තෙල් කාංචන ෆේල්...! “ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාට පස්සේ ගහත් ඇඟට කඩා ගෙන වැටුණා”
එමගින්, මහජනතාව දැඩි අපහසුතාවයට පත් කර ඇති ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව උත්සාහ කර ඇත.
QR කෝටාව..
ඉන්ධන කෝටාව ඉතා ප්‍රයෝජනවත් අරමුණක් ඉටු කළ බවට සැකයක් නැත. ඇත්ත වශයෙන්ම, එය ඉන්ධන හිඟයක පළමු සලකුණු දිස් වන විට පසු ගිය වසරේ මුල දී හඳුන්වා දිය යුතුව තිබුණි. නමුත් ඉන්ධන සැපයුම වැඩිදියුණු වූ විට එය වැඩකට නැති එකක් විය.
QR මත පදනම් වූ සලාක ක්‍රමය පසු ගිය වසරේ ඉන්ධන අති දුර්ලභ දෙයක්ව පැවති කාලයේ දී ක්‍රියාත්මක වූ අතර, බකල් වූ ඉන්ධන සැපයුම නිසා පිරවුම් හල් අසල කෝලාහල ඇති වීමෙන් රට අවුල් ජාලයකට ඇද වැටිණ; කළු කඩේ මිලට ඉන්ධන මිල දී ගැනීමට මහජනතාව මං මුලා සහගත ලෙස පෙළඹිණ; ඒ අතරේ පෙට්‍රල් සහ ඩීසල් සඟවා ගත් භ්‍රෂ්ටයෝ අයුතු ලාභ ලැබූහ.
ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් වීමෙන් සහ ඉන්ධන කෝටාව වැඩි කිරීමෙන් පසුව වියරුවෙන් මෙන් දැන් දැන් කෙරෙන මිල වැඩි කිරීම් නිසා ද එවැනිම බලපෑම් ඇති වේ.
ඉන්ධන බොන තඩි වාහන ඇති සල්ලිකාරයන්ට ඉන්ධන වැඩිපුර ලබා ගැනීමේ අපහසුවක් නැත; ඔවුන් කළ යුත්තේ තෙල් පොම්පකාරයාට අත යට ගාණක් දීම පමණි.
විදේශීය සමාගම් ආවා කියා මහජනතාවට වාසියක් නැත...
CPC විසින් ඛනිජ තෙල් මිල සංශෝධනය (වැඩි) කරනු ලබන විට, එහි අනිවාර්ය සාධක වන්නේ, සංස්ථාවේ (1) අසාමාන්‍ය ලෙස ඉහළ ගිය වියහියදම්, සහ (2) දූෂණය, නාස්තිය සහ නොකළමනාකරණය නිසා විඳින දැවැන්ත පාඩුවයි.
සංස්ථාවේ ‘තරගකාරයෝ’ ද අසාධාරණ ලෙස උඩ යන සංස්ථා මිල ගණන් සමග තමන්ගේ මිල ගණන් යසට ගලපති! එබැවින් විදේශීය සමාගම් ඉන්ධන සිල්ලර වෙළෙඳ පොළට පැමිණීමෙන් මහජනතාවට වාසියක් අත්වන්නේ නැත!
වෙළඳ පොළට අළුතෙන්ම ආ එකා වන සිනොපෙක් ද දැනට එහි නිෂ්පාදන සුළු වශයෙන් අඩු මිලට අලෙවි කරන නමුත් ඌත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) කරන විදියටම නියමිත වේලාවට CPC මිල ගණන් සමඟ ගලපා උගේ ලාභයත් වැඩි කර ගන්නවා නිසැකය.
CPC සහ එහි ‘තරඟකරුවන්’ඛනිජ තෙල් මිල ඉහළ මට්ටමක තබා ගැනීම උදෙසා යටිකූට්ටුකම් නොකරනු ඇතැයි යන්න හිතළුවක් පමණි. රජයට හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ශ්‍රී ලාංකීය ජනතාව ගැන හැඟීමක් නැති අතර, උන් දෙන්නාම ඉන්ධන මිල වැඩි කරමින් ජනතාව සූරා කන විට විදේශීය සමාගම් ද එසේ කරනු ඇත.
“ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාට පස්සේ ගහත් ඇඟට කඩා ගෙන වැටුණා”
මේ අලුත්ම රුපියල් 35 ක ඩීසල් මිල වැඩි වීම නිසා දැනටමත් ප්‍රවාහන වියදම් යළිත් ඉහළ දමා ඇත. ප්‍රවාහනය කරන්නන්ට නොසිතූ විරූ ලාභයක් ලබා දී ඇති අතර ඉන්ධන මිල ඉහළ යාමෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගනු ඇත. පෞද්ගලික බස්කාරයන්ට ගාස්‌තු වැඩි කිරීමක් ඉල්ලා එය ලබා ගැනීමට කාලය නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් නැත.
එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යාමක් සිදු වනු ඇති අතර, සාමාන්‍ය ජනතාවට, විශේෂයෙන්ම ස්ථාවර ආදායම් ලබන්නන්ට සහ දුප්පතුන්ට එය “ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාට පස්සේ ගහත් ඇඟට කඩා ගෙන වැටුණා” වාගේය!
- 2023 සැප්තැම්බර් 2 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “A double whammy” නම් කතු වැකිය සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment