Thursday, 22 June 2023

මහනුවර පන්සල්වලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අරක්ගත් කම්බ හොරු..!

-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.22, ප.ව.6.25) ශ්‍රී ලංකාව තුළ පෙර නොවූ විරූ පරිද්දෙන් අල්ලස් ගැනීමේ සංසිද්ධීන් පිළිබඳ වාර්තා දැන් දැන් අසන්නට ලැබේ. නවතම සිදුවීම වාර්තා වන්නේ 2023 ජනවාරි 13 දින මහනුවර කච්චේරියේ ශ්‍රවණාගාරය ඉදිරිපිටදීය.

එදින මහනුවර දළදා මාලිගාවේ කතරගම දෙවොලේ බස්නායක නිලමේ තෝරා ගැනීමේ නිලවරණය පැවතියේය.

නිලවරණයෙන් පසුව කච්චේරි ශ්‍රවණාගාරය ඉදිරිපිට සිට සියලු මාධ්‍ය අමතා ගැමුණු වලිසුන්දර ප්‍රකාශ කළේ මෙම නිලවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු අල්ලස් දීම් සිදුකර ඇති බවයි.

මේ ප්‍රකාශයත් සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අල්ලස් ගැනීමේ සිද්ධිය ගැන විමර්ශනයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග  කර තිබුණි. එයට අමතරව අල්ලස් හෝ වංචා දූෂණ විමර්ශන කොමිසම ද වෙනමම විමර්ශනයක් අරඹා තිබේ. මෙයට අමතරව ගැමුණු වලිසුන්දර ද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරනු ලදුව කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දෙපාර්තමේන්තු මට්ටමෙන් සිදු කරන විමර්ශනය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ධම්මික මුතුගල යටතේත්, අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනය ප්‍රධාන පොලිස් පරීක්ෂක කරසිංහ යටතේත් සිදුවෙයි. එහි ලිපිගොනු අංකය BC/0425/2023/B 65 වේ.

මල්වතු නාහිමිත් චූදිතයෙක්..!

පුදුමයට කාරණය නම්, මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමි රාමඤ්ඤ නිකායේ අනුනායක හිමි, මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සභික හිමි, මාතලේ අළුවිහාරයේ විහාරාධිපති හිමි, දළුගොල්ල රජමහා විහාරාධිපති හිමි, මහනුවර දේවාලවල බස්නායක නිලමේවරු හා මහනුවර ප්‍රාදේශීය ලේකම්වරුන් දස දෙනෙකි.

මුදල් සහ වෙනත් වරප්‍රසාද ලබාගෙන මේ පිරිස සිය ඡන්දය පාවිච්චි කර ඇතැයිද මෙහිදී කෝටි ගණනාවක මුදලක් (දළ වශයෙන් රු මිලියන 350ක් පමණ මුදලක්) මෙහිදී ගනුදෙනු වී ඇතැයිද කියැවේ.

මේ කාරණාව ඔප්පු කිරීම සඳහා ප්‍රබල සාක්ෂි කීපයක් ඉදිරිපත් කර ඇති අතර ඒවා ලෙහෙසියෙන් බිඳ හෙළිය හැකි ඒවා ද නොවේ.

වඳුරන් ක්‍රියාත්මක කරන බළල් අත්..

මින් ප්‍රධානම තර්කයක් වන්නේ මහනුවර දේවාලවල බස්නායක නිලමේවරුන් පත් කිරීමේ සෑම නිලවරණයකට පෙර පන්සල් කීපයක විහාරාධිපතිවරු සිය ධුරයෙන් ඉවත්ව ඒ වෙනුවට ගිහි භාරකාරයෙකු පත් කිරීමය. නිලවරණයෙන් පසුව භාරකාරයා ඉවත් වී නැවත විහාරාධිපති ධුරය අදාළ විහාරාධිපති හිමියන්ට හිමි වේ. මෙම ක්‍රියාවලිය පුරුද්දක් ලෙසට ම වර්ෂ 2014 සිටම ක්‍රියාත්මක වී තිබීම දකින්නට ලැබේ. ඒ අනුව විහාරාධිපති හිමියන් ඉවත් වී එහි භාරකාරයා ලවා තමන් අල්ලස් ගත් අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කරවීමත් ප්‍රදර්ශනය වෙයි. එනිසා මේ භාරකාරයන් ස්වේච්ඡාවෙන්ම බළල් අත් බවට පත්වෙති.

