සජිත්ගේ දේශපාලන "වෙස් බැඳීම"
-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක පහලොස් වැන්න
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.04, ප.ව.11.00) ජනාධිපති පුත්‍ර සජිත් ප්‍රේමදාස පුතාණෝගේ දේශපාලන කලඑළි බැසීමේ මංගල්ලය හෙවත් වෙස් බැඳීම සිදු වූයේ ද මේ මහ චන්දයේ දීය.
සජිත්ට අවුරුදු 22 ක් ලැබුවා පමණි. ඔහු එංගලන්තයේ ඉගෙනුම අතරේ නත්තල් නිවාඩුවට ලංකාවට ආවේය. එහෙත් ඔහුගේ පියතුමාගේ දේශපාලන ජීවිතයේ වැදගත් සිදුවීම් දෙකක් වෙමින් තිබුණේය. ඒ පියතුමාගේ ප්‍රථම ජනාධිපතිවරණය [1988 දෙසැම්බර්ය]හා ඔහුගේ නායකත්වයෙන් එජාපය මහා මැතිවරණයකට යන මුල්ම අවස්ථාව එළඹීමය. පුතාණෝ මේ නිසා නත්තල් නිවාඩුව පෙබරවාරිය අවසාන වන තෙක් දික් කරගෙන සිටියේය.
ඩන්කන් ප්‍රනාන්දු..
මෙකල ප්‍රේමදාසගේ එජාපයට අරමුදල් සපයන බලවත් අධාරකරුවෙක් සිටියේ ය. ඒ වත්තල, ඩන්කන් ප්‍රනාන්දු ය. ඩන්කන්ට පෑලියගොඩ සිට හලාවතට යන තෙක් මුහුදුබඩ කතෝලික තීරයේ දුසිමකටත් වඩා තැබෑරුම් තිබුණේය. ඔහු සන්තකව අගමැති ප්‍රේමදාසගේ අනුග්‍රහයෙන් ලැබුණු එතනෝල් ආනයනය කිරීමේ බලපත්‍රයක් ද විය. සාමාන්‍යයෙන් අරක්කු නිෂ්පාදකයන් හා තැබෑරුම් හිමියන් බරපතල දේශපාලන අනුග්‍රහයන් මත මේ ‘එතනෝල්’ බලපත්‍ර ලබා ගන්නේ ‘ඕඩිකොලොන්’ සෑදීමේ අරමුණෙන් බව කීවත් ඔවුන් හදනා ඕඩිකොලොනයක් නැත. අරක්කු නිෂ්පාදකයෙකු නම් ඔහු මේ මුවාවෙන් ගෙන් වන එතනෝල් වලට වතුර හා ඩයි කලවම් කර අරක්කු හැටියට නමක් දමා වෙළඳපොලට යවන්නේය. තැබෑරුම් හිමියෙක් නම් ඔහු විකුණන අරක්කුවලට මේ එතනෝල් කලවම් කර ලාබය දෙගුණ කර ගන්නේ ය.
ඩන්කන්ගේ අලුත් ආසාව..
අපි මේ කතා කරන ඩන්කන් ප්‍රනාන්දු යෙදී සිටියේ දෙවැනියට කී ‘අරක්කු’ කර්මාන්තයේ ය. ඔහු ස්වකීය ලාභයෙන් සැලකියුතු කොටසක් එතනෝල් බලපත්‍රය ලබා දුන් දේශපාලකයාටත් ඔහුගේ පක්ෂයටත් නොඅඩුව දුන්නේය. ඩන්කන්ගේ මේ “පරිත්‍යාගශීලීත්වය” අපේ කතානායකයාගේ මෑණියෝද මැනවින් දැන සිටියාය. මේ නිසා ඩන්කන් අගමැතිගේ පුද්ගලික නිවසේත් නිල නිවසේත් නිතරම දකින්නට ලැබුණේය. පියාණෝ ජනාධිපති වු පසුවත් ඔහු එම නිවාසවල නිතර සැරිසරන්නෙක් වී සිටියේය. මත්පැන් කටේ නොතැබූ බලවත් අමද්‍යපවාදියෙකු වූ පියාණෝ මේ තැබෑරුම්කාරයා නොරිස්සුවත් මැණියෝ ඔහුට සහෝදරයෙකුට මෙන් සැලකුවාය.
