Friday, 16 June 2023

රනිල් වැනි මිනිසෙකුට අන් මිනිසුන්ගේ ඉරණම භාර නොදිය යුත්තේ ඇයි..?

-වසර 18 කට පෙර ලියූ 'සෙල්ලිපියක්' සිංහලට නැගුවේ ආනන්ද 

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.16, ප.ව.9.15)  ජේම්ස් බැරීගේ ‘පීටර් පෑන්’ නාට්‍යයේ පීටර් නමැති පිරිමි ළමයා වයසට යාම ප්‍රතික්ෂේප කරයි. රනිල් වික්‍රමසිංහ වෙනත් ප්‍රවණතාවක් නිරූපණය කරයි - ඔහු සම්බන්ධයෙන් ගත් විට එය දේශපාලන පරිණතභාවයක් ලබා ගැනීමට ඇති සහජ නොහැකියාවයි. ඔහු කට අරින්නේම අවිචාරවත් ප්‍රකාශයක් හෝ පුහු ඝෝෂාවක් කිරීමටම පමණි.

ඔහු ඡන්දදායකයන් දැනුවත් කරනවා වෙනුවට ඔවුන්ගේ ප්‍රමෝදයට [ජොලියට] හේතුවක් සපයයි. පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ සාහිත්‍යය පිළිබඳ ඔහුගේ දැනුම - අනෙකුත් බොහෝ දේශපාලකයන් හා සමානවම - ඉතා අල්පය. කෙසේ වෙතත් එය පුදුමයට කරුණක් නොවේ. ඔහුගේ රස්සාවේ ස්වභාවය සහ කාර්යබහුල කාල සටහන නිසා ඔහුට උගත්කමක් අත්පත් කර ගැනීමට තරම් විවේකයක් නැත.

පොත් පත් හෝ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සාහිත්‍යය වැනි බුද්ධිමය විෂයයන් ගැන නොදන්නා දේශපාලකයෝ ඒ පිළිබඳ විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට පුරුදුව සිටිති. එකී විශේෂඥයන් දේශපාලකයන්ට ඔවුන්ගේ කතා අලංකාර කිරීමට දත්ත සපයා දෙන අතර එමගින් රැස්වීම්වල දී ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට හැකි වේ.

දිවංගත ආර්.ප්‍රේමදාස එවැනි නායකයෙකුට හොඳ උදාහරණයකි. ඔහු ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගෙන ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ තම දේශන ලිව්වේය. කරුණු කාරණා සහ සංඛ්‍යා ලේඛන මතකයෙන් ඉදිරිපත් කිරීමට පුහුණු වීම සඳහා ඔහු පාන්දර තුනට අවදි වූ බව පැවසේ. ඔහු තම ප්‍රේක්ෂකයින් විස්මයට පත් කරමින් ඔවුන් රැවටූ අයෙකු වීම පුදුමයට කාරණයක් නොවේ.

රනිල්ගේ උපදේශකයන් ව්‍යාජ පණ්ඩිතයන්ය...

අනෙක් අතට ප්‍රේමදාසට වඩා රනිල් වෙනස් වන්නේ රනිල්ගේ උපදේශකයන් ව්‍යාජ පණ්ඩිතයන් වන නිසාය. ඔවුහු ජනතාව ඉදිරියේ රනිල් දුක් මුසු විගඩමක් බවට පත් කරවති.

අපි මොහොතකට රනිල්ගේ රංගනය සලකා බලමු.

අගලවත්තේ පැවති දේශපාලන රැලියකට එක් වෙමින් රනිල් දෙවන පැරකුම් යුගයක් උදා කරන බවට පොරොන්දු වී ඇත. පරාක්‍රමබාහු රජු, ඔහු තව දුරටත් කී පරිදි, පහත් බිම්වල පස් පුරවා ඒවායේ කුරුඳු සිටුවා තිබේ!

රනිල් ගෝලයා සහ ඔහුට ඒ කතාව කියා දුන් නම නොදන්නා ගුරා යන දෙදෙනාම ශ්‍රී ලාංකීය ඉතිහාසය නොදන්නා බව නිගමනය කළ යුතුව තිබේ. අන්ධයෙකු තවත් අන්ධයෙකුට පාර පෙන්වන අවස්ථාවකට එය නොම්මර එකේ උදාහරණයකි!