මෙවර පැවති කතරගම දේවාල නිලවරණය ආසන්නයේදී විහාරාධිපති ධුරයෙන් ඉවත් වූ විහාරාධිපති හිමිවරුන් සහ භාරකාරයන් මෙලෙස දැක්විය හැකිය.

හිඳගල රජමහ විහාරයේ විහාරාධිපති ධුරය දරනුයේ වත්මනෙහි මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි ධුරය හොබවන තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ය. මහා නායක හිමියන් හිඳගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරයෙන් ඉවත්ව භාරකාර ධුරයට පත්කර ඇත්තේ ආර්.එම්.එම්.එම්. මහේන්ද්‍ර පුෂ්පකුමාරය. අම්පිටිය  රජමහා විහාරාධිපති සහ මල්වතු විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සභික ඇටිපොළ බුද්ධ රක්ඛිත නාහිමි ඉවත්ව පත්කර ඇත්තේ ආර්.ඩබ්ලිව්.එම්. අකිල ප්‍රභාෂ්වර රාජපක්ෂය. තිත්තවෙල රජමහා විහාරයේ සහ මාතලේ අළුවිහාරයේ විහාරාධිපති ඉනාමළුවේ නන්ද රතන හිමියන් පත්කර ඇත්තේ රොහාන් උනම්බුවය. මේ තනතුර උනම්බුවට ලබාදී ඇත්තේ මෙම විහාරවල විහාරාධිපති ධුරය සඳහා අධිකරණයේ නඩුවක් ද පවතිද්දීය. දළුගොල්ල රජමහ විහාරයේ භාරකාරත්වයට ආර්.ඩබ්ලිව්.එම්.ඒ.පී. රාජපක්ෂ පත්කර ඇත.

මෙතෙක් කලක් අස්ගිරි පාර්ශ්වයේ හෝ රාමඤ්ඤ නිකායේ හිමිවරුන් මෙම දූෂණයට හවුල් වී නැතිමුත් ප්‍රථම වතාවට ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ද සිය විහාරයට භාරකාරයකු පත්කර ඇත. ඔහු එම්.බී.එම්. කිත්සිරි ගාමිණී තිලක් ගුණරත්නය.

ඉදින් මහනුවර දේවාලයන්හි බස්නායක නිලමේ නිලවරණයන් පවතිද්දී මෙසේ විහාරාධිපති හිමිවරුන් ඉවත්ව භාරකාරයින් පත් කිරීම සැක නූපවද්ද?

එසේ ඉවත් වන්නේ වඩාත් සාධාරණ ඡන්දයක් පැවැත්වීම සඳහා යැයි බොළඳ තර්කයක් ඉදිරිපත් කළ හැකි වුවත්, තමන්ට වඩා ස්වාධීන අයෙකු සිටිය හැකිද යන ප්‍රශ්නය ගොඩ නැගේ. ඇරත් එසේ ඉවත්වීමම තමන්ගේ ස්වාධීනත්වය ගැන සැක සංකාවක් තිබීමය. එය බුද්ධ පුත්‍රයකුට කිසිසේත් නොහොබිනා ලක්ෂණයක් නොවන්නේද?

දේවාල පුල්ලි ප්‍රාදේශීය ලේකම්ලා..

බස්නායක නිලමේවරුන් තෝරා ගැනීමේ නිලවරණයේදී මහනුවර ප්‍රාදේශීය ලේකම්ලා තීරණාත්මක සාධකයකි. මෙවර මහනුවර ප්‍රාදේශීය ලේකම්වරු දස දෙනෙකුට ඡන්දය හිමිව ඇත. දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යලවල සිටින්නේ ලේකම්වරියන් බැවින් ඔවුන්ට ඡන්දය හිමි නොවේ

මේ ප්‍රාදේශීය ලේකම්වරුන් දසදෙනා වන්නේ පහත සඳහන් අයය.

1. ගඟබඩකෝරළය සම්පත් ජයසිංහ
2. යටිනුවර මංගල වික්‍රමආරච්චි
3. තෙල්දෙණිය ඉන්දික පියදාස
4. උඩුනුවර ප්‍රදීප් සුමනසේකර
5. හාරිස්පත්තුව මොහාන් ධර්මදාස
6. පන්විල සේනාධීර
7. මිණිපේ නුවන් කුමාර
8. ගණ ඉහළ කෝරළය (කුරුඳුවත්ත) සමීර රත්නායක
9. හතරලියැද්ද හේමන්ත කුමාර
10. පූජාපිටිය කීර්ති වීරසිංහ

අල්ලස් ගැනීමේ පුරෝගාමී පිකාසෝ..

මෙම නිලවරණයේ අල්ලස් ගැනීමේ පුරෝගාමී පිකාසෝ යටිනුවර ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චිය. ගඟබඩ කෝරළයේ සුනිල් සම්පත් ජයසිංහ සහ හතරලියැද්ද ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර ඔහුගේ අගසව්වන්ය. හතරලියැද්ද ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම්වරයා ද වේ.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ නිලවරණයේදී එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට තබා තිබූ අල්ලස් ලංසුව රුපියල් ලක්ෂ 50කි. එය මෙයට කලින් බස්නායක නිලමේවරුන්ගේ නිලවරණ වලට තැබූ අල්ලස් ලංසුව වන රුපියල් ලක්ෂ 30ට වඩා තවත් රුපියල් ලක්ෂ 20ක් වැඩි වී තිබේ.

මේ අනුව බස්නායක නිලමේවරයකු පත් කිරීමේ තරගයට ඉදිරිපත් වන අයෙකුට අවම වශයෙන් රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වියදම් නොකර ජයග්‍රහණය කළ නොහැක. එවැනි මුදල් සම්භාරයක් වියදම් කර තරගයට ඉදිරිපත්වීමේ රහසද වෙනමම සොයා බැලිය යුතු රහසකි.

අල්ලස් සෙල්ලමේ ප්‍රධාන සංවිධායක වන්නේ මංගල වික්‍රමආරච්චි ප්‍රාදේශීය ලේකම්වරයාය. ඔහු උදම් අනන්නේ ප්‍රාදේශීය ලේකම්වරු පමණක් නොව, බස්නායක නිලමේවරුන් ද තමන්ගේ අතේ සිටින බව කියමින්ය. එය බොරුවක් ද නොවන බව ස්ථීරය.

මේ බැව් හරියටම සනාථ කරවන සිදුවීමක් මහනුවර දළදා මාලිගාවේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ නිලවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙරදී එනම් 2023 ජනවාරි 5 සහ 8 දිනවලදී සිදුව ඇත.

මේ දින දෙකෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් දස දෙනා සහ බස්නායක නිලමේවරුන්ට මත්පැන් සාදයක් පවත්වා ඇත. ඒ මංගල වික්‍රමාරච්චිගේ නිල නිවසේදීය. එය පිහිටා ඇත්තේ පේරාදෙණියේ නව මාවතේය.

මෙය සහසුද්දෙන්ම තහවුරු වී ඇත්තේ මෙයට සහභාගි වූ බස්නායක නිලමේවරුන් දෙදෙනකු අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ ලබාදෙමින් සහතික කර තිබීමෙනි.

අනෙක් කාරණය නුවර දේවාලවල බස්නායක නිලමේවරුන් බොහෝ දෙනා සම්පත් වික්‍රමආරච්චි ඉදිරියේ බියගුල්ලෝය. රූකඩයින්ය. ඒ ඔහුට අනෙක් ප්‍රාදේශීය ලේකම්වරුන් දක්වන පක්ෂපාතීත්වය නිසාවෙනි. ප්‍රාදේශීය ලේකම්ලා සම්පත්ට පක්ෂපාතී වන්නේ ඔහු අල්ලස් ගසින් ලොකු ගෙඩි කඩා දෙන බැවිනි.

මංගල වික්‍රමාරච්චි යනු කවුද?

මංගල සිය වෘත්තීය දිවිය ආරම්භ කරනුයේ ග්‍රාම නිලධාරියකු ලෙසය. පසුව පරිපාලන සේවා විභාගයෙන් සමත් වන ඔහු කලකදී අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස පත්වෙයි. පසුකලෙක මහනුවර තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් වී මේ වනවිට යටිනුවර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරයි.

බුරුත මරුවා..

