පාරාදීසයකට යනවා ද? අපායට යනවාද? යි අසන රනිල්ට කණ කිස්කන උත්තරයක්..! (Video)
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.09, ප.ව.9.25) අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 06 වන දා පාර්ලිමේන්තුව අමතමින් අපෙන් අසා සිටියේ රටක් හැටියට අප පාරාදීසයක් කරා යනවාද නැත්නම් අපායට යනවාද කියා තීරණය කළ යුතු බවයි. පාරාදීසයක් යනුවෙන් ඔහු අදහස් කරන්නේ විනෝද චාරිකා යෑම, බැතිමතුන් තලවිල, හා මඩු පල්ලි යෑම, බස් පිරෙන්න ජනයා නුවරඑළියේ සංචාරයේ යෑම, අනුරාධපුර , සීගිරිය වැඳීම බව ඔහුගේ කතාවෙන් පැහැදිලිය. ඔහු මසකට වරක් පිරිවරක් රැගෙන යන විදේශ සංචාරත් මීට ඇතුළත් විය යුතු නොවේද කියා සිතුණි. ඔහුගේ කතාව මෙම දිගුවෙන් ඇසිය හැක. ඔහුට අනුව දැන් සියල්ල යහපත් වී ඇත. https://www.parliament.lk/en/business-of-parliament/webcast/parliament-live-on-demand?selectdate=2024-03-06
රනිල් වික්‍රමසිංහගේ කතාවේ අන්තර්ගතය විමසා බැලීම වටී. ඔහු කියන අන්දමට පසුගිය රජයන් ගත් අදූරදර්ශී තීරණ රට බංකොලොත් වීමට හේතු වූ වී ඇත. එසේනම් රට කළේ කවුද ? ඔහු කියන අන්දමට රට කර තිබෙන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය යි. මාගේ අදහස නම් වඩාත්ම අදූරදර්ශී තීරණ ගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ බව රටේ බොහෝ අය මේ වන විට හොඳින්ම දන්නා බවයි . මෙය ඉතා හොඳින් පෙන්වා දෙන්නේ අන් කිසිවෙක් නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට මුල් වූ මහින්ද රාජපක්ෂ මය. ලිපියේ පහතින්ම ඇති වීඩියෝව නරඹන්න.
මහින්ද රනිල් ගැන කී හැටි...
මහින්ද රාජපක්ෂ 2019 ඔක්තෝබර් මස 1 වන දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ කියයි. " 2015 යහපාලන රජය බලයට එන විට මාගේ රජය ව්‍යාපෘති ණය ලබාගෙන තිබුනේ ඩොලර් බිලියන 4.4 කි. රජයේ සමස්ත ණය (Public Debt ) රුපියල් ට්‍රිලියන 7.39ක් විය. 2015 ජනවාරි බලය ගත් යහපාලන රජය 2019 ජූලි වන විට රජයේ ණය රුපියල් ට්‍රිලියන 12.9 ක් දක්වා වැඩි කර ගත්තේ ය. එය 71% ක වැඩි වීමකි. යහපාලන රජය ඉතා ඉහළ පොලියට ලබා ගත් වාණිජ ණය ගෙවාගැනීමට තිබූ අවිනිශ්චිත තාවය හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් (Moody's )රනිල් වික්‍රමසිංහ රජයට අනතුරු හැඟවීය. 2015 ජනවාරි සිට 2019 ඔක්තෝබර් 1වන දින වන විට යහපාලන රජය ඩොලර් බිලියන 26ක් වන වාණිජ ණය ලබා ගෙන ඇත. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, විදේශ ස්වෛරී බැඳුම්කර, සමුහ ණය (Syndicated Loans), මුදල් හුවමාරු හරහා ලබා ගත් ණය (Currency Swaps) යනාදිය හරහා මෙම ණය තොගය ලබා ගෙන ඇත." වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න. https://www.adaderana.lk/news.php?nid=58095
මේ කියන්නේ අන් කිසිවෙක් නොව 2022 රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවූ මහින්ද රාජපක්ෂමය. 2019 එසේ කිවූ මහින්ද රාජපක්ෂ අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ තබාගෙන තමාත් තම පවුලේ අයවත් ආරක්ෂා කරගනිමින් දූෂණ චෝදනා ලැබ උසාවියේ ඇති නඩුවලින් ඔහුගේ පවුලේ උදවිය සහ ඔහු වටා සිටින අනෙකුත් දූෂිත දේශපාලකයින් නිදහස් කරගනිමින් රජයේ වියදමින් නඩත්තු වෙමින් ඉතා සුවසේ සිටිති .
