වනිඳු හසරංගලාගේ ප්‍රශ්නය හෙවත් “කොළඹ සන්නිය”..! අපේ ක්‍රිකට් ගැලවුම්කරු කවුද?
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.25, ප.ව. 2.50) අපේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා බන්දුල වර්ණපුරය. ඔහුගේ සහායකයා හෙවත් උප නායකයා දුලිප් මෙන්ඩිස්ය. දෙදෙනා අඹ යාළුවෝ නොවෙති. දෙදෙනා අතර යම් යම් පෞද්ගලික නොහොඳ, නෝක්කාඩුකම්, ගැටුම් තිබිණි. එහෙත් ක්‍රීඩාවේ මහත්වරුන් වූ ඔවුහු කිසිවිටෙක එම පෞද්ගලික අමනාපකම් ක්‍රීඩා පිටියට නොගෙන ආහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දුලිප් උප නායකයා වශයෙන් බන්දුලට උපරිම සහාය ලබාදුන්නේ ය. ඒ පිළිබඳව බන්දුල ප්‍රසිද්ධියේ දුලිප්ට ප්‍රශංසා කළේ ය.
දුලිප් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවතට..
වසර 1982 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරවීමට නියමිත තිබිණ. මේ වනවිට දුලිප් ජාත්‍යන්තර සහ දේශීය තරඟයන්හි ලකුණු අතර නොසිටියේ ය. තේරීම් කමිටුව දුලිප්ව කණ්ඩායමෙන් ඉවත් කළේ ය. ඔවුහු තම තීරණය බන්දුලට දැනුම් දුන්හ. එහෙත් ඔහු ඒ තීරණය සමඟ එකඟ නොවීය. දුලිප් ඒ මොහොතේ ලකුණු අතරේ නොසිටිය ද ඔහු ඉතා ඉක්මණින් පිත්තෙන් දස්කම් දක්වනු ඇතැයි බන්දුල තර්ක කළේ ය. දුලිප් යනු කණ්ඩායමට සම්පතක් යැයි කියා සිටි බන්දුල ඔහු නොමැතිව ඉන්දියානු සංචාරයේ නිරතවීමට අකමැත්තක් දැක්වීය. දීර්ඝ වාද විවාද, කරුණු දැක්වීම්වලින් පසු දුලිප්ව කණ්ඩායමට එක් කර ගැනීමට බන්දුල සමත් විය.
චෙන්නායි ටෙස්ට් තරඟයේ ඉනිම් දෙකේ ශතක..
ඉන්දීය සංචාරය ටෙස්ට් තරඟයකින් සහ එක්දින තරඟ තුනකින් සමන්විත වූ අතර ඉන්දියාව සමඟ වන පළමු නිළ ටෙස්ට් තරඟය සැප්තැම්බර් 17-22 දක්වා චෙන්නායිහි දී පැවැත්විණි. බන්දුලගේ අනාවැකි සනාථ කරමින් දුලිප් එම තරඟයේ දී යළි ලකුණු අතරට පැමිණියේ ය. දුලිප් මෙන්ඩිස් චෙන්නායි ටෙස්ට් තරඟයේ ඉනිම් දෙකේම ලකුණු 105 බැගින් රැස් කළේ ය. ටෙස්ට් තරඟයක ඉනිම් දෙකේම ශතක ලබාගත් ප්‍රථම ලාංකීක ක්‍රීඩකයා වූ දුලිප්, තරඟයේ වීරයා වශයෙන් ද සම්මාන ලැබීය.
බන්දුල, දුලිප්ලාගේ එදා මහත්වරුන්ගේ ක්‍රීඩාව…
එදා බන්දුල වර්ණපුරට දුලිප්ව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කර ඔහුගේ ක්‍රිකට් ජීවිතය ද විනාශ කිරීමට අවස්ථාව තිබිණි. එහෙත් ඔහු තම පෞද්ගලික රුචි අරුචිකම් වලට වඩා රට අංක එකේ තබා කටයුතු කළේ ය. ඔහුගේ ඉලක්කය වූයේ පෞද්ගලික පලිගැනීම් නොව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයයි. සුදුස්සාට සුදුසු තැන ලබාදීමය. දුලිප් ද උප නායකා වශයෙන් බන්දුලට උපරිම සහයෝගය ලබාදුන්නා මිස කණ්ඩායම ඇතුලේ කල්ලි නිර්මාණය කරමින් කුමන්ත්‍රණය කළේ නැත. ඔවුහු සැබෑ මහත්වරු මෙන් ක්‍රීඩා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූහ. බන්දුල, දුලිප්, වැනි මහත්වරු මෙහෙය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට වනිඳු හසරංගලා වැනි ත්‍රාඩයන් පත් වන්නේ කෙසේ ද?
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ත්‍රාඩයන් …
වනිඳු හසරංග T 20 කණ්ඩායමේ නායකත්වයට පත් වූ පසුව සිදු කළ ප්‍රධාන කාර්යය වූයේ තමන් සමඟ පෞද්ගලික අමනාපකම්, මතභේද තිබූ දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායමෙන් කපා දැමීම සහ තම පාසැල් මිතුරන් කණ්ඩායමට එක් කර ගැනීමය. ඒ සඳහා හොඳම නිදසුන චාමික කරුණාරත්නය. මෙවර T 20 ලෝක කුසලාන කණ්ඩායමට චාමික එක්කර ගැනීමට වනිඳු හසරංග මාරාන්තික විරෝධයක් දැක්වීය. චාමික කරුණාරත්නව ලෝක කුසලාන කණ්ඩායමට එක් කර ගන්නේ නම් තමන් කණ්ඩායමෙන් ඉවත් වන බවට ඔහු ක්‍රිකට් තේරීම් කමිටුවට තර්ජනය කළේ ය. තේරීම් කමිටු සභාපති උපුල් තරංග “වනිඳු හසරංගට අවශ්‍ය කණ්ඩායම අපි ලබාදුන්නා” යැයි මාධ්‍යයට ප්‍රකාශ කළේ ඔහුගේ ඉල්ලීම් ඉටු කළ බව ඉඟි කරමිනි.
චාමික කරුණාරත්න භීතිකාව..
පසුගිය ජූලි හය වන දා පැවැති LPL තරඟාවලියේ මහනුවර සහ කොළඹ තරඟයේ දී මේ පෞද්ගලික ගැටුම් යළි ඉස්මතු විය. මහනුවර කණ්ඩායමේ නායකයා වනිඳු හසරංගය. කොළඹ කණ්ඩායමේ උප නායකයා චාමික කරුණාරත්නය. මහනුවර කණ්ඩායම පරදා කොළඹ කණ්ඩායම ජය ගත්තේ ය. තරඟය අවසානයේ කණ්ඩායම් දෙක අතට අතදී සුහදත්වය ප්‍රකාශ කිරීම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භයේ සිටම සිදු කරන මහත්මා සිරිතකි. එහෙත් වනිඳු, චාමික කරුණාරත්නට තම සුහදත්වය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේ ය.
වනිඳුගේ ආරේ ගති නෑරේ…
වනිඳු හසරංග LPL තරඟාවලියට නියම කර තිබෙන ආරක්ෂිත හිස් වැසුමක් වෙනුවට වෙනත් හිස් වැසුමක් පැලඳ පිටියට පැමිණි අවස්ථාවේ එය ඉවත් කරන ලෙසට විනිසුරුවෙක් ඉල්ලීමක් කළේ ය. වනිඳු ඒ අවස්ථාවේ එම විනිසුරුවරයා සමඟ ගැටුමක් නිර්මාණය කර ගත්තේ ය. මේ ගැටුම හේතුවෙන් වනිඳුට රුපියල් ලක්ෂ එකළොහක දඩයක් ගෙවීමට සිදු විය. ඔහු විනිසුරන් සමඟ පිටියේ ගැටුම් ඇති කර ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි. බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය අතර පැවති තරඟයන්හිදීත් ඔහු විනිසුරන් සමඟ පිටියේ ගැටුම් ඇති කර ගත්තේ ය. ඒ හේතුවෙන් දඬුවම් ද ලැබීය. ලැයිස්තුව දිගුය. එහෙත් දඬුවම් වලින් ඔහුගේ ගති පැවතුම් නිවැරදි කළ නොහැකි විය.
හුඹහකින් ඇද එළියට දැමූ “කරා”...
