Tuesday, 27 August 2024

ගුණසේන විතාන - සාහිත්‍යකලාව මනෝරාජික උඩු මහලෙන් මහ පොළොවට ගෙනා ලේඛකයා..!

-ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.අ‍ගෝ.27, ප.ව.7.30) 1931 සැප්තැම්බර් 25 වන දා ජන්ම ලාභය කොට 2024 අගෝස්තු 23 වන දින අනූ තුන් වසරක දිවි ගමන නිමවූ පැනෑටියන විතානගේ ගුණසේන - සිංහල සාහිත්‍යකාමීන් දන්නා ආකාරයට ගුණසේන විතාන - නූතන සිංහල සාහිත්‍ය වංශයේ කෙටි පරිච්ඡේදයකි. ඒ පරිච්ඡේදය බොහෝ සිංහල සාහිත්‍යකාමීන්ට මඟ හැරුණකි; නැත හොත් මැනවින් විවරණය නො වුණු දුරවබෝධ එකකි.

සාහිත්‍ය ප්‍රවර්ධනයෙහි ලා නිර්මාණකරණය හා විචාරය මෙන් ම සාහිත්‍යකාමීන් හා සාහිත්‍යසේවීන් ගොඩ නැඟීම - සාහිත්යික සමාජයක් ගොඩ නැඟීම - ද එක සේ වැදගත් වෙයි. ගුණසේන විතාන මේ උභය කාර්යයෙහි ම නිරත වූ සාහිත්‍ය සේවියෙකි. සාහිත්යික සමාජයක් බිහි කිරීමේ හා ප්‍රවර්ධනයෙහි ගුණසේන විතානගේ කාර්යභාරය ඔහුගේ ලේඛක භූමිකාව ඉක්මවා මතු වන්නකි.

ආරම්භය ගුරුවරයෙකු ලෙස..

වඳුරඹ රජයේ පාඨශාලාවෙන් හා බද්දේගම සාන්ත අන්තෝනි විදුහලෙන් දෙටු පෙළ තෙක් අධ්‍යාපනය ලබා ගුරු විභාගයෙන් සමත් ව 1952 දී ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන විටත් ගුණසේන විතාන තරුණයා ලේඛන කාර්යයට මෙන් ම වාම දේශපාලනයට ද යොමු ව සිටියේ ය. සාවුරුද්දක් පමණ රජයේ ගුරු සේවයේ නිරත වූ හෙතෙම ටික කලක් ගුරු විද්‍යාලය විභාග සඳහා ඉගැන්වීමෙහි නිරත වූයේ ය.

මේ වන විට ලංකාවේ වාම ව්‍යාපාරය ශාඛා තුනකට කැඩී වුව ද දලු මල් ලමින් දිවයින පුරා පැතිරෙමින් තිබිණි. දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (පසු ව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය) ශාඛාවට බැඳුණු විතාන තරුණයාගේ ක්‍රියාශීලීත්වය හේතුවෙන් ඔහුට ටික කලකින් පක්ෂයේ දිසා ලේකම් තනතුර හිමි විය. පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වීමෙන් විතාන තරුණයාට දේශපාලන දැනුම පෝෂණය කර ගැනීමට හා ප්‍රදේශීය දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් අත්දැකීමෙන් සන්නද්ධ වීමට අවස්ථා උදා විය. ඒ සමඟ ම ඒ වන විට වාම ව්‍යාපාරයට සම්බන්ධ ව කෙමෙන් ගලා ගිය නව සාහිත්‍ය කලා නිර්මාණ හා විචාර චින්තනයේ ආභාසය ලබමින් සිය සාහිත්‍ය ජීවිතයේ මංපෙත් පාදා ගැනීමට ද එය මහඟු පිටිවහලක් විය. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රථම සභාපති වූ උඩකැන්දවල සරණංකර හිමි, ආනන්ද කුමාර හා තේජා ගුණවර්ධන ආදි විද්වත්තු මේ වන විට පුවත් පත් හා සඟරා මාර්ගයෙන් සමාජවාදී මතවාදය පැතිරවීමේ නිහඬ අරගලයක නිරත ව සිටියහ. විතාන තරුණ කොමියුනිස්ට්වාදී ලේඛකයාට ඥාන ගවේෂණයට හා ස්වීය ශක්තිය උර ගා බැලීමට මේ ප්‍රකාශන සරු බිමක් විය. එදා පළ වුණු වාම ප්‍රකාශන විතාන නම් තරුණ කොමියුනිස්ටාවිදී ලේඛකයාගේ අභ්‍යාස භූමිය විය. අඛණ්ඩ ව පුවත් පත්වලට ලිවීමෙන් හා නිර්මාණකරණයේ මෙන් ම සාහිත්‍ය විචාර ග්‍රන්ථ කිහිපයක් සම්පාදනයෙන් ද කව් සඟරාවක් සංස්කරණයෙන් ද සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට ව සිටි ඔහුට කොමියුනිස්ට් පක්ෂයේ මවුබිම පුවත් පතේ සංස්කරණ කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව උදා විය. එකුන් තිස් වන වියේ දී විතාන තරුණයා කලක් ඔහුගේ ශිෂ්‍යාවක ද වූ චන්ද්‍රා කාරියවසම් මෙණෙවිය හා යුග දිවියට පිවිසුණේ ය. විවාහයෙන් පසු ව මේ දෙපළ උපන් ගම වූ ගාල්ලේ වඳුරඹ අත් හැර අගනුවරට පැමිණ නව දිවිය ඇරඹූහ. දිගු කලක් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හා මධ්‍යම කාරක සභාවේත් අධ්‍යාපන මණ්ඩලයේත් සාමාජිකයකු ලෙස කටයුතු කරමින් අඛණ්ඩ ව පක්ෂය සමඟ රැඳුණු විතාන මහතා වසර කිහිපයකට පෙර පක්ෂයේ කටයුතුවලින් ඈත් ව පූර්ණකාලීන සාහිත්‍ය හා ප්‍රකාශන කාර්යයෙහි නිරත වන්නට විය.

