විදේශයන්හි පිහිටි දූත මණ්ඩලයන්හි කළමනාකරණ සේවා නිලධාරීන් පත්කිරීමේ දෝෂ සහ අඩුපාඩු මෙන්න..!
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.01, ප.ව.10.00) 2022.02.03 දිනැති ගැසට් නිවේදනයට අනුව විදේශයන්හි පිහිටි දූත මණ්ඩලයන්හි කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා වන ලිඛිත විභාගය 2023.02.19 දින විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී. අපේක්ෂකයින් 3000කට අධික ප්‍රමාණයක් පෙනී සිටි එම විභාගයෙන් 171 දෙනෙකු ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් සිදු කළ එම ප්‍රායෝගික පරීක්ෂණය බොහෝ දෝෂ හා අඩුපාඩු සහිත විය.
ඒ අනුව එහි පැවති දෝෂ හා අඩුපාඩුකම් කරුණු සහිතව අභියාචනාවක් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ නමුත් ඒ සම්බන්ධව කිසිදු සැළකිල්ලක් නොදක්වමින් ප්‍රායෝගික පරීක්ෂණය සමත් බව සඳහන් නිලධාරින් 75 දෙනෙකුගේ නාම ලේඛනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රසිද්ධ කර තිබිණි. අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් ලද තොරතුරු වලට අනුව මෙය නියමිත පුරප්පාඩු ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බැවින් ප්‍රායෝගික පරික්ෂණය පිළිබඳව පසුවිපරමක් සිදු කොට සම්මුඛ පරික්ශණය සඳහා සුදුසුකම් නොලද නිලධාරීන් 96 දෙනා අතරින් දෙවන වටයක් සඳහා බඳවා ගැනීමක් සිදු කරන ලෙස විදේශ කටයුතු ලේකම් වෙත ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී.
ලිඛිත විභාගයේ ලකුණු හා සැසඳීමේ දී ඉන් ඉහළ ලකුණු ලබාගත් නිලධාරීන් බහුතරයක් සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබා නොමැත. අතිශය තරඟකාරී විභාගයක් වන ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය, කළමනාකරණ සේවා අධි ශ්‍රේණි විභාග, විදේශ සේවා , අධිකරණ රෙජිස්ට්‍රාර් වැනි තරඟ විභාගවලින් පවා සමත් නිලධාරීන් ලිඛිත විභාගය සමත්ව ඇතත්, ඔවුන් ද සම්මුඛ පරීක්ෂණය සදහා සුදුසුකම් නොලැබීම හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණයේ ගැටලුකාරී තත්ත්වයන් පැවති බවට සනාථ වන නමුත් විදේශ කටයුතු ලේකම් ඒ පිළිබඳව විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට හෝ කටයුතු සිදු කර නොමැත.
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති අනුව බඳවා ගැනීමට අපේක්ෂිත නිලධාරින් සංඛ්‍යාව හෝ පුරප්පාඩු සංඛ්‍යාව ගණනය කරනු ලබන දිනය ගැසට් පත්‍රයක සඳහන් කළ යුතු වුවද, ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් හෝ පුරප්පාඩු සංඛ්‍යාවක් පිළිබඳව මීට අදාල ගැසට් පත්‍රයේ ඇතුළත් කර නොතිබුණි. එබැවින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව පුරප්පාඩු පිළිබඳව තොරතුරු ඉල්ලා ඇතත්, විදේශ කටයුතු ලේකම් එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කර ඇත.
දැනට විදේශයන්හි පිහිටි දූත මණ්ඩල සේවයට පත්කිරීම සඳහා ලිඛිත විභාගයකට ද, ප්‍රායෝගික පරීක්ෂණයකට ද ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයකට ද මුහුණ දීමට සිදුවන එකම සේවාව වන්නේ කළමනාකරණ සේවා නිලධාරී සේවයයි.
මෙම විභාගය සඳහා ප්‍රායෝගික පරීක්ෂණයක් ඇතුළත් කිරීම හේතුවෙන් සහ එම ප්‍රායෝගික පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමට හැකිව තිබියදී බාහිර පාර්ශවයක් වෙත ලබා දීම හේතුවෙන්, එහි ප්‍රතිපලය සම්බන්ධයෙන් කිසිඳු විනිවිදභාවයක් හා විශ්වාසනීයත්වයක් නොමැති බවත්, පෞද්ගලික දැනහැඳුනුම්කම් මත අවශ්‍ය නිලධාරීන් සඳහා අවස්ථාව ලබා දීමට ඇතුලත් කරන ලද අදියරක් බවත් පැහැදිලිව පෙනේ.
ලැබී ඇති ආරංචි මාර්ග වලට අනුව මෙම ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර සැකසීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කර ඇත. සාමාන්‍ය ක්‍රමවේදය අනුව විභාග දෙපාර්තමේන්තුව යටතේ පිළිගත් නිලධාරි මණ්ඩලයක් මඟින් ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලිය සිදු කරලීමේ හැකියාව තිබිය දී එය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කිරීම තුළින් සියලු විභාග අපේක්ෂකයන්ට සමාන හා සාධාරණත්වයක් ඉටු වුවා ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්වයක් පවති. ප්‍රායෝගික පරික්ෂණය සඳහා ඇතුලත් කර ඇති ප්‍රශ්නාවලිය ප්‍රායෝගික භාවිතාවකින් තොරව සකසා තිබීම හා විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමට හැකියාව තිබියදීත් වෙනත් ආයතන මඟින් පැවැත්වීමෙන්ද එය මනාව පැහැදිලි වේ.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සිදු කරනු ලැබූ විදේශ සේවය සඳහා වන බඳවා ගැනීම, විදේශ දූත මණ්ඩල වල පෞද්ගලික සහකාර තනතුර සඳහා වන බඳවා ගැනීම ආදිය සිදු කිරීමේ දි අක්‍රමිකතාවන් රැසක් සිදු කර ඇති බවට දැනටමත් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත චෝදනා එල්ල වී ඇත. එවන් තත්වයක් මත තරඟකාරී විභාගයක් සඳහා ප්‍රශ්න පත්‍ර සැකසීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සෘජුවම සම්බන්ධ වීම තුළින් ඔවුන්ගේ සර්ව සාධාරණ ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැක.
මෙවන් පසුබිමක් තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ වන විට පහත අක්‍රමිකතාවයන් සිදු කරනු ලබන බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව දැන ගන්නට ලැබී ඇත.
1. කළමනාකරණ සේවයේ නිලධාරින්ට විදේශ දූත මණ්ඩල සේවය එක් අවස්ථාවකට පමණක් සීමා කර ඇති බව ගැසට් පත්‍රයේ සඳහන්ව ඇතත් මෙයට පෙර විදේශ දූත මණ්ඩල වල සේවය කර ඇති විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවයේ නියුතු නිලධාරියකු මෙවරද ඒ සඳහා තෝරා ගෙන තිබීම.
2. ඉදිරියේ දී පුරප්පාඩු වීමට නියමිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලිඛිත විභාගය සමත්ව ඇතත්, ගැටළුකාරී ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු පමණක් පදනම් කරගෙන සම්මුඛ පරීක්ෂණයට නිලධාරින් තෝරා ගැනීම.
3. මෙම විදේශ දූත මණ්ඩල වල ඉතිරි පුරප්පාඩු සංඛ්‍යාව සඳහා මෙම ලිඛිත විභාගය සඳහා පෙනී නොසිටි හා පෙනී සිට අසමත් කළමනාකරණ සේවා නිලධාරීන් හා සංවර්ධන නිළධාරීන් විදේශ දූත මණ්ඩල සේවය සඳහා යෙදවීම.
4. එමෙන්ම මේ වන විට ද, මෙයට පෙර විදේශ දූත මණ්ඩල සේවයේ නියුතුව සිට පැමිණ වෙනත් දෙපාර්තමේන්තු/ අමාත්‍යාංශ වල සේවයේ යෙදී සිටි නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා කිසිදු විභාගයක් නොමැතිව විදේශ දූත මණ්ඩල සේවයට නැවත යැවීමට කටයුතු කර තිබීම.
එමෙන්ම දැනට විදේශයන්හි සේවය කරන කළමනාකරණ සේවා නිලධාරීන් බහුතරයක් වසර තුනක ගිවිසුම් ගත ධුර කාලය අවසන් කර ඇතත් විදේශ දූත මණ්ඩල වල පවතින පුරප්පාඩු ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ධූර කාලය දීර්ඝ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.
ගැටලුකාරී ප්‍රායෝගික පරීක්ෂණයක ප්‍රතිඵල පමණක් පදනම් කර ගනිමින් විදේශ දූත මණ්ඩල සඳහා නිලධාරීන් 75 දෙනෙකු තෝරා පත් කර ගැනීම තුළින් දක්ෂ නිලධාරීන් 96කු වෙත බලවත් අසාධාරණයක් වී ඇති බවට දිගින් දිගටම විදේශ කටයුතු ලේකම්ට හා බලයලත් ආයතන වෙත දන්වා තිබියදීත් ඒ පිළිබඳව නොසලකා කටයුතු කරන්නේ කිසියම් දේශපාලන බලපෑමක් මත ද නැතහොත් විදේශ කටයුතු ලේකම්ට හිතවත් නිලධාරීන් ඒ සඳහා යොමු කරවීමේ අරමුණෙන් ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්වයක් පවති.
