Friday, 16 June 2023

රනිල්ට විශ්වාසම මහින්ද, මහින්දට විශ්වාසම රනිල්..! ගම්වල අපිට  එක්කෙනෙක්වත් විශ්වාස නෑ..! විශ්වාස මාලිමාව පමණයි..! -ටිල්වින් කියයි

-අනුරාධපුරයේ තිසර සමල් වාර්තා කරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.16, ප.ව.8.30)  රනිල්ව එලවන්න ආපු පොහොට්ටුව , රනිල්ගේ ප්‍රතිපත්ති වලට දැන්  වැඩ කරනවා. දෙගොල්ල අතර ප්‍රතිපත්ති වෙනසකුත් නෑ. ගම්වල අපි විතරක් බෙදිලා ඉන්නවා. රනිල්ට විශ්වාස මහින්ද නම් මහින්දට විශ්වාස රනිල් නම් ගම්වල අපිට ඒ ගොල්ල එක්කෙනක්වත් විශ්වාස නෑ, ඒ නිසා අපි අපිට විශ්වාස තැන, විශ්වාස කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණකැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා,

"රනිල් වික්‍රමසිංහලා තමන්ට අවාසි නිසා තමයි මේ ඡන්දය කල් දාගෙන යන්නේ, තමන්ට අවාසි වෙලාවලත් ඒ අය ඡන්ද තියලා තියෙනවා.රනිල් වික්‍රමසිංහ පරදින බව දැන දැනත් ඡන්ද තියලා තියෙනවා. පහුගිය මහමැතිවරණය ගත්තත් එයා දන්නවා පරදිනවා කියලා. ඒත් තිබ්බා. හැබැයි මේ සැරේ ප්‍රශ්නය තමයි එයා පැරදිලා දිනන්නේ සජිත් නෙමෙයි, දිනන්නේ මහින්ද නෙමෙයි. දිනන්න යනවා මාලිමාව, දිනන්න යනවා ජනතාව. රනිල් වික්‍රමසිංහ පැරදිලා මහින්ද රාජපක්ෂ දිනනවා නම් ඒ ගොල්ලන්ට ගානක් නෑ, මොකද බේර ගන්න පුලුවන්නේ. දැන් ඔය පැරදිච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා තියෙන්නේ. කොයි පාරේ ගියත් එකයි. රනිල් වික්‍රමසිංහ පැරදිලා සජිත්ට බලය ගියත් හොඳයි. බේර ගන්න පුලුවන් ඒ ගොල්ලන්ට. හැබැයි ඒ ගොල්ල ඔක්කොම පැරදිලා මාලිමාවට බලය යනවා කියන්නේ ඒ ගොල්ල මෙතෙක් හදන් හිටිය ඒ ගොල්ලන්ගේ දැවැන්ත අධිරාජ්‍යය බිඳ වැටෙනවා. ජනතාවට වගකියන්න සිද්ධ වෙනවා.ඒකට බයේ තමයි මේ ඡන්ද කල් දමමින් යන්නේ.

රනිල් වික්‍රමසිංහට ඡන්ද වලට මුහුණ නොදී යන්න තියෙන කාලය ඉතා කෙටියි. රනිල් වික්‍රමසිංහලාට ඡන්ද නොතියා පළාත් පාලන ආයතන, පළාත් සභා පවත්වගෙන යන්න පුලුවන්. හැබැයි පාර්ලිමේන්තු ඡන්දය, ජනාධිපති ඡන්දය තියන්නම වෙනවා. ලබන නොවැම්බර් මාසේ අනිවාර්යෙන් ජනාධිපතිවරණය තියන්න වෙනවා. තව මාස 14 ක් 15 ඇතුළත ඒ මැතිවරණය තියන්න වෙනවාමයි. රනිල් වික්‍රමසිංහ මේ පොඩි ඡන්දයට භය වෙලා ලොකු ඡන්දයම පරදින්න යන්නේ. රනිල්ට ඡන්ද කල්දාලා පරාජයෙන් බේරෙන්න බෑ.