ගුණසේන විතාන චරිතයේ විශේෂත්වය - සංස්කෘතික ක්‍රියාධරයා..

ගුණසේන විතාන චරිතයේ විශේෂත්වය සාහිත්‍යයේ හා දේශපාලනයේ සමවාය සම්බන්ධයෙන් බිහි වූ චරිතයක් වීම යි. ඔහුට ඒ විශේෂත්වය උරුම වන්නේ වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහ හා මාර්ටින් වික්‍රමසිංහ දෙපොළගෙන් බව ඔහු කිහිප තැනක දී ම පෙන්වා දී තිබේ. මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍යයේ පිහිටුවූ යථාර්ථවාදී මුද්‍රාව ස්ථාපනය කොට අනාගතයට පවරා දීමත් දොස්තර වික්‍රමසිංහ හා සමකාලීනයන් විසින් ඇරඹි වාම ව්‍යාපාරය දේශීය ලකුණෙන් සුපෝෂණය කොට අනාගත සුබදායී සමාජවාදී සමාජයකට මතවාදී පදනම සැකසීමත් ඔහුගේ සාහිත්‍ය ක්‍රියාකාරකම්වල අරමුණ විය. ගුණසේන විතාන නමැති ඍජු සංස්කෘතික ක්‍රියාකාරිකයා ගොඩ නැඟෙන්නේ මේ පසුබිමෙනි.

මාර්ටින් වික්‍රමසිංහගේ උපන් නිවස හා ඉඩම ඇතුළත් බිම් කඩ (අද කොග්ගල ජන කලා කෞතුකාගාරය හා වික්‍රමසිංහ මහ ගෙදර පිහිටි භූමිය) ලෝක යුද්ධ සමයේ දී බ්‍රිතාන්‍ය  හමුදා කඳවුරක් සඳහා පවරා ගනු ලැබ තිබිණි. යුද්ධය අවසන් වී බ්‍රිතාන්‍ය  ග්‍රහණයෙන් දිවයින නිදහස් වූ පසු ව පවා ඒ ප්‍රදේශය සම්බන්ධයෙන් කිසිවකුගේ උනන්දුවක් නොමැති ව වනයෙන් යට වී පැවතිණි. ගුණසේන විතාන තරුණ සංස්කෘතික ක්‍රියාධරයා මේ පෙදෙස හැඳින ගෙන එය රජයේ පාලනයෙන් නිදහස් කොට යළි වික්‍රමසිංහට ලබා දීමට දැරූ ප්‍රයත්නය දිවයිනේ සමකාලීන සංස්කෘතික ස්මාරක සංරක්ෂණය සඳහා ගෙන ගිය මහඟු වැඩ පිළිවෙළක් විය. මහා රුසියානු ලේඛක අන්තන් චෙහොව් ලංකාවට පැමිණි කෙටි චාරිකාවක දී නවාතැන් ගත් අගනුවර ප්‍රධාන පෙළේ හෝටල් දෙකක ඒ නිමිත්තෙන් ස්මාරක පිහිටුවීමට ද මුල් වූයේ මේ සංස්කෘතික ක්‍රියාධරයා ය.

ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදය හා කලාව..

