පරාජයට සූදානම් වීම හැර වෙන මගක් නැත..!
-ධනූ රාමවික්‍රම ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අගෝ.23, ප.ව. 10.00) “අපිට කරන්න දෙයක් නෑ. මේ ඡන්දේදි සේරම හේදිලා අනුරට යනවා“ මේ, ආණ්ඩුව ලබාගත් ආසන්නම බුද්ධි වාර්තාවක් සකස් කළ නිලධාරියෙකු කළ ප්‍රකාශයකි.
“එදා 3%ක් වූ ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජන බලවේගය ලෙස පුළුල් කඳවුරක් බවට පත් වෙමින් එද්දි එදා මේ රටේ තිබූ දැවැන්තම දේශපාලන පක්ෂය සහ දේශපාලන කඳවුර දෙකට බෙදී තරග වදිනවා“ මේ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙමින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ කොටසකි.
එහෙත් රනිල්, රාජපක්ෂලාගේ අගුපිල්වල ලගිමින් වසර 76ක දූෂිත පාලනයේ දේශපාලන වැරහැලි අපුල්ලන්නෙකු හෙවත් කුලී ලියන්නෙකු මෙම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තබන්නේ මෙවැනි සටහනකි.
“ජනාධිපතිවරණ අපේක්ෂකයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අලුත් සන්ධාන ගොඩනගමින් සිටිනවා. මේ අතරින් පුළුල්ම සන්ධානය ගොඩනගමින් සිටින බව පෙනෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහයි“
"පරාජයේ සංකේතය" රනිල්
මේ කියන ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය තුළ අනුප්‍රාප්තික ජනාධිපති ධූරය හෙබවූ කෙටි කාලය හැරුනු කළ ඔහු පාර්ලිමේන්තුවේ වසර 47ක් කටයුතුකර ඇත. එම කාලය තුළ මෙරට අගමැති ධූරය 6 වතාවක්ද, එ.ජා.ප නායකයා වශයෙන් වසර 30ක්ද කටයුතු කර තිබේ.
වසර 47ක් ජනතාව රැවටූ රනිල් වික්‍රමසිංහට පසුගිය 2020 මහ මැතිවරණයේදී ජනතාව පාර්ලිමේන්තු අසුනක්වත් ලබා දුන්නේ නැත. ඉන් නොනැවතී මැයි 9 අරගලයේදී ජනතාව රනිල් වික්‍රමසිංහගේ ගෙයද ගිනි තබා අවසන් කරන්නේ වසර 76ක රැවටිලිකාර මජර දේශපාලනයට ඇති විරෝධය සංකේතවත් කරමින් මිස තමන්ට පාර්ලිමේන්තු අසුනක්වත් ලබා නොදීමට තරම් වත් වැදගත් කමක් නොවූ රනිල් වික්‍රමසිංහ නම් පුද්ගල සාධකය කෙරෙහි පවතින දේශපාලන විරෝධයක් නිසා නොවන බව පැහැදිලිය.
2022 මැයි 9 අරගලයට පහරදීමට සිය පාක්ෂිකයන් පොළඹවන්නේ මහින්ද රාජපක්ෂය. එලෙස ජනතාව පහරදීමට පැමිණි පුද්ගලයන් බේරේ වැවට තල්ලු කර, අරගලකරුවන් ගිනිබත් කරන්නේ රනිල්ගේ නිවසය. මැර දූෂිත පාලනයක් ගෙන ගිය එවකට අගමැති මහින්ද රාජපක්ෂටත් කයිවරුවලින් රට කිරිමට පුළුවන් යැයි සිතාසිටි, ජනතා විරෝධය හමුවේ රට අතහැර පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් වඩා අරගලයේ සිටි පිරිස් මෙරට දූශිත දේශපාලනයේ “පරාජයේ සංකේතය“ ලෙස ඉහළට ඔසවා පෙන්වන්නේ රනිල් වික්‍රමසිංහව බව පැහැදිලිව පෙනේ.