වනිඳු හසරංග යනු ශ්‍රී ලංකා T 20 කණ්ඩායමේ නායකයාය. රටේ මිලියන විසිදෙකක ජනතාවක් නියෝජනය කරන චරිතයකි. එහෙත් ඒ චරිතය කොණ්ඩය වවාගෙන, කොණ්ඩය පාට කර, කන් දෙකේම කරාබු දා ගෙන, ඇඟ පුරාම පච්ච කොටා ගත් “කරෙක්” මෙනි. ඒ කණ්ඩායමේ නායකයාය. ඔහුගේ ගෝලයෝ ගැන අමුතුවෙන් කථා කිරීමට දෙයක් නැත. පසුගිය දා අවසන් වූ T 20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවට එරෙහි තරඟයේ දී කාසිය වාසිය දැමීමට වනිඳු හසරංග පිටිය මැදට පැමිණියේ හුඹහකින් ඇද එළියට දැමූ එකෙක් මෙනි. කොණ්ඩය පීරා නැත; ටී ෂර්ට් එක උඩින් දමා ගෙනය; හිසේ ශ්‍රී ලංකා ලාංඡනය සහිත තොප්පියක් නැත. හරිහමන් කළමනාකරුවෙකු සිටියේ නම් වනිඳුව එසේ පිටිය මැදට එවන්නේ නැත. වනිඳු පෞද්ගලික ජීවිතයේ නිරුවතින් පාරේ ගමන් කළත් අපට ප්‍රශ්නයක් නැත. එහෙත් මිලියන විසිදෙකක ජනතාවක්, රටක් නියෝජනය කරන තරඟයක දී හෝ අවම විනයක් පවත්වා ගත යුතුය.
ත්‍රීවීල් පාක්, මාළු ලෑලි වලින් “ක්‍රීඩකයන්” සොයා ගැනීමේ විපාක..
“වනිඳු හසරංගලා” යනු අපේ රටේ හරස්කඩකි. පසුගිය දශක කිහිපය පුරා සමාජයක් වශයෙන් සිදු වූ බිඳ වැටීම ඔවුන් හරහා පිළිඹිබු වෙයි. හසරංගලා වැනි “කරාලා” ශ්‍රී ලංකා කණ්ඩායම අරක්ගෙන සිටින්නේ කෙසේ ද? එයට හේතුව අප ත්‍රීවීල් පාක්, මාළු ලෑලි වලින් “ක්‍රීඩකයන්” සොයා ගැනීමය. මේ මට්ටමට අපේ ක්‍රිකට් ඇඳ වැටුණේ මන්ද? එයට ප්‍රධාන හේතුවක් වන්නේ පාසැල් ක්‍රිකට් ව්‍යුහය බිඳ වැටීමය (මේ තත්ත්වයට බලපෑ අවශේෂ හේතු මේ ලිපියෙන් සාකච්ඡා නොකරන බව සළකන්න).
පාසැල් ක්‍රිකට් බිඳ වැටීම…
පාසැල් ක්‍රිකට් ව්‍යුහය ශක්තිමත්ව පවතින අවධියේ ත්‍රීවීල් පාක්වලින්, මාළු ලෑලි වලින් “ක්‍රීඩකයන්” සොයා ගැනීමට සිදු වූයේ නැත. වයස අවුරුදු එකොළහෙන් පහළ සිට වසර අටක් පමණ කාලයක් කැපවීමෙන් ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයෝ එදා අපට සිටියහ. ජාතික කණ්ඩායමට ඊළඟට එකතු වන ක්‍රීඩකයන් කවුද යන්න අන්තර් පාසැල් වයස දහනමයෙන් පහළ ක්‍රිකට් තරඟාවලිය දෙස බලන විට එදා ඉතා පැහැදිලිය. බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස්, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, රංජන් මඩුගල්ල, අර්ජුන රණතුංග, අරවින් ද සිල්වා, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් ඇතුළු ක්‍රීඩකයෝ රාශියක් වයස දහනමයෙන් පහළ පාසැල් ක්‍රිකට් කණ්ඩායම්හි විශිෂ්ට දස්කම් දක්වමින් සිට ජාතික සංචිතයෙන් ජාතික කණ්ඩායමට එක් වූහ.
පාසැල් සිසුවෙකුගෙන් අපේ පළමු ටෙස්ට් අර්ධ ශතකය..
අර්ජුන රණතුංග අපේ පළමු ටෙස්ට් තරඟයට සහභාගී වනවිට ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ඔහු එම තරඟයේදී ප්‍රබල එංගලන්ත පිළට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කළේ ය. ඒ හරහා ප්‍රදර්ශනය වූයේ අර්ජුනගේ දක්ෂතා මෙන්ම අපේ පාසැල් ක්‍රිකට් ව්‍යුහයේ ශක්තිමත් බව සහ එහි ඉහළ ප්‍රමිතියයි.
විනය අංක එකට තැබූ පාසැල් ක්‍රිකට….
