Tuesday, 27 August 2024

රනිල්ගේ ගෑස් සිලින්ඩරය හෙවත් ප්‍රභූ දේශපාලන කඳවුරේ අවසානයේ සළකුණ ..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.අ‍ගෝ.27, ප.ව.5.30) වසර 1951 සැප්තැම්බර් 2 වන දා මෙරට සමාජ දේශපාලනයේ ඵෙතිහාසික දිනයකි. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායක එදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් බිහි කළේ ය. නව පක්ෂය බිහි කිරීමේ රැස්වීම කොළඹ නගර ශාලාවේ පැවති අතර ඒ සඳහා පැමිණ දහස් සංඛ්‍යාත ජනතාවගෙන් උත්සව භූමිය මෙන්ම ඉන් අවට ද පිරී ඉතිරී ගොස් තිබිණි.

සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්ගේ නව පක්ෂය...

එදින සවස දෙකට රැස්වීම ආරම්භ කෙරුනු අතර බලංගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවීර කුරුප්පු තාවකාලික ලේකම් ලෙස පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ යෝජනාව ගම්පොළ සහිරා විද්‍යාලයේ විදුහල්පති අල්හාජ් බද්උදීන් මහමුද් මහතා විසින් ස්ථීර කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සභාපති ලෙස එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක සහ සම ලේකම් වරුන් ලෙස බර්නාඩ් අලූවිහාරේ, බද්උදීන් මහමුද් සහ එස් තංගරාජා තේරී පත්විය.

දකුණේ ප්‍රභූ දේශපාලනයට නව  ධ්‍රැවයක්..

අපේ රටේ එතෙක් පැවති ඒකධ්‍රැවීය දකුණේ ප්‍රභූ දේශපාලනයට එදින නව ධ්‍රැවයක් විය. එදා සිට අද දක්වා අපේ රටේ දකුණේ දේශපාලන බලය දෝලනය වන්නේ මේ ද්විධ්‍රැවීය ප්‍රභූ දේශපාලනය වටා ය. එක් ප්‍රභූ දේශපාලන ධ්‍රැවයක් එජාපය වන විට අනෙක ශ්‍රීලනිප විය. අනෙකුත් දේශපාලන පක්ෂ බොහොමයක් ගොනු වූයේ මේ ප්‍රධාන පක්ෂ දෙක වටාය. මේ ප්‍රධාන පක්ෂ දෙකට බහු අක්ෂ රාශියක් විය.

ප්‍රභූ දේශපාලනයේ බල තරඟය…

වසර 1931 සර්වජන ඡන්ද බලය හිමි වූ දා සිට ගත වූ වසර අනූවකට අධික කාලයක් පුරා දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා මේ ප්‍රභූ දේශපාලන  කණ්ඩායම් දෙක අතර තියුණු තරඟයක් පවතියි. දකුණේ මේ ප්‍රභූ දේශපාලන පංතිය සිය ආධිපත්‍යය නිර්ප්‍රභූ සාමාන්‍ය ජනතාව මත දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන ගියේ ය.

ප්‍රවේණි දාසයන්ගේ ඡන්ද භාවිතාව…

ඉඩම්, ව්‍යාපාර, ධනය සහ සමාජ බලය හිමිවූ මේ ප්‍රභූ දේශපාලන නායකයෝ, නියෝජිතයෝ බහුතර නිර්ප්‍රභූ ජනතාව සිය දේශපාලන සහ ආර්ථික වහලුන් වශයෙන් තබා ගත්හ. මේ ප්‍රභූ දේශපාලන නායකයන්ගේ ආර්ථික අනුග්‍රහයෙන් එදා සිය ජීවිතය පවත්වාගත් ප්‍රවේණි දාසයෝ තම ප්‍රභූවරයාට,  වලව්වේ හාමුට කුමන තත්ත්වය යටතේ හෝ ඡන්දය ලබාදීම තම රාජකාරි ක්‍රමයේ අංගයක් ලෙස සැළකූහ. වසර දහස් ගණනක් රාජාණ්ඩු ක්‍රමයක් යටතේ ජීවත් වූ ජාතියකින් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. එම ඡන්දය ප්‍රකාශ කිරීම් පිටු පස කිසිදු තාර්කික පදනමක් නොවීය.

අදටත් ශක්තිමත් ප්‍රවේණි දාස ජාන…

පනහ දශකයේ සිදු වූ දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ වහල්භාවය සැළකිය යුතු මට්ටමින් වෙනස් විය. එහෙත් දේශපාලන ප්‍රවේණි දාස ජාන එකවර අහෝසි වන්නේ නැත. එය පරම්පරා ගණනාවක් දක්වා ඇදී යයි. කිසිදු තාර්කික බවකින් තොරව ප්‍රභූ දේශපාලන නායකයන්ගේ දෙපා ලෙව කන අද ද සිටින දේශපාලන වහල්ලු එයට නිදසුන් සපයති. මේ දේශපාලන වහලුන් ප්‍රභූ දේශපාලන නායකයන්ගේ ආධිපත්‍යයට යට කිරීම සඳහා ඇතැම්  පූජ්‍ය පක්ෂය, නාමධාරී “බුද්ධිමත්හු” , “කලාකරුවෝ” සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරති.

වසර 2022 ගෝල් ෆේස් ජනතා අරගලයේ ප්‍රතිඵල…

දශක ගණනාවක් පැවති ප්‍රභූ දේශපාලන ආධිපත්‍යයට එරෙහිව නිර්ප්‍රභූ පොදු ජනතාව සටන් කළ තීරණාත්මක අවස්ථාව වන්නේ වසර 2022 ගෝල් ෆේස් ජනතා අරගලයයි. එම සටනේදී ප්‍රභූ දේශපාලන ආධිපත්‍යය පරාජය කළ හැකි බව නිර්ප්‍රභූ පොදු ජනතාව අවබෝධ කරගත්හ. ඒ වනතෙක් පැවැති අධිපතිවාදී ප්‍රභූ දේශපාලනය සහ රටේ පොදු ජනතාව අතර පැවති සම්බන්ධය එහිදී බිඳ වැටුණි.

පොදු ජනතාව නිර්ප්‍රභූ දේශපාලන බලවේගයක් වෙත…

රට ආර්ථික බංකොලොත්භාවයට ඇද දැමීම මෙන් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලි කප්පාදු, ඖෂධ හිඟය වැනි පොදු ජනතාව දැඩි අපහසුතාවයට ඇද දැමීම පිළිබඳව ප්‍රභූ දේශපාලන පංතියට චෝදනා එල්ල විය. නිර්ප්‍රභූ පොදු ජනතාව තවදුරටත් ප්‍රභූ දේශපාලන නායකයන් පිළිබඳව විශ්වාසය තැබීමට සූදානම් නොවූහ. ඔවුහු ඉතිහාසයේ ප්‍රථම වරට  නිර්ප්‍රභූ දේශපාලන බලවේගයක් වෙත විවෘත වූහ.

ජාතික ජන බලවේගය නොදුටු අරගලය…

ජාතික ජන බලවේගයට මුලදී ගෝල් ෆේස් ජනතා අරගලය පිළිබඳ නිසි තක්සේරුවක් තිබුණේ නැත. ඔවුහු එම අරගලයට ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පලවා හැරීමට තරම් විභවයක්, ශක්තියක් ඇති බව වටහා නොගත්හ. එහෙත්  ජනතා අරගලය ලබාදුන් පණිවිඩය පසුව ඔවුහු ග්‍රහණය කර ගත්හ.

නිර්ප්‍රභූ විකල්පය මාලිමාව..