ගුණසේන විතාන සාහිත්‍යකරුවාගේ නිර්මාණ ආරම්භයේ සිට ම පැහැදිලි ඒකාබද්ධ තේමාවකින් බැඳී තිබෙනුයේ ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදය හා කලාව සම්බන්ධ චින්තාවලිය විදහා පාමිනි. දිවයිනේ සමකාලීන දේශපාලන ඉතිහාසයෙහි ලා අනුජන ජීවිතය චිත්‍රණය ඔහුගේ ආරම්භක නවකතාවලින් සිදු විය. "පමා නො වී වැහැපන් වැහි වලාවේ" හා "විප්ලවයේ කැරලිකාරයෝ" ලංකාවේ වාම ව්‍යාපාරයේ වෘත්තාන්තයේ පරිච්ඡේද දෙකකි. "සරදියෙල්" නවකතාවෙන් ඔහු අධිරාජ්‍ය විරෝධී ගැමි අරගලයේ එක් පියවරක් සිත්තම් කරයි. "ගැමුණු පුත් සාලිය සැ‍‍‍ෙඬාලියක සොයා ගිය බැවින් ..." අසෝකමාලා-සාලිය පෙම් පුවතෙහි ගෑවී ඇති කුල දුර්ගන්ධය ඉවත් කොට මානුෂික ප්‍රේම වෘත්තාන්තයක් චිත්‍රණයට ප්‍රයත්න දර යි. ගුණසේන විතාන නම් නිර්මාණාත්මක ලේඛකයා නූතන සිංහල සාහිත්‍ය වංසයෙහි අපට හමු වන්නේ ජන වාර්ගික සමගිය වෙනුවෙන් කැප වුණු ලේඛකයකු ලෙසිනි. 'පාලම' ඔහුගේ නිර්මාණවල සුලබ සංකේතයකි. එයින් දැක්වෙන්නේ ආර්ථික-දේශපාලන හා සංස්කෘතික සාධක හේතුවෙන් භින්න වූ ශ්‍රී ලාංකේය ජනයාගේ එක්සත් බව පිළිබඳ ව ලේඛකයාගේ වූ සදාතනික සිහිනය යි. මේ පාලම සිමෙන්තියෙන්, ගලින්, ගඩොළින් නො ව මනුෂ්‍යත්වයෙන්  සහෝදරත්වයෙන් ගොඩ නැඟිය යුත්තක් බවත් සාහිත්‍යකරුවාට එහි ලා විශාල වගකීමක් ඇති බවත් ඔහුගේ විශ්වාසය විය. දෘෂ්ටිමය නිරවද්‍යතාව නිර්මාණාත්මක ලේඛන මාර්ගයෙන් ප්‍රකාශ කරමින් නව සාහිත්‍ය ප්‍රවණතාවක් හඳුන්වා දීම ස්වකීය සාහිත්යික සමාජ කාර්ය සාධනයෙහි දී ගුණසේන විතාන අතින් ඉටු වූ උසස් ම කර්තව්‍යය සේ හැඳින්විය හැකි ය. ඔහුගේ නිර්මාණයන්හි ආරම්භයේ පටන් ම දැක ගත හැකි ප්‍රබල තේමාවක් වූ අන්තර්වාර්ගික සහජීවනය යි. බහු සංස්කෘතික සමාජයක් වන ශ්‍රී ලංකාවෙහි එක්සත් බව ආරක්ෂා කර ගත හැක්කේ ප්‍රධාන ජන වර්ග දෙක අන්‍යෝන්‍ය සුහදත්වයෙන් කටයුතු කිරීමෙනි. මේ අන්‍යෝන්‍ය සුහදත්වය වෙනුවෙන් පාලමක් තැනිය හැක්කේ ජන වර්ගයන්ගේ අනන්‍යතාව පිළිගන්නා හා ගරු කරන ලේඛකයන්ට පමණක් ය යන්න ඔහු දැඩි ව පිළිගත්තේ ය. "අයියා වගේ කෙනෙක්" කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් 'පාලම', 'අයියා වගේ කෙනෙක්' හා 'තෙයියනේ' යන කෙටිකතා හා 'සිංහල පියකුට දාව දෙමළ මවකගේ කුස උපන් පුතකුගේ කතා වස්තුව' හා 'යාපනයට පාළමක්' යන කෙටිකතා සංග්‍රහයන්හි ඇතුළත් කෙටිකතාවලින් වැඩි ගණනක් මේ තේමාවෙන් ලියවී ඇත. මේවාහි විශේෂත්වය නම් ලේඛකයා දෘෂ්ටිවාද ප්‍රචාරකයකුගේ තත්ත්වයට නො වැටී දෘෂ්ටිමය ආස්ථානය රැක ගත් නිර්මාණාත්මක ලේඛකයකු වසයෙන් හැඳින ගත හැකි වීම යි. සිංහල ජන වාර්ගික සාහිත්‍යය යනුවෙන් හැඳින්විය හැකි තරමට ම පසු කාලයේ මේ තේමාව අනුගමනය කළ නිර්මාණ බිහි වී ඇති අතර එහි ලා පුරෝගාමි කර්තව්‍යය ඉටු කළ ලේඛකයා වසයෙන් ගුණසේන විතාන හැඳින්වීම අතිශයෝක්ති සහගත හැඳින්වීමක් නො වේ.