ඔහුගේ නොදැනුවත්කම ප්‍රකාශ කිරීමේ ව්‍යායාමයේ දී ඔහු ඒ මට්ටමෙන් නතර වූයේ නම් හොඳය. ඒ වෙනුවට ඔහු පෞරාණික භෞමික කොට්ඨාශයකට දැන් කියන නමක් අලලා වැරදි හෙළිදරව්වක් කළේය: එය පස්දුන් කෝරළයයි.

අප ජීවත් වන්නේ ශුෂ්ක හා අඳුරු ලෝකයකය. වෙහෙසකර වේලාවල දී මිනිසුන්ට ඉඳ හිට සතුට හා විනෝදාස්වාදය අවශ්‍ය වේ! ඒ සඳහා රෝමවරුන්ට ඔවුන්ගේ දේශපාලකයන් විසින් පාන් සහ සර්කස් ලබා දෙන ලදී. නමුත් අපේ රටේ දේශපාලකයන් මිනිසුන්ට විනෝදාස්වාදය ලබා දෙන්නේ ඔවුන්ගේ ප්‍රලාපවලිනි. පස්දුන් කොරළේ පිළිබඳ රනිල්ගේ නව සංකල්පය ගැන එම ප්‍රාදේශීය නගර වාසීන් ඔහුට කෘතගුණ දක්වනවාට සැක නැත.

රනිල් පදවි ප්‍රාප්තව සිටි වසර දෙකක කාලය තුළ දී, ස්වර්ණමය යුගයේ (පැරකුම් යුගයේ) පෙර නිමිත්තක් හෝ ජනතාවට පෙන්වා දිය යුතුව තිබූ බව ද මෙහි ලා සඳහන් කළ යුතුව තිබේ.

තරුණයන්ට අත් ඔරලෝසු හා රන් වළලු (bracelets) පිරිනැමීමට දුන් මහා පොරොන්දුව රනිල්ට දැන් පහසුවෙන් අමතක වී ඇති සෙයකි. ඒ වෙනුවට මෙවර පොල් කඩන්නන්ට ජංගම දුරකථන පිරිනැමීමේ පොරොන්දුවක් දී ඇත!

අමුඩය වෙනුවට වෙනත් විනීත ඇඳුමක් මිල දී ගැනීමට කටයුතු සලසන බවට ඔහු පොරොන්දු වූයේ නම් එය වඩාත් වැදගත් වනු ඇත.

මිනිස් ස්වභාවය පිළිබඳ රනිල්ගේ අවබෝධය ඔහුගේ බුද්ධි මට්ටම (IQ) නොවේ නම්, එය මාරි ඇන්ටො‌නේට් හා සමාන බව කිව හැකිය.

රනිල්ගේ අශීලාචාර ගති ප්‍රගතිශීලී ආකල්ප සමග නොගැලපේ...

රනිල් කොල්ලන්ගේ මාල පළඳනා ගැන දක්වන සැලකිල්ල, කෙල්ලන් සම්බන්ධයෙන් නොදක්වන්නේ ඇයි දැයි දැන ගැනීමට මහජනතාව කැමතිය. කෙසේ වෙතත්, මම එය නරුම ලෙස ඔහුගේ ස්ත්‍රී අලෝලත්වයකට ආරෝපණය නොකරමි. එය ඔහුට වූ අතපසු වීමක් යැයි කීමට තරම් අපි කාරුණික වෙමු.

දේශපාලකයන් ද මනුෂ්‍යයන් වීම නිසා වැරදි සිදු වේ. නමුත් අනෙක් අයගේ වැරදි මෙන් නොව දේශපාලකයන්ගේ වැරදි රටේ පැවැත්මට අහිතකර ලෙස බලපානු ඇත. රනිල්ගේ අතීත වැරදිවලින් ඔහුට වාසියක් වේ යයි යමෙකු බලාපොරොත්තු වුනේ නම්, අහෝ, එය ඛේදයකි!

සියලුම දේ සිදුව ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධවයි. ඔහු ඒවා අත්හැර දමා ද නැත; එසේම දේශපාලන පරිණතභාවයකට පත්වෙලා ද නැත. එවැනි අශීලාචාර ගති ප්‍රගතිශීලී ආකල්ප සමග නොගැලපේ.

ඩඩ්ලිගේ ඉරණම..

දැනුවත්ව හෝ නොදැනුවත්ව දේශපාලකයා මහජනයා නොමඟ යවයි; අනිත් අතට, නිලධාරීන් විසින් දේශපාලකයා නොමග යවනු ලැබේ.

