ඇලෙක්සේයි නවාල්නි ඝාතනය සහ පුටින්ගේ මාෆියා රාජ්‍යයේ ඇතුල්පැත්ත..! විපක්ෂයට තහනම් 'අම්මට සිරි' රුසියානු මැතිවරණ..!
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.20, ප.ව.11.30) ගැරී කිමොවිච් කැස්පරොව් (Garry Kimovich Kasparov) යනු මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම චෙස් ක්‍රීඩකයා ය. සෝවියට් සංගමය මෙන්ම රුසියාව නියෝජනය කරන ඔහු වසර 1995 සිට 2000 දක්වා ලෝක චෙස් ශූරයා විය. වසර 1999 දී ඔහු FIDE චෙස් ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම මට්ටමට පැමිණි අතර වසර 2013 දී Magnus Carlsen එය අභිබවා යන තෙක් වාර්තා වූ ඉහළම අගය විය. වසර 1984 සිට 2005 දී ඔහු නිත්‍ය තරඟකාරී චෙස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා තෙක්, කැස්පරොව් ලොව චෙස් ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ක්‍රීඩකයා ය. නිරවි යුද්ධය සමයේ මෙන්ම ඉන් පසුව ද ඔහු රුසියාවේ අභිමානයයි.
රුසියාව ගැන දැන ගන්න Mario Puzo කියවන්න…
වෘත්තීය චෙස් ක්‍රීඩාවෙන් සමුගත් පසුව කැස්පරොව් රුසියාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට සිය දිවිය කැපකර සිටියි. දැනට වසර කිහිපයකට පෙර ඔහු සමග පැවැති සාකච්ජාවකදී පුටින්ගේ පාලනය විස්තර කරන ලෙසට ප්‍රශ්නයක් යොමු විය. “ඔබ පුස්තකාලයකට ගොස් රුසියාවේ පුටින්ගේ පාලනය ගැන අවබෝධයක් ලබාගැනීමට පොතක් සොයනවා නම් දේශපාලන හෝ සමාජ කටයුතු පොත් ගොනු ලගට යන්න එපා. ඔබ යායුතුව ඇත්තේ නවකතා පොත් අතරටයි. එහි තිබෙන Mario Puzoගේ එකතුව කියවන්න. ඒ තමයි පුටින්ගේ රුසියාව. ඒක මාෆියා රාජ්‍යයක්” යන්න කැස්පරොව්ගේ පිළිතුර විය. එය අපූරු කියවීමකි.
රුසියානු මාෆියාවේ Godfather..
පුටීන් යනු රුසියානු මාෆියාවේ Godfather ය. රුසියාවේ සම්පූර්ණ ජනජීවිතය පාලනය කරන්නේ මේ Godfather ය. අධිකරණය, පොලීසිය, පාර්ලිමේන්තුව, රාජ්‍ය සේවය, මැතිවරණය කොමිසම, හමුදාව, ජනමාධ්‍ය ඇතුළු සියළු දෑ පාලනය කරන්නේ පුටීන් සහ ඔහුගේ මාෆියාව විසිනි. ඔහුගේ මාෆියා පාලනය විවේචනය කිරීම යනු මරණ වරෙන්තුව අතට ගැනීමකි. රුසියාවේ අභිමානය වූ කැස්පරොව්ට තම ජීවිතය බේරා ගැනීමට රුසියාවෙන් පලා යාමට සිදු විය. ඔහු සිදු කළ එකම වරද පුටින්ගේ මාෆියා පාලනයේ අල්ලස්, දූෂණ, සහ ප්රජාතන්ත්ර විරෝධී ඒකාධිපති ෆැසිස්ට් පාලනය විවේචනය කිරීම පමණි.
රුසියානු තරුණයන්ගේ එකම බලාපොරොත්තුව…
ඔහු 2013 ජූනි මාසයේදී සිය පවුල සමග රුසියාවෙන් පලායෑම හේතුවෙන් සිය ජීවිතය බේරා ගැනීමට හැකි විය. එහෙත් එම වාසනාව බොහෝ දෙනෙකුට තිබුණේ නැත. පසුගිය දා ව්ලැඩිමීර් පුටීන් විසින් ඝාතනය කරනු ලැබූ ඇලෙක්සේයි නවාල්නි (Alexei Navalny) එක් නිදසුනකි. නවාල්නි යනු පුටින්ගේ මාෆියා පාලනයට අභියෝග කළ රුසියාවේ විපක්ෂ නායකයා ය. ඔහු ප්රජාතන්ත්රවාදී රුසියාව පිළිබඳ බලාපොරොත්තුව සහ අනාගතය විය. විශේෂයෙන් රුසියානු තරුණයන්ගේ එකම බලාපොරොත්තුව මෙන්ම වීරයා නවාල්නි විය. වසර හතළිස් හතේ දී පුටීන් විසින් ඝාතනය කරනු ලැබූ මේ රුසියානු විපක්ෂ නායකයා සිදු කළ වරද කුමක්ද? එකම වරද පුටින්ගේ මාෆියා පාලනයට අභියෝග කිරිම පමණි.
“රුසියාවේ අනාගතය” ( Russia of the Future)...
ඇලෙක්සේයි නවාල්නිගේ දේශපාලන පක්ෂයේ නම “රුසියාවේ අනාගතය” ( Russia of the Future). ඔහු නියෝජනය කළේ ඒ අනාගතයයි. ප්රජාතන්ත්රවාදී රුසියාවක් වෙනුවෙන් ඔහු රටපුරා ජනතාව සංවිධානය කළ අතර ඒ සඳහා බිම් මට්ටමේ සංවිධාන ජාලයක් ස්ථාපනය කළේ ය. ව්ලැඩිමීර් පුටීන් මෙය තමන්ට එල්ල වන දේශපාලන තර්ජනයක් සේ සලකා නවාල්නි මෙන්ම ඔහුගේ පක්ෂ ක්‍රියාකාරීන් මර්දනයට කටයුතු කළේය. වෘත්තියෙන් නීතීඥයෙකු වන ඇලෙක්සේයි නවාල්නිට ජනාධිපතිවරණයන්ට තරග කිරීම තහනම් කළ අතර විවිධ ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් ඔහුව දොළොස් වතාවක් අත්අඩංගුවට ගැණින.
නවාල්නිට විෂ පෙවීම…
ඔහුගේ පක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනක් ද විවිධාකාර චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට පුටීන් කටයුතු කළේය. අවසානයේ වසර 2020දී Novichok nerve agent යොදා ඇලෙක්සේයි නවාල්නිව ඝාතන කුමන්ත්‍රණයක් දියත් විය. ඔහුට ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ ජර්මනියට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙනි. විෂ ශරීරගත කිරීමෙන් නවාල්නිව ඝාතනය කිරීමේ පුටින්ගේ උත්සාහ අසාර්ථක වුවද ඔහුව රුසියාවෙන් “පිටුවහල්” කිරීමේ උත්සාහය සාර්ථකවනු ඇති බව ඔවුන්ගේ බලාපොරොත්තුව විය. නවාල්නි යළි රුසියාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බවට පුටින්ගේ මාෆියාව නිළ තර්ජන කළේ ය. නවාල්නිගේ ආධාරකරුවෝ සහ හිතවත්හු ද ඔහුට යළි රුසියාවට පය නොතබන ලෙසට අවවාද කළහ. එහෙත් තමන් පිළිබඳ විශ්වාසය තැබූ තරුණ පරපුරේ බලාපොරොත්තුව බිඳ දැමීමට නොහැකි බව පවසමින් ඔහු ජර්මනියේ සිට රුසියාවට පැමිණියේ ය.
සිනාසෙමින් මාරයාට මුහුණදීම…
ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නා නවාල්නිට එරෙහිව විවිධ අභූත චෝදනා යටතේ නඩු පැවරින. නවාල්නි සෑම නඩුවාරයකදීම නිර්භීතව සහ අධිෂ්ඨාන සහගතව, සිනා සෙමින් මුහුණ දුන්නේය. ඒ සිනහව සහ අධිෂ්ඨානය, ප්රජාතන්ත්රවාදය සඳහා වන අරගලයේ සංඛේතයක් බවට පරිවර්ථනය විය. ඔහුට එරෙහිව ව්‍යාජ නඩුවක් පටලවා වසර දහ නමයක සිරදඬුවමක් ලබා දුන්නේ ය. නවාල්නිගේ අධිෂ්ඨානය බිඳ දැමීම සඳහා බන්ධනාගාරයන්හිදී උපරිම වධහිංසා පැමිණවීය. ඔහුව හුදකලා සිරමැදිරියක මාස ගණනාවක් රඳවා තැබීය. පසුගිය වසරේ දෙසැම්බර් 26 වෙනිදා නවාල්නිගේ සිර කඳවුර හදිසියේ මාරු කිරීමට බලධාරීහු කටයුතු කළහ. දින ගණනාවක් පුරා ඔහු සිටින්නේ කොහේදැයි කියා ඔහුගේ නීතීඥයන්ට පවා රහසක් විය. පසුව, නවාල්නිව බටහිර සයිබීරියාවේ හුදකලා සිර කඳවුරකට මාරු කළ බවට මාධ්‍ය වාර්තා කළේය.