කරුණු මෙසේ තිබිය දී ගැටලු සහගත ප්‍රායෝගික පරික්ෂණය පිළිබඳව විධිමත් පරික්ෂණයක් සිදු නොකොට විදේශ කටයුතු අමාත්‍යාංශය නැවතත් දූත මණ්ඩල සඳහා කළමනාකරණ සේවා නිලධාරින් 38 දෙනෙකු බඳවා ගැනීමට ගැසට් නිවේදනයක් පළ කිරීමට සූදානම් බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ අනුව මෙම විභාගය නැවත පැවැත්වීම සඳහා රජයට සැලකිය යුතු වියදමක් දැරීමට සිදු වන අතරම ගැසට් පත්‍රය පළ කිරීම, අයදුම්පත් කැඳවීම, ලිඛිත විභාගය පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම, ප්‍රායෝගික පරික්ෂණය පැවැත්වීම හා එහි ප්‍රතිඵල නිකුත් කිරීම, සම්මුඛ පරික්ශණ පැවැත්වීම ආදි කටයුතු අවසන් කිරීමට අවම වශයෙන් වසර 02ක කාලයක් ගත වේ. ඉන් පසුව සුදුසුකම් සහිත නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමෙන් පසුව ඔවුන් වෙත මාස 06ක පුහුණුවක් ලබා දෙන අතර ඒ අනුව මෙම සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් වීමට අවම වශයෙන් වසර 03ක කාලයක් වත් ගත වනු ඇත.
මේ අනුව දැනට ලිඛිත විභාගය සමත් හා ගැටලුකාරී ප්‍රායෝගික පරික්ෂණය හේතුවෙන් සුදුසුකම් නොලද නිලධාරීන් අතරින් දෙවන වටයක් බඳවා ගැනීම පිළිබඳ යෝජනා විදේශ කටයුතු ලේකම් වෙත යොමු කරන ලදී. එසේ කටයුතු කරන්නේ නම් නැවත විභාගය පැවැත්වීම සඳහා රජයට වියදමක් දැරීමට සිදු නොවන අතරම සුදුසුකම් සහිත නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර, මාස 06ක පුහුණු කාලය අවසන් කර කෙටි කාලයක් තුළ නව බඳවා ගැනීමේ කටයුතු අවසන් කළ හැක.
නමුත් ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් වෙත බලයක් නොමැති බවට අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සඳහන් කළද, මීට පෙර 2017 වර්ෂයේ පැවති විභාගයෙන් නියමිත පුරප්පාඩු ප්‍රමාණය සඳහා විභාගය සමත් නිලධාරීන් නොමැති බැවින් කඩඉම් ලකුණු 200ට වඩා අඩු කිරීමටත්, 2018 වර්ෂයේ පැවති විභාගයේ දී සම්මුඛ පරික්ශණයේ කඩඉම් ලකුණු ඉවත් කර ඒ සඳහා පෙනී සිටි සියලුම නිලධාරීන් බඳවා ගැනීමටත් එවකට සිටි විදේශ කටයුතු ලේකම්වරුන් කටයුතු කර ඇත.
මේ අනුව ගැසට් නිවේදනයේ සඳහන් බලතල ප්‍රකාරව විභාගය සඳහා බඳවා ගැනීම පිළිබඳව අවසන් තීරණය ලබා දීමට විදේශ කටයුතු ලේකම් වෙත හැකියාව තිබියදී අවම වශයෙන් ප්‍රායෝගික පරික්ෂණය පිළිබඳව විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට වත් කටයුතු නොකරන්නේ, ලිඛිත විභාගය පවා සමත් වීමට නොහැකි වූ විදේශ කටයුතු ලේකම්ට හිතැති නිලධාරීන් ඉදිරියේ දී එහි සේවයේ යෙදවීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට අවස්ථාව සලසා ගැනීමේ අරමුණෙන් ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් පවතී.
නව රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් " ඇති කිරීමට නම් පළමුවෙන්ම දුෂණ, වංචා වලින් තොර රාජ්‍ය සේවයක් බිහි කළ යුතුය. නමුත් සිය කාලය ශ්‍රමය වැය කරමින් තරඟකාරී විභාග වලින් සමත් වන දක්ෂ රාජ්‍ය නිලධාරීන් සඳහා නිසි තැන ලබා නොදී තවදුරටත් සාම්ප්‍රදායික දේශපාලන මැදිහත් වීම් හා හිතවත්කම් තුළින් පමණක් පත්වීම් ලබා දීමට ඉහළ නිලධාරීන් කටයුතු කරන්නේ නම් එය කණගාටුවට කරුණකි.
එබැවින් නව ජනාධිපතිතුමාගේ, අගමැතිතුමියගේ හා විදේශ කටයුතු අමාත්‍යතුමාගේ අවධානය මේ පිළිබඳව යොමු කරමින් විදේශ දූත මණ්ඩල සඳහා කළමනාකරණ සේවා නිලධාරීන් පත් කිරීම සඳහා පැවති ප්‍රායෝගික පරික්ෂණය පිළිබඳව විධිමත් පරික්ෂණයක් සිදු කොට සාධාරණ තීන්දුවක් ලබා දෙන්නේ නම් එය ඉතා අගය කරමු.

No comments:
Post a Comment