අභාවප්‍රාප්ත ඩඩ්ලි සේනානායකගේ ඉරණම සියලු මුග්ධ දේශපාලපාලකයන්ට අනතුරු ඇඟවීමක් විය යුතුය. විධායක නිලධාරීන්ගේ සිට පහළම ලිපිකරුවන් දක්වා සියලුම වර්ගවල රජ්‍ය සේවකයින් විසින් ඔහු රැවටීමට ලක් කෙරිණ. ඔවුහු අසත්‍ය සංඛ්‍යාලේඛන, අසත්‍ය තොරතුරු සහ අසත්‍ය ප්‍රවෘත්ති ඔහුට ලබා දුන්හ.

සහලින් රට ස්වයංපෝෂිත වීම ළඟ ළඟ බවත්, පරාක්‍රමබාහු යුගයේ මෙන් රට අග්නිදිග ආසියාවට ධාන්‍යාගාරයක් වනු ඇති බවත් ඔහු විශ්වාස කළේය. ඔහු ව්‍යාජ ප්‍රීති ප්‍රමෝදයකින් නැළවෙමින් ගත කළේය. 1970 මහ මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය පරාජයට පත් විය. ෂේක්ස්පියර්ගේ ලියර් රජු මෙන්, ඔහු ජීවත් වූයේ අතීතය ගැන කණගාටුවෙනි.

දෙවෙනි පැරකුම් යුගයක් උදා කරන බවට රනිල්ගේ පොරොන්දුව ද දීර්ඝ නියඟයකින් වියැකී ගිය බිමකට වැටෙන වැස්සක් සේ සාදරයෙන් පිළිගත යුතුය.

පසු ගිය දශක තුන හතරක කාලය තුළ රට පාලනයට ආ අශිෂ්ඨයන්ගේ දිගු පෝලිම දෙස බලා සිටීමට ජනතාවට සිදු විය. ඔවුන් බලයට පත් කිරීම වෙනුවෙන් අපට විශාල වන්දියක් ගෙවීමට සිදු වී ඇත. නමුත් ප්‍රශ්නය නම්: රනිල්ට තම පොරොන්දු යථාර්ථයක් බවට පත් කළ හැකි හැකි වේ ද යන්නයි. ඔහුගේ අතීත රංගනය දෙස බලන විට කෙනෙකුට සැක සංකා ඇති වීම වැළැක්විය නොහැක.

බ්‍රෝහියර් දුටු පරාක්‍රමබාහු...

පරාක්‍රමබාහු රජු සිංහාසනාරූඨ වන විට රට මහත් අවුලකට පත්ව තිබිණ. රටේ තැන් තැන්වල බලය ඔවුනොවුන් අතර බෙදා ගත් ප්‍රාදේශීය පාලකයෝ රජුගේ නීත්‍යානුකූල රාජ්‍යත්වයට අභියෝග කළහ. පරාක්‍රමබාහුට පෙර සිටි දුර්වල නායකයන් විසින් අරාජිකත්වයට පාර කපා තිබිණ.

එසේ වුව ද, මෙම ප්‍රතාපවත් රජු නොහික්මුණු කණ්ඩායම් පරාජය කර රට යළි ස්ථාවර කළේය. පළමුවන විජයබාහු, වළගම්බාහු හා දුටුගැමුණු කළ පරිදිම ඔහු එක් රජෙකුගේ පාලනයක් යටතේ රට එක්සේසත් කළේය.

කරුණාවන්ත රජෙකු වූ ඔහු තම යටත් වැසියන්ගේ දිළිඳු බව දුටුවේය. ගරා වැටී තිබූ වැව් පිළිසකර කළේය; අළුත් වැව් හැදුවේය. හින්දු පාලකයන් යටතේ පීඩාවට පත් වූ බුද්ධාගමට නිසි තැන හිමි විය. බෞද්ධ භික්ෂූන්ගේ ආශිර්වාදය සහ මඟ පෙන්වීම ඇතිව ඔහු තම යටත් වැසියන්ගේ සදාචාරාත්මකභාවය නැංවීමට කටයුතු කළේය.

රජුගේ අනුග්‍රහය යටතේ ඉතිහාසයේ මින් පෙර හෝ පසුව නොපැවැති සෞභාග්‍යයේ උච්චස්ථානයකට රට පත් විය. ඒ යුගයේ තිබූ, ඈත ක්ෂිතිජය දක්වා විහිදෙන දිගු කුඹුරු යායවල් ගැන ඉතිහාසඥයන් සඳහන් කර ඇත. ප්‍රධාන ආහාරය වූ සහලින් රට ස්වයංපෝෂිත වූවා පමණක් නොව, අපනයනය සඳහා භාණ්ඩවල අතිරික්තයක් ද ඇති විය.