ප්‍රභූ දේශපාලනය සහ රටේ පොදු ජනතාව අතර පැවති සම්බන්ධ බිඳ වැටුණු බව සහ පොදු ජනතාවට නිර්ප්‍රභූ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යව ඇති බව ජාතික ජන බලවේගය අවබෝධ කර ගත්තේ ය. ඔවුහු ඒ ජනතා අවශ්‍යතාවය වෙනුවෙන් සිය පක්ෂය මෙහෙය වූහ. විශාල ශ්‍රමයක්, කාලයක් වැය කරමින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඡන්ද පොල මට්ටමේ සිට ජනතාව සංවිධානය කළහ. මේ අතරින් කාන්තාවන් සහ ත්‍රිවිධ හමුදා සාමූහිකය කැපී පෙනෙයි. මේ වන විට එජාප, සමගි ජන බලවේගය සහ පොහොට්ටුව නියෝජනය කරන ප්‍රභු දේශපාලන කඳවුරට විකල්පය වශයෙන් ස්ථානගතවීමට ජාතික ජන බලවේගයට හැකිව තිබේ.

රනිල්ගේ අනතුරු ඇඟවීම..

වසර 2022 ගෝල් ෆේස් ජනතා අරගලයේ දී ප්‍රභූ දේශපාලන ආධිපත්‍යය පරාජයවීම පිලිබඳව එම කඳවුර ඉමහත් කලබලයට පත් විය. මාලිගා කුමන්ත්‍රණයකින් අගමැතිධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කිහිපවිටක්ම කියා සිටියේ එජාපය, සමගි ජන බලවේගය සහ පොහොට්ටුව යනු එක් කඳවුරක් බැවින් තම කඳවුරේ බලය ආරක්ෂා කර ගැනීමට මේ දේශපාලන පක්ෂ සියල්ල එක්ව ක්‍රියා කළ යුතු බවයි. එසේ නොවුවහොත් වෙනත් දේශපාලන බලවේගයක් රටේ බලය අත්පත් කර හැකි බවට ඔහු දිගින් දිගටම ප්‍රභූ දේශපාලන කඳවුරට අනතුරු ඇඟවීය.

සට්ටැඹියෝ වියරුවැටීමේ රහස..

ප්‍රභූ දේශපාලන නායකයන් මෙන්ම ඔවුන් මත යැපෙන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග , ජොන්ස්ටන් ප්‍රනාන්දු  වර්ගයේ සට්ටැඹියෝ  ද  නිර්ප්‍රභූ පොදු ජනතාව තීරණාත්මක ලෙස ඉදිරියට පැමිණීම පිළිබඳව භීතියට පත් වූහ. ගෝල් ෆේස් ජනතා අරගලය පැවැති සමයේ මේ දේශපාලන පාදඩයන්ගේ පාර්ලිමේන්තු කතා නිරීක්ෂණය කරන විට ඔවුන්ට එතෙක් කාලයක් මහජන මුදලින් යැපුණු සැපදායක ජීවිතය අහිමිවීමේ භීතියෙන් පෙලුණු බව පැහැදිලිය. අරගලයට සම්බන්ධ තරුණයන්, ඇතුළු ජනතාව මර්දනය කරන ලෙසට ඔවුහු පාර්ලිමේන්තුවේ දී මර හඬ දුන්හ.