බල කොරිඩෝවල නිතර ඇවිද යද්දී ඩන්කන්ට තැබෑරුම් කර්මාන්තයට අමතරව දේශපාලන කිරීමේ සිතක් පහළ විය. මේ අලුත් ආසාව ඔහු ජනාධිපති ආර්යාවගේ කණට දැම්මේය. එහි ප්‍රතිඵලය වූයේ 1989 පෙබරවාරි මහ චන්දයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවට ඩන්කන්ගේ නම ඉබේම ඇතුලත් වීමය...!
පුතාණෝගේ දේශපාලන “ වෙස් බැඳීම”
ඩන්කන් මේ උපකාරයට ප්‍රති උපකාරයක් කිරීමට කල්පනා කළේය. එය තමනට ද වාසිදායක ලෙස යොදා ගන්නට ඔහු සිතුවේය. ඒ ඔහුගේ චන්ද ව්‍යාපාරයට පුතාණෝ එකතු කර ගැනීමය. ඔහු මේ බව මෑණියන්ට කීවේය; වඩාත් වැදගත් කොට කීවේය. රටේ අනාගත නායකත්වය පත්වීමට සිටින පුතාණෝ දේශපාලන වේදිකාවට නැග්ගීමට ඇති හොඳම මොහොත බව මෑණියන්ට එත්තු ගැන්වුයේය. මෑණියෝද පුතාගේ දේශපාලන “ වෙස් බැඳීම” හා හා පුරා කොළඹින්ම, මේ මහ චන්දයෙන්ම, මේ නිසි වයසෙන්ම [එවිට පුතාණෝට අවුරුදු 22කි] සිදුවීම ගැන බලවත් සේ සතුටට පත්වන්නීය. ඒ වෙනුවෙන් සුබ නැකතක් නැකැත්කරුවන් ලවා බලවා ගත්තාය. එදාට අඳින්නට විශේෂ ඇඳුමක් ද පුතාණෝ වෙනුවෙන් මැස්සුවාය.
හරියට නැකත තිබුණේ “සත්ගුණවත්” ඩන්කන් ප්‍රනාන්දු තැබෑරුම් මුදලාලිගේ කිරුළපන රැස්වීම තිබූ දවසේය. මෑණියෝ නැකතට විශේෂ ආරක්ෂක රථ ගෙන්වා ‘කුමාරයා’ ආරක්ෂා සහිතව රැස්වීමට යැව්වා ය.
පුතාණෝ කිරුළපොණේ ට එද්දී වේදිකාවේ සිටි කථිකයා අනාගත නායකයාගේ පැමිණීම නිවේදනය කළේය. ඔහුටත් ඔහුගේ පියාණන්ටත් ජය ප්‍රාර්ථනා කළේය. කිරුලපොණේ “අපි කැපුවත් කොළපාට” බව කියන එජාප පාක්ෂිකයෝ උද්දාමයෙන් අත්පුඩි ගැසූහ. ඩන්කන් වේදිකාවෙන් බැස ‘කුමාරයා’ වඩම්මවා ගෙන වේදීකවට නැඟ තමා අසලින්ම වාඩිකර ගත්තේය. පුතාණෝ කිරුළපොණෙන් තමාට ලැබෙමින් තිබෙන ගෞරවයෙන් මත් වී ආඩම්බරයෙන් වටපිට බලමින් සිටියේ ය.
අවාසනාවට රන්ජන් විජේරත්නගේ ඇස ගැසිණ..
අවාසනාවකට එජාපයේ මැතිවරණ ව්‍යාපාරය නිරීක්ෂණය කරමින් යන එජාපයේ එකල පක්ෂ මහලේකම් හා හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක ඇමති ලූතිනන් කර්නල් රන්ජන් විජේරත්න තම ආරක්ෂක බලකාය පෙරටු කර ගෙන කිරුළපොණේට ආවේය. ඔහු රථයේම සිට වේදිකාව බලද්දී එහි “අමුත්තෙකු” සිටිනු දුටුවේය. තැබෑරුමාගේ ලඟින්ම වාඩි වී සිටින්නේ ඔහුගේ ලොකුම ලොක්කාගේ පුතාණෝය. එක පැත්තකින් එය පුතාණෝගේ ආරක්ෂාවට නරකය. අනෙක් පැත්තෙන් අමද්‍යපවාදියෙකු වූ ලොක්කාගේ පුතාණෝ තැබෑරුම්කාරයෙකුගේ අඩි පාරෙන් දේශපාලනයට පිවිසීම පක්ෂට මෙන්ම එහි නායකයාට ද ලජ්ජාවකි.
වහාම පුතා ඩයස් පෙදෙසේ ‘සුචරිතයට’
මහ ලේකම් විජේරත්න, තම ආරක්ෂක බලකායේ රේඩියෝ ක්‍රියාකරුට වහාම ජනාධිපතිගේ ආරක්ෂක අංශය සම්බන්ධ කරන ලෙස නියෝග කළේය. අනතුරුව ඒ හරහා පියාණෝ අමතා කිරුළපොණේ සිදුවෙන දේ කීවේය. කෝපයට පත් පියාණෝ, මෑණියන්ගේ මෑණියන් සිහිකර බැණ වැදුණේය. වහාම පුතා ඩයස් පෙදෙසේ ‘සුචරිතයට’ රැගෙන එන්නයි නියෝග කළේය.
මහ ලේකම් රන්ජන් ආරක්ෂකයන් පිරිවරා ගෙන වේදිකාව අසලට ගියේය. අනතුරුව දබර ඇඟිල්ලෙන් කැඳවුම් නියෝගයක් පුතාණන්ට දුන්නේය. ඔහු වේදිකාවෙන් බැස ආපසු පියාණන්ට බාර දෙන්නට ‘සුචරිතයට’ කැන්දා ගෙන ගියේය.
පියාණෝ තමා බැහැදක්කවන්නට ගෙනා පුතාණන්ට මෙසේ කීවෝය.
“ පුතා ඔයාට දැන්ම දේශපාලනය කරන්න ඕන නම් කරන්න. හැබැයි අරක්කුකාරයෝ, තැබෑරුම්කාරයෝ එක්ක දේශපාලනය පටන් ගන්න එපා. වැදගත් මිනිස්සුත් එක්ක දේශපාලනය පටන් ගන්න”
මුළු ජීවිත කාලයේම අමද්‍යපයෙකු, නිර්මාංශයෙකු වූ ජනාධිපති ප්‍රේමදාසගේ කම්පාව අපට තේරුම් ගැනීමට පුළුවන. එහෙත් පුතාණෝ, පියාණන් මියගිය පසු එතුමාගේ උපදෙස් පිළිගත්තාදැයි දන්නේ ඔහුගේ සමීප අනුගාමිකයන් පමණි.
මේ තොරතුරු ඉතිහාසය එක් කිරීමට උපකාර කළ ජෙනරාල් රන්ජන් විජේරත්නගේ පුද්‍ගලික සහායකව සිටි දිවංගත බර්ට්‍රම් පතිරණ මහතා කෘතවේදීව සිහිකරමි.
නන්දන වීරරත්න
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාතන අහම්බයක්ද?
* ප්‍රේමදාස මැද කොළඹින් මාගමට..? -වංකනාසික තිස්ස කුමරු සහ "අප්පුවා" - ගජබා කුමරු සහ නීල මහා යෝධයා..!
* හේන වංශයට හින්න වංශය මුහු කිරීම..! ජීවිතයට රැකියාවක් ව්‍යාපාරයක් නොකළ පියාණෝට, පුතාණෝට වියදම් කිරීමට මේ සා ඩොලර් පවුම් කොහෙන්ද?
* සයිමන් නවගත්තේගමගේ "ආර්. පණ්ඩුකාභය"
* ප්‍රේමදාස පාතාලයට වැඩ පවරයි..! -1988 ජනාධිපතිවරණය
* ප්‍රේමදාස, ආර්යාවත් සමඟ පත්තිරිප්පුවට නඟී..!
* 1989 මහ චන්දේ කුල සටන..!
https://www.lankaenews.com/category/98
No comments:
Post a Comment