පරාක්‍රමබාහු රජු සාහිත්‍ය හා ලේඛන කලාවේ අනුග්‍රාහකයා වූ අතර ඔහුගේ පාලන සමයේ දී ඒවා සමෘද්ධිමත් විය. රජුගේ නාමය ද එකල පැවති සාහිත්‍ය කලා හා අධ්‍යාපනයේ මල් ඵල හට ගැනීම ද එකක් සේ සැලකේ. ඒ යුගයේ දී ලංකාව යනු ඉන්දියානු, චීන සහ අරාබි සබුද්ධිකයින් ආකර්ශනය කර ගත් සංස්කෘතික ක්ෂේම භූමියක්ව පැවැති බව ආර්. එල් බ්‍රෝහියර් සිය “Seeing Ceylon” නම් ග්‍රන්ථයේ සඳහන් කරයි.

පස්දුන් කෝරළයේ තෙත් බිම් ගොඩ කර කුරුඳු වගා කළ බවට රනිල් එල්ල කළ නින්දිත චෝදනාව සම්බන්ධයෙන් පරාක්‍රමබාහු රජු නිදොස් කොට නිදහස් කළ යුතුය. එවැනි මෝඩ ව්‍යායාමයක යෙදීම බොහෝ සෙයින් යථාර්ථවාදියෙකු වූ පරාක්‍රමබාහු රජුට තරම් නොවීය.

ඉතිහාසය නොදත්, කුරුඳු ගැන නොදත්, නන්දොඩවන රනිල්...

ඒ කාලයේ දී කුරුඳු වාණිජ භෝගයක් නොවීය. එකල මිනිසුන්ගේ ගෘහ අවශ්‍යතා සපුරාලීමට කුරුඳු වැවෙන කැලෑ ප්‍රමාණවත් විය. කුරුඳු ඇතුළු කුළුබඩු වෙළඳාමේ ඒකාධිකාරයක් අරාබිවරුන් සතු විය. විදේශ වෙළඳ පොලේ අවශ්‍යතා සපුරාලීම සඳහා කුරුඳු බහුලව වගා කළේ, පෘතුගීසි හා ලන්දේසීන්ගේ ආගමනයෙන් පසුවයි. යුරෝපීයයන් පැමිණීමට පෙර ගෘහස්ත අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් කුරුඳු තිබූ බව නැවත අවධාරණය කළ යුතුය. කැලෑවල කුරුඳු වැවී තිබුණු අතර, වෘත්තීය කුරුඳු තලන්නන් විසින් ඒවායේ පොතු ගලවා ගෙන ඒම සිදු කෙරිණ‍. ගෙවතුවල කුරුඳු පැළ වගා කළ අතර කුස්සියේ කුරුඳු අවශ්‍යතාවයට ඒවා ප්‍රමාණවත් විය‍.

පෘතුගීසීන් පලවා හැර මුහුදුබඩ පළාත්වල අධිපතියන් බවට පත් වූ ලන්දේසීන් වාණිජ පදනමින් විශාල වතුවල කුරුඳු වගා කිරීමට මුල් විය. කුරුඳු යනු ඕලන්ද පෙරදිග ඉන්දීය සමාගමේ ඒකාධිකාරයක් යයි ප්‍රකාශයට පත් කරන ලද අතර, කුරුඳු පැළයක් විනාශ කිරීම උදෙසා දඬුවම වූයේ මරණීය දණ්ඩනයයි. මුහුදුබඩ ප්‍රදේශවල කුරුඳු අස්වනු නෙළා ගන්නා - මේරූ පොත්ත ගසෙන් ඉවත් කර ගන්නා - කාලය තුළ කුරුඳු තලන්නන් වහලුන් සේ තබා ගෙන ඇත.

වැරදි තොරතුරු මත නන්දොඩවන රනිල් සහ ඔහුගේ සහචරයින් දැනුවත් කිරීමට මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු මවිසින් ඉහත සඳහන් කර ඇතැයි මම සිතමි.

අපි දැන් රනිල් මෙතෙක් අත්පත් කර ගත් ජයග්‍රහණ තිබේ නම් ඒ දෙසට හැරෙමු.

නිකම්ම නිකම් කඩදාසි කෑල්ලක් බවට පත්වූ රනිල්ගේ සටන් විරාම ගිවිසුම..