ඊට හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ පැනයාමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපති වූ රනිල්ට ද ඉවත්ව යන ලෙස ජනතාව විරෝධතා ආරම්භ කිරීමය. එහෙත් රනිල්ගේ ක්‍රමය වන්නේ හමුදාව යොදවා අරගලයටත් ජනතා විරෝධතා වලටත් දිගින් දිගටම පහර දී බලයේ සිටීමට කටයුතු කිරීමය. එම තත්වය තුළ කවුරු පිළිගත්තත් රටේ ජනතාව අතර “පරාජයේ සංකේතය“ හෙවත් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වශයෙන් නොව ඊට පෙරත් පිළිගැනීමක් තිබුණේ නැත. “බලයට පත්ව වසර දෙකකට ආසන්ව තිබියදී පවා “ජනාධිපති රනිල් තමයි“ යනුවෙන් රනිල් වික්‍රමසිංහගේ සහචරයන්ට රට වටේ පොස්ටර් ඇලවීමට සිදුවන්නේ එනිසාය.
මෙම ජනාධිපතිවරණයේදී අනුප්‍රාප්තික කාල සීමාව ඉක්මවා යාමෙන් පසු තවත් වසර 5ක් ජනාධිපති වීමට ඡන්දය ඉල්ලා සිටින්නේ වසර දෙකකට පෙර “පරාජයේ සංකේතය“ ලෙස ජනතාව මෙලෙස සලකුණු කර ඇති මෙම රනිල් වික්‍රමසිංහය.
සජිත්ගේ පරාජය..
ඉහත සඳහන් කුලියට ලියන්නා විසින් “විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අලුත් සන්ධාන ගොඩනගමින් සිටිනවා“ යනුවෙන් තවත් තැනක සඳහන් කර තිබේ.
එහෙත් සජිත්ගේ ප්‍රචාරක කටයුතු නාමයෝජනා බාරගත් අවසාන දිනය වන අගෝස්තු 15 දින සිටම ක්‍රමානුකුලව දියවෙමින් පවතී. ඉන් මනාව තහවුරු වන්නේ සජිත්ගේ රැස්වීම් වලට එන පිරිස ක්‍රමයෙන් අඩුවීම නිසා ඔහුගේ මැතිවරණ රැළි අවලංගු කිරීමට සිදුවීමය. දෙවැන්න සජිත්ගේ ප්‍රචාරක යාන්ත්‍රණයේ ප්‍රධානම උපක්‍රමය වූයේ සමගි ජනබලවේගයට එක්වන පිරිස් ගැන දෛනිකව ප්‍රවෘත්ති මුදා හැරීමය. එහෙත් සිදුව ඇත්තේ එය කනපිට හරවමින් රනිල් සජිත්ගේ පක්ෂයේ පිරිස් මුදලට හා වරදාන වලට ගලවමින් දිනපතා සමගි ජනබලවේගයේ පුද්ගලයින් රනිල්ට එක්වන බවට දිනපතා පුවත් නිර්මාණය කර සජිත්ගේ පරාජය තහවුරු කිරීමය. රනිල් තමාගේ පරාජයෙන් නොනැවතී සජිත්ව පරාජය කිරීමේ වගකීම ජනතාවට නොදී ඔහු බාර ගෙන තිබේ.
පසුගිය මැයි 9 අරගල සමයේ අරගල බිමට ගිය සජිත් ප්‍රේමදාස ඇතුළු සෙසු දේශපාලන නායකයන් පහරදී පන්නා දමනු ලැබුවද අනුරට හෝ ජවිපෙට විරෝධයක් අරගල බිමෙන් එල්ල වූයේ නැත. ඉන් කියවෙන්නේ ජවිපෙට මාර පිළිගැනීමක් අරගලකරුවන් අතර තිබූ බව නොව රටේ ජනතාව සාම්ප්‍රදායික දූෂිත මජර රැවටිලිකාර දේශපාලනය තවදුරටත් භාර ගැනීමට සූදානම් නැති බවය.
සාම්ප්‍රදායික දූෂිත මජර රැවටිලිකාර දේශපාලනය තවදුරටත් අවලංගුයි..
එමෙන්ම පසුගිය කාලයේ පාසැල් ඇතුළු රජයේ ආයතන වල පැවති විවිධ උත්සව අවස්ථා සඳහා පැමිණි පක්ෂ විපක්ෂ දේශපාලකයන් හූ කියා විරෝධය දක්වා ජනතාව විසින් පලවා හරින ආකාරය ප්‍රවෘත්ති වශයෙන් මාධ්‍යවල පලවිය.