රනිල් හොරා කියලා පෝස්ටර් ගහපු අය දැන් රනිල්ට සර් කියනවා..

2019 මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඇවිත් මුළු රටටම කියාගෙන ගියා රට බේරගන්න නම් මේ වෙලාවේ ඉන්න එකම කෙනා ගෝඨාභය රාජපක්ෂ කියලා කිව්වා.ජනතාවත් ඒ ගැන හිතලා හැට නව ලක්ෂයක් ඡන්දය දුන්නා. හැබැයි ගෝඨාභය ආව ගමන් තමන්ගේ අසමත්කම පෙන්නුවා. මුලින්ම වැඩේ දුන්නේ ගොවියන්ට රසායනික පොහොර තහනම් කරලා කෘෂිකර්මාන්තය වල පල්ලට ගියා.ජනතාව පාරට බැහැලා ගෝඨාභය එළෙව්වා.ගෝඨාභය එළෙව්වට පස්සේ ජනාධිපතිකමේ හිස්තැනක් ඇති වුණා.මහින්ද රාජපක්ෂලා කණ්ඩායම ඒ ජනාධිපතිකමට පත් කළා රනිල් වික්‍රමසිංහව. ඒ කාලේ මහින්ද රාජපක්ෂලා ගම් වලට ඇවිල්ලා ගෝඨාභය දිනවන්න කිව්වේ පෘතුගීසීන්ගෙන්, ලන්දේසීන්ගෙන්, ඉංග්‍රීසීන්ගෙන් රට බේරා ගන්න නෙමෛයි,  රනිල්ගෙන් රට බේරා ගන්නයි. ඒ ගොල්ල කිව්වේ රනිල් වික්‍රමසිංහ බලයට ආවොත් රට විකුණනවා, රට බෙදනවා. රට පාවා දෙනවා කියලා. එහෙම කියලා බලයට ආව ගෝඨාභයට යන්න වුණාට පස්සේ රට විනාශ කරනවා කිව්ව රනිල්ව ජනාධිපති කර ගත්තා.ඡන්ද ගත්තේ රනිල්ගෙන් රට බේරා ගන්න ආණ්ඩු හදා ගන්න, ඒ ආණ්ඩුවම රනිල් ආපහු ජනාධිපති කරනවා.පහුගිය ජනාධිපතිවරණය කාලේ රට පුරාම මේ ගොල්ල පෝස්ටරයක් ගැහුවා රනිල් හොරා කියලා.ඒ රනිල් හොරා කියලා පෝස්ටරය ගහපු අය දැන් රනිල්ට සර් කියනවා ජනාධිපති කර ගෙන.

මහින්දට විශ්වාසවන්තම රනිල් රනිල්ට විශ්වාසවන්තම මහින්ද..

