ආණ්ඩුවේ ජනමාධ්‍ය නියාමන පනත ලෝකයෙන් ශ්‍රී ලංකාව හුදෙකලා කරවන ගොබ්බ පනතක්..!
-එක්සත් ජනරජ පෙරමුණ
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.25, ප.ව.4.25) ජනමාධ්‍ය නියාමන පනත අත්තනෝමතිකව සකස් කළ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දරුණු ලෙස උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම්පතක් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. මේ බව ප්‍රකාශ වූයේ පසුගියදා පැවැති ජනරජ පෙරමුණේ මාධ්‍ය හමුවක දී ය. එහිදී පළ වූ අදහස් පහත පරිදිය.
දැන් තියෙන ප්‍රශ්න එකක්වත් සමාජ මාධ්‍ය විසින් ඇතිකරපුවා නොවෙයි...
එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන
"ජනමාධ්‍ය නියාමන පනත ඉතාමත්ම අත්තනෝමතිකව සකස් කරපු, රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාෂණයේ දරුණු ලෙස උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම්පතක්. මේකේ අන්තර්ගතය දිහා බැලුවාම පස්සේ මේ ලෝකයෙන් අපිව හුදකලා කරවන මහා ගොබ්බ පනතක්. ඒ නිසා අපි මේ පක්ෂයක් හැටියට මේ පනත ප්‍රතික්ෂේප කරනවා. මේ පනත සම්මත වීම වැළැක්වීම සඳහා කටයුතු කරන්න කියලා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වගේ ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ජනතා බලවේග වලිනුත් අපි ඉල්ලා සිටිනවා මේ පනත සම්මත වෙන්ට මේ ආකාරයෙන් සම්මත වෙන්ට ඉඩ දෙන්නට එපා. එය වළක්වන්න කටයුතු කරන්න"
"මේ පනත සකස් කරලා තියෙන ආකාරය දිහා බලනකොට අපිට පේනවා මේ පනත සකස් කරපු අය හිතනවා කියලා මේ ලංකාවේ තිබෙන ප්‍රධාන ම ප්‍රශ්නය මේ සමාජ මාධ්‍යයේ ප්‍රශ්නය කියලා දැන් මොනවද ලංකාවේ තිබෙන ඇත්ත ප්‍රධාන ප්‍රශ්න අපේ මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබෙන්නේ. ඒක මේ සමාජ මාධ්‍ය විසින් ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නවා. ඒ ආර්ථික බංකොලොත්භාවය නිසා රටේ ඉන්න දිළිඳු ජනතාව අන්ත දිළිඳු බවට පත්වෙනවා. මධ්‍යම පන්තික ජනතාව දිළිඳු බවට පත්වෙලා. මුළු රටේම විශාල දිළිඳු අගාධයකට ඇද වැටෙමින් තිබෙනවා රටම. මිනිස්සුන්ගේ ආදායම් නැතිවෙලා, කර්මාන්ත වැහිලා. ගොවිබිම් වැඩබිම් වැහිලා. අලුත් ඒවා එන්නේ නෑ. ණයගැතිභාවය උග්‍රයි. විශාල දරිද්‍රතා අගාධයක් රට ඉදිරියේ රට ගිල ගනිමින් තිබෙනවා. ඒක සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි ඒක. එහි ආනුසාංගික ප්‍රතිඵල වශයෙන් මේ ආර්ථික බංකොලොත්භාවයේ. තව ප්‍රශ්න ගොඩක් ඇතිවෙමින් තියෙනවා. එකක් තමයි. අපේ තිබෙන දැවැන්ත සමාජ සුබසාධන සේවාවක් වෙච්චි මහජන සෞඛ්‍යය, අධ්‍යාපන ක්ෂේත්‍රවල විශාල කඩාවැටීමක් බිඳවැටීමක් ඇතිවෙමින් තිබෙනවා. ඒකත් සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි. නියං කාලෙට වතුර ටික බෙදා ගන්න බැරි වෙන එක, වතුර නැති එක, ජල හිඟය මේ වාරි වාරිමාර්ග ක්‍රමවල ප්‍රශ්න ගොඩක් අපේ රට මුහුණපාන්න තිබෙනවා. ප්‍රවාහන වගේ ක්ෂේත්‍රවල විශාල ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. ඒවාත් සමාජ මාධ්‍ය ඇති කරලා තියෙන ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම තමයි මේ අද රටේ ඇතිවෙලා තිබෙන මේ අසහනකාරී වාතාවරණය නිසා දුක්ඛදායක වාතාවරණය නිසා විශේෂයෙන්ම මේ රටේ වෘත්තිකයෝ, විද්වත් වෘත්තිකයෝ, ශිල්පියෝ වැඩක් කරන්න පුළුවන් අය මේ රට අතහැරලා දාලා යනවා. විශාල පිරිසක් රටේ වැඩක් කරන්න පුළුවන් වෙයි. රටේ යම් යම් ක්ෂේත්‍රවල වගකීම දරන්න පුළුවන් අය රට අතහැර දමමින් වෙනත් රටවල් වල මීට වඩා හොඳ ජීවිතයක් බලාපොරොත්තුවෙන් රට අතහැර දමමින් තිබෙනවා. ඒකත් සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඇත්තටම රටේ ජනතාව බලාගෙන ඉන්නේ රජය මෙන්න මේ කියන ප්‍රශ්නවලට, සම්පූර්ණ වැර යොදලා, මෙන්න මේ කියන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න රටේ ජනතාවත් එක්ක වැඩ කරයි කියන බලාපොරොත්තුව තමයි මිනිස්සුන්ට තියෙන්නේ."
සමාජ මාධ්‍ය කියන්නේ දැන් ජීවන ක්‍රමයක්...
"නමුත් ඒ වෙනුවට අපට එන්නේ මොනවද? රටේ තියෙන මහා ප්‍රශ්නයක් විශාල මර්දනීය අණ පනත් ආණ්ඩුව ගෙනෙමින් තිබෙනවා. මේ දැන් ඉදිරිපත් කරලා තිබෙන මේ සමාජ මාධ්‍ය නියාමන පනත, මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ මේ පනතත්, ඒ වගේ විශාල මර්දනීය පනතක්. සමාජ මාධ්‍ය මේ වන විට ලෝකයේ මානව සන්නිවේදනයේ ප්‍රධාන අංගයක් බවට පත්වෙලා හමාරයි. ප්‍රධාන ම අංගය කිව්වත් කමක් නෑ. විශේෂයෙන්ම අලුත් පරම්පරාව මේ තාක්ෂණයත් එක්ක හැදී වැඩීගෙන එන අලුත් පරම්පරාවේ සන්නිවේදන ක්‍රමය තමයි සමාජ මාධ්‍ය. දැන් ඒගොල්ලෝ අර පරණ සාම්ප්‍රදායික ජනමාධ්‍යයෙන් ඈත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි හුදෙක් සන්නිවේදන ක්‍රමයටත් වඩා මේක ජීවන ක්‍රමයක්. දැනුම ලබා ගැනීම. වෙනත් වෘත්තීන් කරගෙන යාම, ව්‍යවසායක කටයුතු කරගෙන යාම වගේ විශාල විශාල වැඩකටයුතු රාශියක් මේ සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිදුවෙමින් තිබෙනවා."
සමාජ මාධ්‍ය සඳහා ප්‍රශස්ථ නියාමනයක් තාම ලෝකේ හොයාගෙන නෑ..