ගෝල් ෆේස් ජනතා අරගලය පිළිබඳව ප්‍රභූ වෛරය…

ප්‍රභූ දේශපාලන නායකයෝ මෙන්ම ඔවුන්ගේ සට්ටැඹියෝ වසර 2022 ගෝල් ෆේස් ජනතා අරගලය පිළිබඳව අසීමිත වෛරයකින්, කෝපයකින් පසුවෙති. ඔවුන් සර්වජන ඡන්ද බලය ලැබූ දින සිට නිර්ප්‍රභූ පොදු ජනතාව මත පවත්වාගෙන ගිය දේශපාලන ආධිපත්‍යයට තිත වැටුණේ  වසර 2022 ගෝල් ෆේස් ජනතා අරගලය හරහා ය. එබැවින් එම වෛරය, කෝපය, තේරුම් ගත හැකිය. පසුගිය දා පැවැති බංගලාදේශ සිසු අරගලය මත පදනම්ව වසර 2022 ගෝල් ෆේස් ජනතා අරගලයට එජාපයේ, පොහොට්ටුවේ සහ සමගි ජන බලවේගයේ ප්‍රභූ දේශපාලන නායකයෝ මෙන්ම ඔවුන්ගේ සට්ටැඹියෝ එල්ල කළ මඩ, අවලාද සහ අභූත චෝදනා යළි සිහි කැඳවා ගන්න. ගෝල් ෆේස් ජනතා අරගලයෙන් පසුව ප්‍රභූ දේශපාලන ආධිපත්‍යය බිඳ වැටී ඇති අන්දම පෙන්වාදීමට එය පැහැදිලි නිදසුනකි.

ප්‍රභූ දේශපාලන පංතියට එරෙහිව අනුර…

ගෝල් ෆේස් ජනතා අරගලයෙන් පසුව දකුණේ දේශපාලන ප්‍රභූ පන්තියේ දේශපාලන නායකත්වය සහ ආධිපත්‍යය  ප්‍රතික්ෂේප කළ පොදු ජනතාව නිර්ප්‍රභූ සහ අධිපති නොවන නව දේශපාලන නායකත්වයක් වෙත ආකර්ෂණය වූහ. රනිල් වික්‍රමසිංහගේ එජාපය, මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව සහ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය ප්‍රභූ දේශපාලන කඳවුරට ගොනුවී සිටිති. එයට ප්‍රතිවිරුද්ධව නිර්ප්‍රභූ පොදු ජනතාව වෙනුවෙන් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය ඉදිරියට පැමිණ තිබේ.

ප්‍රභූ කඳවුර වියරුවෙන්…

මෙවර ජනාධිපතිවරණයේදී  ඉතිහාසයේ පළමු වතාවට ප්‍රභූ දේශපාලන කඳවුර පරාජය කර නිර්ප්‍රභූ පොදු ජනතාව බලය ලබා ගැනීමේ ආසන්නයට පැමිණ සිටිති. මේ ජනතා විප්ලවයේ පෙරමග ලකුණු ඉදිරියේ ප්‍රභූ දේශපාලන නායකයෝ මෙන්ම ඔවුන්ගේ සට්ටැඹියෝ වියරු වැටී හැසිරෙති. මෙය රටේ ප්‍රධාන සමාජ පංති දෙක අතර බලය හුවමාරුවීමට නියමිත තීරණාත්මක මෙහොතකි. එය තේපැන් සංග්‍රහයක් නොවේ.

නයි, මුගටි එක්වෙති….

ප්‍රභූ දේශපාලන කඳවුර අත පවතින අධිපති මාධ්‍ය හරහා දවසේ පැය විසිහතර පුරා අනුර කුමාර දිසානායකයට සහ මාලිමාවට එල්ල කරන වියරු ප්‍රහාර මෙයට එක් නිදසුනකි. ඔවුහු මාලිමාව පිළිබඳ විශාල භීතියක් රට තුළ නිර්මාණය කිරීමට කැස කවති. ගංවතුර සමයේ නයි, මුගටි එකම කොටයට ගොඩවන්නා සේ ප්‍රභූ දේශපාලනයේ ප්‍රති විරුද්ධ බලවේග නිර්ප්‍රභූ කඳවුරට බලය යෑම වැළැක්වීම සඳහා  අද එක්ව සිටින අතර එම අරමුණ ඔවුහු ප්‍රසිද්ධියේ කියා සිටිති. මෙයම රටේ පොදු ජනතාවගේ සහ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයකි.

