Saturday, 17 February 2024

වී අලෙවි මණ්ඩලය බෙලහීන වන අතරේ වී මිල දී ගන්න ව්‍යාපාරිකයන්ට ආර්ථික "මදන මෝදක"

-රේණුකා දමයන්ති ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.17, ප.ව.11.00) අප රටේ වී ගොවිතැනේ නියුතු ගොවීන් තරම් විවිධ අවස්ථාවල අන්ත අසරණ තත්වයන්ට පත්වන වෙනත් පිරිසක් වෙතොත් ඒ ඉතා කලාතුරකිනි. වී ගොවිතැන කෙරෙහි එල්ල වන ස්වභාවික විපත් හැරුණු කොට විවිධ දේශපාලනික, ආර්ථික හේතු මත ඇතිවන අනේක විධ අලකලංචි වලට මුහුණ දීමට ද වී ගොවියාට සිදුවන අන්දම වලව කෘෂිකාර්මික කලාපයේ අපි ප්‍රායෝගිකවම අත් විඳ ඇත්තෙමු. ඒ අතුරින් වී අස්වැන්න අලෙවි කර ගැනීම පිළිබඳ ඛේදවාචකය ද ප්‍රධාන තැනක් ගනී.මේ වන විට එම ඛේදවාචකයේ වපසරිය කන්නයෙන් කන්නයට පුළුල් වෙමින් පවතින බව ද සත්‍යයකි. ඒ අප රටේ ප්‍රමුඛතම ධාන්‍ය වගාව වන වී වගාව ආශ්‍රිත ව්‍යාපාර ජාලය මේ වන විට ඒ ඔස්සේ ප්‍රකෝටි හිමියන් බවට පත්ව ඇති කිහිප දෙනකුගේ සුරතට දිනෙන් දින ගුලි වෙමින් ඇති බැවිනි. ඒ අනුව මේ අභියෝගයට මුහුණ දීමට පසුගිය රජයන් වී අලෙවි මණ්ඩලය දැරූ උත්සාහයන් ද මේ වන විට අසාර්ථක වී තිබේ.අප දන්නා අන්දමට අප රටේ ගොවීන් බහුතරයක ගේ කැමැත්ත කමතේ දීම වී මුදල් බවට පත් කර ගැනීමට ය.එසේ නොමැතිව වී අලෙවි කර ගැනීම දුෂ්කර පාරමිතාවක් කර ගැනීමට නොවේ.එහෙත්,  වී අලෙවි මණ්ඩලය වී සමඟ ගොවීන් තමන් වෙත්ට ගෙන්වා ගන්නවා පමණක් නොවේ.වැඩිපුරම අවධානය යොමු කෙරෙනුයේ වී මිල දී ගැනීමට වඩා නොගෙන හිඳීමට ය.එවන් අවාසනාවන්ත පසුබිමක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නවුන් ගොවීන් ගෙන් වී මිල දී ගැනීම පිණිස දිරිමත් කරවීම නොවැදගත් යැයි සිතිය නොහැකි උපාය මාර්ගයකි.ඒ අනුව ඔවුන් තම කර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මඟහරවා ගනිමින් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, රංජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර වරයකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ නිරීක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තිකයෙකි. ආර්ථික පුණර්ජීවනය, ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි.එමෙන්ම ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.එබැවින් හුදු දේශපාලන "හීපාටුවකු" නොවන ඔහුගේ මෙම උත්සාහය අප ගේ විමසුමට ලක් විය යුතු ය.

“ඔඩපණ” ණය යෝජනා ක්‍රමය

මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන් මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මඟහරවා ගැනීමට මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙතින් මෙම ණය පහසුකම සපයා දී තිබෙන බව ඔහු සඳහන් කළේ සඳහන් කළේ පසුගිය 14 වන දා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.ගොවියාට හොඳ වී මිලක් ලබා දෙමින් පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව ලබාදීම මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණ බව හෙතෙම මෙහි දී පවසා ඇත.

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් ලබාදෙනු ඇත.ණය ආපසු ගෙවීමට දින 180ක කාලසීමාවක් හිමි වේ. 15%ක් වන වාර්ෂික පොලී අනුපාතයෙන් 4%ක් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ලබා දෙනු ඇත. ඒ අනුව අදාළ ණය ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ 11%ක වාර්ෂික පොලී අනුපාතයක් පමණි.වර්තමාන බැංකු පොලී අනුපාතයන් අනුව මෙය අවම අගයක් ගන්නා බව ද පැහැදිලි ය. මෙය එම ව්‍යාපාරිකයන්ට ඉතා හොඳ ආර්ථික උත්තේජනයකි; ආර්ථික "මදන මෝදක"යකි:

ආර්ථික "මදන මෝදක"ය.

මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ ගොවියාට වී කිලෝවක් සඳහා (නාඩු කිලෝවකට රුපියල් 105/-ක, සම්බා කිලෝවකට රුපියල් 120/-ක සහ කීරි සම්බා කිලෝවකට රුපියල් 130/-ක) සහිතික මිලක් ලබාදීම වෙනුවෙන් මෙම ණය ප්‍රදානය කිරීම විශේෂයෙන් සැලකිය යුත්තකි.ඊට වැඩි මිලට වී මිල දී ගන්නා ව්‍යාපාරිකයන් "බ්ලැක් ලිස්ට්" කිරීමක් ද මෙහි දී සිදු වේ. යෝජිත වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති වරයා ඉකුත් ජනවාරි.24 දින ඉදිරිපත් කළ සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙ.ටො. 25කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇති ගබඩා හිමියෙකු හෝ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෙකු සමඟ ඇති කර ගන්නා ලද වලංගු ගිවිසුමක් ඇති, වී තොග රැස්කරන්නන් මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම ලබන බව පැවසෙයි.කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ආදළ රේඛීය ආයතනවල නිලධාරීන් සහ සමස්ත ලංකා සහල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් ව සිටියහ‍ෙ

කඩිනමින් තම සංගම්වල සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මේ සම්බන්ධව දැනුවත් කර අදාළ බැංකු මඟින් මෙම ණය මුදල ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ඔවුන් දිරිමත් කරන ලෙස මෙහිදී සමස්ත ලංකා සහල් කර්මාන්ත කරුවන්ගේ සංගමයෙන් ඉල්ලා සිටි ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා පහසු වැඩපිළිවෙළක් මඟින් මෙම ණය යෝජනා ක්‍රමය සාර්ථක කර ගැනීමට සහාය වන ලෙස සාකච්ඡාවට එක්ව සිටි බැංකු නියෝජිතයන්ගෙන් ද ඉල්ලා සිටියේය. ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මූල්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබූ අතර ඒ හේතුවෙන් කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

චරිත සහතික ලියන්න බෑ...

ඉහත සඳහන් කාරිය සර්වතෝභද්‍ර ජනතා හිතකාමී පියවරක් බවට චරිත සහතික ලියන්නට අපට නොපුළුවන. එහෙත්, සහල් මිලදී ගැනීමේ මාෆියාව නමින් කුඩා දරුවන් පවා හඳුන්වන වත්මන් තත්වයේ ව්‍යුහාත්මක වෙනසක් කිරීමේ යම් උපාය මාර්ගයක් ලෙස මෙම පියවර හඳුනා ගැනීමට අපි කැමැත්තෙමු. එමෙන්ම මෙම ක්‍රියා මාර්ගය කොතෙක් දුරට සාර්ථක වේද? එහි මතු ප්‍රතිඵල කෙබඳු වේද? මෙම ක්‍රියා මාර්ගය තුළින් පැන නැඟිය හැකි අතුරු අර්බුද මොනවාද යන්න ආදිය පිළිබඳ අනාවැකි පළකිරීමට වර්තමානය කල් වැඩිය. නමුදු වර්තමානයේ පවතින නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය තුළ අප මෙතෙක් පරමාදර්ශී වශයෙන් සළකන විසඳුම් වලින් සාර්ථක ප්‍රතිඵල ලද නොහැකි නම් ඒ සමාජයට හිතකර හා අනර්ථකාරී නොවන දෙවන පෙළ විසදුම් සොයා යාම විවේචනයට ලක් කිරීම ද එතරම් සුදුසු නොවෙතැයි සිතමු.මක් නිසා ද යත් විප්ලවීය වාමාංශික දේශපාලනයක් මඟින් රටේ සියළු ප්‍රශ්න විසඳන  බවට අඩහැර පාමින් සිටි  විකල්ප දේශපාලන පක්ෂ ද දැන් හෙමි හෙමිහිට ඒ නව ලිබරල්වාදී ආර්ථික මඟට පිවිසෙමින් හිඳින බැවිනි.

රේණුකා දමයන්ති

No comments:

Post a Comment