X පරම්පරාවේ අනුර Z පරම්පරාවට බැට්න් එක මාරු කරනවා කියන්නේ ඇත්ත ද..?
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.19, ප.ව.9.30) වෙනදා නොඇසු කන් අද අසන බව පෙනුණේ පසුගිය 17 දා මාතර ගඟබඩ උද්‍යානයේ පැවති ජාතික ජන බලවේගයේ පළමු තරුණ සමුළුව රූපවාහිනියේ නැරැඹීමෙන් පසුවය. අනුරගේ සුපුරුදු කතා වලට වැඩි යමක් එම තරුණ සමුළුවේදී මම දුටිමි. අනුරගේ කතා ඉතා වේගවත් වන්නා සේම තරමක් දීර්ඝ ය. බොහෝ විට දේශපාලන හා ආර්ථික කරුණු ඉතා තාර්කිකව ඉදිරිපත් කරන අනුර, අනෙකාගේ හරසුන් කතා ගෙන හැර පාමින් ඒවාට කුලුගෙඩි පහරවල් එල්ල කිරීමට ඉතා දක්ෂ ය. එහෙත් ඔහු මාතර තරුණ සමුළුවේ කළ කතාව පුරාවට අවධාරණය කළේ Z පරම්පරාවේ අභිලාෂයන්, අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් සාක්ශාත් කර දීමට ජාතික ජන බලවේගය නිර්මාණය කිරීමට යන නැවුම් ශ්‍රී ලංකාවේ තිබෙන අවකාශය සහ අවස්ථාවන් පිළිබඳව අවධාරණය කිරීමට ය. වෙනත් දේශපාලන පක්ෂ නායකයින් ඉදිරිපත් කරන හරසුන් කතා වලට එහා ගිය අනුරගේ මාතර කතාව ජාතික ජනබලවේගය බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ නව පුනරුද ව්‍යාපාරය කෙරෙහි Z සහ Alpha පරම්පරාවේ විශ්වාසය තවත් තහවුරු කරන්නට හේතු වන්නට ඇත.
Z පරම්පරාවේ සහ Alpha (ඇල්ෆා) පරම්පරාවේ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් අනුර මනාව අවබෝධ කරගෙන තිබෙන බවක් වැටහුණි. Z පරම්පරාව හුදු පිට ආටෝපයට රැවටෙන්නේ නැත. චුයින්ගම් කතා ඔවුන්ට අරහන් ය. බඩු බෙදා රට හදන්න පුළුවන් කියා ඔවුන් හිතන්නේ නැත. පාරාදීස, කැලිෆෝනියා, පාසැල් පංසල් කැපකරු කතා වලට Z පරම්පරාවේ තරුණයන් තවදුරටත් රැවටිය නොහැක.
එය නොතේරෙන සමහර ළාමක දේශපාලන නායකයින් සුපුරුදු "බයිලා" කියමින් විකාර රඟ දක්වමින් සිටී. රනිල් වික්‍රමසිංහට තරුණයන්ට කීමට දෙයක් නැත. ෆ්‍රී වයිෆයි , බ්‍රේස්ලට් , පුංචි කාර් දෙනවා කියා තවත් කීමට නොහැකි ය. 2048 වන විට නොපෙනෙන පෝසත් රටක් පෙන්වීමට උත්සාහ කළ ද එයත් කෙප්පයක් බව Z පරම්පරාව දනී. එම නිසා හෙට අනිද්දා වන විට AI ලෝකයක් හෝ දෙනවා කියනු ඇත. සජිත් ප්‍රේමදාසටත් තරුණයන්ට කුමක් දෙන්නේ ද කියා කියන්නට බැරිය. ඔහු සාමාන්‍යයෙන් කියන්නේ තරුණ ප්‍රඥප්තියක් හදන බවකි. එයද කෙප්පයක් බව තරුණයන් හොඳාකාරවම දනී. සජිත් හැමදේටම දෙන්නේ ප්‍රඥප්ති විසඳුම් ය.
