පොල් වගාවට හානි කරන පොල් කුරුමිණියාටත් වඩා හානි කරන පොල් සංවර්ධන මණ්ඩලේ සභාපතිගේ තවත් කූඨ ක්‍රියාවක්.!
-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අගෝ.27, ප.ව.4.10) පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා පොල්තෙල් ආනයනය කරන්නන් සමඟ ඩීල් දමමින් දේශීය පොල් කර්මාන්තයට හානිකර ලෙස කටයුතු කරමින් තම තනතුරේ බලය අවභාවිතා කරන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
මීට ඉහත දී ද රොෂාන් පෙරේරා නම් මේ පුද්ගලයා සෞදි අරාබියෙන් රටට ලැබෙන්නට තිබූ ඩොලර් ඩොලර් බිලියන 10 ක කොහු බත් සැපයීමක් සිය තක්කඩි ක්‍රියා නිසා අහිමි කරන ලද පුද්ගලයෙක් බව ලංකා ඊ නිව්ස් වාර්තා කර තිබිණ. එනිසාම ශ්‍රී ලංකාවට සෞදි අරාබියෙන් සමාව ගන්නටද සිදුවිය. (කියවන්න - ලංකාවට ඩොලර් බිලියන ගණනක් අහිමි කළ, ලංකාවට සෞදියෙන් සමාව ගන්නට වැඩ සිද්ධකළ 'පොල් බූරුවා' තවමත් නිදැල්ලේ..! රනිල් බුදිද?)
වර්තමානයේ දේශීය පොල්තෙල් නිෂ්පාදකයින්ගේ නිරන්තර මැසිවිල්ලක් වනුයේ රට තුලට පොල්තෙල් ආනයනය කිරීම නිසා තම කර්මාන්තකරුවන්ට වෙළඳපල අවස්ථා අහිමිවන බවය. මෙම තත්වය මගහැර දේශීය නිෂ්පාදකයින්ට අවශ්‍ය වෙළඳපල අවකාශය පවත්වාගැනීමේ මූලික වගකීම පොල් සංවර්ධන අධිකාරියට පැවරී ඇත.
මේ සඳහා රට තුල සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය වන භාවිතයට සුදුසු පොල්තෙල් ප්‍රමාණයට සාපේක්ෂව ආනයනය කෙරෙන පොල්තෙල් ප්‍රමාණය පාලනය කරමින් සුදුසු නිර්දේශ හා අවසරයන් ලබාදීම සිදුවිය යුතුය. මෙම භාරදූර ක්‍රියාවලිය අපක්ෂපාතීව හා පාරදෘශ්‍ය ලෙස සිදුකිරීම සඳහා අධිකාරියේ අත්දැකීම් බහුල නිලධාරීන් සේවය කරන අංශ කිහිපයක් මගින් කරුණු සලකා බැලීමෙන් පසු පමණක් මෙම නිර්දේශ හා අවසරයන් ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
රොෂාන් පෙරේරා තම වාසියට ලිපි ලේඛන වෙනස් කරනවා..
නමුත් අධිකාරියේ වර්තමාන සභාපති වන මහාචාර්ය රොෂාන් පෙරේරා විසින් මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගෙන තිබේ. මේ අනුව පසුගිය වසර එකහමාරක කාලය පුරා ඔහුගේ කාර්යාලයේ තාවකාලික පදනම මත සේවය කරන නවක කාර්යමණ්ඩලය ලවා තම අභිමතය පරිදි ලිපිලේඛන සකස් කරමින් රට තුලට පොල්තෙල් ආනයනය කිරීමටත්, එම පොල්තෙල් වෙළඳපලට නිකුත් කිරීමටත් අවසර ලබාදීමට ඔහු විසින් කටයුතු කර ඇත.
මේ අයුරින් පොල්තෙල් පමණක් නොව, බිස්කට් හා වෙනත් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පාල්ම් ඔලෙයින්, පොල් සීනි හා වෙනත් දේශීය පොල් නිෂ්පාදන හා තරඟ කළ හැකි භාණ්ඩ ආනයනය සඳහාද අනුමැතිය ලබාදී ඇත. එමෙන්ම තීරුබදු රහිතව පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදෙන්නේ එම ආනයනික තොග නැවත ප්‍රතිඅපනයනය කිරීමේ කොන්දේසි වලට යටත්ව වුවද, සභාපතිවරයා විසින් අවස්ථා කිහිපයකදීම මෙම තොග දේශීය වෙළඳපලේ අලෙවි කිරීම සඳහා අවසර ලබාදෙමින් ලිපි නිකුත්කර ඇත.