ජනතා ලේඛක පෙරමුණ බිහිවීම..

ගුණසේන විතාන 1969 දී ජනතා ලේඛක පෙරමුණ ආරම්භ කරන්නේ සාහිත්‍යකරුවාගේ සමාජ වගකීම පිළිබඳ පණිවුඩය ගෙන යාමට ය. එහි මුල් පෙළේ ක්‍රියාකාරිකයන් වැඩි දෙනා වාමාංශිකයන් හා ශ්‍රී.ල.නි.ප දැඩි මතධාරීන් වීම නිසා ඇතැමුන් ඒ දෙස බැලූවේ සැකයෙනි. ඇතැමුන් විතාන මහතා හැඳින්වූයේ සෝවියට් සාහිත්‍ය ඒජන්තයකු ලෙසිනි. ජන වාර්ගික හෝ දේශපාලන පක්ෂ හෝ අන්‍ය දෘෂ්ටිවාදාත්මක හෝ භේදයකින් තොර ව සාහිත්‍යකලා විමර්ශනයට පොදු වේදිකාවක් තැනීම ජනතා ලේඛක පෙරමුණේ අභිප්‍රාය වූ බව ඇතැමුන් වටහා ගත්තේ කලකට පසු ව ය.

සමාජවාදය කරා යන ගමනට දෘෂ්ටිමය මඟ පෙන්වීම සිදු කරන සමාජවාදී යථාර්ථවාදය වෙනුවට පසුගාමී රදල - ධනේශ්වර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුළ පැවතිය හැකි යථාර්ථවාදය සමාජ යථාර්ථවාදය බවත් ඒ වෙනුවෙන් බිහි කළ යුතු කැප වුණු සාහිත්‍යය 'ජනතා සාහිත්‍යයක්' බවත් ඔහු පහදා දුන්නේ ය. අර්ථ කථනයක් වසයෙන් මෙය නිවැරැදි වුව ද ශ්‍රී ලාංකේය සමාජ භාවිතය තුළ සාහිත්‍ය කලා සම්බන්ධයෙන් මෙය ප්‍රතිවිරෝධාත්මක භාවයක් පෙන්නුම් කරන්නක් බවට පත් වුයේ එය 'ජනතාවාදය' යනුවෙන් ජනප්‍රිය තලයට පිවිසීම හේතුවෙනි. එහෙත් ඔහු පෙන්වා දුන්  'ජනතා සාහිත්‍යය' එකී 'ජනතාවාදය' නො ව ජනතාව වෙනුවෙන් වූ සාහිත්‍යයකි. ප්‍රතිවිරෝධතා හා ඌනතා සහිත ව වුවත් ඔහු විසින් සිදු කෙරුණේ සංවිධානාත්මක කම්කරු පන්ති පක්ෂයක් විසින් ගෙන යා යුතු එහෙත් අත නො ගැසූ මතවාදී අරගලය පුද්ගලවාදී ව හෝ ගෙන යෑමේ කර්තව්‍යය යි. මේ සඳහා විසි වන සියවසේ සිංහල සාහිත්‍ය යෝධයන් සමඟ සටන් කිරීමට ඔහුට සිදු විය. ඔහු හා සටන් වැදුණාහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා මහාචාර්ය සිරි ගුනසිංහ වැන්නෝ ය.

මහාචාර්ය සරච්චන්ද්‍ර හා මතවාදී අරගලයක..

