Wednesday, 21 August 2024

තඹුත්තේගමින් ඇසුන අපේ පරපුරේ කථාව හෙවත් අනුරගේ හෘදයාංගම ආමන්ත්‍රණය (Video)

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.අ‍ගෝ.21, ප.ව. 4.30) අනුර කුමාර දිසානායක යනු දක්ෂ කථිකයෙකි. ඔහු පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත  සිදු කළ කථා දහස් ගණනක් අපි අසා ඇත්තෙමු. එහෙත් ඔහු මෙතෙක් කළ විශිෂ්ටතම කථාව ලෙස සැළකිය හැක්කේ පසුගිය දා තම තඹුත්තේගම පාසැල් සගයන්, පැරණි ගුරුවරු, ගුරුවරියන් ඉදිරියේ තම ජීවන අත්දැකීම් බෙදාගත් අවස්ථාවයි. එය ඉතා සංවේදී මොහොතක් මෙන්ම හෘදයාංගම ආමන්ත්‍රණයකි.

අපේ පරපුරේ කථාව…

එය අනුර කුමාරගේ පමණක් නොව අපේ පරපුරේ කථාවයි. මෙහි “අපේ පරපුර” වශයෙන් හඳුන්වන්නේ හැටේ දශකයේ  උපත ලබා වසර 1988-89 භීෂණයට මුහුණ දුන් තරුණ පරපුරයි. එය ගිනිගත් රටක කථාවකි. අනුරගේ තඹුත්තේගම කථාව අපේ දෙනෙතට කඳුළු බිඳු එක් කරයි. එය අප පසු කළ ආ මහා ඛේදවාචකයක දුක්බර මතක යළි යළිත් අවදි කරයි. මෙය දකුණේ මෙන්ම උතුරේ තරුණයන්ගේ කථාවයි.

එජාප ආණ්ඩුවේ දැවැන්ත භීෂණයට මුහුණ දුන් තරුණයන්…

එදා ග්‍රාමීය මෙන්ම නාගරික තරුණයෝ එජාප ආණ්ඩුවේ දැවැන්ත භීෂණයකට මුහුණ දුන්හ. අනුර තඹුත්තේගම දී යළි මතකයට නඟන්නේ  ඒ භීම සමයයි. අනුරට  තම පණ මෙන් ආදරය කළ සොහොයුරා අහිමි වෙයි. තම පාසැලේ සහෝදර සිසුන් රාශියක් එජාප ආණ්ඩුව විසින් පැහැර ගෙන ගොස් මරා දමයි. සහෝදර සිසුවියන් දූෂණය කර මරා දමයි. අනුරගේ ජීවිතය බේරෙන්නේ අනූ නමයෙනි. සරසවි සහ පාසැල් සිසුන් ඇතුළු රටේ අනාගතය බඳු වූ බුද්ධිමත් තරුණ තරුණියන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් එජාප ආණ්ඩුව අමු අමුවේ වද දී ඝාතනය කළේ ය.

“ජයවර්ධන ධර්මිෂ්ඨ” පාලනයේ තාර්කික ප්‍රතිඵල ..

1988-90 වකවානුවේ ජ.වි.පෙ භීෂණය ගැන දැන් කවි, සිංදු රචනා කරන දේශපාලන ළදරුවෝ එහි ඵෙතිහාසික පසුබිම සම්බන්ධයෙන් මෙලෝ සංසාරයක් නොදනිති. 1988-89 කැරැල්ල යනු ස්වයං නිර්මාණයක් නොවෙයි. එය වසර 1977 සිට  පැවති “ජයවර්ධන ධර්මිෂ්ඨ” පාලනයේ තාර්කික ප්‍රතිඵලයකි. එජාප ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී ඒකාධිපති පාලනයට එරෙහිව මතු වූ ජනතා ප්‍රතිචාරයකි, කැරැල්ලකි.  

අපේ කොල්ලන්ගේ කැරැල්ල..

එජාප ආණ්ඩුවට එරෙහි තරුණ කැරැල්ල ඇති වූ මුල් අවධියේ, රටේ පොදු ජනතාව ඔවුන්ට ආශීර්වාද කළහ. ප්‍රසිද්ධියේ  සහයෝගය දැක් වූහ. උතුරේ දී මෙන් දකුණේ තරුණ කැරලිකරුවන් ද “අපේ කොල්ලෝ” (our boys) යැයි ඔවුහු ආඩම්බරයෙන් හැඳින්වූහ. පොදු ජනතාව එවැනි ප්‍රතිචාරයක් දැක් වූයේ ඒ වන විට ඔවුන් ජයවර්ධන ආණ්ඩුවේ මර්දනයෙන් හෙම්බත්ව සිටි බැවිනි.