"සමාජ මාධ්‍ය ඇතුලෙත් වැරදි සිද්ධ වෙනවා. විශාල වශයෙන් වැරදි සිද්ධ වෙනවා. අපහාස කෙරෙනවා. ඒ වගේම තමයි දුෂ් තොරතුරු, සන්නිවේදනය වගේ, වැරදි තොරතුරු සන්නිවේදනය වෙනවා. බොරු කියනවා. ජාතික වාර්ගික, ආගමික, ලිංගික අගතීන් මුදා හැරෙනවා. සමාජ අසහනයක් ජනිත කරනවා. මිනිස්සු කෝපයට පත් කරනවා. ඒ වගේ වැරදි ගොඩක් මේ සමාජ මාධ්‍ය ඇතුළේ සිද්ධ වෙනවා. සමාජ මාධ්‍ය විතරක් නෙවේ ජනමාධ්‍ය ඇතුලේ පවා සිද්ධ වෙනවා. සමාජ මාධ්‍ය වැඩියෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි නෑ කියන්නේ නෑ. ඒ නිසා සමාජ මාධ්‍යයටත් නියාමනයක් අවශ්‍යයි. නමුත් තිබෙන ප්‍රශ්නය තමයි මුළු ලෝකෙම ගත්තොත් එහෙම තවමත් මුළු ලෝක මට්ටමේ ප්‍රශස්ථ ක්‍රමයක් හොයාගෙන නෑ සමාජ මාධ්‍ය නියාමනය කරන්න. ඒක මේ ලංකාවේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේක ගෝලීය මට්ටමේ ප්‍රශ්නයක්. සන්නිවේදනයට තියෙන බාධාවන් නැති කරන්නේ නැතුව මිනිසුන්ගේ සන්නිවේදන අයිතිය හානි කරන්නේ නැතුව මේකේ සදාචාර සීමාවන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශස්ථ නියාමනය කියලා කියන්නේ. එවැනි ක්‍රමයක් තවම සමාජ මාධ්‍යයට හොයාගෙන නැහැ ලෝකේ. මේවයේ හැටිත් මෙහෙම තමයි. මේ කර්මාන්ත නියාමනය නෙවෙයි ඉස්සෙල්ලා එන්නේ. ඉස්සෙල්ලා එන්නේ කර්මාන්තය. කර්මාන්තය ඇවිල්ලා කාලයක් ක්‍රියාත්මක වෙනකොට තමයි නියාමන ක්‍රම හැදෙන්නේ. ඒවාට කාලයක් ගතවෙනවා. තව, සමාජ මාධ්‍යයට මේ ප්‍රශස්ථ නියාමන යාන්ත්‍රණයක් හැදිලා නැහැ. ඒ වෙනුවෙන් ලෝකයේ යම් යම් උත්සාහයන් දරනවා. මේ උත්සාහයන් රටේ ජනතාවට අයිතිවාසිකම් විනාශ කරන උත්සාහයන් වෙන්න හොඳ නෑ. දැන් මේ රජය කරලා තිබෙන්නේ සමාජ මාධ්‍ය නියාමනය කියන අවශ්‍යතාව දඩමීමා කරගනිමින් ඉතාමත්ම දරුණු භයංකාර ප්‍රජාතන්ත්‍ර විරෝධී පසුගාමී පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගාමී පනතක ගොබ්බ පනතක් කියලා අපි කියන්නේ ඒ නිසයි."
කොහොමද මේක පසුගාමී පනතක් වෙලා තියෙන්නේ?
"ප්‍රජාතන්ත්‍ර විරෝධී පැත්ත ගත්තොත් ඕනම නියාමන යාන්ත්‍රණයක් ක්‍රමයක් ස්වාධීන වෙන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නියාමන යාන්ත්‍රන ස්වාධීන වෙන්නට ඕනේ. නැත්තං නියාමනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නියාමන යාන්ත්‍රණය පිළිබඳ විශ්වාසය නැතිවෙලා යනවා. දැන් මෙතන මේ මේ පනතෙන් යෝජනා කරන නියාමන කොමිසම එහෙම ස්වාධීන එකක් නෙවෙයි. ඒක ජනාධිපති තුමාගේ උප කාර්යාලයක් වගේ. ඒ කොමිසම. හරියට ඒ කොමිසම ජනාධිපති කාර්යාලයේම පිහිටෙවුවත් කමක් නෑ වගේ එකක් තමයි තියෙන්නේ. ජනාධිපති පත්කරන කොමසාරිස්වරු පස්දෙනෙක්. ආයේ ඒක වෙන කාටවත් වගකියන්නෑ. දැන් මේ අපේ රටේ තියෙන අනෙකුත් ස්වාධීන කොමිසන් ගත්තොත් එහෙම එහෙම නෙමෙයි පත්වෙන්නේ. ජනාධිපතිතුමාගේ නියෝජිතයොත් ඉන්නවා. ජනාධිපතිතුමා පත්කරන ඒවත් තියෙනවා. නමුත් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්, පාර්ලිමේන්තුවෙන් එහෙම කාටත් පිළිගන්න පුළුවන් ස්වාධීන යාන්ත්‍රණ තමයි හැදිලා තියෙන්නේ."