එක්සත් ලංකාවක් වෙනුවෙන් පෙනී සිටි පරාක්‍රමබාහු රජු, ඔහුගේ පාලන කාලයේ දී එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගුවේය. රනිල් සෑම විටම බෙදුම්වාදී බලවේග දිරිමත් කළ අතර, ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයත්වයට වළ කැපීම සඳහා ඔවුන් සමග අශුද්ධ සන්ධානයකට එළඹ ඇත.

කීර්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීඥයෙකු වන එස්.එල්. ගුණසේකර කියන පරිදි, රනිල් නමැති බෙලහීන අගමැති යටතේ ශ්‍රී ලංකාවේ ගොඩ බිමෙන් හතරෙන් එකක් කොටි ත්‍රස්තවාදීන්ට පවරා දී ඇත. පරාක්‍රමබාහු රජු මේ රට බෙදීම වෙනුවෙන් පෙනී සිටි බවක් කොතැනකවත් වාර්තා වී නැත.

කොටි ත්‍රස්තවාදීන් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කර ලංකාවට සාමය උදා කළ බවට රනිල් පුරසාරම් දොඩවයි. ගිවිසුමට අත්සන් තැබීමේ සිටම ගිවිසුමේ කොන්දේසි විශාල වශයෙන් උල්ලංඝනය කිරීම මගින් කොටි ත්‍රස්තයන් එම ගිවිසුම නිකම්ම නිකම් කඩදාසි කෑල්ලක් බවට පත් කර ඇත.

ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදීන් හෙළා දැකීමට ධෛර්යයක් ඇති විරුද්ධවාදීන් සහ දේශපාලකයන් මරා දැමීමෙන්, පොලිස් ස්ථානවලට සහ බොහෝ කඳවුරුවලට නොකඩවා වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන්, රජයට අයත් භූමිය රහසිගතව හා ප්‍රසිද්ධියේ ආක්‍රමණය කිරීමෙන්, සහ ඔවුන්ගේ තරුණ බලකායට බඳවා ගැනීම සඳහා බාල දරුවන් පැහැරගෙන යාමෙන් කොටි ත්‍රස්තවාදියෝ රනිල්ගේ සටන් විරාම ගිවිසුම අමු විහිළුවක් බවට පත් කළහ.

පළමුව ආයුධ බාර දෙන ලෙස කුරිරු ත්‍රස්තවාදී කල්ලියට නොකියා, ඔවුන් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමේ අගෞරවය ශ්‍රී ලංකාවට අත්පත් කර දුන් නින්දිත පුද්ගලයා ලෙස රනිල්ගේ නාමය ඉතිහාසයට එක්වනු ඇත. ඔහුගේ නම ජීවිතාශාව වෙනුවෙන් ආත්ම ගෞරවය පාවා දුන් දොන් ජුවන් ධර්මපාලගේ නාමය සමග සදාකාලිකව බැඳී පවතිනු ඇත.

සටන් විරාම ගිවිසුමක් ලෙස හුවා දක්වන ඒ ගිවිසුම පිළිබඳ හොඳම විනිශ්චයකරුවන් වන්නේ සාමාන්‍ය ජනතාවයි. ඒ වන විට ජාතික නායකයින් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක්ව තිබීම කරණ කොට ගෙන රනිල්ගේ මුළු සර්වාංගයම වෙවලමින් තිබුණේ යයි ඔවුහු පවසති.

කොටි ත‍්‍රස්තවාදීන්ට හිතකර සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ රනිල් තුළ පැවැති දැඩි භීතිය නිසා බව රහසක් නොවේ. බියගුළුභාවය යනු රාජ්‍ය නායකයින්ගේ ගුණාංගයක් නොවේ. රනිල් වික‍්‍රමසිංහ විසින් තම රටට සිදු කර ඇති තරම් විශාල අනර්ථයක් සිදු කළ හැක්කේ තවත් දේශ ද්‍රෝහියෙකුටම පමණි.

එක දිගට පරාජයට පත්වීම ලජ්ජාවට කාරණයක් මෙන්ම කලකිරීමට ද හේතු විය හැක. කෙනෙකුගේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට නැවත නැවතත් අසමත් වීම නිසා වෙහෙසට පත් වූ රනිල් වැනි මිනිසෙකුට අන් මිනිසුන්ගේ ඉරණම කරා යන මඟ පෙන්වීමේ කාර්යය භාර දිය යුතු නැත!

- 2005 ඔක්තෝබර් 16 වන දින Sunday Observer වෙබ් අඩවියේ පළ වූ, S. Francis Perera ලියූ, “Point of View: Ranil 'creates' history” නම් ලිපිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment