ ලබා නොදුන්නොත් දරුවා  මරා දමන බවට දෙමාපියන්ට තර්ජනය කරනවා හා සමානය. හඬක් නැති කම්කරුවාගේ බෙල්ලට පිහිය තබා රනිල් වික්‍රමසිංහලා, නන්දලාල්ලා කොල්ල කන්නේ කම්කරුවාගේ දහඩිය මහන්සියයි.

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අත නොතියයි..

මෙහි තිබෙන අසාධාරණය නම්, සේවක අර්ථසාධක අරමුදල මෙන්ම බැංකු, ප්‍රාථමික ගැණුම්කරුවන් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ද මෙම භාණ්ඩාගාර බැදුම්කර නිකුතු වලින් 18%-26% පොලියට බැඳුම්කර මිල දී ගෙන ඇත. එහෙත් ඔවුන්ට සම්පූර්ණ පොලිය ලැබෙන විට සේවක අර්ථසාධක අරමුදලට ලැබෙන්නේ 9%කි. රනිල් වික්‍රමසිංහලා ප්‍රාථමික ගැණුම්කරුවන්, බැංකු සහ මහාපරිමාන පෞද්ගලික බැඳුම්කර හිමියන් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කටයුතු කරයි. එය මෙවැනි නව ලිබරල් පාලන ක්‍රම වල ස්වභාවයයි. දුප්පතා තවත් දුප්පත් කරන පෝසතා තවත් පෝසත් කරන ඔවුන්ගේ ආර්ථික ක්‍රමයයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රුපියල් බිලියන 3,271.93 ක් සේවක අර්ථසාධක අරමුදලෙන් කොල්ල කනවා..

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුනොවන්නේ නම් දැනට අරමුදලේ වාර්ෂික ශුද්ධ වර්ධනය (7.71%) කි. (පවතින තත්ත්වයන් නොවෙනස්ව පවතින උපකල්පනය මත පිහිටා) ඒ අනුව  2035 වන විට අරමුදලේ වත්කම රුපියල් බිලියන 9,396.74 ක් වනු ඇත. එහෙත් යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමට අනුව 2035 වන විට එය රුපියල් බිලියන 6,124.81 ක් දක්වා අඩු වනු ඇත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ සහ නන්දලාල්ලා ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රුපියල් බිලියන 3,271.93 ක් සේවක අර්ථසාධක අරමුදලෙන් කොල්ල කන බව දැන් පැහැදිලි ය. මෙය දල වශයෙන් 34.8% ප්‍රාග්ධන පාඩුවකි (Capital Loss). වැඩි විස්තර සඳහා

http://island.lk/daytime-robbery-called-ddo/

මෙම පාලකයන් සෑම විටම කරන්නේ තම ගජ මිතුරන් ආරක්ෂා කොට දුප්පත් ජනයා පීඩාවට පත්කිරීමය. බදු විරාම දෙන්නේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරවලට අරමුදල් සපයන්නන්ටය. තනතුරු වලට පත්කරන්නේ ඔවුන්ගේ එහෙයියන්ය. බලය ඇත්තන්ට එක නීතියකුත්, දුප්පතාට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙයි. නීතිය පසිඳලන ආයතන මෙන්ම නීතිය බලගන්වන ආයතනද හැසිරෙන්නේ පාලකයන්ගේ බෙර පදයටය.

හර්ෂ ද සිල්වාගේ ද්විත්ව රංගනය...

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා හොඳ රංගන ශිල්පියෙකුගේ භූමිකාව රඟපාමින් ජනයා ඉදිරියේ පෙනී සිටින්නේ මම සුදනා ලෙස ය. ඔහු රනිල් වික්‍රමසිංහට අවශ්‍ය සියළු දේ ඉටුකර දීමට අවශ්‍ය කටයුතු කරයි. ඔහුගේ බේරුමට කාරක සභාවේ සභාපති හැටියට ඡන්දය දීමෙන් වැලකී සිට පාර්ලිමේන්තු සභා ඝර්භයට පැමිණ මහා ඝෝරනාඩුවක් කර ඔහුගේ පව් සෝදා ගැනීමට ගන්නා උත්සාහය රටේ ජනයා අවබෝධ කරගත යුතුය. මැතිවරණයක් ආසන්න වෙත්ම ඔවුන් සියල්ලෝම ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහගේ දෑත සවිමත් කිරීමට ය. රටේ ජනයාට මොවුන්ගේ ද්විත්ව රංගනය එදාට අවබෝධ වනු ඇත.

මිට හයිය කොස්සක් සූදානම් කොට දොරමුල්ලේ තබා ගන්න..

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික 24 ලක්ෂයට වන අගතිය පිළිබඳ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කම් නැත. මහා ප්‍රගතිශීලි නායකයා හැටියට බොරු රඟපෑම් කරන මහින්ද රාජපක්ෂ, ඔහුගේ පුතා, අයියා, අයියාගේ පුතා, නංගීගේ පුතා යනාදි මන්ත්‍රී සනුහරේම සේවක අර්ථසාධක අරමුදලේ මංකොල්ලයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ විලි ලජ්ජාවක් නැතිවය. තවදුරටත් මොවුන් ඔබ ඉදිරියේ කම්කරු අයිතිවාසිකම් ගැන කතා කිරීමට පැමිණිය හොත් ඔබ කුමක් කරන්නේ ද? තීරණය ඔබ සතුය. මිට හයිය කොස්සක් සූදානම් කොට දොරමුල්ලේ තබා ගැනීම වරදක් නැත.

ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment