Saturday, 24 August 2024

බෙන්තොට වල්ලන්ගේ පට්ටා පොලීසියේ තවත් දූෂණයක්..! එස්.අයි. රන් බණ්ඩා ඇතුළු තුනක් හිඟන අල්ලසක් අරන් පොලීසියටම මාට්ටු..!

-පවන් මාතර ආරච්චි ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.අ‍ගෝ.24, ප.ව. 9.30) ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාව සුරැකීම බල්ලන්ට බාරදී තම තමන්ගේ සාක්කු හා බඩ වඩා ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙන බවට දකුණු පළාතේ ඉමහත් ප්‍රසිද්ධියට පත් පොලීසියක් වූ මෙන්ම 'වල්ලන්ගේ පට්ට පොලීසිය' නම් ජනතා  විරුදාවලියෙන් පිදුම් ලබා සිටින බෙන්තොට පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකයෙකු වූ රන් බණ්ඩා ඇතුලු පොලිස් කෝලමුන් තිදෙනෙක් කසිප්පු මුදලාලියෙකුගෙන් රුපියල් 6000 ක හිඟන අල්ලසක් ලබා ගැනීමේ වරදට කොස්ගොඩ පොලීසියේ නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්වී  බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 03  දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ලොක්කා මොකක්ද එකක් හිටගෙන කරනකොට පොඩ්ඩෝ දුව දුව කරතැයි කියමනක් ව්‍යවහාරයේ පවතී. මේ කියමන බෙන්තොට පොලීසිය හෙවත් වල්ලන්ගේ පට්ට පොලීසියට ටක්කෙට හරියන බවට මේ සිද්ධියත් උදාහරණයක් වෙතැයි  මහා සංඝයා ඇතුළු ප්‍රදේශවාසීහු "ලංකා ඊ නිව්ස්" වෙත දන්වා  සිටිති.

පොලීසිය ඉදිරිපිට ආරක්ෂා සහිතව තබා තිබූ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක නඩු භාන්ඩයක්වූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා වල්ල පට්ටා ගසක් පොලිසිය විසින්ම විකුණා අතුරුදන් කිරීමේ සිද්ධියක් නිසා වල්ලන්ගේ පට්ට පොලීසිය ලෙස ජනතාව මේ පොලීසිය  හඳුන්වති.

මේ අල්ලස් ගැනීමේ  අනීතික සිද්ධිය නිසා මේ පොලීසියේ නිලධාරීන් ගේ දූෂිත බව  යළිත් වරක් සනාථ වී  තිබේ. මේ පොලීසිය තමන්ට අයිති වසමේ  පමණක් නොව අසල්වාසී වසම්වලටද ගොස් ජනතාව බිය වද්දා අල්ලස් , දොල පිදේනි හිඟා කමින්   හොරකමේ ද නිරතවන බව ප්‍රසිද්ධ රහසකි.

අල්ලසට පගාවට අරක්කු කාලට රාජකාරි කරන මෙන්ම  වැල්ලේ සුද්දන් පසුපස යන බීච් බෝයිලාටද යටවී  සිටින මේ පොලිස්  හොර නඩය පාරේ යන වාහන නවතමින් දඩ කොළ ලියන බවට බිය වද්දා රියදුරන්ගෙන් රුපියල් 20 සිට ඉහලට  පගා කන බවට ප්‍රසිද්ධියක් උසුලන පොලිස් කෝලමක් වූ රන්බණ්ඩාත් තවත් පොලිස් කෝලම් දෙකකුත් මෙලෙස කොස්ගොඩ පොලිස් වසමේ, අල්ලපු වසමේ මුල්ලගොඩ නැමති ගමේදී පසුගියදා අත් අඩංගුවට පත්වී සිටිති.

වැරදී ගිය ගේම..    

එදින සවස නිල ඇඳුම්වලින්  සැරසී ආයුධ සන්නද්ධව බෙන්තොට පොලීසියේ නිල ත්‍රිරෝද රථයෙන්ම නිල රාජකාරි ගමනක් යන ලෙසින් අනවසරයෙන් කොස්ගොඩ පොලිස් වසමට හොරෙන් රිංගා ඇති මේ තුන් කට්ටුව කසිප්පු පෙරීමට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මුල්ලගොඩ ගමේ කසිප්පු මුදලාලි කෙනෙකුගේ නිවසට ගොස් ඇත. එසේ  යමින් සිටියදී  මුදලාලිගේ පුතා රියදුරු බලපතක් නොමැතිව යතුරු පැදියකින් යද්දී අල්ලාගෙන තිබේ.

ඉන් පසු ඔහුට නඩුවක් පවරන බව කියා එසේ නොකිරීමට නම් රුපියල් 6000 ක් සහ කසිප්පු නඩුවක් දෙන ලෙස ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් කසිප්පු මුදලාලි සමග කතාබහක් ඇතිවී ඇති අතර පසුව මුදලාලි  උපක්‍රමශීලීව මුදල් ගෙන ඒමට බව පවසා නිවසට ගොස්  මේ බව ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයාට දන්වා රුපියල් 6000 ක් රන් බණ්ඩා ගමන් ගත් ත්‍රිරෝද රිය තුළදීම ඔහුට ලබාදී තිබේ. කසිප්පු මුදලාලි දුන් පනිවිඩය අනුව පොලිස් අධිකාරි ඒ බව කොස්ගොඩ පොලිසියට දන්වා ඇත. ඉන් පසු කොස්ගොඩ පොලිස් ලොක්කා සහ කීප දෙනෙකු වහාම පැමිණ රන් බන්ඩා ඇතුළු පොලිස් අමනයන් තිදෙනාත් රුපියල් 6000 ත් පොලීසියේ ත්‍රිරෝද රථයත් අත් අඩංගුවට ගෙන ඇත.

කසිප්පු මුදලාලිලාගේ පාරාදීසය..

මුල්ලෙගොඩ යනු බෙන්තොට පොලීසියේත් කොස්ගොඩ පොලීසියේත් නිලධාරීන් පෝෂණය කරන ප්‍රධාන පෙලේ කසිප්පු මුදලාලිලා සිටින ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ  ඇළවල් දෙපස කසිප්පු ස්කාගාර ඕනෑම තරම් තිබේ. එහෙත් ඒවා කොස්ගොඩ පොලීසියෙන් අල්ලන්නේ නැත.හේතුව කසිප්පු මුදලාලිලාගෙන් අල්ලස් මෙන්ම  කප්පම් ගැනීමේ පොලිසියේ පිළිවෙත නිසාය.කොස්ගොඩ පමණක් නොව ඒ වසම අයත් නොවන බෙන්තොට පොලීසියේ එවුන්ද සිය පොලිස් වසම මායිමේ පිහිටි මේ ගමේ කසිප්පුකරුවන්ගෙන් මෙලෙස කප්පම් ගැනීමට පුරුදු වී සිටිති.එයට හේතුව වන්නේ මුල්ලෙගොඩ පෙරන කසිප්පු බෙන්තොට ප්‍රදේශයට අලෙවිය සඳහා ගෙන ඒමේදී බෙන්තොට පොලීසියේ සහාය අවශ්‍ය හෙයිනි.

එදිනද බෙන්තොට පොලීසියේ ඕ.අයි.සී ගේ අනු දැනුම මත කසිප්පු මුදලාලිලාගෙන් මාසිකව බෙන්තොට පොලීසියට ලැබිය යුතු කප්පම් එකතු කරගෙන යාමට පැමිණි අවස්ථාවේ රන්බණ්ඩා ඇතුළු තිදෙනා මෙලෙස  කොටුවී තිබේ .පොලිසියේ ත්‍රිරෝද රිය මේ සඳහා යොදා ගැනීම ඕ.අයි.සී ගේ අනු දැනුම මත මෙය සිදුවූ බවට සාක්කියකි.

රන් බණ්ඩා හිසරදයකි..

මේ කියන රන් බන්ඩා බෙන්තොටට කාලයක් තිස්සේ ඉමහත් හිස රදයක් වී සිටින අමනයෙකු බව පැවසේ.ඔහු ඇතුළු බෙන්තොට පොලිසියේ නිලධාරීන් පිරිසක් පසුගියදා බෙන්තොට පොලිස් වසමේ අතුරුවැල්ල විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා දෙපක්ෂක් අතර විහාරයේ අයිතිය සම්බන්ධයෙන් පැවති  ආරවුලකදී  විහාරස්ථානයට පැමිණ කෙලින් ඉන්න බැරි තරමට බීමත්ව අහසට වෙඩි තබා හිමිවරුන් හා  දායකයන් බියවද්දමින් පිස්සු කෙලිය බව හිමිවරු කියති.ඒ සම්බන්ධයෙන් විහාරස්ථ භික්ෂූන් වහන්සේලා ඉහල පොලිස් නිලධාරීන්ට ලිඛිතව පැමිණිලි කර ඇතත් ඔවුන්ද මුනිවත රැකීම පුදුමයක් නොවන්නේ උන්ද මේ ගොඩේම එවුන් නිසාය.

පොලිස් ලොක්කෝ නිහඬයි...

පොලීසියේ ආරක්ෂිතව තිබූ නඩු භාණ්ඩයක් වූ වල්ලාපට්ටා දැව කොටය  පොලීසියෙන්ම විකුණා තිබුනත් දකුණු පළාතේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් ලොක්කෝ තවමත් මුනිවත රැකීම ප්‍රදේශයේ අනෙකුත් පොලීසි අතර කුකුසක් හටගෙන තිබේ.

බෙන්තොට පොලීසිය මේ තරම් අනීතිකව හැසිරෙන්නේ උන් කරන වැරදි හමුවේ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ,පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරිවරු මෙකී අනීතික ක්‍රියා ගැන සහ ජනතාවගේ පැමිණිලි ගැන තැකීමක් නොකරන නිසාය. ඔවුන්ට ද මේ පොලීසියෙන් රස මසවුලු ඇතුලු දොල පිදේනි සංචාරක හෝටල ඇතුළු මහා පරිමාණ ජාවාරම්කරුවන් ගේ අනුග්‍රහයෙන් ලැබෙන නිසාය.

බෙන්තොට පොලීසිය දිනෙන් දින මහජනයා අතර පීචං වෙමින් පවතින්නේ ඉහල පොලිස් ලොක්කෝ මේ පොලීසිය කරන දූෂණ ගැන නිසි පියවරක් නොගෙන නිදි වදින නිසායැයි මේවා නුරුස්සන මෙන්ම මෙවුන්ගේ පකඩ වැඩ නිසා මහජන   අපවාදයන්ට ලක්ව සිටින තරමක හෝ ගරුත්වයකින් වැඩ කරන මේ පොලීසියේම  පොඩ්ඩෝ පවසති.

-පවන් මාතර ආරච්චි

No comments:

Post a Comment