මේක මහා භයානක පනතක්.
"ඊළඟට මේ කොමිසමට දීලා තිබෙනවා අධිකරණයක් විසින් පාවිච්චි කළ යුතු සමහර බලතල. උදාහරණයක් හැටියට යම් යම් ප්‍රකාශනයක් නවත්වන්න. සමාජ මාධ්‍යයක පළවෙන යම් ප්‍රකාශනයක් ගලවලා දාන්න. අයින් කරන්න වගේ විධාන දෙන්න ඒ කොමිසමට බලය තිබෙනවා. ඒ කොමිසම ඒක තීන්දු කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේක සත්‍ය ප්‍රකාශයක්. මේක අසත්‍ය ප්‍රකාශයක් කියලා තීන්දු කිරීමේ බලය කොමිසම ලබා ඒ පස්දෙනා කොහොමද තීන්දු කරන්නේ මේක අසත්‍යයි, මේක සත්‍යයි කියලා. තීන්දු කලත් එහෙම පස්දෙනෙකුට ඒ අයිතිය දෙන එක හරිද? ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක්. නියාමන වල තියෙන මූලික මූලධර්ම පවා එතන උල්ලංඝනය කරලා තියෙනවා. දෙන විධානයක් කැඩුවොත් එහෙම ඒක වරදක් වෙනවා. ඒ විධානය කැඩීමට පවා එරෙහිව පවා මිනිස්සුන්ට උසාවි යන්න පුළුවන්. දැන් මේකෙන් සිද්ධ වෙන කාරණාව තමයි මේ සමාජ මාධ්‍යවල යම් අදහස් පලකරන අය, විවේචනාත්මක අදහස් පළකරන අය, නැත්නම් සමාජ උවදුරක් පිළිබඳ යම් යම් කලින් දැනුම්දීම් කරන අය විශාල සේවාවක් කරනවා මේ සමාජ මාධ්‍යයේ වැඩ කරන අය, මේ සන්නිවේදන සේවාවන්. මේ අය තමන්ට අනාගතයේදී රජයෙන්, රාජ්‍ය අධිකාරියෙන් එල්ල විය හැකි තර්ජන ගැන නොසිතා තමන්ගේ කට පියා ගන්නවා. අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙනවා. අක්‍රිය මිනිස්සු බවට පත්වෙනවා. දැන් මං හිතන්නේ මේ තමයි ඒක රජයට ඕන වෙලා තිබෙන්නේ. අර මං කිව්ව මූලික කියූ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ඇතිවෙන බවක් පෙනෙන්නේ නෑ. එතකොට ජනතා අසහනය උද්ගත වෙනවා. ජනතා සහනය උද්ගත වෙනකොට එය ඒ හැම සන්නිවේදන මාධ්‍යයකම පරාවර්තනය වෙනවා. ඉතින් ඒක වළක්වන්න ඒ මහජන හඬ වළක්වන්න තමයි මේකේ තියෙන ඇත්ත වුවමනාව කියලා අපට පෙනෙනවා. එම නිසා මේ මේක මහා භයානක පනතක්."
බාහිර ලෝකයෙන් අපිව හුදකලා කරන පසුගාමී පනතක්..
මේක පසුගාමී පනතක් වෙන්නේ දැන් මේ පනත හදලා තිබෙන්නේ මේකේ තියෙන, මේකේ ඉන්න ඕනි ප්‍රධාන පාර්ශව. පරදු පාර්ශව එක්ක විධිමත් සාකච්ඡාවක් කරලා නෙමෙයි. උදාහරණයක් හැටියට මේකේ කියනවා මේ සේවා සපයන්නන් මාර්ගගත සේවා සපයන්නන් ලංකාවේ ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට ඔය ඔය ගූගල්, ඔය හැම එකක්ම එක එක සමාජ මාධ්‍ය මාදිලි සේවා සපයන්නන් ඒ සමාගම් ලංකාවේ ලියාපදිංචි වෙන්න ඕනේ. දැන් එහෙම නම් ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් කරලා තියෙනවද මේ පනත හදද්දි කවුරුවත් දැක්කේ නෑ එහෙම සාකච්ඡාවක් කරලා තියෙනවා කියලා. යම් හෙයකින් මේ අය කිව්වොත් එහෙම අපිට ඔය කොන්දේසි වලට එකඟ වෙන්න බෑ. අපි මේවා ගලෝගෙන යනවා කියලා ඉවරවෙලා. අපි මේ සේවාවන් සපයන්නේ නෑ කියලා ඉවරවෙලා. සමාජ මාධ්‍යයට සම්පූර්ණයෙන්ම ලංකාවේ දොර වැහෙනවා. දැන් ඒකද ඕනි අපේ පාලක තන්ත්‍රයට දැන් එහෙම දොරවල් ඇහුනොත් වෙන්නේ මොකද? සමාජ මාධ්‍යයේ තිබෙන යම් වැරදිවලට ඒවයින් වෙන සේවය අති විශාලයි. ඒ සේවාවන් ටික. ඒවායෙන් ලැබෙන පහසුව. ඒවායින් ලැබෙන ජීවිතයට ලැබෙන විශාල ශක්තිය ඒක ලංකාවට අහිමි කරනවා. බාහිර ලෝකයෙන් අපිව හුදකලා කරන පසුගාමී පනතක්."
සෝෂල් මීඩියා කියලා කියන්නේ නූතන පරම්පරාවේ ජීවිතයේ එක කොටසක්..
තීක්ෂණ ගම්මන්පිල - එක්සත් ජනරජ පෙරමුණ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු
"සෝෂල් මීඩියා ගැන හරි අවබෝධයකින් නෙමෙයි මේ තීරණ ගන්න පාලක පන්තිය කටයුතු කරන්නේ දැන් වර්තමාන මේ නූතන පරම්පරාවේ එකක්. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ මේකේ කොටසක්. අපේ ජීවිතයේ එක කොටසක් සෝෂල් මීඩියා කියලා කියන්නේ. ඒක ඇතුලේ කවුරුත් හිතන්න නරකයි මේ කෙනෙක් එකෙන් බලන් ඉන්නේ ගිහිල්ලා, ගිහිල්ලා, තව කාටහරි හිංසාවක් කරන්න, නැත්නම් රජයේ රජයේ පාලන බලය බිඳින්න, අරගල කරන්න පමණක් මේ මේ යෙදවුම් පාවිච්චි කරනවා කියලා කාටහරි හිතෙනවා නම්, ඒක ලොකු මිථ්‍යාවක්. ඇත්තටම අපි සමාජය දැනුවත් කරන්න ඕනේ, අපේ රටේ වුණත්, සමහර ආයතන තියෙනවා තමන්ගේ වැඩ ආරම්භ කරන, එක පවා මේ මාර්ගගත ක්‍රමයට තමයි තියන්නේ. මේ තාක්ෂණය එච්චර දියුණු වෙලා තියෙන්නේ. අපිට පුළුවන් ලෝකයේ ගිහිල්ලා අපේ ව්‍යාපාරික සංකල්පයක් ඩිවලොප් කරගන්න පුළුවන් මේ මේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබාගෙන."