ස්ටාලින්ගේ සයිබීරියානු බන්ධනාගාරයට…
සයිබීරියානු බන්ධනාගාර යනු ලෝකයේ දරුණුතම සහ මාරාන්තික ස්ථානයකි. සයිබීරියානු බන්ධනාගාරයකට යොමු කරන බොහෝ දෙනෙකු පණ පිටින් එළියට එන්නේ නැත. ස්ටාලින්ගේ යුගයේ සිට තම දේශපාලන විරුද්ධවාදීන් සහ විකල්ප මතධාරීන්ව විනාශ කිරීමට භාවිතා කළේ ශීත සයිබීරියානු බන්ධනාගාරය. එම වකවානුවේ දේශපාලන විරුද්ධවාදීන්, විකල්ප මතධාරීන්, විද්‍යාර්ථයින්, කවියන්, නාට්‍යකරුවන්, මාධ්‍යවේදින්, නවකතාකරුවන්, දසදහස් ගණනක් සයිබීරියානු බන්ධනාගාරයන්හි දුක් විඳ මිය ගිය බව වාර්තා විය.
නවාල්නිගෙන් අවසන් නොවන දේශපාලන ඝාතන…
මේ නම් ලැයිස්තුවට පසුගිය පෙබරවාරි 16 වෙනිදා ඇලෙක්සේයි නවාල්නි එක් වූ බව රුසියානු පුවත් සේවය වාර්තා කළේය. නවාල්නි බටහිර සයිබීරියාවේ ආක්ටික් සාගර කලාපය අසල බන්ධනාගාරයක දී මරා දැමුවේ ය.
පුටින්ගේ මාෆියාවට අභියෝග කළ රුසියානුවන් බොහෝ දෙනෙකුට ඇලෙක්සේයි නවාල්නිගේ ඉරණම අත්විය. අවාසනාවකට පුටින්ගේ මිනීමැරුම් නවාල්නිගෙන් අවසන් වන්නේ ද නැත.
ක්‍රෙම්ලිනය පෙනෙන මානයේ අධිආරක්ෂක කලාපයේ ඝාතන…
වසර 2015 පෙබරවාරි 27 වන දින රාත්‍රී 11:31 කට මධ්‍යම මොස්කව්හි බොල්ෂෝයි මොස්ක්වොරෙට්ස්කි පාලම මත දී හිටපු නියෝජ්‍ය අගමැති සහ පුටීන්ට එරෙහි විපක්ෂ නායකයෙකු වූ බොරිස් නෙම්ට්සොව්ට වෙඩි තබා මරාදමන ලදී. ඔහුව මරා දැමුවේ ක්‍රෙම්ලිනය පෙනෙන මානයේ අධිආරක්ෂක කලාපයක් තුලදී ය. බොරිස් නෙම්ට්සොව් මේ ඉරණමට ගොදුරු වූයේ පුටින්ගේ යුක්රේන ආක්‍රමණයට එරෙහි පා ගමනකට සහභාගී වන ලෙසට රුසියානු ජනතාවට ආයාචනය කර පැය කිහිපයකට පසුවය.
යුක්රේනයේ යුද්ධය විවේචනය කිරීමේ වරදට ජනේලයෙන් පහලට..
පුටින්ගේ යුනයිටඩ් රුසියා පක්ෂයේ සාමාජිකයෙකු වන පවෙල් ඇන්ටනොව්, පුටින්ගේ යුක්රේනයේ යුද්ධය විවේචනය කරන WhatsApp පණිවිඩයක් නිර්මාණය කිරීම පිළිබඳව බලධාරීන්ගේ සැකයට ලක්විය. ඔහු වසර 2022 දී ඉන්දියාවේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී එහි කවුළුවකින් වැටී මිය ගියේය. ඔහු සමග එම සංචාරයට එක්වූ වූ ව්ලැඩිමීර් බුඩනොව් ද ඉන්දියානු හෝටලයකදී අභිරහස් ලෙස මිය ගියේය.
රුසියාවේ දැවැන්ත තෙල් ව්‍යාපාර සමාගමක ප්‍රධානියෙකු වන රවිල් මගනොව් පුටින්ගේ යුක්රේන යුද්ධය විවේචනය කළේය. මාස කිහිපයකට පෙර, ඔහු මොස්කව්හි රෝහල් ජනේලයකින් ඇද වැටුණේය!