බලපෑම් වලට යට නොවන නිලධාරීන්ට තර්ජන..
ඔහුට මෙම කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පරිදි විවිධ නිර්දේශයන් හා වාර්තා ලබාදෙන ලෙස අධිකාරියේ සෑම අංශයකම පාහේ සිටින නිලධාරීන්ට සභාපතිවරයා විසින් සෘජු බලපෑම් සිදුකරයි. මෙම බලපෑම්වලට නොනැමෙන නිලධාරීන්ට පරුෂ ලෙස බැනවැදීම, වැඩ තහනම් කරන බවට තර්ජනය කිරීම හා විවිධ කටකතා පතුරුවමින් එම නිලධාරීන්ගේ කීර්තිනාමයට හානිකිරීම ඔහුගේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත වේ.
මෙලෙස ඔහු විසින් ආනයන අනුමැතීන් ලබාදෙන ආයතන වලින් ඔහු මුල්‍ය ප්‍රතිලාභ ලබාගැනීමද සිදුකරයි. උදාහරණයක් ලෙස 03.04.2023 වන දින පොල් සංවර්ධන අධිකාරියේ කොටුව කාර්යාලයේ ස්ථාපනය කළ ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය සඳහා මෙම ආයතනවලින් ලැබුණු පරිත්‍යාග යැයි පවසමින් රුපියල් මිලියන 8 කට ආසන්න මුදලක් ලබාගෙන ඇත. මෙම මුදල් ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතනයකට ලැබෙන පරිත්‍යාගයක් භාරගැනීමේදී පිළිපැදිය යුතු ක්‍රමවේදයන් කිසිවක් අනුගමනය නොකළ අතර එම මුදල ආයතනික ක්‍රමවේදයන්ගෙන් බැහැරව සභාපතිගේ තනි කැමැත්ත මත වියදම් කර ඇත.
තවද මහාචාර්ය රොෂාන් පෙරේරා විසින් මුලසුන දරන SLBTA නම් සංවිධානය පිහිටුවීම සහ එහි වාර්ෂික සමුළුව 26.04.2024 දින BMICH හි පැවැත්වීම සඳහා අවශ්‍ය රුපියල් මිලියනයකට ආසන්න මුදල මෙම අනුමැතීන් ලබාගත් ආයතනවලින් ලබාගෙන ඇත.
මණ්ඩලය සතු සංචිත මුදල් ඇමැති අමරවීරගේ ඡන්ද ව්‍යාපාරයට අදින්න යනවා..
ඇමැති මහින්ද අමරවීර සමග එක්ව ව්‍යාපාර පවත්වාගෙන යන රොෂාන් පෙරේරා මහින්ද අමරවීරගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාජ කාරණා ඉදිරිපත් කරමින් පොල් සංවර්ධන මණ්ලය සතු සංචිත මුදල් රු. මිලියන 100 කින් රු. මිලියන 50 ක් ඇදීමට සැලසුම් කර ඇත. එකී සංචිත මුදල ඇත්තේ පොල් කර්මාන්තයට සම්බන්ධ කර්මාන්ත කරුවන් යම් කඩා වැටීමකට ලක් වුවහොත් ඔවුන්ට ආධාර කිරීමට ය. නමුත් එම මුදල දැන් හීන් සීරුවේ අමරවීරගේ ඡන්ද ව්‍යාපාරයට වියදම් කිරීමට යයි.
මෙලෙස තමන්ගේ පුද්ගලික වාසිය සඳහා අධිකාරිය සතු දේපළ, සේවකයින් සහ ආයතනික බලතල යොදාගැනීම සඳහා තම තනතුරේ බලය අනිසි ලෙස භාවිතා කරමින් මෙම සභාපතිවරයා දේශීය පොල් කර්මාන්තයට සහ පොල් සංවර්ධන අධිකාරියට පොල් කුරුමිණියාටත් වඩා විශාල හානියක් සිදුකරයි.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි
සබැඳි පුවත්

No comments:
Post a Comment