අපේ පාසැල් ක්‍රිකට් පුහුණුකරුවෝ, ක්‍රීඩාභාර ආචාර්යවරු දක්ෂ ක්‍රීඩකයන් පමණක් නොව රටට වැඩදායක පුරවැසියන් බිහි කළහ. ඔවුහු ඉහළ විනයක් සහ පෞරුෂයක් සහිත දරුවන් රටට දායාද කළහ. ක්‍රිකට් තරඟයක් ජය ගන්නවාට වඩා ජය පරාජය එකසේ දරා ගැනීම, කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම, එකිනෙකාට ගරු කිරීම, පීඩන අවස්ථාවන්ට මුහුණ දීම, විනිසුරුවන්ගේ තීරණ පිලිගැනීම ඇතුළු ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගැනීමට හැකි ක්‍රීඩකයන් පිරිසක් ඔවුහු බිහි කළහ. පිටිය තුළ මෙන්ම පිටත ද, විනය අංක එක විය.
ක්‍රීඩාගාරයට කැඳවා කන අතගෑම…
පිටියේ දී අසංවර ලෙස හැසිරුණහොත් හෝ විනිසුරන්ගේ තීරණයන්ට විරෝධය දැක්වුවහොත් තරඟය අතරේම අදාළ ක්‍රීඩකයා ක්‍රීඩාගාරයට කැඳවා කන අතගෑම සිදුවෙයි. එයට තරඟ තහනමක් ද එක්වෙයි. කොතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවද දඬුවමේ වෙනසක් නැත. කොණ්ඩය නිසි පරිදි කපා, තරඟයට නියම කළ ඇඳුම් ඇද, පාසැලේ නිළ හිස්වැස්ම පැළඳ, නිසි වේලාවට පැමිණිය යුතුය. එම කොන්දේසි සැපිරීමට නොහැකි කිසිවෙකුට පාසැල නියෝජනය කරමින් තරඟ කළ නොහැකිය.
සැබෑ මහත්වරු බිහි කළ පුහුණුකරුවන්…
දිවා ආහාරයට එක්වන විට බොහෝ විට පාසැලේ බ්ලේසරය පැළඳිය යුතුය. තරඟ ජයග්‍රහණය කරනවාට වඩා උනන්දු වූයේ විනයගරුක ආදර්ශමත් මතු පරපුරක් බිහි කර ගැනීමටය. ඔවුහු “මහත්වරුගේ ක්‍රීඩාවට” සැබෑ මහත්වරු බිහි කිරීමට උත්සාහ කළහ. යම් යම් අඩුපාඩු මධ්‍යයේ වුවද ඒ ක්‍රමය හරහා සාර්ථක ප්‍රතිඵල ලැබුණි.
අපේ ක්‍රිකට් ක්‍රීඩාවම විනාශ කළ මාෆියා ව්‍යාපාරිකයන්…
එදා පාසැල් අධ්‍යාපනෙයන් සහ වයස දහනමයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමන් සමුගෙන ජාතික ක්‍රිකට් සංචිතයට එකතු වූයේ එවැනි විනයක් සහ පෞරුෂයක් සහිත දරුවන්ය. එහෙත් අද එසේ ජාතික සංචිතයට එකතු වන පාසැල් ක්‍රීඩකයන් නොමැති තරම්ය. එයට හේතුව අපේ පාසැල් ක්‍රිකට් පද්ධතිය බිඳ වැටීමය. එදා පාසැල් ක්‍රිකට්හි පැවති ඉහළ ප්‍රමිතිය මෙන්ම විනය අද එහි දකින්නට නැත. අපේ පාසැල් ක්‍රිකට් මෙවැනි මට්ටමකට පත් වූයේ කෙසේ ද? එයට ප්‍රධාන හේතුව වසර 1996 ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගැනීමත් සමඟ ක්‍රිකට් පරිපාලනය මාෆියා ව්‍යාපාරිකයන් කණ්ඩායමක් විසින් ඩැහැ ගැනීමය. ඔවුහු සමස්ත වශයෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩාවම විනාශ කළහ.
කළමනාකරුගේ මෝටර් රථයෙන් කොටු පැන්න ධනුෂ්ක ගුණතිලක…
එදා මහත්වරුන්ගෙන් සමන්විත වූ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම අද “කරාලා” පිරිසකගේ ආධිපත්‍යයට යටවී තිබේ. මාෆියා ව්‍යාපාරිකයන් කණ්ඩායමක් “මහත්වරුන්ගේ ක්‍රීඩාව” නීති විරෝධී ලෙස අත්පත් කරගෙන සිටින විට ජාතික ක්‍රිකට් කණ්ඩායම “කරාලාට” යටවීම පුදුමයක් නොවෙයි. ශම්මිලාට වනිඳු හසරංගලා, කුසල් මෙන්ඩිස්ලා ඇතුළු “කරාලා”ගේ විනය හැදීමට නොහැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශම්මිලා යනු හොර තක්කඩි නඩයකි. අද අබු ෆුවාඩ්, දුලිප් මෙන්ඩිස් වැනි විනය ඉහළින් රැක ගන්නා කළමනාකරුවන් නැත. ඒ වෙනුවට සිටින්නේ “කරාලා”ට බය කළමනාකරුවන්ය. ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ කොටු පනින්න යන්නේ කළමනාකරුගේ මෝටර් රථයෙනි!