දේශපාලන ප්‍රභූන්ගේ ගල උඩ සටන…

දකුණේ දේශපාලන ප්‍රභූන්ට මෙය තවත් එක් ජනාධිපතිවරණයක් නොවෙයි. ඔවුන්ට මෙය ගල උඩ දේශපාලන සටනකි. නිර්ප්‍රභූ දේශපාලන බලවේගයකින් තමන්ට පමණක් නොව තම අනාගත පරපුරේ ද පැවැත්ම පිළිබඳ දැවැන්ත තර්ජනයක් මතුව තිබේ. මෙයට පෙර කිසිදිනක ඔවුන්ට මෙවැනි අභියෝගයක්  එල්ල වූයේ නැත. අනුර කුමාර දිසානායක සහ මාලිමාව අද එල්ල කරන නිර්ප්‍රභූ අභියෝගය ඉදිරියේ මෙතෙක් කාලයක් ආධිපත්‍ය පතුරුවාගෙන සිටි ප්‍රභූ දේශපාලන නායකයෝ අත්තන ඇට කෑ පිරිසක් මෙන් හැසිරෙමින් සිටිති.

රනිල්ගේ ගෑස් සිලින්ඩරය..

ප්‍රභූ දේශපාලන කඳවුරේ නාමධාරී නායකයා වශයෙන් සලකන රනිල් වික්‍රමසිංහ නිදසුනකට ගනිමු. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසය. ඔහුගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරයයි. රනිල් වික්‍රමසිංහ සහ සට්ටැඹියන් සිතා සිටින්නේ ගෑස් සිලින්ඩරය යනු ජනතාව ඔහුට “කලගුණ සැළකීම” සඳහා කරන ආමන්ත්‍රණයක් ලෙසිනි.

බංකොලොත්භාවයේ සංකේතය…

එහෙත් ගෑස් සිලින්ඩරය යනු මෙරට නිර්ප්‍රභූ පොදු ජනතාවට රටේ බංකොලොත්භාවය පිළිබඳ ප්‍රබලතම සංකේතයයි. නිදහසේ  සිට දශක හතක අධික කාලයක් රට පාලනය කළ දකුණේ ප්‍රභූ දේශපාලන නායකයන්ගේ අසාර්ථකත්වය පිළිබඳ ජීවමාන සළකුණකි. රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ දේශපාලන ප්‍රභූහු තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයන්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයන් නිර්මාණය කළහ. ගෑස්, තෙල් පෝලිම්හි සිටි ජනතාව මැරී වැටුණි. සංයුතිය වෙනස් කිරීම හේතුවෙන්  ගෑස් ටැංකි පිපිරී ජනතාව මරු දුටහ. ඖෂධ නොමැතිව මෙන්ම බාල ඖෂධ හේතුවෙන් රෝගීහු සිය ගණනක් මිය ගියහ.

නිර්ප්‍රභූ ජනතාව පිළිබඳ සහකම්පනයක් නොමැති නායකයා..

එහෙත් ප්‍රභූ දේශපාලන නායකයෝ ඒ කිසිදු සිද්ධියක වගකීම භාර නොගත්හ. සංයුතිය වෙනස් කළ ගෑස් ටැංකි පිපිරීමෙන් සහ දීර්ඝ කාලයක් පෝලිම්හි සිටීමෙන් මිය ගිය ජනතාවට අදටත් කිසිදු වන්දියක් ගෙවා නැත. එහෙත් අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පළමු තීරණයක් වූයේ ගිනි තැබූ ඇමති, මන්ත්‍රී නිවාසවලට සහ මිය ගිය අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාට රුපියල් කෝටි ගණනින් වන්දි ගෙවීමය. දකුණේ ප්‍රභූ දේශපාලන නායකයන්ට නිර්ප්‍රභූ පොදු ජනතාව පිළිබඳ කිසිදු මානුෂීය හැඟීමක්, හදවතේ තෙතමනයක් නොමැති බව මේ සිද්ධියෙන් පැහැදිලිය. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ යනු නිර්ප්‍රභූ ජනතාව පිළිබඳ කිසිදු සහකම්පනයක් නොමැති නායකයෙකි.

ඇමති නිවාස ගිනි තැබීම පිළිබඳ මුදල් රාජ්‍ය ඇමති හෙළි කළ රහස…

මේ ගෙවල් ගිනි තැබීම් පිළිබඳව ද තවම නිසි පරීක්ෂණ පවත්වා නැත. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පසුගිය දා පැවසූවේ අරගලය හේතුවෙන් තම නිවස ගිනි තැබූ නමුත් ඇතැම් දෙනා තම නිවාස ගිනි තබාගත් බවයි. ආණ්ඩුවෙන් විශාල වන්දි මුදල් වෙනුවෙන් හෝ ජනතා අනුකම්පාව ලබා ගැනීමට මැති ඇමැතිවරුන් තම නිවාස ගිනි තබා ගෙන තිබෙන බවට ඔහු ඉඟි කළේ  ය.

පොදු ජනතාවගේ විඥානයට ගැරහීම..

ගෑස් සිලින්ඩරය යනු අධිපතිවාදී ප්‍රභූ දේශපාලනය සහ රටේ නිර්ප්‍රභූ පොදු ජනතාව අතර දශක ගණනාවක් පුරා පැවති සම්බන්ධය බිඳ වැටීමේ සංකේතයයි. වසර 2022 ගෝල් ෆේස් ජනතා අරගලයෙන් පසුව නිර්ප්‍රභූ නව දේශපාලන නායකත්වයක් පිලිගැනීමට පොදු ජනතාව ගනු ලැබූ තීරණයේ සංකේතයකි. මෙවැනි ඡන්ද සළකුණක් ප්‍රභූ දේශපාලන කඳවුරේ නාමධාරී නායකයා තෝරා ගැනීම හරහා  ප්‍රදර්ශනය වන්නේ ඔවුන්ට ජනතා අරගලයෙන් පසු මෙරට නිර්ප්‍රභූ පොදු ජනතාවගේ විඥානය  පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවයි.

ගෑස් සිලින්ඩරයට 'කලගුණ සැළකීම'..

ඔවුන් බලාපොරොත්තු වන්නේ ගෑස් යළි ලබාදීම වෙනුවෙන් කලගුණ සැලකීමකි. එහෙත් ගෑස්, ඉන්ධන නැති කර ජනතාව පෝලිම්වල මිය යෑමට ඉඩ හැරියේ නිදහසින් දශක හතකට අධික කාලයක් රට පාලනය කළ ප්‍රභූ නායකයන් බව රටේ පොදු ජනතාවට අමතකව නැත. ඖෂධ නොමැතිව රෝගීන් රෝහල්වල මරාදැමුවේ මේ පාලකයන්ය. රටේ සම්පත් පවුල්පිටින් මංකොල්ල කා රට නිළ වශයෙන් බංකොලොත් කළේ මේ ප්‍රභූ නායකයන්ය. ඒ දූෂිතයන් සියලු දෙනා එක්සත්ව අදටත් ආරක්ෂා කරන්නේ මේ ප්‍රභූ කඳවුරයි. රටේ පොදු ජනතාව  වසර 2022 ගෝල් ෆේස් ජනතා අරගලයෙන් පසුව මේ ප්‍රභූ නායකයන්ට කලගුණ සැලකීමට ඇඟිලි ගනිමින් සිටිති. පලාත් පාලන මැතිවරණයේදී ඔවුහු එම 'කලගුණ සැළකීමට' සූදානම් සිටියහ. එහෙත් අවාසනාවකට ඒ අවස්ථාව නොලැබුණි. එහෙත් ලබන සැප්තැම්බර් 21 වන දා මෙරට ඡන්දදායකයන් උපරිමෙන් 'කලගුණ සළකණු' ඇතැයි යන්න අපේ විශ්වාසයයි.

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

No comments:

Post a Comment