Sunday, 18 June 2023

ඇමැති මනුෂ ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වැටිලද? විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් නොකරන්නේ ඒකද?

-විදෙස් බලය සංවිධානය අසයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.18, ප.ව.7.30) විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ප්‍රමාද කරන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මිනිස් ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වැටී තිබෙන නිසාදැයි ප්‍රශ්න කරන බවත්, ඇමැතිවරයාට කොන්දක් තිබේනම් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවත් විදෙස් බලය සංවිධානයේ කැඳවුම්කරු ජනක බලල්ල පැවසුවේය.

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට අවශ්‍ය මුදල් නොමැති නම් විදේශ ගත ශ්‍රමිකයින් එක්ව හෝ එම මුදල සොයා දීමට කටයුතු කරන බවද මරදාන සී.එස්.ආර්. ශාලාවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු කීවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක බලල්ල මෙසේද කීය.

"පසුගිය වසරේ අග භාගයේ සිට විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරන්න කියලා අප ඉල්ලා සිටියා. තරුණ පරම්පරාව විතරක් නෙමෙයි වැඩිහිටියන් පවා විදේශ රැකියා යොමුවන කාලයක් තමයි මේක. විදේශ රැකියා සඳහා හොඳ ශ්‍රමිකයෙක් බිහි කිරීම අපේ වගකීමක්. ඒ වගකීම අපි ඉටු කරලා තිබෙනවාද යන කාරණය මත තමයි මේ ඩිජිටල්කරණය කියන දේ මතුවෙන්නේ. 

විදේශ රටකට යන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ශ්‍රමිකයින් ලියාපදිංචි කරලා යැවීමේ වගකීම පැවරෙනවා. මෑත කාලයේදී කාන්තාවන් ගෘහ සේවිකාවන් විදියට පිටත් කර යැවීමේදී නොයෙක් ගැටලු මතුවෙලා තිබෙනවා. ඩුබායි, ඕමාන් වගේ රටවල අපේ අම්මලාට, සහෝදරියන්ට අත්වන කටුක ඉරණම ගැන මාධ්‍යයෙන් දැක්කා.

නුපුහුණු ශ්‍රමිකයින් විදියට විදේශ රැකියාවලට යන බොහෝ දෙනා ගෘහ සේවිකාවන්, නැතිනම් කම්කරුවන් විදියට පිටත්ව යනවා. මේ අය නියමිත නීතිමය පියවර අනුගමනය කරමින් නොයෑම නිසා නොයෙක් ගැටලු ඇතිවෙනවා. මේ අයට  ඒ රටේ බාසාව තේරෙන්නෙ නෑ. සංස්කෘතිය දන්නේ නෑ. පරිසරය හඳුනන්නේ නෑ. පුහුණු ශ්‍රමිකයින් විදියට කාන්තාවන් යැවීමේ වගකීම රාජ්‍ය අංශය පැහැර හැර තිබෙනවා. 

දින 28 පුහුණු සහතිකය පැය දෙකෙන්..

විදේශ රැකියා සම්බන්ධයෙන් නීති පැනවූවාට ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාදැයි කියන ගැටලුව තිබෙනවා. ඒ නිසා තමයි ඩිජිටල්කරණය වැදගත් වෙන්නේ. නුපුහුණු කාන්තාවක් ගෘහ සේවිකාවක් විදියට විදේශ ගතවීම වැලැක්වීම සඳහා දින 28ක පුහුණුව ලැබීමෙන් පසුව පුහුණුව ලබාගත යුතු බවට වන නීතියක් තිබෙනවා. විදේශ රැකියා නියෝජිත ආයතනවලින් බහුතරය මේ පුහුණුව ලබාදෙනවා. නමුත් හොර පාරෙන් යවන ආයතනත් නැතුවා නොවෙයි. ඇතැම් රාජ්‍ය නිලධාරීන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුලේ, ගුවන්තොටුපොල ඇතුලේ ඉන්න යම් නිලධාරීන් මුදල් ලබාගෙන පුහුණුවක් නැති ගෘහ සේවිකාවන්ට විදේශ රැකියාවලට යෑමට අවස්ථාව ලබාදෙනවා. ගෘහ සේවිකාවන්ට අවශ්‍ය වන 28 පුහුණු සහතිකය අනිවාර්ය කිරීම මනුෂ නානායක්කාර ඇමැතිවරයා සද්භාවයෙන් කළ වැඩක් කියලා අපි හිතනවා. නමුත් දින 28 ක් පුහුණු වෙනවා වෙනුවට පැය දෙකක් තුනක් ඇතුළත රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා මේ පුහුණු සහතිකය ගන්න පුලුවන් නම් අර දි 28 පුහුණු සහතිකයේ වටිනාකම මොකක්ද. දින 28ක පුහුණුව ඇතුලේදී භාෂාව, ඒ රටේ සංස්කෘතිය, ඒ රටේ භාවිතා කරන උපකරණ, පරිසරය හා වටපිටාව ගැන පුහුණුවක් දෙන්න පුලුවන්. නමුත් පැය දෙක තුනක් ඇතුළත මුදලට පුහුණු සහතිකයක් දෙනවා නම් ඒවා කාට කියන්නද. පැය තුනකින් එහෙම සහතික දෙන්න පුලුවන් නම් දින 28ක පුහුණුවක් මොකටද. විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කළොත් මේ ජාවාරම් නවත්වන්න පුලුවන්.