කොට නම් කම්කරු , උස නම් සෙකුයුරිටි දෙනවා කියන්නටත් සජිත්ට දැන් බැරිය. එහි වීඩියෝවක් එලියට ආ විට දෙළොව රත් වන්නට ඇත. හර්ෂ ද සිල්වා නම් කියන්නේ ලංකාව කැලිෆෝනියාවක් කරනවා කියාය. ලැව් ගිනි නැති ලංකාව ඊට වඩා හොඳයි කියා තරුණයන් සමාජ මාධ්‍යයේ ලියා තිබෙනවා මම පසුගිය දිනවල දැක්කෙමි. ඔවුන් කියන්නේ මේ ප්‍රෝඩාකාරී රොත්ත බුරුත්තම පන්නා දැමූ විට කැලිෆෝනියා කෙසේ වෙතත් ලංකාවට කර තිබෙන හූනියම අවසන් වන බවය. හූනියම කපන්නට තරුණ තරුණියන් මේ වන විටත් සූදානම් බව මාතර රැලියෙන් ඔප්පු විය. මාතර NPP Youth රැලියෙන් පසු දැන් සජිත්ට සහ රනිල්ට තවත් තරුණ රැලි කිරීමට නොහැකි ය. එසේ නම් මාතරට නොදෙවෙනි තරුණ තරුණියන් ප්‍රමාණයක් රැස් කිරීමට ඔවුන් සමත් විය යුතුය. එය කොහෙත්ම නොවනු ඇත.
අනුරගේ පාලනයක් තුල අනිවාර්යයෙන්ම හැකියාව, නිපුණතාවය, දක්ෂතාවය අනුව සුදුස්සාට සුදුසුම තැන (Meritocracy ) ලැබෙන බව ස්ථීරය. අනුර ඩිජිටල් ලෝකය සමග ගනුදෙනු කරන Z පරම්පරාවට ගැලපෙන නැවුම් නායකයෙකු බව මේ වන විටත් ඒත්තු ගන්වා ඇත. ප්‍රායෝගික, යථාර්ථවාදී තීරණ ගත හැකි (Pragmatic) නායකයකු බව Z පරම්පරාව අනුරව ඔසවා තබා ඇත. ලංකාවේ අන් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකුට නොමැති ආදර්ශමත් චරිතයක් (Unblemished Character) අනුරට ඇත. ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම අවංක (Honest) දේශපාලනඥයෙකි. රාජ්‍ය දේපළ අවභාවිතා කළ බවට කිසිවෙකුට අනුර චූදිතයකු කළ නොහැක. ඔහු එතරම්ම ආදර්ශමත් ය (Exemplary) පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත කිසිවෙකුට අනුර දූෂිතයෙක් කියා කීමට බැරි තරමට ඔහුගේ අවුරුදු 23 ක් වන පාර්ලිමේන්තු ජීවිතය ආරක්ෂා කරගෙන ඇත. අන් කිසිදු ඉදිරි පෙළ දේශපාලනඥයෙකුට එවැනි සුපිළිපන් පෞරුෂයක් තිබෙනවා ද?
මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය කුඩු පට්ටම් කොට දමා එකිනෙකාට ආදරය, සෙනෙහස , කරුණාව දක්වන අනෙකා පිළිබඳ සහකම්පනයක් ඇති (Empathy ) පාලකයකු Z පරම්පරාවට අවශ්‍යය ය. නව ලෝකය පිළිබඳ යථාර්ථවාදී, ඉදිරිගාමී, නිවැරදි හා සෘජු තීරණ ගන්නා නායකයකු Z පරම්පරාව බලාපොරොත්තු වෙයි. අවංකත්වය මෙන්ම රාජ්‍යකරණයේ දී කරන්නාවූ සෑම ක්‍රියාවකම විනිවිදභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමත් ඒවාට වගවන්නාවූ , මූල්‍ය විනයක් සහ සංවරයක් ඇති නායකයකු Z පරම්පරාවට අවශ්‍ය ය. ඔවුන් ඉල්ලා සිටින System Change එයයි. ඔවුන් මේ වන විට එම නායකයා තෝරා ගෙන අවසන් ය. ඒ සරල, ආදරණීය , ඇලේ දොලේ ඇවිදින, වෙල් ඉපනැල්ලේ සුවඳ දන්නා, නවීන ලෝකය සමග ගණුදෙනු කරන අනුර කුමාර දිසානායකය. අනුර සහ Z පරම්පරාව අතර ඇති වී තිබෙන මේ බැඳීම වෙන් කිරීමට හෝ බිඳ දැමීමට හරසුන් කතා කියන සජිත්ට හෝ වයෝවෘධ රනිල්ට තවත් ඉඩක් ඉතිරි වී නොමැත.
ශාන්ත ජයරත්න
shantha323@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102
No comments:
Post a Comment