මෙරට වසර 76ක සාම්ප්‍රදායික දූශිත දේශපාලනය ජනතාව තුළින් ප්‍රතික්ෂේප වීම විසින් ගොඩනගන ලද දේශපාලන රික්තය උපක්‍රමිකවත් දේශපාලන පක්ෂයක් ලෙස දැඩි වෙහෙසක් දරමිනුත් ජාජබ විසින් සම්පූර්ණ කර තිබේ. කාගේ කැමැත්ත කුමක් වුවත් කුමණ අවලාද නැගුවත් ජනතාව විසින් ජාජබ කෙරෙහි විශ්වාසය තබා තිබේ. ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර සහ ජාතික ජනබලවේගය වටා පෙලගැසෙමින් එන්නේ පසුගිය අරගලයේ දිගුවක් ලෙස පවතින මෙම දේශපාලන විභවය මිස අන් යමක් නොවේ. ජාජබ සංවිධානාත්මකව මෙම අරගලකාරී විභවය සිය ව්‍යාපාරය වෙත උරාගන තිබේ.
"රට කෑ පනින ගෙම්බන් ගමට එන්න එපා"
අනෙක් ප්‍රධාන කරුණ මෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග ග්‍රාමීය ජනතාව තවත් දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් සිටීමය. ජාතික ජනබලවේගයේ හැර ගමට එන ඇතැම් දේශපාලකයන් පන්නා දමමින්ද “පොරොන්දු ඉටු නොකල දේශපාලකයන් ගමට නොඑන ලෙසත් එසේ පැමිණිය හොත් තමන් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්“ පෝස්ටර් අලවමින්ද දේශපාලනයට එල්ල කරන විරෝධය යි.
සත්‍ය ලෙසම ජනතා මතය වී ඇත්තේ රටත්, ආර්ථිකයත් පමණක් නොව ඇමතිකම් මන්ත්‍රීකම් වෙනුවෙන් ඇති බඩජාරීකම් වලට මුං එහාට මෙහාට පැන අපේ පක්ෂත් විනාශ කළා යන හැඟීමය "රට කෑ පනින ගෙම්බන් ගමට එන්න එපා" යැයි රටේ තැනින් තැන පලකර ඇති බැනර් පොස්ටර් වල තේරුම එල්ල වන මෙම ජනතා විරෝධය ය.
කවුරුන් කැමති වුවත් නැතත් මාලිමාව වටා ජනතාව ඒකරාශී වී ඇත.
එම තත්ත්වය තුල කවුරුන් කැමති වුවත් නැතත් මාලිමාව වටා ඒකරාශී වී ඇත්තේ පසුගිය ජනතා අරගලයේ අපේක්ෂාවන් සහිත විභවයකි. ලංකාවේ සමාජය තුල ජා.ජ.බ. හැර වෙනත් පක්ෂයක් පැවතියේ නම් ජනතාව ඒ වටා ඒකරාශී වීම අනිවාර්යය. එම තත්වය තුල තවදුරටත් ජාජප පතුරු ගැහීමෙන් හෝ අනුරට අවලාද නැගීමෙන් පලක් නැත.
තමන් පරාජය වන්නේ ජනතා බලයට බව තේරුම් ගෙන පරාජයට සූදානම් වන්න..
රටතුළ පවතින මෙම දේශපාලන තත්වය හමුවේ ඇතැම් දේශපාලකයන් කලබල වී ඇතැයි පැවසේ. ඊට අමතරව ඉදිරියේ එන පරාජය සම්බන්ධයෙන් කලබල වූ තවත් පිරිසක්ද සිටිති. ඒ මාලිමාවට පහරදීම, බොරු අවලාද නැගීම, ඊට එරෙහිව ප්‍රවෘත්ති පැලකිරීම රැකියාව කරගත් පිරිස්ය.
එහෙත් දූෂිත, රැවටිලිකාර දේශපාලනයේ නිරතවූවන්ද එම දේශපාලනයට කඩේ යමින් ජීවත් වූ පරපුටුවන්ද මාලිමාවට හෝ අනුරට පරාජය වෙතැයි බිය විය යුතු නැත. එහෙත් ඔවුන්ට, තමන් පරාජය වන්නේ ජනතා බලයට බව තේරුම් ගෙන පරාජයට සූදානම් වීම හැර වෙන මගක්ද නැත.

No comments:
Post a Comment