දිවි සැරිය නිමා කළ ශ්‍රියා මාලතී ගුණසේකර...!
-ගාමිණි මුතුකුමාරණ ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.14, ප.ව.10.00) දිගුකලක් ලන්ඩනයේ ජීවත් වූ වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරියක්ව සිටි ශ්‍රියා මාලතී කරුණාරත්න ගුණසේකර මහත්මිය පසුගිය පෙබරවාරි 12 වනිදා සිය දිවියෙන් සමුගත්තාය. ඇය මානව හිතවාදී මිනිසෙකුට මහඟු අත් වැලක් වූ දිරිය කාන්තාවක් වූවා ය. ඇය මියයන විට 92 වියේ පසු විය. මනුස්ස ජීවිතයක උපරිම ආයු කාලයක් විඳ සමුගෙන යන ශ්‍රියා ගුණසේකර මහත්මිය ගැන ඔබ සමග බෙදාගන්නට වැදගත් කරුණු කිහිපයක් ඇත.
ඇය ලංකාවේ පැරණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රකට නීතීඥවරයෙකු වූ ප්‍රින්ස් ගුණසේකර මහතාගේ දයාබර බිරිඳය. ඇය ස්වකීය සැමියාගේ සමාජ දේශපාලන කටයුතු හේතුකොට එක්තරා කාලයක විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නාය. ඇය ලංකා දේශපාලන ඉතිහාසයට වැදගත් මෙහෙවරක් ඉටුකළ මිනිසෙකුගේ දයාබර බිරිඳක් විය. සත්‍ය ලෙසම ශ්‍රියා ගුණසේකර මහත්මිය ජීවිතය දරා සිටි මානුෂිකත්වයෙන් පිරිපුන් අයෝමය ගැහැනියකි. ඇය ප්‍රින්ස් ගුණසේකර මහතාගේ උදාර සහකාරිය වූවාක් මෙන්ම දියනියන් තිදෙනෙකුගේ උදාර මවක් වූවාය. ලංකා, උපුරි හා ග්‍රේසනී ඇයගේ ආදරනීය දියණියන් ය.
ගම්පහ පහලගම උපන් ඇය කුඩාකල පටන් උගත් පවුල් පසු බිමක හැදී වැඩුනු කාන්තාවකි. දිගු කලක් කොළඹ රිජ්වේ හා රාගම රෝහල් වල සේවය කොට ඇති ශ්‍රියා ගුණසේකර මහත්මිය කලක් වෛද්‍ය පර්යේෂණ කටයුතු වලද නිරතව තිබේ. ප්‍රින්ස් ගුණසේකර සමගින් විවාහ වීමෙන් පසු ඔවුන් වැඩි කලක් රටින් පිටවන තුරුම ජිවත්ව සිටියේ කොළඹ රොස්මිඩ් පෙදෙසේය. පසු කාලයේ ස්වකීය පවුල් දිවිය තුල සැමියාගේ දේශපාලනය හා මානව හිමිකම් ක්‍රියාකාරීත්වය හේතුවෙන් බරපතල අභියෝගයන්ට ඇය මුහුණ දුන්නාය.
ප්‍රින්ස් ගුණසේකර ජ වි පෙ ඉතිහාසයේ දුෂ්කරම කාලයක එහි ප්‍රධාන නීතීඥයා ය. ප්‍රින්ස් ගේ මේ නීතීඥ මැදිහත්වීම 1971 අප්‍රේල් නඩු විභාගය තරම් ඈතට දිව යන එකකි. විශේෂයෙන් 1982 ජනමත විචාරණ නඩුව වෙනුවෙන් එකල ජ වි පෙ පරම සතුරෙකුව සිටි ෆීලික්ස් ඩයස් බන්ඩාරනායක නීතීඥයෙකු ලෙසින් මැදිහත් කරගන්නට තරම් ප්‍රින්ස් සමත් වුනා යැයි කිව හැකිය. එකල රෝහණ විජේවීර සහෝදරයාගේ පටන් රටේ බොහෝ ඈත දුෂ්කර පළාත්වල සිට ඔවුන්ගේ නිවසට පැමිණි දේශපාලන හිතවතුන්ට ඇය නොමසුරුව සංග්‍රහ කළා ය. 80 දශකයේ ඔහුගේ නීතිමය ක්‍රියාකාරකම් බරපතල ලෙසින් සැලකිල්ලට ගත යුතුය. මෙකල මෙන් එකල ද දේශපාලන හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ට තිබුණේ බරපතල අවදානමකි. 88/89 වසරවල හබයාස්කෝප් නඩු දෙතුන් සියයක් වෙනුවෙන් ඔහු තවත් නීතීඥවරු සමග පෙනී සිටියහ. 83 ජ වි පෙ තහනම් කිරීමෙන් පසු ජයවර්ධන ආණ්ඩුව ප්‍රින්ස් ගුණසේකර මාස ගණනාවක් අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ හතරවන තට්ටුවේ රඳවා තැබුවේය. අපට ශ්‍රියා මාලතී ගුණසේකර මහත්මිය උදාර ලෙසින් සැලකිය හැක්කේ මෙවන් දුෂ්කර තත්වයන් වලදී ඇය මුහුණ දුන් අයුරු සිහිපත් කරන විටය. 89 සැප්තැම්බරය වන විට ප්‍රින්ස් ගේ ජීවිතය තිබුණේ බරපතලම අවදානම් තත්වයකි. ඔහුගේ නැගනියගේ පුතා බෑනනුවන් වූ කාංචන අබේපාල ඇතුලු නීතීඥවරුන් ගණනාවක්ම ජනාධිපති ප්‍රේමදාස ගේ ඝාතන කණ්ඩායම් විසින් මරා දැමුනි. අවසන ප්‍රින්ස්ට හා පවුලට ජීවිතාරක්ෂාව පතා බ්‍රිතාන්‍යයේ රැකවරණය පැතීමට සිදු විය.
ඇය විශේෂඥ වෛද්‍යවරියක් මෙන්ම කිවිඳියකි. ඇය කවි රචනා කළේ ඇයට හුරු පුරුදු ඉංග්‍රීසි බසිනි. ඉතින් මේ දයාබර මාතාව ගැන කියන්නට තවත් වටිනා තොරතුරු ඇතත් එය මතුවට තබමි. සුන්දර මානවීය හදවතක් හා නොසැලෙන අධිෂ්ඨානයකින් යුත් මාලතී ගුණසේකර මහත්මිය සිය සැමියා මෙන්ම අවමඟුල් චාරිත්‍ර ප්‍රතික්ෂේප කළාය. මෙයට වසර කිහිපයකට පෙර මියගිය ස්වකීය සැමියා මෙන් ඇය ද සිය නිසල දේහය වෛද්‍ය විද්‍යාලයට භාර කරමින් නිහඬව සමු ගත්තාය. ඇය පිලිබද ගෞරවනීය මතකය ඇය ඇසුරුකළ බොහෝ හදවත් තුල සදා පවතිනු නිසැකය.
දිරිය මාතාවට අපේ ආචාරය !!!

No comments:
Post a Comment