දස ගුණයකින්  භීෂණය මුදාහැරි මිනීමරු එජාප ආණ්ඩුව…

ජ.වි.පෙ සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඝාතන දහදාහකට සම්බන්ධ වන විට එජාප ආණ්ඩුව ලක්ෂයකට අධික තරුණයන් පිරිසක් ඝාතනය කළේ ය. මිනීමරු එජාප ආණ්ඩුව දස ගුණයකින් සිය භීෂණය සමාජයට මුදා හැරියේ නීත්‍යානුකූල ආණ්ඩුවක සියළු සදාචාර සීමා වගකීම් අත්හැර දමමිනි. ආරක්ෂක හමුදා මෙන්ම එජාප ආණ්ඩුවේ නීතිවිරෝධී ඝාතක කණ්ඩායම් ඉවක් බවක් නොමැතිව තරුණයන් පැහැර ගෙන ගොස් මරා දැමූහ.

තරුණයන් දහස් ගණනින් නීති විරෝධීව පැහැර ගෙන ඝාතනය කරයි…

එදා එජාප ආණ්ඩුවේ හැසිරීම ත්‍රස්තවාදී සංවිධායකට සමානය. ඔවුහු රටේ ව්‍යවස්ථාව , අධිකරණ බලය, නීති ප්‍රතිපාදන සියල්ල ප්‍රසිද්ධියේ උල්ලංඝනය කළහ. ඔවුහු තරුණයන් දහස් ගණනින් නීති විරෝධීව පැහැර ගෙන ගොස් වධකාගාරවලට ගාල්කර ඝාතනය කළේ ය. තවත් පිරිසක් මහමඟ ටයර් සෑයන්හි පුලුස්සා මරා දැමුවේ ය. තවත් පිරිසක් ඝාතනය කර ගංගාවන්හි පාකර යැව්වේ ය. මානව හිමිකම්, ජාත්‍යන්තර නීති සියල්ල ප්‍රසිද්ධියේ උල්ලංඝණය කළේ ය. එජාප ආණ්ඩුව පැහැරගත් තරුණයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ද මේ භීෂණය ලෝකයට හෙළි කළ මාධ්‍යවේදීන් ඝාතනය කළේ ය. “අතුරුදහන්වූ” තරුණයන් දස දහස් ගණනකි.  

ශ්‍රීලනිපට එරෙහි මර්දනය..

එදා එජාප ආණ්ඩුවේ භීෂණයට ඉලක්ක වුයේ ජවිපෙ ආධාරකරුවන්,  සාමාජිකයන් පමණක් නොවෙයි. පොදුවේ ආණ්ඩු විරෝධීන් එජාප ආණ්ඩුවේ ඉලක්ක විය. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශයන්හි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් සහ ශ්‍රීලනිප පවුල්වල දරුවන් රාශියක් පැහැර ගෙන ගොස් ඝාතනය කෙළේ ය. අද රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ වේදිකාවේ සිට 1988-89 ජවිපෙ “භීෂණ” පිළිබඳව මඩ ගසන ප්‍රසන්න රණතුංග වැනි පාරම්පරික ශ්‍රීලනිප පවුල්වල සාමාජිකයන් දකින විට මේ ඉතිහාසය දන්නා අපට ඇති වන්නේ මහා අපුලකි.

ශ්‍රීලනිප ආධාරකරුවන් බේරා ගැනීමට හමුදා කඳවුරු ගානේ ගිය රෙජී රණතුංග …

ප්‍රසන්නගේ පියා වන රෙජී රණතුංග එදා එජාප ආණ්ඩුව විසින් පැහැරගෙන යන ලද ශ්‍රීලනිප ආධාරකරුවන් බේරා ගැනීම සඳහා පොලීසි, හමුදා කඳවුරු ගානේ දිනපතා රස්තියාදු වූ අන්දම ප්‍රසන්න නොදන්නවා නොවෙයි. එහෙත්  සියල්ලට වඩා දේශපාලන අවස්ථාවාදය, පාදඩකම ඉහළය. එදා ශ්‍රීලනිප ආධාරකරුවන් දහස් ගණනක් ඝාතනය කළ එජාප ආණ්ඩුවේ ප්‍රබලයෙකු වූ රනිල් වික්‍රමසිංහ සමඟ එක පතේ කන ප්‍රසන්නගේ අප්‍රසන්න දේශපාලනය දැක ගැනීමට රෙජී රණතුංග ජීවතුන් අතර නොසිටීම ඔහුගේ වාසනාවකි!

නිවසේ සඟවා ගෙන අනුරගේ ජීවිතය රැකගත් ගුරුවරිය..

අපේ කථානායකයා වන  අනුර කුමාර දිසානායක සිය ජීවිතය බේරා ගත්තේ ගාමිණී විද්‍යාලයේ කාරුණික ගුරුවරුන්ගේ මැදිහත්වීම නිසාය. අනුර වැනි දක්ෂ, රටට වැඩදායක දරුවෙකුගේ ජීවිතය  කෙසේ හෝ ආරක්ෂාකර ගත යුතු බව ඔවුහු තරයේ විශ්වාස කළහ. පංතිභාර සාමිනී ගුරුතුමිය ආණ්ඩුවේ ඝාතක කණ්ඩායම් වලින් අනුරව කාලයක් බේරා ගත්තේ සිය නිවසේ සඟවා ගෙනය. එය ජීවිත පරිත්‍යාගයෙන් ගත් තීරණයකි.