මාධ්‍යවේදී ඇනා පොලිට්කොව්ස්කායා ඝාතනය..
ව්ලැඩිමීර් පුටින් යටතේ රුසියාව පොලිස් රාජ්‍යයක් බවට පත්වී ඇති අන්දම පිළිබදව පොතක් රචනා කළ මාධ්‍යවේදී ඇනා පොලිට්කොව්ස්කායා වසර 2006 දී කොන්ත්‍රාත් මිනීමරුවන් විසින් ඝාතනය කරන ලදී. එම ඝාතනයට සම්බන්ධ වූ එක් පුද්ගලයෙකුට රාජ්‍ය සමාව ද හිමි විය.
පොලෝනියම්-210 මිශ්‍ර වූ තේ කෝප්පයක්…
හිටපු KGB නියෝජිතයෙකු සහ පුටින්ගේ විවේචකයෙකු වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ වසර 2006 දී ලන්ඩනයේදී මිය ගියේ මාරාන්තික විකිරණශීලී මූලද්‍රව්‍යයක් වන පොලෝනියම්-210 මිශ්‍ර වූ තේ කෝප්පයක් පානය කිරීමෙන් සති තුනකට පසුවය. මෙය පුටීන් අනුමැතිය සහිතව රුසියානු රහස් ඔත්තු නියෝජිතයන් සිදුකළ ඝාතනයක් බව ප්‍රසිද්ධය.
Wagner Group ප්‍රධානී යෙව්ජෙනි ප්‍රිගෝශින් ගුවනේ අවසන් ගමන්..
රුසියානු නායක ව්ලැදිමීර් පුටීන් සිය යුක්රේන ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරිපත් කළ සියළු හේතු පට්ටපල් බොරු බව ඔහුගේ සමීපතම හිතවතෙකු වශයෙන් සැළකෙන Wagner Group කුලී හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගෝශින් (Yevgeny Prigozhin) පසුගිය වසරේ ජූනි 24 ප්‍රකාශ කරමින් පුටින්ගේ මාෆියාවට අභියෝග කළේය. එම කැරැල්ලෙන් මාසයක් යෑමට පෙර එනම් අගෝස්තු 23 වන දා යෙව්ජෙනි ප්‍රිගෝශින් ඇතුළු Wagner Group කුලී හමුදාවේ ප්‍රධානීන් සියලු දෙනාම ගමන් කරමින් තිබූ ගුවන්යානාවක් පිපිරී යෑමෙන් ඒ සියලු දෙනාම රුසියාවේ දී මරණයට පත්විය!
මේ ලැයිස්තුව දිගය. ගැරී කැස්පරොව් පැවසු ආකාරයට මේ සිද්ධි සමපාත වන්නේ Mario Puzoගේ නවකතා එකතුවටයි. පුටින්ගේ රුසියාව යනු මාෆියා රාජ්‍යයකි. එහි Godfather පුටීන්ය. ඔහුට විරුද්ධ සෑම දෙනාගේම ඉරණම මරණයයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී නවාල්නිගේ නීතිඥයින් තිදෙනෙකු "අන්තවාදය" යන චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ අතර තවත් දෙදෙනෙකුට රටින් පලා ගිය අතර අත් අඩංගුවට ගත් අයට සිර දඬුවම් නියම විය.
නවාල්නිගේ මල සිරුර සැඟවීම…
මේ සටහන ලියන 20 වන , අගහරුවාදා අලුයම වන විට නවාල්නි ඝාතනය කර දින හතරකි. තවමත් නවාල්නිගේ දේහය ඔහුගේ මවට භාර නොදී බලධාරීහු එය සගවා ගෙන සිටිති. නවාල්නිව ඝාතනය කිරීමට පෙර දින ඔහු Video teleconference (VTC) හරහා සයිබීරියානු බන්ධනාගාරයේ සිට නඩු වාරයකට ඉදිරිපත් විය. එදින ද ඔහු සුපුරුදු ලෙසම නිර්භීතව සහ අධිෂ්ඨාන සහගතව, නඩු විභාගයට පෙනී සිටියේය. අවසානයේ විනිසුරුවරයා සහ අධිකරණ නිලධාරීන්ට විහිළු කරමින් ඔහු සිනාසුනේය. රුසියානු බන්ධනාගාර බලධාරීන්ට අනුව ඔහු පසුදින ඇද වැටී මිය ගොස් ඇත..! ස්වාභාවික හේතුවකින් ඔහු මිය ගියේ නම් ඔහුගේ සිරුර සඟවා ගෙන සිටීමට අවශ්‍ය නැත.