ප්‍රතිවිරෝධතා හා ඌනතා සහිත ව වුව ද ඔහු මහාචාර්ය සරච්චන්ද්‍ර හා මතවාදී අරගලයක නිරත වූ ආකාරය මෙහි ලා වාර්තා කර තැබිය යුතු වෙයි. විශේෂයෙන් ම 1985 - 86 වකවානුවේ "දිවයින ඉරිදා සංග්‍රහය" වේදිකාව කර ගනිමින් ඔහු 'ජනතා සාහිත්‍ය සංකල්පය'  සුත්‍රගත කර ඉදිරිපත් කිරීමේ ප්‍රශස්ත වෑයමක නිරත විය. සරච්චන්ද්‍ර නැඟූ තර්කවලට පිළිතුරු වසයෙන් 'ජනතා සාහිත්‍ය සංකල්පය' ආරක්ෂා කර ගනිමින් ඔහු පෙන්වා දුන්නේ 'ජනතාව සතු සමාජ දර්ශනය ජනතා සාහිත්‍යයේ පදනම' බව යි. පුවත් පතක සීමාව තුළ ගැඹුරු ශාස්ත්‍රීය මතවාද ඉදිරිපත් කළ නො හැකි වුව ද ඔහු එහි ලා පෙනී සිටියේ යුගයේ ජනතාව සතු විය යුතු සංවිහිත හා සංවර්ධිත සමාජ දර්ශනය වෙනුවෙනි. ඒ සමාජ දර්ශනය ගොඩ නැඟීම සමාජවාදී දේශපාලන පක්ෂයක වගකීම වෙයි. ඒ සංවාදයේ දී ඔහු මහාචාර්ය සරච්චන්ද්‍ර මතවාදී ව පරාජය කරමින් සරච්චන්ද්‍ර නමැති මහා සාහිත්‍යධරයා විවේචනාත්මක ව ආරක්ෂා කිරීමට ද පියවර ගත් ආකාරය ශ්‍රී ලාංකේය සමාජ දේශපාලන හා සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියකි. ඔහු මේ කර්තව්‍යයන්හි නිරත වූයේ මනෝරාජික එක්ටැම් ගෙවල මතු මහලට නංවා තිබූ සිංහල සාහිත්‍යය ජනතාවගේ සිතුම් පැතුම් හැඬුම් දෙඩුම් සිනා සුසුම් සිත්තම් කරන 'පොළොවේ ගීතයක්' බවට පෙරළමිනි. ස්වකීය නිර්මාණවලින් ඒ කාර්යයෙහි නිරත වෙමින් ඔහු 'සාහිත්‍යකලා', 'ජනරුචිය' වැනි සාහිත්යික ප්‍රකාශන සංස්කරණයෙන් ද සාහිත්යික සම්මන්ත්‍රණ සංවිධානයෙන් ද එය පුළුල් ජනතා සහභාගිත්වයක් කරා ගෙන යාමට යත්න දැරූ බව කිව යුතු ය. එදා ජනතා ලේඛක පෙරමුණේ කාර්යාලයය ඒ. වී. සුරවීර, කේ. ජයතිලක, සිරිල් සී. පෙරේරා, කේ. ජී. කරුණාතිලක, මැන්දිස් රෝහණධීර, සුමන දිසානායක, පී. මලල්ගොඩ, සිරිලාල් කොඩිකාර, කෝ. ආනන්ද හිමි, නාරාවිල පැට්රික්, රන්ජිත් ධර්මකීර්ති, කුලසේන ෆොන්සේකා, ජයවඩු විතාන, දි. වි. රිචඩ් ද සිල්වා, අනඳපිය කුඩාතිහි, සුගතමුනි ඤාණසිරි, මුනිදාස සෙනරත් යාපා, මදුරසිංහ ගුණතිලක, චන්ද්‍රසිරි පල්ලියගුරු, මයිකල් ප්‍රනාන්දු, ඩබ්ලියු. ඒ. අබේසිංහ ආදි සිංහල සාහිත්‍යධරයන් මෙන් ම කේ. සිවතම්බි, ඩොමිනික් ජීවා, කේ. ගනේශ්, ඉලන්කීරන් ආදි දෙමළ සාහිත්‍යධරයන් ද නිතර ආ ගිය තැනක් විය. මැදගොඩ සුමනතිස්ස, දරමිටිපොළ රතනසාර වැනි ප්‍රකට යතිවරු ද නිතර එහි පැවති සභාවල දී දැකිය හැකි වූහ.

හුදෙකලා වූ මහාචාර්ය සරච්චන්ද්‍ර...