ඔහු මහඔය සේවය කරද්දී මහනුවර අම්පිටියෙන් පර්චස් 37ක ඉඩමක් නාලනී බැද්දෙවෙල නමැත්තියගෙන් මිලදී ගන්නේ පර්චසය රුපියල් ලක්ෂ දහය බැගිනි. ඒ අනුව ඉඩමේ වටිනාකම ලක්ෂ 370 කි. අනතුරුව මෙම ඉඩමේ නිවෙසක් ගොඩ නගයි. ඒ සඳහා ඔහු බුරුත ලී ගෙනේනනේ මහ ඔයෙනි. නිවසේ අස්සක් මුල්ලක් පාසාම බුරුත ලී අතුරා ඇති මේ බුරුත මාලිගාවට මහඔය ප්‍රදේශයේ කැලෑවල තිබුණු බුරුත ගස් කොපමණ කපා ගෙන ආවේදැයි සිතාගත හැක්කේ එකල ඔහුව ප්‍රදේශයේ අය සහ ප්‍රදේශයේ රජයේ නිලධාරීන් 'සම්පත් බුරුත මරුවා' ලෙසින් නමක් පටබැඳීම නිසාවෙනි. අක්කර 20ක් පමණ වූ පර්න්වෙල් නම් රජයේ ඉඩම සිය බිරිඳගේ නමින් මිලදී ගෙන තිබින.

තවත් අල්ලස් පැමිණිලි

මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ලේකම්වරයකු වන එම්.ආර්. ජයතිලක මහනුවර දේවාලවල බස්නායක නිලමේ තනතුරු සඳහා නිලවරණ පැවතෙද්දී අල්ලස් දීම් සහ ගැනීම් සිදුවන බවට අල්ලස් කොමිසමට පැමිණිල්ල කරනුයේ වර්ෂ 2021 දී ය. එකී පැමිණිල්ල ගැන දුර දිග විමර්ශනයක් සිදුව නැතිමුත් අල්ලස් ගැනීම් සිදුවන බවට තොරතුරු තිබූ බව දනවන ප්‍රබල ඉඟියකි.

මහනුවර දිස්ත්‍රික්කයේ මෙන් ම මාතලේ දිස්ත්‍රික්කයේත් හිටපු දිසාපතිවරයකු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ද, මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ තනතුරට තරග කළේය. එවර ඡන්දය හිමි ප්‍රාදේශීය ලේකම්වරුන් අටදෙනෙකුට ඡන්දය හිමිව තිබුණේය. මේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් හතර දෙනකුම ඔහුගේ ගෝලයන්ය. අනෙක් හතරදෙනාද ඔහු විසින් පත්වීම් ලබා දුන් අයය.

එනිසා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා තමන් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාසද කළේය. ප්‍රතිඵලය නිකුත් කළ විට ඔහුට තිබූ ඡන්ද ප්‍රමාණය එකොළහකි. ඔහු විශ්වාස කරනුයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් එක් අයකු පමණක් තමන්ට ඡන්දය දුන් බවය. අනෙක් හත්දෙනාම ඡන්දය පාවිච්චි කර ඇත්තේ ඔහුට විරුද්ධවය.

කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියකුටත් සිදුවූ සන්තෑසිය එසේ නම් තවත් කවර කතාද?

අහෝ දෙවියෝ..

දේවාලයක් යනු දෙවියන් අරක් ගත් තැනකි. ඔවුන්ට අද්විතීය බලයක් තිඛෙන බවත් දේවාලවල අනුහස් ඇති බවත් මෙරට බොහෝ දෙනාගේ විශ්වාසය වේ.

එහෙව් දෙවියන්ගේ දෙවොල්හි බස්නායක නිලමේ තනතුරුවලට පත්වෙන්නට නම් යහමින් අල්ලස් දිය යුතු වීම කවරාකාරයේ විහිළුවක්ද? එක් අතෙකින් පූජා වට්ටියේ තිබෙන මොනරකොළ කපුවන් පිල්ලි ගසා සිල්ලර කාසි කීපයකට පමණක් රැවටෙන දෙවියන්ට කළ හැක්කේ කුමන කෙංගෙඩියක්ද?

එසේ යැයි සිතා මේ අල්ලස් දුරාචාරය ඉවසා සිටිය යුතු නොවේ. තමන්ට නොහැකි නම් දෙවියන්ගේද සහාය ලබාගෙන හෝ මෙය නවතා දැමිය යුතුවා සේ ම වරද කළවුන්ට දඬුවම් කළ යුතුය.

-විශේෂ  ලියුම්කරුවෙකු විසිනි

No comments:

Post a Comment