මේ පාර්ලිමේන්තුවේ ගැටලුවක් ආව වෙලාවේ මහින්ද රාජපක්ෂලාට හිටපු  විශ්වාසවන්තම කෙනා ඩලස් අලහප්පෙරුම නෙමෙයි, ජී.එල් පීරිස් නෙමෙයි, විමල් වීරවංශ නෙමෙයි. රනිල් තමයි හොඳම විශ්වාසවන්තයා. මහින්ද රාජපක්ෂට ප්‍රශ්නයක් ආව වෙලාවේ හිටපු විශ්වාසවන්තම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහට මේ පාර්ලිමේන්තුවේ ඉන්න විශ්වාසවන්තම කණ්ඩායම තමයි මහින්දගේ කණ්ඩායම. රනිල් වික්‍රමසිංහ එක මන්ත්‍රීකමක් තියාගෙන ජනාධිපතිකමක් කරනවා පාර්ලිමේන්තුවේ. ඕන නම් අර 120 ට රනිල්ව ගෙදර යවන්න පුලුවන් දෝෂාභියෝගයක් ගෙනල්ලා. දැන් ගේන්නේ නෑ. මේ අය බොරුවට බෙදිලා හිටියා බලය සඳහා දැන් එකට එකතු වෙලා ඉන්නවා බලය සඳහා. රනිල් විකුණන එක නවත්තලා, විකුණපු ඒවත් ආපහු ගන්නවා කියලා බලය ගත්තු මහින්ද රාජපක්ෂ කණ්ඩායම දැන් ආපහු ඒ රනිල් ජනාධිපති කරලා, රනිල් විකුණන කොට අත උස්සනවා. පහුගිය දවස් වල අපේ රටේ ඉන්ධන පිරවුම්හල් 150 ක් චීනයේ සිනොපෙක් සමාගමට දුන්නා. 450 ක් දෙන්න යනවා ,ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට, චීනයට ඒකෙන් චීනයේ 150 දුන්නා. ඒකට අත ඉස්සුවා කැබිනට් එක. රනිල්ව එලවන්න ආපු පොහොට්ටුව , රනිල්ගේ ප්‍රථිපත්ති වලට දැන් පොහොට්ටුව වැඩ කරනවා. දෙගොල්ල අතර ප්‍රථිපත්ති වෙනසකුත් නෑ. ගම්වල අපි විතරක් බෙදිලා ඉන්නවා.රනිල්ට විශ්වාස මහින්ද නම් මහින්දට විශ්වාස රනිල් නම් ගම්වල අපිට ඒ ගොල්ල එක්කෙනක්වත් විශ්වාස නෑ, ඒ නිසා අපි අපිට විශ්වාස තැන, විශ්වාස කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි.

ජනමාධ්‍ය වලට නියාමනයක් නැති නිසාසේ කැළණියේ නයි පෙන්නුවේ..

ආණ්ඩුවට විරෝධය පළ කරන කොට දැන් කටවල් වහන්න අලුතෙන් පනතක් ගේන්න හදනවා විකාශන අධිකාරී පනත කියලා.මේ තොරතුරු යන්නේ ජනමාධ්‍ය හරහානේ.අපේ රටේ ජනමාධ්‍ය නියාමනය කරන්න ඕන බව ඇත්ත, ජනමාධ්‍ය වලටත් ආචාර ධර්ම නැති ප්‍රශ්න තියෙනවා. ඒ නිසානේ නයි පෙන්නුවේ කැළණියේ, ඒ නිසා ජනමාධ්‍යත් නියාමනයක් තියෙන්න ඕන, හැබැයි මර්ධනය නොකළ යුතුයි.මේ එන්නේ නියාමනයට නෙමෙයි, මේ එන්නේ මර්ධනය කරන්න.මං දැක්කා ඇමති කෙනෙක් කියලා තිබුණා, අපිට දැනුම් පුලුවන් මාධ්‍ය ආයතන මෙච්චර ගණනක ලයිසන් කැන්සල් කරන්න කියලා.ලයිසන් කැන්සල් කරන්න මේ එන්නේ.ලයිසන් එක දෙන්නේ නෑ අපිට විරුද්ධව ගැහුවොත්, ලිව්වොත්, කථා කලොත්, ඊට පස්සේ ඉතුරු වෙන්නේ අපේ රටේ ජාතික රූපවාහිනියයි, අයි.ටී.එන් එකයි.ආණ්ඩුව ගැන කථා කරන ටික ඉතුරු වෙයි, අනෙක් ඔක්කොම ටික වහන්න වෙනවා.අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගෙනියන්නේ ප්‍රධාන මාධ්‍යයෙන් හා සමාජ මාධ්‍යයෙන්.මේ අලුත් පනතින් ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය අකුළලා මාධ්‍ය භය වද්දලා, හීලෑ කර ගන්න බලනවා.

දැන් පරණ සෙල්ලටම එනවා..

මේ දවස් වල සමීක්ෂණ වලින් ඉහළින්ම ඉන්නේ ජාතික ජන බලවේගය හා අනුර දිසානායක සහෝදරයා.ඒ නිසා දැන් පරණ සෙල්ලටම එනවා. දැන් ජාතිවාදය, ආගම්වාදය අවුලවන ව්‍යාපෘතියක් දුවනවා. තැන තැන බුදු පිළිම තියලා, ඒ අයම ඒවා කඩන්න පුලුවන්. පහුගිය කාළයේ එහෙම දේවල් කරලා ආගමික ගැටුම් හැදුවා.පහුගිය කාළයේ විශාල විනාශයක් වුණානේ අර සහරාන්ලාගේ කණ්ඩායම නිසා, සහරාන්ලටයි, බොදු බල සේනාවටයි එකම ගිණුමකින් සල්ලි දීලා කියලා හොයා ගන්න අවුරුද්දක් විතර ගියා.ඒ ගිණුම ගෝඨාභය රාජපක්ෂලා හසුරවපු ගිණුමක්.ප්‍රථිවිරුද්ධ දෙදෙනකුට එකම ගිණුමකින් සල්ලි දීලා, ගැටුමක් හදන්න.ඒ ගොල්ල බලය ගත්තේ එහෙම.ඒකට වන්දි ගෙව්වේ පල්ලියේ යාඥා වලට  අහිංසක ජනතාව,ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා ඔවුන් ජීවිත වලින් වන්දි ගෙව්වා.ඒ අපරාධ සැලසුම් කල අය තාම ඉන්නවා.ඒ අපරාධ යට ගහලා තියෙන්නේ.

නැවත වතාවක් අපි අහුවෙනවා නම් අපෙන් වැඩකුත් නෑ..

පහුගිය කාලයේ ලොකු වඳ කථාවක් ආවා, වඳ කොත්තු ගැන කිව්වා, වඳ යට ඇඳුම් ගැන කිව්වා, අන්තිමට වඳ දොස්තර කෙනෙකුත් හොයා ගත්තා, ඩොක්ටර් ෂාෆී, ලොකු අකුරෙන් පත්තර වල මේ ගැන දැම්මා, රූපවාහිනී නාලිකා වලින් පෙන්නුවා, අවසානයේ අවුරුදු 2 1/2 ක් 3 ක් ගියාට පස්සේ ඩොක්ටර් ෂාෆී සියලු චෝදනා වලින් නිදහස් කරලා, හිඟ වැටුප් ලබා දීලා නැවත කුරුණෑගල රෝහලටම පත් කරලා.දැන් අර ප්‍රවෘත්ති ගෙන ආපු අය මොකුත් කියන්‌නේ නෑ.මේ මත හදපු අය මොකුත් වුණේ නෑ වගේ ඉන්නවා.මම දැක්කා ෆේස් බුක් එකේ දාලා තිබ්බා දොස්තර සාෆිගෙන් ජාතිය බේරා ගන්න පාරට බැහැපු සමහර දොස්තරලා රට දාලා ගිහිල්ලාය, සාෆී තාම කුරුණෑගල රෝහලේ වැඩ කියලා. ‌මේ ව‌ගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. ජනතාවගේ ජාතිය, ආගම ගැන හැගීම් අවුස්සලා ඒ ගොල්ල තමන්ගේ බලය ගන්නවා.ඒ ජාති‌යේ වැඩක් නැවත කිරීමේ අනතුරක් තියෙනවා.ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕන.නැවත වතාවක් අපි ඒවාට අහුවෙනවා නම් අපෙන් වැඩකුත් නෑ  යැයි පැවසීය.

සේයාරූ සහ වාර්තාව

තිසර සමල් -අනුරාධපුරය

No comments:

Post a Comment