ක්‍රිකට් බ්ලේසරය වෙනුවට ටී ෂර්ට් හඳුන්වාදුන් ලසිත් මාලිංග…
එදා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් විදේශ සංචාරයකට පිටත් වන්නේ ක්‍රිකට් බ්ලේසරයක් සහිත ශ්‍රී ලංකා නිළ ඇඳුමෙනි. එය චිරාත් කාලයක් පැවති සම්ප්‍රදායකි. එය පළමු වරට බිඳ දමන්නේ ලසිත් මාලිංගය. ඔහු එම විදේශ සංචාරයට පිටත්ව යන්නේ ටී ෂර්ට් කට්ටකිනි. ඒ මොහොතේ ඔහුට අවවාද කිරීමට කොන්ද තිබෙන කළමනාකරුවෙකු සිටියේ නැත. එදා අබු ෆුවාඩ් සිටියා නම් ඔහුව යළි හරවා යවනවා නොඅනුමානය. දැන් දැකිය හැක්කේ සියළු දෙනාම බ්ලේසර් අත්හැර ටී ෂර්ට් වලට මාරුවීමය!
ෆැෂන් ෂෝ එකක මොඩල්ස්ලා වීම…
ලසිත් මාලිංග කොණ්ඩය පාට කර, පච්ච කොටා විලාසිතා කරන විට එහි සීමාවන් පෙන්වාදීමට කිසිවෙකු සිටියේ නැත. කළමනාකරුවෝ අහක බලාගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට ක්‍රිකට් කණ්ඩායම ෆැෂන් ෂෝ එකක මොඩල්ස්ලා වී හමාරය. කොතරම් දක්ෂකයෙක් වුවද විනය විරෝධීව කටයුතු කරන්නේ නම් ඔවුන් කණ්ඩායමට බරකි, රටට වාතයකි. අද මොන විනය විරෝධී ක්‍රියාවක් කළ ද නිසි දඬුවමක් නැත. කුසල් මෙන්ඩිස්ලා එංගලන්තයේ පිස්සු නටා යම් දඬුවමකට යටත් කරනු ලැබීය. එහෙත් එවකට සිටි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ එම දඬුවම ඉවත් කර යළි එම පිරිස කණ්ඩායමට එක් කළේ ය.
ඕනෑම විනය විරෝධී ක්‍රියාවකට දඬුවමක් නැත…
තමන් මොන පිස්සුව නැටුව ද, සිදුවන හානියක් නොමැති බව ඔවුහු දනිති. පසුගිය දෙසැම්බරයේ කුසල් මෙන්ඩිස් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයේ දොරකට පහර දී හානි කළේ ය. ඒ පිළිබඳ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂා කරන බව තේරීම් කමිටුවේ ප්‍රධානී උපුල් තරංග ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. එහෙත් පරීක්ෂණයට සිදුවූ දෙයක් නැත.
අර්ජුන එදා දුටු අනතුර…
එදා ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ රට වෙනුවෙනි. අද රට වෙනුවට මුදල් ආදේශ වී තිබේ. මේ විනාශ නිර්මාණය වූයේ Franchise Cricket හඳුන්වාදීමත් සමඟිනි. අර්ජුන මේ අනතුර මුලින්ම දැක්කේ ය. මහේල, සංගක්කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එංගලන්ත සංචාරය වෙනුවට IPL තෝරා ගැනීම පිළිබඳ අතුරු පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් ඔහු විරුද්ධ විය.
ක්‍රිකට් දේහය පුරාම පැතිරුණු පිළිකාව…
මහේල, සහ සංගක්කාර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ලවා අර්ජුනගේ තීරණය වෙනස් කරවීය. “අපේ ක්‍රීඩකයන් කීයක් හරි හොයා ගන්නවාට” අර්ජුන විරුද්ධ බව කියමින් එදා ඔහුට බොහෝ දෙනෙක් මඩ ගැසූහ. වෙනත් වැරදි තිබිය හැකි වුවත් ඔහු මේ “පිළිකාව” නිවැරදිව එදා හඳුනාගත්තේ ය. අද එය අපේ ක්‍රිකට් දේහය පුරාම පැතිර ගොසිනි.
වනිඳු ටෙස්ට් තරඟවලින් සමුගත් රහස…
වනිඳු හසරංග යනු දක්ෂ ක්‍රීඩකයෙකි. ඒ ගැන සැකයක් නැත. එහෙත් ඔහු වසර විසිහය වන විට තමන් ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගන්නා බව ප්‍රකාශ කළේ ය. ඒ වනවිට ඔහු සහභාගී තිබුණේ ටෙස්ට් තරඟ හතරකට පමණි. මේ තීරණයේ රහස වන්නේ දවස් පහේ ටෙස්ට් තරඟ වලට සම්බන්ධවනවාට වඩා එම කාලය Franchise Cricket වලට යොමුකිරීම හරහා කිසිදාක සිතාගත නොහැකි මුදලක් උපයා ගත හැකිවීමයි.
මතීෂ පතිරණගේ LPL ලංසුව ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ විසි දහසකි..
පෞද්ගලික ලාභ ලබන ව්‍යාපාර වශයෙන් පවත්වන Franchise Cricket වලට සම්බන්ධවීමෙන් එක් තරඟාවලියකදී පමණක් ඇමරිකානු ඩොලර් ලක්ෂ ගණනින් උපයා ගත හැකිය. නිදසුනකට මෙවර lPL හි දී වනිඳු හසරංග අලෙවි වූයේ ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ අසූ දහසකටය. මේ වන විට පැවැත්වෙන LPL හි දී විසි එක් හැවිරිදි මතීෂ පතිරණගේ ලංසුව ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ විසි දහසකි.
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා…
ජීවිත කාලය පුරා දැඩි ආර්ථික දුෂ්කරතා මත දිවි ගෙවූ බොහෝ ක්‍රීඩකයන්ට මේ T20 ක්‍රිකට් තරඟ නොසිතූ විරූ සම්පත් ලබාදෙන ධන උල්පත් බවට පත්ව තිබේ. මේ ධනය මත ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරුවී ඇත. දෑස් නිලංකාර වී තිබේ. මේ ඩොලර් කන්ද සමඟ ක්‍රීඩාවේ මූලික විනය, කණ්ඩායම් හැඟීම, සමගිය අමතකව ගොසිනි. ඔවුන්ගේ සමාජ මාධ්‍ය පෝස්ට් දකින විට සිහි වන්නේ “කොළඹ සන්නිය” චිත්‍රපටයයි. මේ දක්ෂ ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ නිසි මඟ පෙන්වීමකි. එහෙත් අවාසනාවකට එයට මැදිහත්වීමට ක්‍රිකට් බලධාරීන්ට හැකිවී නැත.
මුත්තයියා මුරලිදරන් දන්නා සිංහලෙන් කියූ සත්‍යය…
ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටතම පන්දු යවන්නෙකු වශයෙන් සළකන මුත්තයියා මුරලිදරන් දන්නා සිංහලෙන් “නයි දෙරණ” සමඟ පැවති සාකච්ඡාවකදී පැහැදිලිව කියා සිටියේ වර්තමාන ක්‍රිකට් පරිපාලනය යටතේ කිසිදාක ලංකාවේ ක්‍රිකට් ගොඩගත නොහැකි බවයි. එදා මුරලිදරන්ගේ එම ප්‍රකාශය බොහෝ දෙනෙක් විවේචනය කළහ. එහෙත් අද වන විට එය සත්‍යයක් බව ඔප්පු වී හමාරය. නායකයන්, පුහුණුකරුවන් හෝ තේරීම් කමිටු වෙනස් කර ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගත නොහැකිය. ෂම්මි සිල්වා වෙනුවට වෙනත් ඔළුවක් දැමූව ද ප්‍රතිඵලයේ වෙනසක් නැත. අවශ්‍යව ඇත්තේ ක්‍රිකට් පරිපාලනයේ ව්‍යුහාත්මක සහ ව්‍යවස්ථා වෙනසකි. පැලැස්තර විසඳුම් වලින් දැන් ප්‍රයෝජනයක් නැත. ඒ බව විදේශ ඇමති අලි සබ්රිගේ නායකත්වයෙන් ඉදිරිපත් කළ නිර්දේශ 40 ක් ඇතුළත් පිටු 46 ක ඇමති අනුකමිටු වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබේ. අද තිබෙන දේශපාලන අභියෝග වන්නේ එම යෝජනා ක්‍රියාත්මක කිරීමය.
ෂම්මි සිල්වාගේ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනාවක්..
මේ අතර හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ වර්තමාන දූෂිත ෂම්මි සිල්වාගේ ක්‍රිකට් පරිපාලනය වෙනුවට අතුරු පාලක මණ්ඩලයක් පත් කළේ ය. එයට සහය ලබාදීම සඳහා වර්තමාන ක්‍රිකට් පරිපාලනය ඉවත්කර එහි පූර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එකඟතාවයෙන් ඒකමතිකව සම්මත විය.
විධායක ජනාධිපති රනිල් ද? ෂම්මි ද?
එහෙත් ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පාර්ලිමේන්තුවට මෙන්ම ක්‍රීඩා ඇමතිවරයාට අභියෝග කරමින් කියා සිටියේ තමන් ඇමතිවරයාව ගෙදර යවා ඒ පුටුවට හරීන් ප්‍රනාන්දු ගෙන එන බවයි. අතුරු කමිටුව විසිරුවා හරින බවයි. ෂම්මිගේ අභියෝගයෙන් පැය හැත්තෑ දෙකක් යෑමට පෙර රොෂාන් රණසිංහ කැබිනට් ඇමතිධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට හරීන් ප්‍රනාන්දු පත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ තීරණය කළේ මේ රටේ විධායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ද ෂම්මි සිල්වා ද යන ප්‍රශ්නාර්ථය මතු කරමිනි. ඉන්පසුව අතුරු පාලක කමිටුව අහෝසි විය. රංජන් රාමනායකගේ වචනයෙන් කියන්නේ නම් “මුන් ඔක්කොම යාළුවො මල්ලි” ය.
විනිසුරු කේ. ටී. චිත්‍රසිරි වාර්තාව කුණුකූඩයට…
අලි සබ්රි ඇමති අනු කමිටුවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සය පුද්ගල කමිටුව පත් කරනු ලැබූ අතර ඔවුන් ද සිය වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාරදී තිබේ. එහෙත් දැන් වාර්තාවට සිදු වූ දෙයක් නැත. ක්‍රිකට් පරිපාලනයේ යෝජිත ව්‍යුහාත්මක සහ ව්‍යවස්ථා වෙනසක් සිදු වුවහොත් ෂම්මිලා ඇතුළු මාෆියා ව්‍යාපාරිකයන්ට ක්‍රිකට් ආයතනයේ බලය තවදුරටත් අත්පත් කර ගැනීමට නොහැකි වනු ඇත. ඒ හේතුවෙන් එම නිර්දේශ, යෝජනා යටගසා තිබෙයි. එය අප හමුවේ ඇති සරළ යථාර්ථයයි. රනිල් “හාමු” සහ ෂම්මි සිල්වලා දැන් එක පතේ කති. එබැවින් රනිල් වික්‍රමසිංහ මෙරට ක්‍රිකට් ගොඩ ගනී යැයි සිතා සිටින අයට අපට කීමට ඇත්තේ වහාම මානසික වෛද්‍යවරයකු මුණ ගැසෙන ලෙසය.
නිර්දේශ, තීරණ ක්‍රියාත්මක කළ යුතු වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා..
මේ බව අපට වඩා හොදින්ම දන්නා විදේශ ඇමති සහ ක්‍රිකට් අනු කමිටුවේ සභාපති අලි සබ්රි පසුගිය ජුනි 29 වන දින “සිළුමිණ” පුවත්පතට කියා සිටියේ ක්‍රිකට් අර්බුදය සොයා බැලීමට පත් කළ ක්‍රිකට් අනුකමිටුවේ නිර්දේශ සහ චිත්‍රසිරි වාර්තාව කෙසේ වුවද එම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතු වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා බවය. ඒ සඳහා වන දේශපාලන අධිෂ්ඨානයක් තමා සිටින ආණ්ඩුවට නොමැති බවට ඔහු ඉඟි කරයි.
ක්‍රිකට් අනු කමිටුවේ සභාපති අලි සබ්රි දුටු යථාර්ථය…
“අමාත්‍යාංශය තියෙන්නේ ක්‍රීඩා ඇමැතිවරයා යටතේ. අපිට පුළුවනි මේවා එතුමාට දෙන්න. එතුමා තමයි ඒක ක්‍රියාත්මක කරන්න ඕන. අපි දිගින් දිගටම ඒක කියනවා. වැඩි කාලයක් යන්නේ නෑ. මොකද මේ නිර්දේශ හදපු කමිටුවේ හිටියා නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් හා නීති සම්පාදන දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක්. ඒ නිසා වැඩි කාලයක් ගත වෙන එකක් නෑ. අනික අලුතින් කියලා තව ලොකු දෙයක් කරන්නත් නෑ. අපි ඔක්කොම එකතු වෙලා ගැසට් කරලා සති තුනකින්, මාස දෙකකින් විතර පුළුවන් වෙයි අලුත් නීතිය හදාගන්න දැන්ම ක්‍රියාත්මක වුණොත්. අපිට පුළුවනි වාර්තාවක් දෙන්න, නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවනි ක්‍රීඩා ලේකම්තුමාට. ඊට පස්සේ ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක මම දන්නේ නෑ” විදේශ ඇමැතිවරයා පවතින යථාර්ථය අපට ඉතා හොඳින් පැහැදිලි කරයි.