පේරාදෙණිය කේන්ද්‍ර කොට ගත් සාහිත්‍යකලා ව්‍යාපාරයේ බිඳ වැටීමත් සමඟ හුදෙකලා වූ මහාචාර්ය සරච්චන්ද්‍ර සිය නිර්මාණ හා විචාර මඟින් පේරාදෙණි දෘෂ්ටිවාදය සම්බන්ධ පාපෝච්චාරණයක යෙදුණු බව පැහැදිලි ය. ධනේශ්වර ක්‍රමයට හා තිරශ්චින විවෘත ආර්ථිකයට එළිපිට පහර එල්ල කිරීමට සරච්චන්ද්‍ර යොමු වූයේ මේ සාංක්‍රමණික චාරිකාවේ උච්චතම අවස්ථාවේ දී ය. ඊනියා ධර්මිෂ්ඨ සමාජයේ අමානුෂික මුහුණුවර එළි පිට සාකච්ඡා කිරීම නිසා මහාචාර්ය සරච්චන්ද්‍රට යු.ඇන්.පී මැරයන්ගේ ප්‍රහාර එල්ල විය. යූ.ඇන්.පීය සාහිත්‍ය කලාවන්හි අවගමනයට ඍජු ව ම දායක වූ අවධිය වූයේ 1980 දශකය යි. යාපනයේ මහා පොත්ගුල ගිනිබත් කිරීමෙන් ඇරැඹුණු ඒ වැඩ පිළිවෙළේ දෙවන අදියර වූයේ සරච්චන්ද්‍රයන්ට පහර දීම යි. එහි උච්චතම අවස්ථාව වූයේ පළමු විධායක ජනාධිපතිවරයා රාජ්‍ය සාහිත්‍යෝත්සවයක දී ම ''සාහිත්‍යය කොරලා කන්න ද?'' යනුවෙන් ප්‍රශ්න කිරීම යි. මහාචාර්ය සරච්චන්ද්‍ර දීර්ඝ කාලයක් මුළුල්ලේ සාහිත්‍ය කලා සම්බන්ධ ධනේශ්වර හා වැඩවසම් දෘෂ්ටිවාද වෙනුවෙන් පෙනී සිටි විද්වතෙකි. සමාජවාදී යථාර්ථවාදයේ ශ්‍රී ලාංකේය පෙරගමන්කරු වූ "ජනතා ලේඛක පෙරමුණ" සම්බන්ධයෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර තුළ වූයේ පසමිතුරු ආකල්පයකි. එසේ ද වුව සරච්චන්ද්‍ර ඇගයීමට ජනතා ලේඛක පෙරමුණ ඉදිරිපත් වීම ද ස්වකීය න්‍යායාත්මක ප්‍රතිවාදියාගේ නිර්මාණාත්මක සාහිත්‍ය කලා කාර්ය සාධනය සම්බන්ධයෙන් ගුණසේන විතාන දැරූ සාධනීය ආකල්පය විශද කරවයි. සරච්චන්ද්‍ර හා තමන් අතර දෘඪ මත ගැටුම් එළිපිට ම පවතිද්දී හා ජනතා ලේඛක පෙරමුණේ මුල් පෙළේ සාමාජිකයන් කිහිප දෙනෙකු විරෝධය පළ කරද්දී, 1985 ඔක්තෝබර 03 වන දින සරච්චන්ද්‍රගේ "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතිය දොරට වැඩීමේ උලෙළ ජනතා ලේඛක පෙරමුණේ මූලිකත්වයෙන් පැවැත්වීමට ගුණසේන විතාන ඉදිරිපත් වූයේ ඔහු සතු වූ පුළුල් සමාජ දැක්ම හේතුවෙනි. නන්දා මාලිනීගේ 'පවන' ප්‍රසංගයේ ප්‍රකට ජනප්‍රිය අංග මෙන් ම දැඩි නිෂේධනීය අංග ද දුටු විතාන මහතා දේශපාලනය - සාහිත්‍යය හා සංගීතය යන ක්ෂේත්‍රයන්හි විද්වතුන් සම්බන්ධ කොට ගනිමින් 'පවන විමර්ශන' සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමට යෝජනා කළේ ය. එහි දී ලේඛක පෙරමුණේ සෙසු ප්‍රමුඛ සාමාජිකයන්ගෙන් ඊට දැඩි විරුද්ධතා මතු විය. තමන් යෝජනා කරන්නේ 'පවන' ඇගයීමක් නො ව එය බිහි වීමේ සමාජ පදනම හා එයින් ඇති විය හැකි සමාජ බලපෑම කිරා මැන බැලීමක් ය යන්න පහදා දීමෙන් සෙසු සාමාජිකයන් එකඟ කරවා ගැනීමට එතුමාට හැකි විය.

ජනතා සාහිත්‍ය සංකල්පය පෘථුලත්වයට..

ජනතා සාහිත්‍ය සංකල්පය පෘථුලත්වයට පත් කිරීම හා ජනවාර්ගික සහජිවනය අරමුණු කර ගත් නිර්මාණ සාහිත්‍යයක් ප්‍රචලිත කිරීම යන කාර්ය ද්වය හැරුණු විට ගුණසේන විතානයන් විසින් ආරම්භ කරන ලද තවත් වැදගත් කර්තව්‍යයක් වෙයි. ඒ වූ කලි සිංහල සාහිත්‍යධරයන් සම්බන්ධයෙන් විධිමත් ඇගයීමක් සිදු කිරීමේ අවශ්‍යතාව පහදා දීමයි. මාර්ටින් වික්‍රමසිංහගේ මහ ගෙදර නැවත එතුමන්ට බාර දීම වෙනුවෙන් "මාර්ටින් වික්‍රමසිංහ සම්මාන කලාපය" සංස්කරණය කළ ගුණසේන විතාන නැවත දශක දෙකකට පසු ව 1981 දී වඩාත් පරිණත හා පෘථුල විමර්ශනයක් කරා සමකාලීන විදග්ධයන් ද සම්බන්ධ කර ගනිමින් ජනතා ලේඛක පෙරමුණ වෙනුවෙන් "මාර්ටින් වික්‍රමසිංහ විමර්ශන" නිබන්ධ සංග්‍රහය සංස්කරණය කළේ ය. ඒ මාර්ගයෙහි ම යමින් පියදාස සිරිසේන හා ඩබ්ලිවු. ඒ. සිල්වා සාහිත්‍යධරයන්ගේ හා මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මෙහෙවර විමසමින් ශාස්ත්‍රීය අගයකින් යුක්ත ලිපි සංග්‍රහ එළි දැක්වීමේ වැදගත්කම ඔහු එහි දී පෙන්වා දී තිබිණි. එකී විද්වතුන් වෙනුවෙන් එබඳු දායකත්වයක් ලබා දිය නොහැකි වුව ද මහාචාර්ය ඒ. වී. සුරවීර වෙනුවෙන් ශාස්ත්‍රීය අගය අතින් ඉහළ තැනක් ගන්නා විමර්ශන සංග්‍රහයක් පළ කළ හැකි වුයේ ගුණසේන විතාන මහතාගේ කැපවීම හේතු කොට ගෙන ය. ලාංකික විශ්ව විද්‍යාලය පද්ධතියෙහි වන සාහිත්‍ය කලා විචාරය විෂයයෙහි වැඩි ම දායකත්වයක් සැපයූ විද්වතා මෙන් ම අපූර්ව ප්‍රතිභාවෙන් යුක්ත නිර්මාණාත්මක ලේඛකයකු ද වසයෙන් පෘථුල මෙහෙවරක් ඉටු කළ සුරවීරයන්ට ඒ දායකත්වය වෙනුවෙන් කෙරෙන නිසි ඇගයීම සිදු කෙරුණේ විතාන මහතාගේ ක්‍රියාශීලීත්වය හේතුවෙනි. ජනතා ලේඛක පෙරමුණේ ජ්‍යේෂ්ඨ සාමාජිකයකු වන ප්‍රවීණ පරිවර්තනවේදී සිරිල් සී. පෙරේරාණන් හා එක් ව සිදු කළ එහි සංස්කරණ කටයුතුවලට සම්බන්ධ වීමට විතාන මහතා මට ද ආරාධනා කළේ ය.

ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත් වීමෙන් පසු..

