Friday, 26 July 2024

ප්‍රංශය කෝ. ආනන්ද හිමියන්ගේ අඩසියවසක ප්‍රතිභා පූර්ණ සාහිත්‍යමය දිවියට උපහාර දක්වයි..!

-සුනිල් ආනන්ද පැරිසියේ සිට ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.26, ප.ව. 3.15) දශක පහකට වැඩි ගණනක් සිංහල සාහිත්‍ය හා සංස්කෘතිය පෝෂණය කරමින් ප්‍රංශයේ වැඩ වාසය කරන සාහිත්‍ය සූරී කෝන්ගස්දෙණියේ ආනන්ද ස්වාමින්වහන්සේගේ නිර්මාණ ඇගයීමේ උත්සවයක් ජුනි මස 28 වන දින ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේදී තානාපතිනි මනිෂා ගුණසේකර මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සූම් තාක්ෂණය ඔස්සේ ද විකාශනය කළ මෙම සාහිත්‍ය විමර්ශන ප්‍රණාම උළෙලට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රධාන මහාචාර්ය සදගෝමි කෝපරහේවා මහතා ඇතුළු විද්‍යාර්ථීන් රැසක් සහ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, ප්‍රංශයේ වෙසෙන ශ්‍රි ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් විවිධ සංවිධාන වල නියෝජිතයින්, ගුරුවරුන් හා ලේඛක ලේඛිකාවන් සහභාගි වූහ.

මෙම උළෙලේ සමාරම්භක මොහොත අමතමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය හා යුනෙස්කෝ හි නිත්‍ය නියෝජිත මනීෂා ගුණසේකර මැතිනිය ප්‍රකාශ කර සිටියේ කෝ. ආනන්ද ස්වාමින්වහන්සේගේ සාහිත්‍යමය දායකත්වය හා නිර්මාණශිලි දිවියේ දශක තුනකට වැඩි කාලයක් ගෙවෙන්නේ ප්‍රංශයේ බැවින්, එකී නිර්මාණශීලිත්වය පිළිබද කථිකාව ප්‍රංශයේ වෙසෙන ශ්‍රි ලංකික ප්‍රජාවෙන් ඔබ්බට රැගෙන ගොස් වර්තමාන විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් හා සාහිත්‍ය සේවනයේ යෙදෙන තරුණ පරපුර වෙතට ගෙන යාම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ බවයි. එමෙන්ම සිංහල භාෂාව හා සාහිත්‍යය, ශ්‍රී ලාංකික සංස්කෘතිය ප්‍රංශයේ දෙවන, තෙවන පරම්පරා වල දරු දැරියන් ට ලබා දෙන්නට පූජ්‍ය කෝ. ආනන්ද ස්වාමින්වහන්සේ දරන උදාරතර කැපවීම තානාපතිනියගේ විශේෂ ප්‍රශංසාවට ලක්විය.

කෝ. ආනන්ද හිමි නිර්මාණ ප්‍රභා උත්සවයට එක්වෙමින් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන ස්වාමින්වහන්සේ සඳහන් කළේ 70 – 80 දශක වල අද්විතීය කවියෙකු වූ කෝ.ආනන්ද හිමියන්ගේ දශක 05 කට අධික නිර්මාණ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඇගයීම ‍ඓතිහාසික අවස්ථාවක් බවයි. තානාපති කාර්යාලය විසින් මෙවැනි ඇගයීමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බවත්, එම අවස්ථාව ප්‍රංශයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල සම්බන්ධ කර ගැනීම ප්‍රශංසනීය බවත්, උන්වහන්සේ සඳහන් කළහ.

කෝ. ආනන්ද හිමි සාහිත්‍ය විමර්ශන ප්‍රණාම උළෙලේ විශේෂ සාහිත්‍යාත්මක දේශන පවත්වනු ලැබුවේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ යන විද්වතුන් විසිනි. (පටිගත කරන ලද)

කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ විශ්‍රාමික මහාචාර්ය විල්සන් රාජපක්ෂ මහතා කෝ.ආනන්ද හිමියන්ගේ ළමා නිර්මාණ පිළිබදව විශේෂ ඇගයීමක් සිදු කළේය.