ජාවාරම් නවත්තන්න පුළුවන් ඩිජිටල් කිරීමෙන් පමණයි..

දැන් බලන්න රියදුරු බලපත්‍ර ලබාගැනීම. රියදුරු බලපත්‍ර ලබාගැනීම දැන් ඩිජිටල් වෙලා තියෙනවා. කිසියම් පුද්ගලයෙක් රියදුරු බලපත්‍රය ලබාගැනීමට විභාගය ලියූ දිනයේ සිට දින 90 කින් තමයි ට්‍රයල් එකට යන්න පුලුවන් වෙන්නේ. අද විභාගය ලියලා සිස්ටම් එකට ඇතුළත් වුනාම හෙට දවසේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ සිස්ටම් එක අනුව විභාගය ලියලා දවස් 90ක් ඉන්නම වෙනවා. විදේශ රැකියාවලදීත් ගෘහ සේවිකාවන් සදහා දින 28ක පුහුණුවට ලියාපදිංචිවෙලා දින 28කින් පුහුණු සහතිකය දෙනවා නම් අර ඇතුලෙන් රිංගවන දේවල් කරන්න බැරි වෙනවා. මේකට විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීම අනිවාර්ය වෙනවා. 

මෙය සම්පූර්ණ ඩිජිටල් පද්ධතියක් වන තුරු ඇතුලෙන් රිංගලා යන දේවල් වැලැක්වීමට නොහැකියි. විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ රැකියා ඩිජිටල් කිරීමට කටයුතු කරන බව පසුගිය අවුරුද්දේ ඉඳලා කියනවා. හැබැයි ඔහුට තවම තමන් යටතේ තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල් කරගන්න බැරිවෙලා තියෙනවා. 

මනුෂ වහාම ඇත්ත කිව යුතුයි..

මත්ද්‍රව්‍ය, ඖෂධ ජාවාරම වගේ ප්‍රබලම ජාවාරමක් තමයි මිනිස් ජාවාරම. මිනිස් ජාවාරම් කරන, ජාවාරම්කරුවන්ට බියේ මනුෂ නානායක්කාර ඇමැතිවරයා විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම පස්සට දානවාද කියන සැකය අපිට තිබෙනවා. එහෙම නැතිනම් ඇමැතිවරයා වහාම ඇවිත් ඩිජිටල්කරණය ප්‍රමාදවෙන්නේ ඇයි කියලා කරුණු පැහැදිළි කරන්න ඕන. ඩිජිටල්කරණයට ලක් කිරීම සදහා මුදල් නැද්ද කියලා කියන්න. විදේශ රැකියා කියන්නේ විශාල මුදලක් සංසරණය වන ක්ෂේත්‍රයක්. එවැනි තත්වයක් තුළදී ඩිජිටල්කරණ ක්‍රියාවලිය සදහා මුදල් සොයාගන්න බැහැ කියලා කියන්නේ ඉතාම කණගාටුදායක තත්වයක්. 

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කළොත් තමන්ගේ රැකියාව ආරක්ෂා කරගැනීමට හැකියි. වැරදි නොකර රට රැකියා කරන්න මේක හේතුවක්.

විදේශ රැකියා ඇමැති ජාවාරම්කරුවන්ට අහුවෙලා නැතිනම්, කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා නම් හැකි ඉක්මනින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන්න කියලා අපි අභියෝග කරනවා. ඇමැතිවරයාම විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරනවා කියලා කියලා මාස ගානක් ගත වෙලා තිබියදීත් ඒක කරන්නේ නැත්තේ ඔබතුමා ජාවාරම්කාරයින්ගේ සාක්කුවට වැටිලා තියෙන නිසාද. විදේශ රැකියා සිස්ටම් එක ඩිජිටල් කරන්න අවශ්‍ය මුදල ඔබට හොයන්න බැරිනම් අපි එකතුවෙලා ඒ මුදල සොයලා දෙන්නම්. 

මනුෂ කියන්නේ තොත්ත බබෙක් නෙමෙයි නේ.

මනුෂ කියන්නේ තොත්ත බබෙක් නෙමෙයි නේ. ඔහු එක්කෝ හිතාමතාම ඩිජිටල්කරණය මගහරිනවා. මනුෂ නානායක්කාරගේ හිතවත්ම කෙනානේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාට මේ පුටුවේ වාඩිවෙන්න මුලින්ම උදව් කරපු දෙන්නගෙන් එක්කෙනෙක්නේ මනුෂ ඇමැතිවරයා. ඔබට මෙකක කරන්න දෙන්නේ නැතිනම් අපිට මේ අය ුම්ක කරන්න දෙන්නේ නෑ කියලා ජනාධිපතිතුමාට කියන්න. එතුමා හරි මේවට උදව් කරාවි. 

ගිය සතියේ පාස්පෝට් ලබාදීම ඩිජිටල් වුනා. දැන් කාටවත් පෝලිම්වල ඉන්න ඕන නෑ. මේ වගේ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරන්න. මනුෂ නානායක්කාර ඇමැතිවරයාට ඒක කරන්න බැරි නම් වෙන කාටවත් ඒක කරන්නත් බෑ." 

No comments:

Post a Comment