ජනතා ලේඛක පෙරමුණ මඟින් මෙන් ම සාහිත්‍ය මණ්ඩලය, ජාතික පුස්තකාල සේවා මණ්ඩලය ආදි ආයතන මාර්ගයෙන් නව ලේඛක කලාකරුවන්ට මං පෙත් පාදා දීමට සම්බන්ධ වූ විතාන මහතා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත් වීමෙන් පසු ව ලේඛක සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළේ ය. දිවයින පුරා ලේඛක පුහුණු වැඩමුළු සංවිධානය කළේ ය. ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය මඟින් ප්‍රශස්ත කෘති කිහිපයක් පළ කිරීමට ද එතුමා මූලිකත්වය ගත් අයුරු සටහන් කළ මනා ය. එකක් නම් සම්භාව්‍ය දෙමළ ව්‍යාකරණ ග්‍රන්ථයක් වන "වීරසෝලියම්" කෘතියේ සිංහල පරිවර්තනය යි. එය කීර්තිමක් විද්වතකු වූ එම්. එච්. පීටර් සිල්වාණන් විසින් සිංහලයට පරිවර්තිත වූවකි. දෙවැන්න සිංහල අක්ෂර මාලාවේ ආරම්භය හා විකාසනය අලළා මහාචාර්ය පී. ඊ. ඊ. ප්‍රනාන්දු විසින් සම්පාදිත නිබන්ධ දෙකෙහි සිංහල පරිවර්තනය යි. ජනතා ලේඛක පෙරමුණේ සමාරම්භක සභාපතිවරයා වූයේ ද පී. ඊ. ඊ. ප්‍රනාන්දු මහතා ය. එතුමාගේ ලිපි දෙක මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් සිංහලයට පරිවර්තනය කොට තිබිණි. මේ පරිවර්තනය හා තවත් පොත් කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිංහල විශේෂ පාඨමාලාවේ ග්‍රන්ථ ප්‍රකාශන විධි ඒකකය සඳහා වර්ණ යෝජනය හා පොතක් සැකසීම සම්බන්ධ ප්‍රායෝගික අභ්‍යාසය යටතේ මුද්‍රණයට සූදානම් කොට සකස් කිරීමට ශිෂ්‍යයන්ට ම'විසින් පවරා තිබිණි. දිනක් විතාන මහතා හමු වූ විට මම මේ කාර්යය ගැන සඳහන් කෙළෙමි. එය ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය මඟින් පළ කිරීමට එතුමා පැකිළීමකින් තොර ව භාර ගත්තේ ය. ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය මඟින් සිංහලයේ අක්ෂර වින්‍යාසය හා වචන වෙන් කිරීම (පද බෙදීම) පිළිබඳ අත්පොත් දෙකක් සම්පාදනයට ද විතාන මහතා පියවර ගත්තේ ය. ඒ සඳහා භාෂාව සම්බන්ධ විවිධ මතවාද දරන විද්වතුන් එක් සභාවකට කැඳවා ගැනීමට ද එතුමා කටයුතු කළේ එය හුදෙක් එක් ගුරුකුලයක් හෝ පුද්ගලයකු හෝ මුල් කර ගනිමික් කළ යුත්තක් නො ව ජාතික කර්තව්‍යයක් බැවිනි. ජුලියස් ද ලැනරෝල් විසින් සම්පාදිත "සම්මත ඉංගිරිසි - සිංහල ශබ්දකෝෂය" නැවත පළ කිරීමට ද එතුමා සැලසුම් කොට තිබූ නමුදු ආණ්ඩු පෙරළි හා වෙනත් දේශපාලන හේතු නිසා එය යටපත් වී ගියේ ය. රාජ්‍ය ආයතනයකින් ඉටු විය යුතු විශාල ජාතික කර්තව්‍යයක් වන ලේඛක නාමාවලියක් (ශ්‍රී ලංකා ලේඛක නාමාවලිය) සම්පාදනය ද අපේ රටේ සිදු වන්නේ ගුණසේන විතාන මහතාගේ මූලිකත්වයෙන් ජනතා ලේඛක පෙරමුණේ කර්තව්‍යයක් වසයෙන් බව සිංහල සාහිත්‍ය ඉතිහාසයට එක් වී තිබේ.

මේ සියලු කටයුතුවලින් ඈත් වූ පසුත් විතාන මහතා සාහිත්‍යය හා දේශපාලනය අත් නො හළේ ය. එතුමා අවසානය තෙක් ගත කළේ තමන්ගේ පොතපත පළ කිරීම මෙන් ම ජනතා ලේඛක පෙරමුණේ එක් අභිප්‍රායයක් වූ සමාජවාදී මිනිසකු ගොඩ නැඟීමට සාහිත්‍ය කලා වහල් කොට ගැනීමේ අරමුණ ද වෙනුවෙන් බව කිව මනා ය. සමාජවාදී පොතපත පළ කිරීම ඔහු අඛණ්ඩ ව සිදු කළේ ය.

ගුණසේන විතාන චරිතය අපේ සමාජයට හසු වූයේ ඒකමාන දෘෂ්ටියකිනි.  ඒකමාන දෘෂ්ටියක දී ගැඹුර හා සංකීර්ණත්වය ගිලිහෙයි. චරිතය පිළිබඳ ව මතුපිටින් පමණක් අවබෝධයක් ඇති කර ගත් කල මනුෂ්‍ය අත්දැකීම්වල බහුවිධ ස්වභාවය අගය කිරීමට කෙනෙකුට ඇති හැකියාව සීමා වෙයි. එහි ප්‍රතිඵලය මිනිසුන් හුදු ඒකාකෘතික හෝ තනි හෝ ගති ලක්ෂණවලට සිඳුවනු ලැබීම යි. චරිතයක් පිළිබඳ සමාජීය සහ සංස්කෘතික මෙන් ම මනෝවිද්‍යාත්මක සාධක ඇතුළු විවිධ අන්තර් සම්බන්ධිත මාන සලකා බැලීමෙන් මිනිස් අත්දැකීම්වල සංකීර්ණත්වය හඳුනා ගත හැක්කේ ඒ වෙත යොමු කරන බහුමාන දැක්මකින් පමණි.

-ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල විසිනි

No comments:

Post a Comment