"මෙච්චර ලෝකෙට විවෘත වෙලා විශ්ව ගම්මානයක් බවට පත්වෙන්නේ මේ අන්තර්ජාලය හරහා. මෙන්න මේ, මේ කියන කෑල්ල අමතක කරලා, මේ උත්සාහ කරනවා තමන් පත්වෙන අපහසුතාවයන් මග ඇර ගන්න තමන් පත්වෙන අපකීර්තිය මගහැර ගන්න මේ සමාජ මාධ්‍යයේ යම් යම් එක එක නීති රීති දාලා මේක සීමා කරන්න මර්දනය කරන්න ඔවුන් උත්සාහ කරනවා. මම එකක් කියන්න කැමතියි මේ රටේ ඉන්නෙත් ලෝකයේ තරම බුද්ධිමත් තරුණ ප්‍රජාවක්. මේ රටේ ඉන්නෙත් ලෝකයේ තරම්ම උගත් දැනුම තියෙන ජනතාවක්. අපි සූදානම් නෑ අපේ නිදහස අපේ අයිතීන් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න තියෙන අපේ අයිතීන් මේ ආණ්ඩුවලට ඕන ඕන නීති වලට යටත් කරන්න අපි සූදානම් නෑ."
සති දෙකෙන් දෙකට අලුත් මර්දන නීති ගේනවා...
නයෝමි ගරුසිංහ - එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සහ කාන්තා අංශ සාමාජිකා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී
"අලුත් රජය පත් කර ගත්තායින් පස්සේ සති දෙකෙන් දෙකට අපිට අරගෙන එන විවිධ ආන්දෝලනාත්මක අණ පනත් අරගෙන එනවා ඊට පස්සේ ආපහු ජනතා විරෝධයත් එක්ක අකුල ගන්නවා. ඒ රැල්ලේ අලුත්ම පනත වන මේ සමාජ මාධ්‍ය නියාමන, අලුත්ම පනත. මේ පනතේ තියෙනවා මේක පිටු හැට එකක් වෙනවා මේ පනත. අපි අර කරනවා සියලුම ජනතාවට මේක කියවන්න කියලා. සමාජ මාධ්‍යවල ශ්‍රී ලංකා ජනතාවගේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළයි. මේක දැන් අපේ ඇඟේ කෑල්ලක් වෙලා තියෙන්නේ."
"පුළුල් සමාජ කතිකාවතක් නැතුව මේ වගේ පැරෂූට් එකකින් මෙහෙම පනතක් ගෙනල්ලා මිනිස්සුන්ට දාන එක හරිම වැරදියි. එතකොට ජනතාවක් වශයෙන් අපි මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒක නිසා අපි ආරාධනා කරනවා මේ ගැන දැනුවත් වෙන්න කියලා. අපේ පක්ෂයෙන් අපි දැනුවත් කිරීමක් කරනවා. ඔබට අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපිව දැනුවත් කිරීම කරනවා. ජනාධිපතිවරයාට මේ සුළු කාලයේදී රටට ආදරයක් තියෙනවා නම් කරන්න පුළුවන් දේ තමයි රට මේ වෙලාවේ බංකොලොත්භාවයට වැටිලා තියෙන එකට පවතින නීති රීති ඉතාම ප්‍රමාණවත්. නීති රීති රාමුව යටතේ රට පුළුවන් තරම් මේ බංකොලොත්භාවයෙන් ගොඩ අරගෙන රටේ රාජ්‍ය යාන්ත්‍රණය මේ තියෙන ණය බරත් එක්ක ඉස්සරහට කොහොම හරි කරදරයක් ගැටලුවක් වෙන්නේ නැති වෙන්න ඊළඟ මැතිවරණය වෙනකන් හෝ ඊළඟ අයි එම් එෆ් ණය වාරිකය ගෙවා ගන්නකන් හෝ රට කරගෙන යාම තමයි එතුමාගෙන් හරි නම් වෙන්න ඕන"

No comments:
Post a Comment