කොළඹට කිරි ගමට කැකිරි….

මේ නිර්භීත ගුරුවරු දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන අතරේ ඔවුන්ගේ දෑස් ද පෑදූහ. අනුරලා අධ්‍යාපනයෙන් පිටමං කළ චරිතය. එහෙත්  සම්පත් බෙදීයාමේ විෂමතාව හෙවත් “කොළඹට කිරි ගමට කැකිරි” එජාප ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියට යට නොවුණු  ඔවුහු මේ දිළිඳු දරුවන්ට ජීවිතය ගොඩදමා ගැනීමට තිබෙන එකම මාර්ගය වන උසස් අධ්‍යාපන ලබාදීමට දිවා රෑ වෙහෙසුනහ.

දරුවන්ගේ දෑස් පෑදවීම වෙනුවෙන් දුෂ්කරක්‍රියා..

අනුර, ගාමිණී මහ විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ ආරම්භක පංතියේ සිසුවෙකි. ඔවුන්ගේ පංතිභාර සාමිනී ගුරුතුමිය එම විදුහලට පැමිණියේ ව්‍යවහාරික සහ ශුද්ධ ගණිත විෂයන් ඉගැන්වීම සඳහා ය. එහෙත් රසායන සහ භෞතික විද්‍යා විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිකමින් ඇයට එම විෂයන් දෙකත් ඉගැන්වීමට සිදු වන්නීය. උසස් පෙළ විද්‍යා  විෂයන් හතරක් ඉගැන්වීම ලෙහෙසි අභියෝගක් නොවෙයි. එහෙත් ඇය මේ දරුවන්ගේ දෑස් පෑදවීම වෙනුවෙන් ඒ දුෂ්කර ක්‍රියාවේ නිරතවන්නීය. “අපි ඉගෙන ගන්න මහන්සි වෙනවාට වඩා, ඇය අපිට උගන්වන්න මහන්සි වුණා” යැයි අනුර පවසන්නේ එබැවිනි.  

තඹුත්තේගම ගුරු දෙවිවරුන්…

ගාමිණී මහ විද්‍යාලයේ කහවල ගුරුතුමිය ඔවුන්ට මවක් බඳුවිය. ඇයගේ ස්වාමියා තඹුත්තේගම තැපැල් ස්ථානාධිපතිවරයා ය. සිය නිවෙස්වල විදුලි පහසුකම් නොමැති අනුර ඇතුළු උසස් පෙළ සිසුන්ට රාත්‍රී කාලයේ පාඩම් කිරීම සඳහා තැපැල් කාර්යාලයේ ප්‍රයෝජනයට නොගන්නා කාමරයක් සපයා දීමට ඇය මූලික වන්නීය. එහි රාත්‍රියේ පාඩම් කරන දරුවන්ට තේ සාදා දෙමින් ඇය සංග්‍රහ කරන්නීය. දරිද්‍රතාවයේ ගිලුණ, අවවරප්‍රසාදිත දරුවන්ගේ ජීවිත ඔසවා තබන්නේ  තම රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කරන මෙවැනි ගුරුවරුන්ය. සැබවින්ම ඔවුන් ගුරු දෙවිවරුන්ය.

තඹුත්තේගම, කොළඹ රෝයල් සටන…

අනුරගේ තඹුත්තේගම කථාව අපේ පරපුරේ ඛේදවාචකය මෙන්ම හෘද සාක්ෂියයි. කුමන දේශපාලන මතවාදී වෙනස්කම් තිබුණ ද එය අපේ පරපුරේ කථාවයි. නිදහසින් පසු ඉතිහාසයේ ප්‍රථමවරට  අවවරප්‍රසාදිත තඹුත්තේගම තරුණයෙකු රටේ විධායක බලය දිනා ගැනීම ආසන්නයට පැමිණ තිබේ. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහි වූ ප්‍රභූ දේශපාලන නායකයන් දෙදෙනෙකුට අභියෝග කර තිබේ. සැබැවින්ම මෙය දශක හතකට අධික කාලයක් මෙරට පාලනය කරන ප්‍රභූ දේශපාලන පංතිය පරාජය කර පොදු ජනතාව දේශපාලන බලය අත්පත් කර ගන්නා ඵෙතිහාසික අවස්ථාවක් වනු ඇතැයි යන්න අපේ විශ්වාසය  සහ ප්‍රාර්ථනයයි.  එය අපේ පරපුරේ ද ජයග්‍රහණයකි.!  

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

ප.ලි.

ජවිපෙ ප්‍රමුඛ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988-89 කාලයේ දී අනුගමනය කළ ඇතැම් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්  අපට දැඩි විවේචනයක් තිබේ. ඒ විවේචනය පෙර ලිපි කිහිපයක ඉදිරිපත් කර ඇති බැවින් එම කරුණු යළි මේ ලිපියේ සටහන් කර නැති බව සළකන්න.

අනුරගේ තඹුත්තේගම පාසැල් ආදි සිසු හමුවේ දී කළ සංවේදී කතාවේ වීඩියෝව සම්පූර්ණයෙන්



No comments:

Post a Comment