හේෂා විතානගේ හෙලි කළ රහස…
හේෂා විතානගේ යනු සමඟි ජන බලවේගයේ තරුණ, කැපීපෙනෙන මන්ත්‍රීවරයෙකි. ඔහු සමඟි ජන බලවේග ඡායා කැබිනට්ටුවේ ක්‍රීඩා ඇමතිගේ භූමිකාව රඟපාන බව අපේ විශ්වාසයයි. ඔහු පසුගිය කාලය පුරාම ක්‍රිකට් පරිපාලනයේ දූෂණ සහ අයථා ක්‍රියා දැඩිව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත විවේචනය කළේ ය. ඔහුගේ කට වැසීම සඳහා ක්‍රිකට් පරිපාලනය දැනට නඩු කිහිපයක් ද පවරා ඇත. පසුගිය දා හේෂා පාර්ලිමේන්තුවේ දී ආන්දෝලාත්මක හෙළිදරව්වක් කළේ ය. එනම් වර්තමාන ක්‍රිකට් පරිපාලනයේ දූෂිතයන් සමඟි ජන බලවේගයට එකතුවෙමින් සිටින බවයි. එදා හේෂා රටට නිහඬ අනතුරු ඇඟවීමක් කළේ ය. එනම් තමන්ගේ පක්ෂය බලයට පැමිණිය ද දූෂිත ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් නොවන බවයි. ඒ සඳහා අවංක අවශ්‍යතාවයක් සහ දේශපාලන අධිෂ්ඨානයක් තම පක්ෂයට නොමැති බවයි.
දූෂිත ක්‍රිකට් ආයතනය ද සුද්ධ කිරීමට නම්…
ඒ අනුව අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීමට හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව අපේ විශ්වාසයයි. අපේ ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සැබෑ වෙනසක් කළ යුතුය. එහි ව්‍යුහාත්මක සහ ව්‍යවස්ථා වෙනසක් කිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය සහ ශක්තිය ඇත්තේ ඔවුන්ට පමණි. ජාතික ජන බලවේගයට අද පවතින දූෂිත ක්‍රිකට් මාෆියාව සමඟ ලබැඳියාවන් අතර ගැටුමක් නැත. බොහෝ අංශ මෙන්ම දූෂිත ක්‍රිකට් ආයතනය ද සුද්ධ කිරීමට හැකි වන්නේ ඔවුන්ට පමණි. එය අපට වඩා හොඳින් ෂම්මි සිල්වලා අවබෝධ කර ගෙන සිටිති. ජාතික ජන බලවේගයට බලයට පැමිණියහොත් තමන්ගේ ආතල් කුඩු වන බව මේ ක්‍රිකට් මාෆියාව හොඳින් දනිති.
ජාතික ජන බලවේගය පරාජය කිරීමට ෂම්මිලා සල්ලි බෙදයි..
එබැවින් සියළු දූෂිත බලවේග මෙන්ම ෂම්මි සිල්වලා ද ජාතික ජන බලවේගය බලයට ඒම වැළැක්වීම සඳහා සියළු උපාය ක්‍රියාත්මක කරමින් සිටිති. ඒ සඳහා ඔවුහු ජාතික ජන බලවේගය විරෝධී කණ්ඩායම් වෙත මිලියන ගණනින් සල්ලි බෙදා දෙති. තමන් ජනතාවට වග නොකියන බව ෂම්මි සිල්වා උද්දච්ච ලෙස කියා සිටිය ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු ජනතාවගේ මහා වත්කමකි. එය විටක ආගමකි, ආශාවකි. ජනතාව මෙවර අපේ ක්‍රිකට් ක්‍රීඩාව ෂම්මි සිල්වා ප්‍රමුඛ ව්‍යාපාර මාෆියාවෙන් බේරා ගනු ඇති බව අපේ විශ්වාසය සහ අවංක ප්‍රාර්ථනයයි.
-ආනුභාවනන්ද
ප.ලි.
අපේ ක්‍රිකට් අර්බූදයට මූලිකව වගකිව යුත්තේ ෂම්මි සිල්වලා මිස වනිඳු හසරංගලා නොවන බැවින් ඔවුන්ගේ සිඟිති ළමා සමාජ මේ ලිපිය පිළිබඳ කලබල නොවන්න.

No comments:
Post a Comment