එක්සත් ජාතීන් ස්වාධීන මරණ පරීක්ෂණයක් ඉල්ලයි…
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිලිබඳ කාර්යාලය පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් නවාල්නිගේ මරණ පිළිබඳව ස්වාධීන මරණ පරීක්ෂණයක් ඇතුළුව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසට රුසියානු රජයෙන් ඉල්ලීමක් කළේය. නවාල්නිගේ මරණය පිළිබඳ චෝදනා ගැන ලෝකය කම්පනයට පත්ව ඇති බව පවසන එම නිවේදනය ඔහු රුසියාවේ නීතියේ ආධිපත්‍යය, ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම්වල බිඳ වැටීම් පිළිබඳව රුසියානු බලධාරීන්ට මුහුණ දීමට ධෛර්ය සම්පන්න සහ සදාචාරාත්මක විශ්වාසයක් තිබූ දේශපාලන චරිතයක් වූ බව පෙන්වා දෙයි.
“UN experts call for accountability for Navalny's death and immediate release of all political prisoners” නම් එම නිවේදනයට මෙතැනින් ඇතුළු විය හැක.
රට, ජාතිය, ආගම සහ දේශප්‍රේමයට මුවා වීම…
දශක ගණනාවක් පුරා පුටීන් සිය මාෆියා පාලනය රුසියාව තුළ පවත්වාගෙන යන්නේ කෙසේද? සෑම ඒකාධිපතියෙකු මෙන්ම ඔහු ද රට, ජාතිය, ආගම සහ දේශප්‍රේමයට මුවා වී සිටියි. රුසියාවේ කිසිදු ස්වාධීන මාධ්‍යයක් නැත. අවසන් ස්වාධීන පුවත්පත ද පසුගිය වසරේ තර්ජන හේතු වෙන් වසා දැමිණි. සියළු මාධ්‍ය පුටීන්ට ආවඩයි. පුටින්ගේ මාෆියා පාලනය විවේචනය කරන ඕනෑම අයෙකුට “දේශද්‍රෝහී”, “බටහිර බලල් අත්”, “ බටහිර කුමණ්ත්‍රණ”, සහ “ බටහිර රූකඩ” හංවඩුව ගසා මර්දනය කරයි.
මල් පොකුරු තැබූ රුසියානු ජාතිකයන් පන්සියකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට…
ඒකාධිපති පුටීන් තමා විසින් ඝාතනය කළ හතලිස් හත් හැවිරිදි ඇල්ක්සේයි නවාල්නි නම් තරුණ නීතීඥවරයා පිළිබඳ තවම මාරාන්තික බියකින් පෙලෙයි. ඔහුගේ ඝාතනය අසා කම්පාවට පත්ව මල් පොකුරු තැබූ රුසියානු ජාතිකයන් පන්සියකට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටියි!
විපක්ෂයට තහනම් පුටින්ගේ අපූරු මැතිවරණය…
පුටින්ගේ මාෆියා රාජ්‍යයේ විසුළු ජනාධිපතිවරණයක් ලබන මාසේ පැවැත්වීමට නියමිතයි. විපක්ෂයේ කිසිවෙකු එම අපූරු මැතිවරණයට සහභාගීවීම තහනම්ය! සිවිල් ක්‍රියාකාරිකයකු වන බොරිස් නඩේෂ්ඩින් ඊළඟ මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහ කළ නමුත් ඔහුගේ නාම යෝජනාව භාර ගැනීම පුටින්ගේ මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කළේය!
Don't give up the fight…
ඇල්ක්සේයි නවාල්නි සිය අවසාන මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ ආකාරයට ඔහුව මේ සටනේ දී ඝාතනය කළ ද රුසියාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වන සටන ඉදිරියට යා යුතුය. ඔහුගේ පණිවිඩය වූයේ “Don't give up the fight” යන්නය. විනාශ නොවී සිටීමට නම් සටන් කළ යුතුමය. වෙනත් විකල්පයක් නැත.
-ආනුභාවනන්ද
anubhawananda1@gmail.com
ප.ලි.
ඇලෙක්සේයි නවාල්නි ඝාතනය හේතුවෙන් පුටීන් සහ ඔහුගේ මාෆියා පාලනය වඩාත් ශක්තිමත් වී ඇති බැවින් රාජපක්ෂ බයියන් මේ ලිපිය පිළිබඳ අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත.
https://www.lankaenews.com/category/33
No comments:
Post a Comment