පැරිසියේ ධම්මචක්ඛ දහම් පාසලේ දරු දැරියන් විසින් කෝ.ආනන්ද හිමියන් පිළිබදව උපහාර ගීතයක් ගායනා කළ අතර, පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, කෝ. ආනන්ද හිමියන් පිළිබඳව ලියූ, විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගායනය කරන ලද සුමියුරු උපහාර ගීතයකින් මෙම උත්සවය අලංකාරවත් විය.

ප්‍රණාම උළෙල ආමන්ත්‍රණය කරමින්,  කෝ.ආනන්ද හිමියෝ තානාපති කාර්යාලය විසින් මෙම අවස්ථාව සංවිධානය කිරිම පිළිබඳව අගය කළ අතර, නූතන කවීන්ගේ නිර්මාණ භාවිතය පිළිබඳව කෙටි විචාරාත්මක දේශනයක් ද සිදුකළහ. උන්වහන්සේ නූතන කාව්‍යයයේ අනාගතය වඩාත් සුභදායි බව වැඩිදුරටත් සඳහන් කළෝය.

උත්සවය අවසන අදහස් දැක්වීමේ අවස්ථාවේ දී, ශ්‍රී ලාංකීය ප්‍රජාව නියෝජනය කරමින් උත්සවයට සහභාගි වූ විවිධ සංගම් නියෝජිතයන්, කෝ.ආනන්ද හිමියන් ප්‍රංශයේ වැඩ වාසය කළ මුල් අවධිය සහ උන්වහන්සේ ගේ සාහිත්‍යමය දිවිය වැඩිදියුණු කර ගැනීමට සහාය දුන් ආකාරය සඳහන් කළ අතර, මෙම කෝ. ආනන්ද හිමි නිර්මාණ ප්‍රභා උළෙල ඔවුන්ගේ නිබඳ ඇගයීමට ලක්වන බව වැඩිදුරටත් සඳහන් ‍කළෝය.

කෝ.ආනන්ද හිමියන් 1968 දී “මා නිසා ඈ වීතරාගී “ කාව්‍ය කෘතියෙන් සිය නිර්මාණ දිවිය ආරම්භ කළ අතර, මේ වනවිට කාව්‍ය කෘතින් 13 ක් රචනා කොට තිබේ. උන්වහන්සේ ලියූ “ හේ සිද්ධාර්ථ නම් වේ “ නව කතාවට 1979 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමිණි. පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවෙණාධිපති ලෙස කලක් සේවය කළ කෝ.ආනන්ද ස්වාමින්වහන්සේ දක්ෂ සාහිත්‍ය ශිල්පීන් රැසක් බිහිකළ ගුරුවරයෙකි.

අඩසියවසකට වැඩි කාලයක් ස්වකීය විශිෂ්ට නිර්මාණකරණයෙන් සිංහල සාහිත්‍ය හා කලාව පෝෂණය කිරිම වෙනුවෙන් හා ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමයන් මතු පරපුරට දායාද කරන්නට සිදුකරන උත්කර්ෂවත් මෙහෙවර උදෙසා සාහිත්‍ය සූරී කෝ.ආනන්ද හිමි වෙත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන්, තානාපතිනිය මනීෂා ගුණසේකර විසින් සම්මානයක් පිරිනැමීණ.

කෝ.ආනන්ද හිමි නිර්මාණ ප්‍රභා උළෙලේ සාර්ථකත්වයට තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයෙන් ලැබුණු දායකත්වය සුවිශේෂි බව මෙහිලා සඳහන් කළ යුතුය.

-සුනිල් ආනන්ද පැරීසියේ සිට






No comments:

Post a Comment