අපව අපායට ගෙන ගොස් තිබෙන්නේ කව්ද?
එසේනම්, අප අවබෝධ කරගත යුත්තේ කුමක්ද ? අපව අපායට ගෙන ගොස් තිබෙන්නේ රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහලා මිස අන් කිසිවෙක් නොවන බවය. ප්‍රෝඩාකාරී වික්‍රමසිංහගෙන් හෝ දූෂිත රාජපක්ෂලාගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමන පාරාදීසයක් ද? සැමදා ඔවුන්ට පාරාදීසය ලබා දී අප අපායේ දුක් විඳිය යුතු ද?
වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ කළ කතාවේ කියන්නේ දැන් ආර්ථිකය ස්ථාවර වී රජයේ සමාගම් ලාභ ලබන බවයි. උද්ධමනය අඩුවු බවත් කියයි. එහෙත්, ඔහු නොකියන්නේ රටේ ජනගහනයෙන් 31% දුප්පතුන් වී ඇති බවත්, 2019 මිලියන 3 ක් වූ දුප්පතුන් සංඛ්‍යාව 2023 වන විට මිලියන 7 ක් දක්වා වසර තුනක් තුල මිලියන 4කින් දුප්පතුන් වැඩිවී ඇති බවය. නිවාස ලක්ෂ 10 ක විදුලිය විසන්ධි කොට තිබෙන බව ඔහු නොකියයි. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 260,000ක් වසා දමා තිබෙන බවත් ඔහු නොකියයි. වෛද්‍යවරුන් , හෙදියන් , ඉංජිනේරුවන් , විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් දස දහස් ගණනක් රට හැර ගොස් තිබෙන බව රනිල් වික්‍රමසිංහ නොකියයි. ඒවා ගැන ඔහුට හැඟීමක් හෝ දැනීමක් නැත. ඔහුට අවශ්‍ය කුමන හෝ ප්‍රෝඩාවක් කොට වංගුවක් ගසා තවත් කාලයක් බලයේ සිටීමට ය.
රනිල් කියූ එක ඇත්තක් තිබේද?
රනිල් කතාව අවසන් කරන්නේ බලය සඳහා ඔහු බොරු නොකියන බව සඳහන් කරමිනි . පුරවැසියන් වන අප ඔහුගෙන් ඇසිය යුතු එකම ප්‍රශ්නය නම් "රනිල් වික්‍රමසිංහ වන ඔබ පාර්ලිමේන්තුවේ හය වරක් අගමැති සහ එක් වරක් තාවකාලික ජනාධිපති ලෙස කියූ "එක ඇත්තක්" කියන ලෙසයි." ඔහුට කීමට එකදු ඇත්තක් වත් නැත. ඔහු හැමදාම කිව්වේ මහා කෙප්පය.
රටේ ජනයාට හොරෙන් LTTE සමග ගිවිසුම් ගැසුවේ රනිල් වික්‍රමසිංහ ය. චන්ද්‍රිකා වරක් වසර දෙකක් යෑමටත් පෙර බලයෙන් පන්නා දැම්මේ ඔහුගේ උප්පරවැට්ටි වලින් බේරීමට ය. සිරිසේනගේ කනෙන් රිංගා ජනාධිපති බලතල පවරා ගත්තේ මහා ප්‍රෝඩාකාරී ලෙසය. අර්ජුන මහේන්ද්‍රන් සමග එකතු වී මහබැංකුව 2015-2019 අතර දෙවතාවක් මංකොල්ල කෑවේය . අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගියේ මගුල් ගෙදරක බවත් විමර්ශනය සඳහා ඔහු ගෙන්වා දෙන බවත් කීවේය . අදටත් නැත. රටේ දේපළ කුණු කොල්ලයට විකුණා දමන්නේ ජනතාවට ඇත්ත කියාද? රටේ නීතිය වල් වද්දමින් උසාවියට බලපෑම් කරමින් , මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් කරමින් මැතිවරණ කල් දමන්නේ හැකි තාක් බලයේ රැදී සිටීමට නොවේද ?
තවදුරටත් කපටි නරියෙකුට අප රැවටිය යුතු නැත. එළඹෙන පළමු අවස්ථාවේදීම මොහු සහ ඔහුගේ ආරක්ෂකයන් වන රාජපක්ෂලා පන්නා දමා ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීමට සූදානම් වෙමු. ඒ වටා අදිටනින් පෙළ ගැසෙමු.
-ශාන්ත ජයරත්න
shantha323@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102
මහින්ද රනිල් ගැන කී වීඩියෝව බලන්න
No comments:
Post a Comment